ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ වජ්ජි ජනපදයේ ගංගා නම් නදී තෙර උක්කවේල නගරය සමීපයේ. එදා සාමණ්ඩකානි පිරිවැජියා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටි තැනට ආවා. ඇවිදින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කථාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ සාමණ්ඩකානි පිරිවැජියා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, නිවන, නිවන කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, නිවන කියලා කියන්නේ කුමක්ද?” “ආයුෂ්මත, යම් රාගය ක්‍ෂය වීමක්, ද්වේෂය ක්‍ෂය වීමක්, මෝහය ක්‍ෂය වීමක් ඇද්ද නිවන කියන්නේ මෙයට යි.
“ප්‍රිය ආයුෂ්මතුනි, ඔය නිවන සාක්‍ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙළක් තියෙනවාද? මාර්ගයක් තියෙනවාද?” “ආයුෂ්මත, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස වැඩපිළිවෙළක් තියෙනවා. මාර්ගයකුත් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඔය නිවන සාක්‍ෂාත් කිරීම පිණිස පවතින වැඩපිළිවෙළ කුමක්ද? මාර්ගය කුමක්ද?” “ආයුෂ්මත, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස පවතින්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි යන මෙය යි. ආයුෂ්මත, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස තිබෙන්නේ ඔය මාර්ගය තමයි. ඔය ප්‍රතිපදාව තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස පවතින්නේ සොඳුරු මඟක් ම යි. සොඳුරු ප්‍රතිපදාවක් ම යි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අප්‍රමාදී වීමට ම යි සුදුසු.” ….(පෙ)….
(ජම්බුඛාදක වර්ගයේ මෙන් විස්තර කළ යුතුය)
සාදු ! සාදු !! සාදු !!!
නිබ්බාන සූත්‍රය නිමා විය.
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ශාසනයෙහි දුෂ්කර දේ මොකක්ද?” “ආයුෂ්මත, මේ ශාසනයෙහි පැවිද්ද යනු දුෂ්කර දෙයක්.” “ප්‍රිය ආයුෂ්මතුනි, පැවිදි වූ කෙනෙකුට ඇති දුෂ්කර දේ මොකක්ද?” “ආයුෂ්මත, පැවිදි වූ කෙනෙකුට ඇති දුෂ්කර දේ නම්, ශාසන බ්‍රහ්මචරියාවට ඇලී සිටීමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ශාසන බ්‍රහ්මචරියාවෙහි ඇලී සිටින කෙනෙකුට ඇති දුෂ්කර දේ මොකක්ද?” “ආයුෂ්මත, ශාසන බ්‍රහ්මචරියාවෙහි ඇලී සිටින කෙනෙකුට ඇති දුෂ්කර දේ නම්, ධම්මානුධම්ම පටිපදාව යි.” “ප්‍රිය ආයුෂ්මතුනි, ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන භික්ෂුව කොපමණ කලකින් අරහත්වයට පත්වේවිද?” “ආයුෂ්මත, එච්චර කලක් යන්නේ නෑ.”
සාදු ! සාදු !! සාදු !!!
දුක්කර සූත්‍රය නිමා විය.
සාමණ්ඩකානි සංයුත්තය නිමා විය.
මෙහි පිළිවෙළ උද්දානය ද කලින් වර්ගයේ පරිදි ම ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M