මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ නාලන්දාවේ පාවාරික අඹ වනයේ. එදා කේවඩ්ඪ ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පසකින් වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණ කේවඩ්ඪ ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනී, මේ නාලන්දා නුවර ඉතා දියුණුයි. බොහෝ මිනිසුන්ගෙන් ජනයාගෙන් පිරී තියෙනවා. අනික ඔවුන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හරියට පැහැදිලා ඉන්නේ. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් භික්ෂුවක් මිනිස් දහමින් උත්තරීතර වූ ඉර්ධි ප්රාතිහාර්යයන් කරන්නේ නම් එබඳු එක් භික්ෂුවක් ඒ සඳහා යොදවන සේක් නම් කොතරම් අගේද! එතකොට මේ නාලන්දා වැසියන් ඒ දෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩ වඩාත් බලවත්ව පහදීවි.”
මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ කේවඩ්ඪ ගෘහපති පුත්‍රයාට මෙය වදාළා. “පින්වත් කේවඩ්ඪ, මං භික්ෂූන්ට ‘පින්වත් මහණෙනි, මෙහෙ එව්. සුදුවත් හඳින ගිහි පින්වතුන් හට උතුරු මිනිස් දහම් වූ ඉර්ධි ප්රාතිහාර්යය දක්වව්’ කියලා ඔය විදිහට දහම් දෙසන්නේ නම් නෑ.”
දෙවන වතාවටත් කේවඩ්ඪ ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා. “ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේගේ ගුණ බැහැර කොට කතා කළා නොවේ. ඒ නිසයි මං මෙහෙම කියන්නේ. ‘ස්වාමීනී, මේ නාලන්දා නුවර ඉතා දියුණුයි. බොහෝ මිනිසුන්ගෙන් ජනයාගෙන් පිරී තියෙනවා. අනික ඔවුන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හරියට පැහැදිලා ඉන්නේ. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් භික්ෂුවක් මිනිස් දහමින් උත්තරීතර වූ ඉර්ධි ප්රාතිහාර්යයන් කරන්නේ නම් එබඳු එක් භික්ෂුවක් ඒ සඳහා යොදවන සේක් නම් කොතරම් අගේද! එතකොට මේ නාලන්දා වැසියන් ඒ දෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩ වඩාත් බලවත්ව පහදීවි’ කියලා.” දෙවෙනි වතාවටද භාග්‍යවතුන් වහන්සේ කේවඩ්ඪ ගෘහපති පුත්‍රයාට මෙය වදාළා. “පින්වත් කේවඩ්ඪ, මං භික්ෂූන්ට ‘පින්වත් මහණෙනි, මෙහෙ එව්. සුදුවත් හඳින ගිහි පින්වතුන් හට උතුරු මිනිස් දහම් වූ ඉර්ධි ප්රාතිහාර්යය දක්වව්’ කියලා ඔය විදිහට දහම් දෙසන්නේ නම් නෑ.
තෙවෙනි වතාවටත් කේවඩ්ඪ ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පවසා සිටියා. “ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේගේ ගුණ බැහැර කොට කතා කළා නොවේ. ඒ නිසයි මං මෙහෙම කියන්නේ. ‘ස්වාමීනී, මේ නාලන්දා නුවර ඉතා දියුණුයි. බොහෝ මිනිසුන්ගෙන් ජනයාගෙන් පිරී තියෙනවා. අනික ඔවුන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හරියට පැහැදිලා ඉන්නේ. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් භික්ෂුවක් මිනිස් දහමින් උත්තරීතර වූ ඉර්ධි ප්රාතිහාර්යයන් කරන්නේ නම් එබඳු එක් භික්ෂුවක් ඒ සඳහා යොදවන සේක්නම් කොතරම් අගේද! එතකොට මේ නාලන්දා වැසියන් ඒ දෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩ වඩාත් බලවත්ව පහදීවි’ කියලා.”
“පින්වත් කේවඩ්ඪ, මා විසින් ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට දෙසන ලද මේ ප්රාතිහාර්යයන් තුනක් තියෙනවා. මොනවාද ඒ තුන? ඉර්ධි ප්‍රාතිහාර්යයත්, ආදේශනා ප්‍රාතිහාර්යයත්, අනුශාසනා ප්‍රාතිහාර්යයත් යන තුනයි. පින්වත් කේවඩ්ඪ, මොකක්ද මේ ඉර්ධි ප්රාතිහාර්යය? පින්වත් කේවඩ්ඪ, මෙහිලා භික්ෂුව, අනේක ප්‍රකාර වූ ඉර්ධි ප්රාතිහාර්යය දක්වනවා. ඒ කියන්නේ තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්නට සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසලන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා. මේ සා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමඳිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.
ඕකට ශ්රද්ධාවන්ත ඇතැම් කෙනෙක් පැහැදේවි තමයි. ‘ඒ භික්ෂුව අනේක ප්‍රකාර වූ ඉර්ධි ප්රාතිහාර්යය දක්වනවා නෙව. ඒ කියන්නේ තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා නෙව. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා නෙව. පෙනෙන්නට සළස්වනවා නෙව. නොපෙනී යනවා නෙව. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී අහසේ යන්නාක් මෙන් යනවා නෙව. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා නෙව. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා නෙව. අහසෙහි පියාසලන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා නෙව. මේ සා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා නෙව. පිරිමඳිනවා නෙව. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා නෙව.’
එතකොට ඒ ගැන පැහැදුණු ශ්රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධා රහිතව නොපැහැදුණු සිතින් සිටින තවත් කෙනෙකුට ඕක දැනුම් දෙනවා. ‘භවත්නි, ඒ ශ්රමණයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව ඇති බව ආශ්චර්යයි. භවත්නි, පුදුම සහගතයි. මේ ඒ භික්ෂුව අනේක ප්‍රකාර විදිහට ඉර්ධි ප්රාතිහාර්යය දක්වන හැටි මං දැක්කා නෙව. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා නෙව. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා නෙව ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා නෙව.’ එතකොට ශ්‍රද්ධා රහිත වූ නොපහන් වූ කෙනා අර ශ්රද්ධාවන්ත පහන් වූ කෙනාට මෙහෙම කියන්නට පුළුවනි. ‘භවත, ගන්ධාරී කියලත් විජ්ජාවක් තියෙනවා නෙව. ඒ භික්ෂුව අනේක ප්‍රකාර ඉර්ධි ප්රාතිහාර්ය දක්වන්නට ඇත්තේ ඒකෙන් තමයි. ඒ කියන්නේ තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා නෙව. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා නෙව ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා නෙව.’ පින්වත් කේවඩ්ඪ ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඒ ශ්‍රද්ධා රහිත වූ නොපහන් පුද්ගලයා අර සැදැහැවත් පැහැදුණු කෙනාට ඔය විදිහට කියාවි නේද?” “ස්වාමීනී, එහෙම කියාවි නම් තමයි.” “පින්වත් කේවඩ්ඪ, ඉර්ධි ප්රාතිහාර්යයේ තිබෙන ඔය දෝෂය දැකලා තමයි මං ඉර්ධි ප්රාතිහාර්යය ගැන අකමැති වෙන්නේ. ලැජ්ජා වෙන්නේ. පිළිකුල් කරන්නේ.
