ඛුද්දක නිකාය

ථේරී ගාථා

10. ඒකාදස නිපාතෝ

10. එකොළොස්වැනි නිපාතය

11.1. කිසාගෝතමී ථේරීගාථා

11.1. කිසාගෝතමී තෙරණියගේ ගාථා

213. කල්‍යාණමිත්තතා මුනිනා ලෝකං ආදිස්ස වණ්ණිතා,
කල්‍යාණමිත්තේ භජමානෝ අපි බාලෝ පණ්ඩිතෝ අස්ස.

213. අපගේ මුනිඳුන් කළ්‍යාණ මිත්‍ර සේවනය වර්ණනා කළේ ලෝකයේ යහපත පිණිස ම යි. කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන මෝඩ තැනැත්තා පවා නුවණැත්තෙක් වෙනවා.

214. භජිතබ්බා සප්පුරිසා පඤ්ඤා තථා වඩ්ඪති භජන්තානං,
භජමානෝ සප්පුරිසේ සබ්බේහිපි දුක්ඛේහි පමුච්චෙය්‍ය.

214. ආශ්‍රය කරන්ට ඕන සත්පුරුෂයන්වමයි. සත්පුරුෂ ආශ්‍රයෙන්මයි ප්‍රඥාව වැඩෙන්නෙ. සත්පුරුෂයන් ආශ්‍රය කරන කෙනා සියළු දුකින් නිදහස් වෙනවා.

215. දුක්ඛඤ්ච විජානෙය්‍ය දුක්ඛස්ස ච සමුදයං නිරෝධං,
අට්ඨංගිකඤ්ච මග්ගං චත්තාරිපි අරියසච්චානි.

215. සත්පුරුෂ ආශ්‍රය තියෙන කෙනා දුක අවබෝධ කරනවා. දුකේ හටගැනීම ප්‍රහාණය කරනවා. දුකේ නැතිවීම සාක්ෂාත් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා.

216. දුක්ඛෝ ඉත්ථිභාවෝ අක්ඛාතෝ පුරිසදම්මසාරථිනා,
සපත්තිකම්පි දුක්ඛං අප්පේකච්චා සකිං විජාතායෝ.

216. පුරිසදම්මසාරථී වූ බුදු සමිඳුන් වදාළේ ගැහැණියකගේ ජීවිතය දුක් සහිතයි කියලා. එක ස්වාමියෙකු යටතේ සමාන බිරිඳන් වශයෙන් සිටීමත් දුකක්. ඇතැම් කාන්තාවන් එක වතාවයි දරුවන් වදන්නෙ.

217. ගලකේ අපි කන්තන්ති සුඛුමාලිනියෝ විසානි ඛාදන්ති,
ජනමාරකමජ්ඣගතා උභෝපි ව්‍යසනානි අනුභොන්ති.

217. වේදනාව ඉවසගන්ට බැරිව බෙල්ල කපා ගන්නවා. ඒ සියුමැලි කාන්තාවන් වහ කාලා මැරෙනවා. සමහර විට මව්කුසේ දරුව හිරවෙලා දෙන්නම මැරෙනවා.

218. උපවිජඤ්ඤා ගච්ඡන්තී අද්දසාහං පතිං මතං,
පන්ථම්හි විජායිත්වාන අප්පත්තාව සකං ඝරං.

218. බබා හම්බ වෙන්ට ළඟ බව මටත් තේරුණා. ඉතින් මං ගෙදර යන්ට පිටත් වුණා. ගෙදර යන්ට ලැබුණේ නෑ. අතරමග දී බබා හම්බ වුණා. අතරමගදීමයි මගේ සැමියාත් මැරිල ඉන්නවා දකින්ට ලැබුණෙ.

219. ද්වේ පුත්තා කාලකතා පතී ච පන්ථේ මතෝ කපණිකාය,
මාතා පිතා ච භාතා ඩය්හන්ති ච ඒකචිතකායං.

219. දුකට පත්වෙලා හිටිය වෙලාවෙ මගේ දරුවො දෙන්නත් මළා. සැමියාත් මළා. අම්මයි, තාත්තයි, සහෝදරයයි එකම දර සෑයෙ දැවෙනවා මට දකින්ට ලැබුණා.

220. ඛීණකුලීනේ කපණේ අනුභූතං තේ දුක්ඛං අපරිමාණං,
අස්සු ච තේ පවත්තං බහූනි ජාතිසහස්සානි.

220. සම්පත් නැතිවෙලා ගිය දුප්පත් පවුලක උපන් තැනැත්තී, ඔයා අප්‍රමාණ දුක් විඳපු කෙනෙක්. සංසාරෙ දහස් ගණන් උපන් වාරවල දී ඔයා තුළ තිබුණෙ කඳුළුමයි.

221. වසිතා සුසානමජ්ඣේ අථෝපි ඛාදිතානි පුත්තමංසානි,
හතකුලිකා සබ්බගරහිතා මතපතිකා අමතං අධිගච්ඡි.

221. සංසාරෙ ගෙවද්දි සොහොන්වල වාසය කළා. තමන්ගේම දරුවන්ගෙ මස් කෑවා. හැමෝම මාව එළව ගත්ත. පවුල් විනාශ වුණා. සැමියා මැරුණා. නමුත් මමත් නිවන් දැක්කා.

222. භාවිතෝ මේ මග්ගෝ අරියෝ අට්ඨංගිකෝ අමතගාමී,
නිබ්බානං සච්ඡිකතං ධම්මාදාසං අපෙක්ඛිහං.

222. අමා නිවනට මාර්ගය වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි වැඩුවේ. නිවන සාක්ෂාත් කරගත්තා. මං මේවා ඔක්කොම දහම් කන්නාඩියෙන් බලනවා.

223. අහමම්හි කන්තසල්ලා ඕහිතභාරා කතං හි කරණීයං,
කිසාගෝතමී ථේරී විමුත්තචිත්තා ඉමං අභණීති.

223. මං දැන් ඒ ශෝක හුල් ඔක්කොම උදුරා දැම්මා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. කළ යුතු දේ කරගත්තා. මේ දේවල් කියන්නෙ කෙලෙස්වලින් නිදහස් වුන සිතක් තියෙන කිසා ගෝතමී තෙරණිය යි.

ඉත්ථං සුදං කිසාගෝතමී ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී කිසාගෝතමී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ඒකාදසනිපාතෝ නිට්ඨිතෝ.

එකළොස්වෙනි නිපාතය නිමා විය.

(ගාථා එකොළහ බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M