අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.
අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන බුද්ධිමත් උදවිය ඔය ප්‍රමාද අප්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. ඒ නිසා ආර්යන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම ඇලෙනවා. අප්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනවා.
ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් වහන්සේලා නිරන්තරයෙන්ම ධ්‍යාන වඩනවා. හැම තිස්සේම දැඩි වීරියෙන් යුතුව, ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා සියලු භව බන්ධන වලින් නිදහස් වෙලා, අනුත්තර වූ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා.
(ඝෝෂිතාරාමයේදී සාමාවතී බිසව හා මාගන්දියා අරභයා වදාළ ගාථාවන්ය.)
නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනවා.
(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි.)
බුද්ධිමත් ශ්‍රාවකයා වීරියෙන් නැගී සිටිමින් අප්‍රමාදයෙන් යුක්ත වෙනවා. සංවර වෙනවා. දමනය වෙනවා. කෙලෙස් සැඩපහරට යටවෙන්නෙ නැති ‘ඒ අමා නිවන’ නමැති දිවයින ඒ තුළින්මයි ඔහු හදා ගන්නේ.
(වේළුවනාරාමයේදී චුල්ලපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
26.6. පමාදමනුයුඤ්ජන්ති
බාලා දුම්මේධිනෝ ජනා
අප්පමාදඤ්ච මේධාවී
ධනං සෙට්ඨං’ව රක්ඛති
මේ ප්‍රඥාවක් නැති අන්ධ බාල ජනතාව කාම සැපයට අහුවෙලා, ප්‍රමාදයේම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප්‍රමාදී බව රැකගන්නෙ, තමන් සතු මහානීය ධනයක් රකිනවා වගේ.
(නැකැත් පස්සෙ දුවන බාල ජනයා ප්‍රමාද වෙන විදිහට) ප්‍රමාදයේ ඇලී ගැලී වසන්ට එපා! ඔය කාම සැපයට ඇලෙන්න එපා! කාමයත් එක්ක එකතුවෙන්ටත් එපා! අප්‍රමාදීව බණ භාවනා කරගත්තොත් මහා සැපයකට පත්වෙන්ට පුළුවනි.
(ජේතවනාරාමයේදී නැකැත් ක්‍රීඩාවක් අරභයා වදාළ ගාථාවන්ය.)
බුද්ධිමත් ශ්‍රාවකයා යම් දවසක ප්‍රමාදය දුරුකරන්නේ අප්‍රමාදය මුල්කරගෙනමයි. එතකොට ඔහු ප්‍රඥාවෙන් නිර්මිත ප්‍රාසාදයට නගිනවා. එතන ඉඳලා ශෝක රහිතව, ශෝක වෙන ජනතාව දිහා බලනවා. කන්දක් මුදුනට නැගපු කෙනෙක් බිම සිටින අය දිහා බලනවා වගේ, ඒ ප්‍රඥාවන්තයා බාල ජනයා දිහා බලනවා.
(ජේතවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
සුන්දර නුවණින් යුතු මුනිවරයා ප්‍රමාදී වූ ජනතාව අතරේ අප්‍රමාදීව ඉන්නවා. නින්දේ ගැලුණු ජනතාව අතරේ නොනිදා භාවනා කරනවා. ඔහු ඒ අමා නිවන කරා යන්නේ දුර්වල අශ්වයෙක්ව පරදවා, වේගයෙන් දුවන ජවසම්පන්න අශ්වයෙකු පරිද්දෙනි.
(ජේතවනාරාමයේදී යහළු භික්ෂූන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)
ඔය ශක්‍ර දේවේන්ද්‍රයා මිනිස් ලොව මඝ මානවක කාලෙ අප්‍රමාදීව පින් කරගත් නිසාමයි දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ. බුදුවරයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදයමයි. ප්‍රමාදය කියන්නේ සදාකාලයටම ගැරහුම් ලබන දෙයක්.
(විසාලා මහනුවරදී සක්දෙව් රජ අරභයා වදාළ ගාථාවකි.)
යම් භික්ෂුවක් අප්‍රමාදයේ ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක්ම දවාගෙන යන ගින්නක් වගේ, ලොකු කුඩා හැම බන්ධනයක්ම නසාගෙන ඒ අමා නිවන කරාම යනවා.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
යම් භික්ෂුවක් අප්‍රමාදයේ ඇලී ඉන්නවා නම්, ප්‍රමාද වීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, ඔහු පිරිහෙන්ට සුදුසු කෙනෙක් නොවෙයි. ඔහු ඉන්නේ ඒ අමා නිවන ළඟමයි.
(ජේතවනාරාමයේදී නිගමතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
අප්‍රමාදී වීම ගැන වදාළ කොටස නිමා විය.
(අප්පමාද වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M