පින්වත් කේවඩ්ඪ, ආදේශනා ප්රාතිහාර්යය කියන්නේ මොකක්ද? පින්වත් කේවඩ්ඪ, මෙහිලා භික්ෂුව පිටස්තර උදවියගේ, පිටස්තර පුද්ගලයන්ගේ සිතද හෙළිදරව් කරනවා. සිතේ ස්වභාවයන්ද හෙළිදරව් කරනවා. විතර්ක කරන දේත් හෙළිදරව් කරනවා. හිත හැසිරෙන හැටිත් හෙළිදරව් කරනවා. ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා. එතකොට ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා පිටස්තර උදවියගේ, පිටස්තර පුද්ගලයන්ගේ සිතද හෙළිදරව් කරන, සිතේ ස්වභාවයන්ද හෙළිදරව් කරන, විතර්ක කරන දේත් හෙළිදරව් කරන, හිත හැසිරෙන හැටිත් හෙළිදරව් කරන ඒ භික්ෂුව සැදැහැවත් පහන් වූ ඇතැම් කෙනෙකුට දකින්නට ලැබෙනවා. එතකොට ඒ ගැන පැහැදුණු ශ්රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධා රහිතව නොපැහැදුණු සිතින් සිටින තවත් කෙනෙකුට ඕක දැනුම් දෙනවා. ‘භවත්නි, ඒ ශ්රමණයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව ඇති බව ආශ්චර්යයි. භවත්නි, පුදුම සහගතයි. මේ ඒ භික්ෂුව ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා පිටස්තර උදවියගේ, පිටස්තර පුද්ගලයන්ගේ සිතද හෙළිදරව් කරන හැටි, සිතේ ස්වභාවයන්ද හෙළිදරව් කරන හැටි, විතර්ක කරන දේත් හෙළිදරව් කරන හැටි, හිත හැසිරෙන හැටිත් හෙළිදරව් කරන හැටි මං දැක්කා නෙව.’ එතකොට ශ්‍රද්ධා රහිත වූ නොපහන් වූ කෙනා අර ශ්රද්ධාවන්ත පහන් වූ කෙනාට මෙහෙම කියන්නට පුළුවනි. ‘භවත, මණිකා කියලත් විජ්ජාවක් තියෙනවා නෙව. ඒ භික්ෂුව ‘ඔබේ මනස මේ විදිහයි. ඔබේ මනස මේ විදිහටත් තියෙනවා. ඔබේ සිත මේ විදිහයි’ කියලා පිටස්තර උදවියගේ, පිටස්තර පුද්ගලයන්ගේ සිතද හෙළිදරව් කරන්නේ, සිතේ ස්වභාවයන්ද හෙළිදරව් කරන්නේ, විතර්ක කරන දේත් හෙළිදරව් කරන්නේ, හිත හැසිරෙන හැටිත් හෙළිදරව් කරන්නේ ඔය විජ්ජාවෙන් තමයි’ කියලා. පින්වත් කේවඩ්ඪ, ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඒ ශ්‍රද්ධා රහිත වූ නොපහන් පුද්ගලයා අර සැදැහැවත් පැහැදුණු කෙනාට ඔය විදිහට කියාවි නේද?” “ස්වාමීනී, එහෙම කියාවි නම් තමයි.” “පින්වත් කේවඩ්ඪ, ආදේශනා ප්රාතිහාර්යයේ තිබෙන ඔය දෝෂය දැකලා තමයි මං ආදේශනා ප්රාතිහාර්යය ගැන අකමැති වෙන්නේ. ලැජ්ජා වෙන්නේ. පිළිකුල් කරන්නේ.
පින්වත් කේවඩ්ඪ, අනුශාසනා ප්රාතිහාර්යය කියන්නේ මොකක්ද? පින්වත් කේවඩ්ඪ, මෙහිලා භික්ෂුව මේ විදිහට අනුශාසනා කරනවා. ‘මේ අයුරින් කල්පනා කරන්න. මේ අයුරින් කල්පනා කරන්න එපා. මේ විදිහට මෙනෙහි කරන්න. මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේ දේ අත්හරින්න. මේ දේ උපදවාගෙන වාසය කරන්න’ කියලා. පින්වත් කේවඩ්ඪ, මේකට තමයි අනුශාසනා ප්රාතිහාර්යය කියලා කියන්නේ.
පින්වත් කේවඩ්ඪ, තවදුරටත් කියනවා නම්, මෙහි අරහත් වූ, සම්මාසම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථි වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබනවා. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියාදෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා.
එතකොට ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා කවර හෝ කුලයක උපන් කෙනෙක් වේවා ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය අසලා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. ‘ගිහි ගෙදර වාසය කිරීම හරිම කරදරයක්. කෙලෙස් වැඩෙන මාවතක්. නමුත් පැවිදි ජීවිතය ආකාසය වගේ. ගිහි ගෙදර වාසය කරමින් මුළුමණින්ම පිරිපුන්, මුළුමණින්ම පිරිසිදු, සුදෝසුදු බඹසර වසනවා යන කරුණ ලෙහෙසි එකක් නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට ඇතුලත් වෙන එක තමයි හොඳ’ කියලා. ඔහු පස්සේ කාලෙක ස්වල්ප වූ භෝග සම්පත් අත්හරිනවා. මහත් වූ භෝග සම්පත් අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑයන් අත්හරිනවා. මහත් වූ නෑදෑයන් අත්හරිනවා. කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා. යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වෙනවා. අණුමාත්‍ර වූ වරදෙහි පවා භය දකිනවා. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. කුසල් සහගත කායකර්මයෙන් හා වචීකර්මයෙන් යුතු වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්නවා. නුවණින් සළකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුතුව ඉන්නවා. ලද දෙයින් සතුටුව ඉන්නවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව සීලයෙන් යුක්ත වන්නේ කොහොමද? පින්වත් කේවඩ්ඪ, මෙහි භික්ෂුව සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬු මුගුරු අත්හැර දාලා, අවි ආයුධ බැහැර කරලා, පවට ලැජ්ජා ඇතිව ඉන්නවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. නුදුන් දේ ගැනීම අත්හැරලා නුදුන් දේ ගැනීමෙන් වැළකී ඉන්නවා. දුන් දේ පමණක් පිළිගන්නවා. දුන් දේ පමණක් පිළිගනු කැමති වෙනවා. සොර රහිත සිතින් යුතු වූ පිරිසිදු සිතින් යුතු වූ ජීවිතයකින් වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. අබ්රහ්මචාරී බව අත්හැරලා බ්රහ්මචාරීව ඉන්නවා. ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින්ම දුරුකර දමනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. සත්‍යය කතා කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපනවා. ස්ථිරව පිහිටලා කතාකරනවා. පිළිගත හැකි දේ කතා කරනවා. ලෝකයාව රවටන්නේ නෑ. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. කේලාම් කීම අත්හැරලා කේලාම් කීමෙන් වැළකී ඉන්නවා. මෙතැනින් අහලා මේ අය බිඳවන්නට අතන කියන්නේ නෑ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්නට මෙතැන කියන්නේ නෑ. මේ අයුරින් බිඳුණු උදවිය සමගි කරවනවා. සමගි වූවන්ට අනුබල දෙනවා. සමගි වූවන් හා වාසයට කැමතියි. සමගි වූවන් හා එක්ව වසනවා. සමගි වූවන් සමඟ සතුටු වෙනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පරුෂ වචනය අත්හැරලා, පරුෂ වචනයෙන් වැළකී ඉන්නවා. යම් වචනයක් දොස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයාංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම් එබඳු වූ වචන පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි. තේරුමක් නැති කතා බහ අත්හැරලා, තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටිනවා. කල් යල් බලා කතා කරනවා. ඇත්ත කතා කරනවා. අර්ථවත් දෙය කතා කරනවා. ධර්මයම කතා කරනවා. විනයම කතා කරනවා. සිත්හිලා දරාගැනීමට සුදුසු, වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නොතබා, ප්‍රමාණවත් පරිදි, දෙලොව යහපත පිණිස වූ දේ පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පැළවෙන බීජ හා පැළවුන ගස් කොළන් විනාශ කිරීමෙන් වැළකී ඉන්නවා. එක් වරුවේ බොජුන් වළඳනවා. රාත්‍රී ආහාරයෙන් වැළකී විකාල භෝජනයෙන් වැළකී ඉන්නවා. නැටුම්, ගැයුම්, වැයුම් හා විසූක දර්ශනයන් නැරඹීමෙන් වැළකී ඉන්නවා. මල් සුවඳ විලවුන් දැරීමෙන්ද, ඇඟපත සැරසීමෙන්ද, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන්ද වැළකී ඉන්නවා. ප්‍රමාණය ඉක්ම වූ උස් ආසනද, වටිනා සුඛෝපභෝගී ආසනද පරිහරණයෙන් වැළකී ඉන්නවා. රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු මස් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. එළු බැටළුවන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කුකුළන්, ඌරන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කෙත් වතු පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ගිහි