එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ද, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, විශාලාවෙහි අම්බපාලි වනයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත වැඩියහ. වැඩමකොට ආයුෂ්මත් අනුරුද්ධයන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය වදාළහ.
“ඇවැත් අනුරුද්ධයෙනි, ඔබගේ ඉන්ද්රියයෝ අතිශයින් පැහැපත් ව ඇත. මුහුණෙහි පැහැය පිරිසිදු ව බබලයි. ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර විහරණයකින් මෙකල බහුල ව වාසය කරත් ද?”
“ඇවැත්නි, මම මෙකල සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවාගෙන බහුල ව වාසය කරමි. ඒ කවර සතරක් ද යත්;
ඇවැත්නි, මෙහි මම කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරමි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරමි.
ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවාගෙන මම බහුල ව වාසය කරමි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් රහත් ද, ආශ්‍රවයන් ක්ෂය වූයේ ද, වසන ලද බඹසර ඇත්තේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර පසෙක බහා තැබුවේ ද, අනුපිළිවෙලින් පත් උත්තමාර්ථය ඇත්තේ ද, භව සංයෝජනයන් ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණේ වෙයි ද, ඔහු මේ සතර සතිපට්ඨානයන්හි මැනැවින් සිත පිහිටුවාගෙන බහුල ව වාසය කරයි.”
“ඇවැත්නි, ඒකාන්තයෙන් අපට ලාභයකි. ඇවැත්නි, ඒකාන්තයෙන් අපට මනා වූ ලැබීමකි. යම් ඒ අපි ආයුෂ්මත් අනුරුද්ධයන් පවසන ශ්‍රේෂ්ඨ වචනය හමුවෙහිදී ම ඇසුවෙමු.”
සාදු! සාදු!! සාදු!!!
අම්බපාලි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M