අනුගමනය නොකළ යුතු වැරදි දේ තමයි සමහරු අනුගමනය කරන්නේ. අනුගමනය කළ යුතු සතිපට්ඨානය පුරුදු කිරීම් ආදී දේ අනුගමනය කරන්නෙ නෑ. ආශා කරන දේ පස්සෙ දුව දුව යහපත අත්හරිනවා. නමුත් යහපත් දේ අනුගමනය කරලා සැප ලබාගත්තු අය දැක්කට පස්සේ, ඒ සැප ලබා ගන්ට ඔවුනුත් කැමති වෙනවා.
තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇතිකරගන්ට එපා! අප්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා.
ඒ නිසා කිසිදෙයක් කෙරෙහි ඇල්මක් ඇතිකරගන්ට එපා! ඒක එහෙම තමයි. ප්‍රියයන්ගෙන් වෙන්වෙන්ට සිදුවුණොත් ඒක ඔහුට දුකක් වෙනවා. නමුත් යමෙකුට ඔය ප්‍රිය-අප්‍රිය දේවල් මොකවත් නැත්නම් ඔවුන් තුළ කෙලෙස් ගැට නෑ.
(ජේතවනාරාමයේදී එකම පවුලකින් පැවිදි වූ තිදෙනෙක් අරභයා වදාළ ගාථාවන්ය.)
ප්‍රිය දේ තුළින් ශෝකය උපදිනවා. ප්‍රිය දේ තුළින්මයි බිය උපදින්නෙත්. ප්‍රිය දේවල්වලින් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී එක්තරා පියෙක් අරභයා වදාළ ගාථාවකි.)
ආදරය කරන දෙයින්මයි ශෝකය උපදින්නෙ. ආදරය කරන දෙයින්මයි බිය උපදින්නෙත්. ආදරයෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී විශාඛා උපාසිකාව අරභයා වදාළ ගාථාවකි.)
ඇල්ම නිසා ශෝකය උපදිනවා. ඇල්ම නිසා ම යි භය උපදින්නෙත්. ඇල්මෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(විසාලා මහනුවර ලිච්ඡවි කුමාරවරුන් අරභයා වදාළ ගාථාවකි.)
කාමයෙන් ශෝකය ඇතිවෙනවා. කාමයෙන් ම යි බිය ඇතිවෙන්නෙ. කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි.)
තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නෙ. භය හටගන්නෙත් තණ්හාවෙන් තමයි. තණ්හාවෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ. භයක් කොයින්ද?
(ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි.)
යමෙක් සිල්වත් නම්, සම්මා දිට්ඨියෙන් යුක්ත නම්, ධර්මය තුළ පිහිටලා ඉන්නවා නම්, චතුරාර්ය සත්‍යය පිළිබඳ දන්නවා නම්, ඒ යහපත් දිවි පැවැත්මෙන් යුක්ත කෙනාට සාමාන්‍ය ජනතාව හරි කැමතියි.
(රජගහ නුවරදී පන්සියයක් දරුවන් අරභයා වදාළ ගාථාවකි.)
නිවන කෙරෙහි ආශාව ඇති කරගත් කෙනා, එය කාටවත් නොකිව්වත්, ඒ නිවන සිතින් ස්පර්ශ කරනවා නම්, ඔහුගේ සිත කාමයන්ට ඇලෙන්නෙ නෑ. අන්න ඒ තැනැත්තාටයි ‘උඩුගං බලා යන කෙනා’ කියන්නේ.
(ජේතවනාරාමයේදී අනාගාමී තෙර නමක් අරභයා වදාළ ගාථාවකි.)
බොහෝ කලක් පිටරටක හිටපු කෙනෙක් දුරුකතර ගෙවාගෙන සුව සේ එනවිට, ඔහුගේ නෑදෑයන්, හිත මිතුරන් කවුරුත් ඔහුගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා.
පින් කරගත්තහමත් එහෙම තමයි. මෙලොව අත්හැරලා පරලොව යනකොට, තමන් කරපු පින විසින් තමාව පිළිගන්නෙ දුරු රටක ඉඳන් එන ප්‍රියාදර කෙනෙක්ව ඤාතීන් විසින් පිළිගන්නවා වගේ.
(බරණැසදී නන්දිය උපාසකතුමා අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
ප්‍රිය වීම ගැන වදාළ කොටස නිමා විය.
(පිය වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M