කටයුතු සඳහා දූත මෙහෙවර කිරීමෙන් වැළකී ඉන්නවා. වෙළ හෙළඳාම් කිරීමෙන් වැළකී ඉන්නවා. තරාදියෙන් රැවටීම, නොවටිනා දෙයින් රැවටීම, මිනුමෙන් රැවටීම යන මෙයින් වැළකී ඉන්නවා. අල්ලස් ගෙන හිමිකරුවන්ගේ දේ අහිමි කිරීම, වංචා කිරීම, බාල දේ වටිනා දේ හැටියට පෙන්වීම ආදී නොයෙක් වංචනික දෙයින් වැළකී ඉන්නවා. අත්පා කැපීම්, මැරීම්, බන්ධන කිරීම්, මං පැහැරගැනීම්, ගම් පැහැර ගැනීම් ආදී සැහැසි දෙයින් වැළකී සිටිනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ විදිහේ පැළවෙන දේ හා ගස් කොළන් ආදිය වනසමින් ඉන්නවා. ඒ කියන්නේ; මුලින් පැළවෙන දේවල්, කඳින් පැළවෙන දේවල්, පුරුකින් පැළවෙන දේවල්, දල්ලෙන් පැළවෙන දේවල්, පස්වෙනුවට බිජුවටින් පැළවෙන දේවල් යන ආදිය වනසමින් ඉන්නවා. ගස් කොළන් සිඳලීම් ආදී මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලිනුත් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ දේ රැස්කරගෙන පරිභෝග කරමින් වාසය කරනවා. ඒ කියන්නේ; කෑම වර්ග රැස්කරලා තියාගන්නවා. බීම වර්ග රැස්කරලා තියාගන්නවා. වස්ත්‍ර රැස්කරලා තියාගන්නවා. යාන වාහන රැස්කරලා තියාගන්නවා. ඇඳ පුටු මේස රැස්කරලා තියාගන්නවා. සුවඳ වර්ග රැස්කරලා තියාගන්නවා. තවත් ආමිස රැස්කරලා තියාගන්නවා. මෙවැනි හෝ මෙවැනි වෙනත් දේවල් හෝ රැස්කරගෙන පරිහරණය කිරීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයේ විසූක දර්ශනයන් නැරඹීමෙහි යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, වැයුම්, නාටක, පැරණි කතා රඟදැක්වීම්, අත්තාල ගසා නැටීම්, වේතාල නැටීම්, බෙර වාදන කිරීම්, රඟමඬළෙහි දේවතාවන්ට පූජා පිණිස නැටීම්, උණ ගසින් කරන ක්‍රීඩා, මිනී ඇට මැද තබා වටකොට නැටීම්, ඇත් යුද බැලීම්, අශ්ව යුද බැලීම්, ගොන් පොර බැලීම්, එළු පොර බැලීම්, බැටළු පොර බැලීම්, කුකුළු පොර බැලීම්, වටු පොර බැලීම්, පොලු හරඹ බැලීම්, මිටි හරඹ බැලීම්, මල්ලව පොර බැලීම්, යුද සේනා බලන්නට යෑම, බලසෙන් ගණින තැන් බලන්නට යාම, බලසෙනඟ විසිරුවන තැන් බලන්නට යාම ආදී දේවල්වල යෙදෙමින් ඉන්නවා. මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලින් යුතු විසූක දර්ශන නැරඹීම්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා තමාව ප්‍රමාදයට පත් කරවන මේ ආකාර වූ සූදු කෙළියෙන් කල් යවනවා. ඒ කියන්නේ; හතරැස් කොටු අටකින් යුතුව කරන සූදුව, කොටු දහයකින් කරන සූදුව, අහසේ රූ අඳිමින් කරන සූදුව, කොටු පැනීමෙන් කරන සූදුව, සන්තික නම් වූ සූදුව, දාදු කැටයෙන් කරන සූදුව, කල්ලි ගැසුම, බූරුවා ගැසීම, ගුළ කෙළිය, නළා පිඹීම, කරණම් ගැසීම, මුගුරක් ගෙන උඩ යට වැටෙන පරිදි උඩට ගැසීම, කොළවලින් කළ ගොටුවලින් තරඟෙට වැලි මැනීම, කුඩා රිය තරඟ, කුඩා දුනුවලින් විදීමේ තරඟ, අකුරු ලිවීමේ සෙල්ලම, සිතූ දේ කියන සෙල්ලම, විකලාංග අනුකරණයෙන් හිනැස්සීමේ සෙල්ලම ආදී දේ කිරීමයි. මේ දෙයිනුත්, මෙවැනි තවත් දේවල් ඇත්නම් එයිනුත් වැළකී ප්‍රමාදයට පත්වන සූදුවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ පමණ ඉක්මවා උස් වූ ආසනත්, වටිනා සුඛෝපභෝගී ආසනත් පරිහරණය කරනවා. ඒ කියන්නේ; දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමණින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිලි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සැදූ වටිනා යහන් ආදිය පරිහරණය කරයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී උස් අසුන් මහා අසුන් පරිහරණයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. ඒ කියන්නේ; සුවඳ වර්ග ඇඟ තවරා සිරුර සිනිඳු කිරීම, තෙල් වර්ග ගා සම්බාහනය කොට සිරුර හැඩ කිරීම, සුවඳපැන් නෑම, උරහිස් ආදියෙහි මස් වැඩීමට මුගුරෙන් තැලීම, කැඩපතින් මුහුණ බලා සැරසීම, ඇස්වල අඳුන් ගෑම, මල් හා සුවඳ විලවුන් දැරීම, මුව සුවඳ කිරීම, මුව විලවුන් දැරීම, අත්වල ආභරණ දැමීම, හිසෙහි කුඩුම්බි දැරීම. විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නල දැරීම, විසිතුරු කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල් පට දැරීම, මැණික් පැළඳීම, චාමර දැරීම, දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදියෙන් යුතුවෙයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී ඇඟපත සැරසීම් හා විසිතුරු වස්ත්රාභරණ සැරසීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරිසන් කතාවල යෙදී වාසය කරනවා. ඒ කියන්නේ; රජවරුන් ගැන කථා, සොරුන් ගැන කථා, මහ ඇමතිවරුන් ගැන කථා, හමුදාවන් ගැන කථා, භය ඇතිවෙන දේවල් ගැන කථා, ආහාර වර්ග ගැන කථා, බොන දේවල් ගැන කථා, ඇඳුම් පැළඳුම් ගැන කථා, ඇඳ පුටු ගැන කථා, මල් වර්ග ගැන කථා, සුවඳ වර්ග ගැන කථා, නෑදෑයන් ගැන කථා, යාන වාහන ගැන කථා, ගම්මාන ගැන කථා, නියම් ගම්මාන ගැන කථා, නගර ගැන කථා, රටවල් ගැන කථා, ස්ත්‍රීන් ගැන කථා, පුරුෂයින් ගැන කථා, කුමාරයින් ගැන කථා, කුමාරියන් ගැන කථා, ශූරයින් ගැන කථා, මංමාවත් ගැන කථා, වළං පොලේ දේවල් ගැන කථා, මියගිය උදවිය ගැන කථා, තව තව දේවල් ගැන කථා, ලෝකය ගැන කථා, සාගරය ගැන කථා, මෙහෙමයි වුණේ මෙහෙමයි නොවුණේ කියන දේ ගැන කතා කරකර ඉන්නවා, මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරිසන් කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් එකිනෙකා අතර බැණ දොඩා ගන්නා කතාවෙන් යුතුවයි ඉන්නේ. ඒ කියන්නේ; ‘නුඹ මේ ධර්ම විනය දන්නේ නෑ. මම තමයි මේ ධර්ම විනය දන්නේ, ආ … එහෙමද එතකොට නුඹද මේ ධර්ම විනය දන්නේ? නුඹ ඉන්නේ මිථ්‍යා වැඩපිළිවෙලකයි. මම තමයි නියම වැඩ පිළිවෙල තුළ ඉන්නේ. මං කරුණු සහිතවයි කියන්නේ. නුඹේ කීම කරුණු රහිතයි. නුඹ කලින් කිවයුතු දේ පස්සේ කිව්වා. පස්සේ කිවයුතු දේ කලින් කිව්වා. නුඹ කලක් තිස්සේ කියපු දේ කණපිට පෙරළුනා. මා විසින් නුඹට වාද නංවලයි තියෙන්නේ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නේ. වාදයෙන් නිදහස් වීමට මගක් හොයාගෙන පලයන්. පුළුවන් නම් ලිහා ගනින්’ යනාදිය කියමින් ආරවුල් හදාගන්නවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ බැණ දොඩාගන්නා කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යන මෙබඳු වූ දූත මෙහෙවරෙහි යෙදෙනවා. ඒ කියන්නේ; ‘මෙහෙ යන්න, අසවල් තැනට එන්න, මේක (අපේ මේ පණිවිඩය) අරන් යන්න. අසවල් තැනට මේක අරන් යන්න’ යනාදී රජුන්ගේ, රාජමහා ඇමැතිවරුන්ගේ, ක්ෂත්රීයයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, කුමාරවරුන්ගේ, පණිවිඩ පණත් ගෙනියනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ පණිවිඩ පණත් ගෙනයන ගිහියන්ගේ දූත මෙහෙවරෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා කුහක (උඩින් වෙන ජීවිතයක් පෙන්වමින් යටින් වෙනත් ජීවිතයක් ගෙවමින් නැති ගුණ පෙන්වා) ජීවිත ගෙවනවා. ලාභ සත්කාර ලැබෙන විදිහට (පුහු වර්ණනා කිරීම්, තොඳොල් කිරීම්, නැති ගුණ කීම් ආදී) චාටු බස් කියනවා. දායකයින් හට නොදී බැරි තත්වයට පත්වෙන ආකාරයේ නිමිති දක්වමින් කතා කරනවා. තමන්ට ලැබෙන විදිහට අනුන්ට ගරහනවා. ලාභයෙන් ලාභය හොයනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ කුහක කමින් චාටුබස්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත්වෙනවා. ඒ කියන්නේ; ශාරීරික අංග බලා ඵලාඵල කියනවා, නිමිති බලා ඵලාඵල කියනවා, උත්පාත බලා ඵලාඵල කියනවා, සිහින ඵලාඵල කියනවා, ශාරීරික ලක්ෂණ බලා ඵලාඵල කියනවා, මීයන් කෑ වස්ත්‍ර බලා ඵලාඵල කියනවා, ගිනි පූජා පවත්වනවා, හැන්දෙන් පූජා