ඛුද්දක නිකාය

ධම්මපදය

10. දණ්ඩ වග්ගෝ

10. දඬුවම් ගැන වදාළ කොටස

129.1. සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම භයයි. මරණයටත් හැම කෙනෙක්ම භයයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන, කිසි සතෙක්ව මරන්ටත් එපා! මරවන්ටත් එපා!

130.2. සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම භයයි. හැම කෙනෙකුටම තමන්ගෙ ජීවිතය ප්‍රියයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්ටත් එපා! මරවන්ටත් එපා!

(ජේතවනාරාමයේදී ඡබ්බග්ගිය භික්‍ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)

131.3. සුඛකාමානි භූතානි
යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ
පෙච්ච සෝ න ලභතේ සුඛං

හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්ට ගිහින් වෙන සතුන්ට දඬු මුගුරු වලින් හිංසා කළොත් ඔහුට පරලොවදී සැපක් නම් ලැබෙන්නෙ නෑ.

132.4. සුඛකාමානි භූතානි
යෝ දණ්ඩේන න හිංසති
අත්තනෝ සුඛමේසානෝ
පෙච්ච සෝ ලභතේ සුඛං

හැම සත්වයෙක්ම සැප විඳින්ට කැමතියි. ඒ බව දැනගෙන, තමන්ගෙ සැප උදෙසා, අනිත් සතුන්ට දඬු මුගුරු වලින් හිංසා නොකරයි නම්, පරලොවදී ඔහුට සැප ලැබෙනවා.

(ජේතවනාරාමයේදී කුඩා දරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවන්ය.)

133.5. මා’වෝච ඵරුසං කඤ්චි
වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා
පටිදණ්ඩා ඵුසෙය්‍යු තං

කාටවත්ම නපුරු වචන කියන්ට එපා! නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ.

134.6. ස චේ නේරේසි අත්තානං
කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝ’සි නිබ්බාණං
සාරම්භෝ තේ න විජ්ජති

ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ.

(ජේතවනාරාමයේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය)

135.7. යථා දණ්ඩේන ගෝපාලෝ
ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරා ච මච්චු ච
ආයුං පාචෙන්ති පාණිනං

ගොපල්ලෙක් කෙවිටෙන් පහර දිදී හරකුන්ව ගොදුරු බිමට දක්කනවා වගේ, මේ ජරා – මරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආයුෂ අවසන් කරලා දානවා.

(පූර්වාරාමයේදී පොහෝ දින සිල් ගැනීම අරභයා වදාළ ගාථාවකි.)

136.8. අථ පාපානි කම්මානි
කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ
අග්ගිදඩ්ඪෝ’ව තප්පති

අඥාන පුද්ගලයා කොච්චර පව් කෙරුවත්, ඒකෙ බරපතලකම තේරුම් ගන්නෙ නෑ. අන්තිමේදී ඒ ප්‍රඥා රහිත පුද්ගලයා තමන්ගේම කර්මයෙන් හටගත් විපාක වලින් දුක් විඳිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ.

(වේළුවනාරාමයේදී අජඝර ප්‍රේතයා අරභයා වදාළ ගාථාවකි.)

137.9. යෝ දණ්ඩේන අදණ්ඩේසු
අප්පදුට්ඨේසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං
ඛිප්පමේව නිගච්ඡති

දඬු මුගුරු රහිත, හැම සතුන් කෙරෙහි මෙත් වඩන, රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්ට සිතින් පීඩා කළොත්, මේ දස වැදෑරුම් කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්ට ඒ පුද්ගලයාට සිදුවෙනවා.

138.10. වේදනං ඵරුසං ජානිං
සරීරස්ස ව භේදනං
ගරුකං වාපි ආබාධං
චිත්තක්ඛේපං ව පාපුණේ

එක්කෝ දරුණු ශාරීරික වේදනාවලට භාජනය වෙන්ට වෙනවා. එහෙම නැත්නම්, අත පය හෝ කැඩෙනවා. එක්කෝ දරුණු රෝග වැළඳෙනවා. එක්කෝ සිහිය විකල් වෙනවා.

139.11. රාජතෝ වා උපස්සග්ගං
අබ්භක්ඛානං ව දාරුණ
පරික්ඛයං ව ඤාතීනං
භෝගානං ව පභංගුරං

එක්කෝ රජවරුන්ගේ උදහසට ලක්වෙනවා. එහෙමත් නැත්නම් නොකළ අපරාධවලට දරුණු ලෙස චෝදනාවට ලක්වෙනවා. එක්කෝ නෑදෑයෝ පවා අහිමි වෙනවා. ධන සම්පත් හරි විනාශ වෙලා යනවා.