පවත්වනවා, ධාන්‍ය පොතුවලින් පූජා පවත්වනවා. කණ නම් සහලින් කළ පූජා පවත්වනවා, සහලින් පූජා පවත්වනවා, ගිතෙලින් පූජා පවත්වනවා, තල තෙලින් පූජා පවත්වනවා, විශේෂ කොට කරන පූජා පවත්වනවා, සතුන් මරා ලේ පුදා කරන පූජා පවත්වනවා, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනාව උරගා බැලීමේ (ලොතරැයි) විද්‍යාව, භූත විද්‍යාව, පොළොව යට බිම් ගෙයක ඉඳ මැතිරීමෙන් කරන (භූරි) විද්‍යාව, සර්ප විද්‍යාව, විෂ විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූෂික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කොට අනාවැකි කියන විද්‍යාව, මතුරන ලද ඊතල විද ආරක්ෂා කරන විද්‍යාව, මෘග පක්ෂ යනාදී මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ; මැණික්වල සුභ අසුභ ලකුණු කීම, දඬුවල සුභ අසුභ ලකුණු කීම, වස්ත්‍රවල සුභ අසුභ ලකුණු කීම, කඩු ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ඊතල ආදී සලකුණුවලින් සුභාසුභ කීම, දුනු ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ආයුධ ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ස්ත්රීන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, පුරුෂයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දරුවන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දැරියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, ඒ ඒ කටයුතු සඳහා තෝරා ගත යුතු ඇතුන්ගේ ලකුණු කීම, අසුන්ගේ ලකුණු කීම, ඔටුවන්ගේ ලකුණු කීම, වෘෂභයන්ගේ ලකුණු කීම, ගවයන්ගේ ලකුණු කීම, එළුවන්ගේ ලකුණු කීම, බැටළුවන්ගේ ලකුණු කීම, කුකුළු පොර ආදියට සුදුසු කුකුළන්ගේ ලකුණු කීම, වටුවන්ගේ ලකුණු කීම, සුහුනන් ඇඟ වැටීමේ සහ හඬනැගීමේ ඵලාඵල කීම, කණෙහි පළඳාගත් උපකරණවලින් ඵලාඵල කීම, කැස්බෑවන්ට මතුරා ඵලාඵල කීම, මුවන්ට මතුරා ඵලාඵල කීම ආදී තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ‘අසවල් නැකතට රජතුමාගේ යුද පිණිස නික්මීම වන්නේය. අසවල් නැකතින් ආපසු නුවරට ඇතුළ්වීම සිදු කළ යුත්තේය. අසවල් නැකතින් රට ඇතුළේ සිට පිටත සතුරු රජුන් හමුවීමට රජුගේ ගමන කළ යුත්තේය. අසවල් නැකතින් පිටත සිටින රජවරු රට ඇතුළට පැමිණීම වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුගේ ඉවත්වීම සිදුවන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුට ජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුනට පරාජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුන්ට ජය වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ රජුට පරාජය වන්නේය’ කියලා මොහුට ජය වෙනවා, මොහුට පරාජය වෙනවා ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ‘අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සූර්යග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින නැකත් ග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නිසිමගින් යෑම සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නිසි මගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අසවල් දින අසවල් දිශාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. අසවල් දින භූමිකම්පාවක් සිදුවෙනවා. අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදුවෙනවා. චන්ද්‍ර ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. සූර්ය ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නිසි ගමන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නොමග යෑම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. දිශා දාහය මෙවැනි ඵල විපාක ලබාදෙනවා. භූකම්පන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. වැසි නැතිව අහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා’ කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ‘මේ කාලයේදී වැස්ස වහිනවා. මේ කාලයේදී නියඟය ඇතිවෙනවා. මේ කාලයේදී ආහාරපානාදියෙන් සරුවෙනවා. මේ කාලයේදී දුර්භික්ෂය ඇතිවෙනවා. මේ කාලයේදී රට සරුවෙනවා. මේ කාලයේදී බිය සැක නැතිව ඉන්නවා. මේ කාලයේදී භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇතිවෙනවා. මේ කාලයේදී නීරෝග බව ඇතිවෙනවා’ කියමින් ඵලා ඵල පැවසීමත් මුද්‍රා, ගණිත, සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් සැදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සැදීම, දීපු ණය එකතු කිරීමට නැකත් සැදීම, මුදල් ණයට පොලියට දීමට නැකත් සැදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළුවී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම, ගෑණු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ; ශාන්ති කර්ම, බාර ඔප්පු කිරීම, පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙකු කිරීම, පිරිමියා නපුංසකයෙකු කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වා දීම, අලුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පැවැත්වීම, වතුර මතුරා මූණ සේදවීම, වතුර මතුරා නැහැවීම, ගිනිපිදීම, ලය විරේක කරවීම, බඩ විරේක කරවීම, වමනය කරවීම, වස්ති කරවීම, ශීර්ෂ විරේකය, කනට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස්වලට අඳුන් සෑදීම, ප්‍රතිඅංජන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ළදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වනවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පින්වත් කේවඩ්ඪ, ඒ භික්ෂුව වනාහී මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. ඔටුනු පළන් රජ කෙනෙක් ඉන්නවා. ඔහු සතුරන් පරදවලා බැහැර කරලයි ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් මොනම අයුරකින්වත් භයක් දකින්නේ නෑ. පින්වත් කේවඩ්ඪ, භික්ෂුවත් ඔය විදිහමයි. මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා. පින්වත් කේවඩ්ඪ, ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීලසම්පන්න වන්නේ.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව අකුසලයන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් කේවඩ්ඪ, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නමැති ඉන්ද්රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැකගන්නවා. ඇස නැමැති ඉන්ද්රියයේ සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් මනස නමැති ඉන්ද්රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. මනස රැකගන්නවා. මනස නැමැති ඉන්ද්රියයේ සංවරයට පැමිණෙනවා. ඔහු මේ ආර්ය වූ ඉන්ද්රිය සංවරයෙන් යුක්තව ආධ්‍යාත්මිකව පීඩා රහිතව සැපයක් විඳිනවා. පින්වත් කේවඩ්ඪ, භික්ෂුව අකුසලයෙන් වැළැක් වූ දොරටු ඇති ඉන්ද්රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? පින්වත් කේවඩ්ඪ, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත් එය කරන්නේ සිහි නුවණින්මයි. ඉදිරිය බලද්දී, වටපිට බලද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. අතපය හකුළද්දී, දිගහරිද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. දෙපට සිවුර, පාත්‍රය, අනෙක් සිවුරු ආදිය දරද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. වළඳද්දී, පානය කරද්දී, අනුභව කරද්දී, රස විඳිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. වැසිකිළි කැසිකිළි යාමේදී එය කරන්නෙත් සිහි නුවණින්මයි. ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩි වී සිටිද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. පින්වත් කේවඩ්ඪ, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? පින්වත් කේවඩ්ඪ, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. ඒක මේ වගේ දෙයක්. කුරුල්ලෙක් යම් ම තැනකට පියඹා යනවා නම්, පියාපත් බර පමණක් සහිතව පියඹනවා වගෙයි. පින්වත් කේවඩ්ඪ, ඔය අයුරින්ම භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.
ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා, මේ ආර්ය වූ ලද දෙයින් සතුටුවීමෙන් යුක්ත වෙලා හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ අරණ්‍යය, රුක්සෙවණ, පර්වතය, දිය ඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, ගස් කොළන් රහිත හිස් පිටිය, පිදුරු ගෙය ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසු (එවැනි තැනක) පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙනවා.
ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විෂම ලෝභය දුරු කොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා. විෂම ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. තරහ, වෛර ආදිය අත්හැර තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ, වෛර ආදිය කෙරෙන් සිත පිරිසිදු කරනවා. නිදිමත, අලසකම අත්හැර නිදිමත, අලසකමින් බැහැරව ආලෝක සඤ්ඤාවෙන් යුතුව, සිහිනුවණ ඇතිව වාසය කරනවා. නිදිමත, අලසකම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත්, පසුතැවීමත් බැහැර කොට නොකැළඹී ගිය සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීම හා පසුතැවීම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සැකය දුරු කොට කුසල් දහම් ගැන ‘කෙසේද? කෙසේද?’ යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.
පින්වත් කේවඩ්ඪ, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ මුල් ණයක් ඇද්ද, එය සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. එයින් පසු ඔහුට අඹුදරුවන් පෝෂණය පිණිස ලාභයක් ඉතිරිත් වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං කලින් ණයක් අරගෙනයි ව්‍යාපාරයක යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුනා. ඒ මං යම් පරණ මුල් ණයක් ඇද්ද එය සම්පූර්ණයෙන්ම ගෙව්වා. අඹුදරුවන් පෝෂණයටත් මට ආදායම ඉතිරි වුනා’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව ඉන්නවා. ඔහුට බත් කෑමටවත් පිරියක් නෑ. ඔහුගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් නෑ. නමුත් පස්සේ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් බත් කෑමත් ප්‍රියයි. ඔහුගේ ඇඟපතත් ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං ඉස්සර රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව හිටියේ. මට බත් කෑමටවත් පිරියක් තිබුනේ නෑ. මගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් තිබුනේ නෑ. නමුත් දැන් මං ඒ රෝගයෙන් මිදුනා. මට දැන් බත් කෑමත් ප්‍රියයි. මගේ ඇඟපතත් ප්‍රාණවත්’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සේ කාලෙක තමන්ගේ ධනය වියදම් නොකොට සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත්වලින් කිසි වියදමක් යන්නේ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං ඉස්සර හිරගෙදරක බන්ධනයකට අහු වුනා. නමුත් ඒ මං දැන් ධන වියදමකින් තොරව සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වුනා. මගේ භෝග සම්පත්වලින් කිසිදෙයක් වියදම් වුනේ නෑ’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි, දාසයෙක් වෙලා හිටියා. ඔහු පස්සේ කාලෙක ඒ දාසබවෙන් නිදහස් වුණා. තමාට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, තමන් කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා. ‘මං ඉස්සර තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි දාසයෙක් වෙලා හිටියා. ඒ මං දැන් ඒ දාසබවෙන් නිදහස් වෙලයි ඉන්නේ. මට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, මං කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කාලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා ‘මං කලින් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුනා. නමුත් දැන් මා ඒ කාන්තාරයෙන් එතෙර වුනා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණුනා’ කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි. භික්ෂුවත් (කලින්) ණයක් ගත්තා වගේ, ලෙඩ වුණා වගේ, හිරේවිලංගුවේ වැටුනා වගේ, වහල්බවට පත්වුනා වගේ, නිරුදක කතරකට පැමිණුනා වගේ මේ පංච නීවරණයන් ප්රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා. නමුත් පින්වත් කේවඩ්ඪ, ඒ ණය ගෙවා දමා ණය රහිත වුනා වගේ, රෝගයෙන් නිදහස් වෙලා නීරෝග වුනා වගේ, වියදම් නැතුව හිරෙන් නිදහස් වුනා වගේ, දාසබවෙන් නිදහස් වුනා වගේ, නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා වගේ තමයි. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරුවී ඇති ආකාරයත් දකින්නේ.
ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දි මහත් සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා.
ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නාන සුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නාන සුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැනම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ. පින්වත් කේවඩ්ඪ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති යම් පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.
පින්වත් කේවඩ්ඪ, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. දකුණු පැත්තෙන් වතුර එන මගක් නෑ. බටහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. උතුරු පැත්තෙන් වතුර එන මගක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන්ම සීතල දියදහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විලම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නෑ. පින්වත් කේවඩ්ඪ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
48. පුන ච පරං කේවඩ්ඪ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති.
49. සෙය්යථාපි කේවඩ්ඪ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝනිමුග්ගපෝසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතේන වාරිනා අභිස්සන්නානි පරිස්සන්නානි පරිපූරානි පරිප්ඵුටානි, නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතේන වාරිනා අප්ඵුටං අස්ස, ඒවමේව ඛෝ කේවඩ්ඪ භික්ඛු ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති. යම්පි කේවඩ්ඪ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ සම්පජානෝ සුඛඤ්ච කායේන පටිසංවේදේති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී’ති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සෝ ඉමමේව කායං නිප්පීතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතෝ කායස්ස නිප්පීතිකේන සුඛේන අප්ඵුටං හෝති. ඉදම්පි’ස්ස හෝති සමාධිස්මිං.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන්, උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, යම් ඒ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.