140.12. අථ වාස්ස අගාරානි
අග්ගි ඩහති පාවකෝ
කායස්ස භේදා දුප්පඤ්ඤෝ
නිරයං සෝ උපපජ්ජති

ඒ වගේම ගෙවල් දොරවල් ගින්නට අහුවෙනවා. ඒ මෝඩ තැනැත්තා මැරුණට පස්සේ නිරයේ ගිහින් උපදිනවා.

(වේළුවනාරාමයේදී මුගලන් තෙරුන්ට පහර දුන් සොරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

141.13. න නග්ගචරියා න ජටා න පංකා
නානාසකා ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං

අන්ධබාල පෘථග්ජන සත්වයා පිරිසිදු වෙන්ට හිතාගෙන නිර්වස්ත්‍රව තපස් රැක්කට, ඔළුවෙ ජටා බැඳගෙන හිටියට, දත් මැලියම් බැඳුණට, නොයෙක් ව්‍රත සමාදන් වුණාට, නොයෙක් ආසන ක්‍රමවලට වාඩිවුණාට, ඇඟ පුරා අළු දූවිලි තවරගත්තට, උක්කුටිකයෙන් වාඩිවෙලා හිටියට, ඔවුන් ඉන්නේ සැකයෙන් එතෙර නොවී නිසා, ඔවුන් පිරිසිදු වෙන්නෙ නෑ.

(ජේතවනාරාමයේදී එක්තරා බහුභාණ්ඩික භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

142.14. අලංකතෝ චේ’පි සමං චරෙය්‍ය
සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු

ලස්සනට හැඳ – පැළඳගෙන හිටියත්, ඒ තැනැත්තා ධර්මයේ හැසිරුණොත්, ශාන්ත වුණොත්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වුණොත්, නිවන් මගේ ස්ථිරව පිහිටියොත්, බ්‍රහ්මචාරී වුණොත්, සියලු සත්වයන් කෙරෙහි දඬු මුගුරු අත්හැරියොත්, ඔහු තමයි නියම බ්‍රාහ්මණයා. ඔහු තමයි නියම ශ්‍රමණයා. ඔහු තමයි නියම භික්ෂුව.

(ජේතවනාරාමයේදී සන්තනි ඇමතියා අරභයා වදාළ ගාථාවකි.)

143.15. හිරීනිසේධෝ පුරිසෝ
කෝචි ලෝකස්මිං විජ්ජති
යෝ නින්දං අපබෝධති
අස්සෝ භද්‍රෝ කසාමිව

යම් පුරුෂයෙක් ලැජ්ජාව නිසා අකුසල් දුරුකරනවා නම්, ලෝකයේ එබඳු අය ඉන්නෙ ටික දෙනයි. ඉතා යහපත් අශ්වයෙක් කස පහර කන්ට අකැමැත්තෙන් හික්මෙනවා වගේ ඔහුත් නින්දාවට අකැමැත්තෙන් හික්මෙනවා.

144.16. අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ
ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච වීරියේන ච
සමාධිනා ධම්මවිනිච්ඡයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං

තමන්ගේ ප්‍රමාදයෙන් කසපහර වැදුණට පස්සේ ආජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්න ඒ වගේ ඔබත් මේ සංසාරය ගැන කළකිරිල, කෙලෙස් නැතිකරන්ටමයි වීරිය ගන්ට ඕනෙ. ශ්‍රද්ධාවන්තව, සිල්වත්ව, සමාධියෙන් යුක්තව විදර්ශනා ප්‍රඥාවෙන්මයි තීරණ ගන්ට ඕනෙ. අවබෝධයයි, හැසිරීමයි එකක් වෙන්ට ඕනෙ. හොඳට සිහි නුවණ පිහිටුවාගෙන, මේ මහා සසර දුක නැතිකරලා දාන්න.

(ජේතවනාරාමයේදී පිලෝතික තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

145.17. උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති සුබ්බතා

වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇල වේලි බැඳගෙන වතුර අරගෙන යනවා. හී වඩුවො තමන්ට ඕනෙ පිළිවෙළට ඊතල සකස් කරගන්නවා. ලී වඩුවෝ තමන්ට ඕනෙ පිළිවෙළට ලී බඩු හදාගන්නවා. ධර්මයට කීකරු අය තමන්ගේ සිත දමනය කරගන්නවා.

(ජේතවනාරාමයේදී සුඛ සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි.)

සාදු! සාදු!! සාදු!!!

දඬුවම් ගැන වදාළ කොටස නිමා විය.

(දණ්ඩ වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M