පින්වත් කේවඩ්ඪ, නැවතත් කියනවා නම්, භික්ෂුව සැපයද ප්රහාණය කිරීමෙන්, දුකද ප්රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරොවාගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ වගේමයි භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව සැපයද ප්රහාණය කිරීමෙන්, දුකද ප්රහාණය කිරීමෙන්, කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති යම් සතරවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා නම්, ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් පතුරුවාගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාෂ්වර සිතින් ස්පර්ශ නොකළ කිසි තැනක් නැහැ. මෙය අයිති වන්නේත් ඔහුගේ සමාධියටමයි.
පින්වත් කේවඩ්ඪ, තවදුරටත් කියනවා නම්, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. ‘මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුන, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි.’
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට ගෙන හොඳින් විමසා බලනවා. ‘මේ වෛරෝඩි මැණික හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. මේ මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා’ කියලා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. ‘මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණ, අනිත්‍ය වූ, ඇතිල්ලීම්, පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි’ කියලා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මේ විදිහට දැනගන්නවා ….(පෙ)…. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නෙත් මෙහිමයි’ කියලා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මුඤ්ජ තණ ගසෙන් තණ ගොබය ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේ මුඤ්ජ තණ ගසයි, මේ තණ ගොබයයි. එතකොට මුඤ්ජ තණ ගස වෙන එකක්. තණ ගොබය වෙන එකක්. නමුත් මුඤ්ජ තණ ගසෙන්මයි තණ ගොබය ඇදලා ගත්තේ’ කියලා. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් කොපුවෙන් කඩුවක් ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේ කඩුව. මේ කොපුව. එතකොට කඩුව අනෙකක්, කොපුව අනෙකක්. නමුත් කොපුවෙන් තමයි කඩුව ඇදලා ගත්තේ’ කියලා. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයෙකුව ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේ තමයි නයා. මේක නයි පෙට්ටිය. එතකොට නයා අනෙකෙක්. නයි පෙට්ටිය අනෙකක්. නමුත් නයි පෙට්ටියෙන් තමයි නයාව ඇදලා ගත්තේ’ කියලා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඉර්ධි ප්රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්න සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී, අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳා බැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා. මේසා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමදිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ම ආකාරයේ භාජනයක් හදන්න කැමැති නම්, ඒ ඒ ආකාරයේ බඳුන් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ඇත්දත් කැටයම්කරුවෙක් හෝ ඇත්දත් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ ඇත්දතක යම් ම ආකාරයේ ඇත්දළ කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ ඇත්දළ කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන් කැටයම්කරුවෙක් හෝ රන් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රනක යම් ම ආකාරයේ රන් කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ රන් කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ඉර්ධි ප්රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බෙර හඬත්, මිහිඟු බෙර හඬත්, සක්, පනා බෙර, ගැට බෙර හඬත් අසනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේක බෙර හඬක්, මේ තමයි මිහිඟු බෙර හඬ, මේක සක් හඬ, මේක පනා බෙර හඬ, මේක ගැට බෙර හඬ’ කියලා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. එතකොට ඔහු මිනිසුන්ගේ සවන්දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ, වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා. රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකුළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත විසිරුණු සිතක් වශයෙන් දැනගන්නවා. සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් දැනගන්නවා. සමාධි රහිත සිත සමාධි රහිත සිතක් වශයෙන් දැනගන්නවා. නොදියුණු සිත නොදියුණු සිතක් වශයෙන් දැනගන්නවා. දියුණු සිත දියුණු සිතක් වශයෙන් දැනගන්නවා. එකඟ වෙන සිත එකඟ වෙන සිතක් වශයෙන් දැනගන්නවා. එකඟ නොවෙන සිත එකඟ නොවෙන සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්නට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දරුවෙක් හෝ තරුණයෙක් හෝ ඉන්නවා. ඔහු පිරිසිදු දීප්තිමත් කණ්ණාඩියක් ඉදිරියේ හෝ පැහැදිලි දිය ඇති බඳුනකින් හෝ තමන්ගේ මුව මඬල හොඳින් විමසා බලනවා. එතකොට දොස් ඇති තැන දොස් ඇති තැන වශයෙන් දැනගන්නවා. දොස් නැති තැන දොස් නැති තැන වශයෙන් දැනගන්නවා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා. රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකුළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. සමාධිමත් සිත ….(පෙ)…. සමාධි රහිත සිත ….(පෙ)…. නොදියුණු සිත ….(පෙ)…. දියුණු සිත ….(පෙ)…. එකඟ වෙන සිත ….(පෙ)…. එකඟ නොවෙන සිත ….(පෙ)…. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. ‘මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා’ ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමන්ගේ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමෙන් යළි තමන්ගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මං මගේ ගමෙන් අසවල් ගමට ගියා. මං එහෙදී මෙහෙමයි හිටියේ. මෙහෙමයි වාඩි වුනේ. මෙහෙමයි කතාබහ කළේ. මෙහෙමයි නිශ්ශබ්දව සිටියේ. ඉතින් මං ඒ ගමෙනුත් අසවල් ගමට ගියා. එහෙ හිටියේ මේ විදිහටයි. වාඩිවුනේ මේ විදිහටයි. කතාබස් කළේ මේ විදිහටයි. නිහඬව සිටියේ මේ විදිහටයි. ඒ මං ඒ ගමෙන් මගේ ගමටම නැවත ආවා’ කියලා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. ‘මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුණේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා’ ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහිකරනවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. අනේක ප්‍රකාර වූ කලින් ජීවිත ගැන සිහි කරනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. ‘අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. හතරමං හන්දියක තට්ටු නිවසක් තියෙනවා. එහි ඇස් ඇති පුරුෂයෙක් සිටගෙන බලාගෙන ඉන්නවා. ඔහු (පහළ) ගෙට ඇතුළු වන්නා වූත්, නික්මෙන්නා වූත්, වීදියේ එහාට මෙහාට ඇවිදින්නා වූත්, හතරමං හන්දිය මැද වාඩි වී සිටින්නා වූත් මිනිසුන් දකිනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා ‘මේ මිනිසුන් ගෙට ඇතුළු වෙනවා. මේ උදවිය ගෙයින් නික්මෙනවා. මේ උදවිය වීදියේ එහාට මෙහාට ඇවිදිනවා. මේ උදවිය හතරමං හන්දිය මැද වාඩිවෙලා ඉන්නවා’ කියලා. පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. ‘අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගති නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා’ කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණ බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
පින්වත් කේවඩ්ඪ, ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නෑ. එතැන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඉවුරේ සිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබලිත්, මාළු රංචු ආදියත් හැසිරෙන අයුරු, සිටින අයුරු දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පිබෙල්ලන්, සක්බෙල්ලන්, කැටකැබලිති, මාළු රංචුත් හැසිරෙනවා නෙව. ඉන්නවා නෙව’ කියලා.
පින්වත් කේවඩ්ඪ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුන බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
පින්වත් කේවඩ්ඪ, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට …(පෙ)…. කළ යුතු දෙය කළා. නැවත සසර ගමනක් නැතැ’යි අවබෝධයෙන්ම දැනගන්නවා. මෙය අයිති වන්නෙත් ඔහුගේ ප්‍රඥාවටමයි.
පින්වත් කේවඩ්ඪ, අනුශාසනා ප්රාතිහාර්යය කියලා කියන්නේ මේකටයි. පින්වත් කේවඩ්ඪ, මා ස්වකීය විශිෂ්ට වූ නුවණින්ම සාක්ෂාත් කරගෙනයි මේ ත්‍රිවිධ වූ ප්රාතිහාර්යයන් දේශනා කරලා තියෙන්නේ.
පින්වත් කේවඩ්ඪ, මේක කලින් වෙච්ච දෙයක්. මේ භික්ෂු සංඝයා අතරම ඉන්න එක්තරා භික්ෂුවකට මෙවැනි චිත්ත පරිවිතර්කයක් උපන්නා. ඒ කියන්නේ ‘මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියලා. ඉතින් පින්වත් කේවඩ්ඪ, ඒ භික්ෂුව සමාහිත සිතින් ඉර්ධියෙන් දෙව්ලොව යා හැකි මගක් පහළ වෙනවා නම්, එබඳු ආකාර වූ සමාධියක් ඇති කරගත්තා. පින්වත් කේවඩ්ඪ, ඒ භික්ෂුව චාතුම්මහාරාජික දෙවියන් කරා ගියා. ගිහින් චාතුම්මහාරාජික දෙවියන් හට ඔය කාරණය කිව්වා. “ඇවැත්නි, මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, චාතුම්මහාරාජික දෙවිවරු අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුණත් ‘මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ සතරවරම් දිව්‍ය රාජවරු ඉන්නවා. උන්නාන්සේලා නම් ‘මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව සතරවරම් දිව්‍ය රාජවරුන් ළඟට ගියා. ගිහින් සතරවරම් දිව්‍ය රාජවරුන්ට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා.
එසේ කී විට පින්වත් කේවඩ්ඪ, සතරවරම් දිව්‍ය රාජවරු අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුනත් ‘මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ තව්තිසා නම් දෙවිවරු ඉන්නවා. උන්නාන්සේලා නම් ‘මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව තව්තිසා නම් දෙවිවරුන් ළඟට ගියා. ගිහින් තව්තිසා නම් දෙවිවරුන්ට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, තව්තිසා නම් දෙවිවරු අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුණත් “මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ ශක්‍ර නම් දේවේන්ද්‍රයා ඉන්නවා. උන්නාන්සේ නම් මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට ගියා. ගිහින් ශක්‍ර දේවේන්ද්රයාට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, ශක්‍ර දේවේන්ද්‍රයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, මම වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ යාම නම් දෙවිවරු ඉන්නවා. උන්නාන්සේලා නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව යාම දෙවිවරුන් ළඟට ගියා. ගිහින් යාම දෙවිවරුන්ට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, යාම දෙවිවරුන් අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ සුයාම නම් දිව්‍ය පුත්‍රයා ඉන්නවා. උන්නාන්සේ නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව සුයාම දිව්‍ය පුත්‍රයා ළඟට ගියා. ගිහින් සුයාම දිව්‍ය පුත්‍රයාට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, සුයාම දිව්‍ය පුත්‍රයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, මම වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ තුසිත නම් වූ දෙවිවරු ඉන්නවා. උන්නාන්සේලා නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව තුසිත නම් වූ දෙවිවරුන් ළඟට ගියා. ගිහින් තුසිත නම් වූ දෙවිවරුන්ට මෙකරුණ කීවා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, තුසිත නම් වූ දෙවිවරුන් අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ සන්තුසිත නම් දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. උන්නාන්සේ නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව සන්තුසිත දිව්‍ය පුත්‍රයා ළඟට ගියා. ගිහින් සන්තුසිත දිව්‍ය පුත්‍රයාට මෙකරුණ කීවා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, සන්තුසිත දිව්‍ය පුත්‍රයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, මම වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ නිම්මාණරතී නම් දෙවිවරුන් ඉන්නවා. උන්නාන්සේලා නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව නිම්මාණරතී දෙවිවරුන් ළඟට ගියා. ගිහින් නිම්මාණරතී දෙවිවරුන්ට මෙකරුණ කීවා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, නිම්මාණරතී දෙවිවරුන් අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ සුනිම්මිත නම් දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. උන්නාන්සේ නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව සුනිම්මිත දිව්‍ය පුත්‍රයා ළඟට ගියා. ගිහින් සුනිම්මිත දිව්‍ය පුත්‍රයාට මෙකරුණ කීවා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, සුනිම්මිත දිව්‍ය පුත්‍රයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, මම වුනත් ‘මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ පරනිම්මිත වසවත්තී නම් දෙවිවරුන් ඉන්නවා. උන්නාන්සේලා නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව පරනිම්මිත වසවත්තී දෙවිවරුන් ළඟට ගියා. ගිහින් පරනිම්මිත වසවත්තී දෙවිවරුන්ට මෙකරුණ කිව්වා.
“ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, පරනිම්මිත වසවත්තී දෙවිවරුන් අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ වසවත්තී නම් දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. උන්නාන්සේ නම් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව වසවත්තී දිව්‍ය පුත්‍රයා ළඟට ගියා. ගිහින් වසවත්තී දිව්‍ය පුත්‍රයාට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, වසවත්තී දිව්‍ය පුත්‍රයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, මම වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ බ්‍රහ්මකායික නම් දෙවිවරුන් ඉන්නවා. උන්නාන්සේලා නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
එතකොට පින්වත් කේවඩ්ඪ, ඒ භික්ෂුව යම් ආකාර වූ සමාධියකින් බඹලොව යන මාර්ගය පහළ වෙනවාද, එබඳු වූ චිත්ත සමාධියකට පත්වුනා. පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව බ්‍රහ්මකායික දෙවිවරුන් ළඟට ගියා. ගිහින් බ්‍රහ්මකායික දෙවිවරුන්ට මෙකරුණ කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට පින්වත් කේවඩ්ඪ, බ්‍රහ්මකායික දෙවිවරුන් අර භික්ෂුවට මෙහෙම කිව්වා. “අනේ! පින්වත් භික්ෂුව, අපි වුනත් “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නේ නෑ. පින්වත් භික්ෂුව, අපට වඩා ඉතා රූප සෝභා ඇති, ප්‍රණීතතර වූ, බ්‍රහ්මයා ඉන්නවා. එයා තමයි මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. උන්නාන්සේ නම් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන ඔය කාරණය දන්නවා ඇති.”
“ආයුෂ්මතුනි, මේ දවස්වල ඒ මහාබ්‍රහ්මයා ඉන්නේ කොහේද?” “පින්වත් භික්ෂුව, අපි දන්නෙත් නෑ. ඒ බ්‍රහ්මයා කොතැනක ඉන්නවාද? කොහෙන් එනවාද? කොතැනක පහළ වෙනවාද? කියලා. නමුත් පින්වත් භික්ෂුව, යම් විටෙක නිමිති පහළ වෙලා. ආලෝකය ඇතිවෙනවාද, දීප්තිමත් බවක් පහළ වෙනවාද, එතකොට බ්‍රහ්මයා පහළ වෙනවා. බ්‍රහ්මයාගේ පහළ වීමට පෙර නිමිත්ත වශයෙන් තිබෙන්නේ ආලෝකය හටගැනීමයි. දීප්තිමත් බව පහළ වීමයි.” ඉතින් පින්වත් කේවඩ්ඪ, ඒ මහාබ්‍රහ්මයා වැඩි වෙලාවක් නොගිහින් පහළ වෙනවා. එතකොට පින්වත් කේවඩ්ඪ, අර භික්ෂුව මහා බ්‍රහ්මයා ළඟට ගියා. ගිහින් ඒ මහා බ්‍රහ්මයාට මෙහෙම කිව්වා. “ආයුෂ්මතුනි, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා. එසේ කී විට ඒ මහා බ්‍රහ්මයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “පින්වත් භික්ෂුව, මං තමයි බ්‍රහ්මයා. මහාබ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. මම තමයි කර්තෘ. නිර්මාතෘ. මම තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ” කියලා.
පින්වත් කේවඩ්ඪ, දෙවෙනි වතාවටත් අර භික්ෂුව ඒ මහා බ්‍රහ්මයාට මෙකරුණ කිව්වා “ආයුෂ්මතුනි, මං ඔබෙන් ඔය කාරණය ඇසුවේ නෑ නෙව. ඒ කියන්නේ ඔබ බ්‍රහ්මයාද? මහාබ්රහ්මයාද? ලොව මැඬලන කෙනාද? වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනාද? සියල්ල දක්නා කෙනාද? ලොව වසඟයෙහි පවත්වන කෙනාද? ඔබ කර්තෘද? නිර්මාතෘද? ඔබ ශ්‍රේෂ්ඨ කෙනාද? ලොව සකස් කරන කෙනාද? පුරුදු කළ වශී ඇති කෙනාද? ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේද? කියලා. නමුත් ආයුෂ්මතුනි, මං ඔබෙන් අහන්නේ මෙයයි. ‘මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියලා.” එතකොට පින්වත් කේවඩ්ඪ, දෙවෙනි වතාවේදීත් ඒ මහා බ්‍රහ්මයා අර භික්ෂුවට මෙහෙම කිව්වා. “පින්වත් භික්ෂුව, මං තමයි බ්‍රහ්මයා. මහාබ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. මම තමයි කර්තෘ. නිර්මාතෘ. මම තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කළ වශී ඇති කෙනා. ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ” කියලා.
පින්වත් කේවඩ්ඪ, තුන්වෙනි වතාවටත් අර භික්ෂුව ඒ මහා බ්‍රහ්මයාට මෙකරුණ කිව්වා “ආයුෂ්මතුනි, මං ඔබෙන් ඔය කාරණය ඇසුවේ නෑ නෙව. ඒ කියන්නේ ‘ඔබ බ්‍රහ්මයාද? මහාබ්රහ්මයාද? ලොව මැඬලන කෙනාද? වෙන කෙනෙකුන්ට නොමැඬිය හැකි කෙනාද? සියල්ල දක්නා කෙනාද? ලොව වසඟයෙහි පවත්වන කෙනාද? ඔබ කර්තෘද? නිර්මාතෘද? ඔබ ශ්‍රේෂ්ඨ කෙනාද? ලොව සකස් කරන කෙනාද? පුරුදු කළ වශී ඇති කෙනාද? ඉපදුණු උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේද?’ කියලා. නමුත් ආයුෂ්මතුනි, මං ඔබෙන් අහන්නේ මෙයයි. ‘මේ පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?’ කියලා.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ මහාබ්‍රහ්මයා අර භික්ෂුවගේ අතින් අල්ලාගෙන එකත්පසට කරවලා ඒ භික්ෂුවට (රහසේ) මෙහෙම කිව්වා. “පින්වත් භික්ෂුව, මේ බ්‍රහ්මකායික දෙවිවරුන් මං ගැන හිතාගෙන ඉන්නේ මේ විදිහටයි. මහා බ්‍රහ්මයා නොදුටු මොකවත්ම නෑ කියලයි. මහා බ්‍රහ්මයා අවබෝධ නොකළ කිසිවක් නෑ කියලයි. මහා බ්‍රහ්මයා සාක්ෂාත් නොකළ කිසිවක් නෑ කියලයි. උන්නැහෙලා ඉදිරියේ මං මේක නොකිව්වේ ඒ නිසයි. පින්වත් භික්ෂුව “මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියන කාරණය මංවත් දන්නේ නෑ. එනිසා පින්වත් භික්ෂුව ඔබ යම් ඒ භාග්‍යවතුන් වහන්සේව ඉක්මවා උන්වහන්සේගෙන් බාහිරව ඔය ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට යෑම කරන්නට ගිහින් ඔබ අතින්මයි මේ වැරැද්ද වුනේ. ඔබ අතින්මයි මේ දෝෂය වුනේ. පින්වත් භික්ෂුව, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහින් ඔය ප්රශ්නය අහන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පිළිතුරු දෙන සේක් නම් ඒ අයුරින්ම එය දරාගන්න.”
පින්වත් කේවඩ්ඪ, එතකොට ඒ භික්ෂුව බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන වේගයෙන්, දිගු කළ අතක් හකුළුවන වේගයෙන් ඔය විදිහට බඹලොවින් අතුරුදහන් වෙලා මා ඉදිරියේ පහළ වුනා. පින්වත් කේවඩ්ඪ, ඉතින් ඒ භික්ෂුව මට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. පින්වත් කේවඩ්ඪ, එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂුව මට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා.
එසේ කී විට පින්වත් කේවඩ්ඪ, මං ඒ භික්ෂුව මෙය පැවසුවා. “පින්වත් භික්ෂුව, ඉස්සර මෙහෙම දෙයක් වුනා. මුහුදු යන වෙළෙන්දෝ පරතෙර හඳුනාගැනීමෙහි දක්ෂ ලිහිණියෙකුත් අරගෙන නැවෙන් මුහුදේ ඈත දියඹට යනවා. ඔවුන්ට ගොඩබිමක් සොයාගන්ට බැරිවෙන කොට අර ගොඩබිම දකිනා ලිහිණියාව මුදා හරිනවා. එතකොට ඌ පෙරදිග දිශාවටත් යනවා, දකුණු දිශාවටත් යනවා, බටහිර දිශාවටත් යනවා, උතුරු දිශාවටත් යනවා, උඩ දිශාවටත් යනවා, අනු දිශාවටත් යනවා, ඉදින් ඒ ලිහිණියා හාත්පස ගොඩබිමක් දකිනවා නම්, ඒ ගිය පැත්තටම යනවා. (නැවත හැරී එන්නේ නෑ) ඉදින් ඒ ලිහිණියා හාත්පස ගොඩබිමක් දකින්නේ නැත්නම්, ආයෙමත් ඒ නැවටම ආපහු හැරිල එනවා. ඒ වගේමයි පින්වත් භික්ෂුව, ඔබ යම්තාක් බ්‍රහ්මලෝක දක්වා ඔබගේ ප්‍රශ්නයට උත්තරය සොය සොයා ගිහින් හමුවුනේ නෑ නෙව. අයෙමත් මා සමීපයටම හැරිලා ආව නෙව. පින්වත් භික්ෂුව, ඔය ප්රශ්නය ඇසිය යුත්තේ “ස්වාමීනී, මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතරමහා භූතයන් ඉතිරි නැතිවම මුළුමණින්ම නිරුද්ධ වන්නේ කොහේද?” කියලා මේ විදිහට නොවෙයි. පින්වත් භික්ෂුව, ඔය ප්රශ්නය ඇසිය යුත්තේ මේ විදිහටයි.
“ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටන්නේ කොහේද? දිග වූත්, කෙටි වූත්, ඉතා කුඩා වූත්, මහත් වූත්, ලස්සන අවලස්සන වූත්, රූප ස්වභාවයන් නොපිහිටන්නේ කොහේද? නාමත්, රූපත් ශේෂ රහිතව නිරුද්ධ වන්නේ කොහේද?”
එයට පිළිතුර වන්නේ මෙයයි:
“(තෘෂ්ණාව ප්‍රහීණවීමෙන්) නිදර්ශන රහිත වූත්, අන්ත රහිත වූත්, සියලු අයුරින්ම ප්‍රඥාවෙන් ආලෝකවත් වූත් විඤ්ඤාණයක් ඇද්ද, (රහතන් වහන්සේගේ විඤ්ඤාණය) මෙහි ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නේ නෑ. දිග වූත්, කෙටි වූත්, ඉතා කුඩා වූත්, මහත් වූත්, ලස්සන අවලස්සන වූත්, රූප ස්වභාවයන් පිහිටන්නේ නෑ. නාමත්, රූපත් ශේෂ රහිතව නිරුද්ධ වන්නේ මෙහි තමයි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් (පිරිනිවන් පෑමෙන්) එහිදී ඔය සෑම දෙයක්ම නිරුද්ධ වී යනවා.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිත් ඇති කේවඩ්ඪ ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
එකොළොස්වෙනි කේවඩ්ඪ සූත්‍රය නිමාවිය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M