ඛුද්දක නිකාය

ථේරී ගාථා

11. ද්වාදස නිපාතෝ

11. දොළොස්වන නිපාත​ය

12.1. උප්පලවණ්ණා ථේරීගාථා

12.1. උප්පලවණ්ණා තෙරණියගේ ගාථා

224. උභෝ මාතා ච ධීතා ච මයං ආසුං සපත්තියෝ,
තස්සා මේ අහු සංවේගෝ අබ්භුතෝ ලෝමහංසනෝ.

224. අපි දෙන්න අම්මයි, දුවයි. එක ම ස්වාමියගෙ භාර්යාවන් වෙලා හිටියා. මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූත වූ ත් ලොමුදහ ගැන්වෙන සිදුවීමක් වුණා.

225. ධිරත්ථු කාමා අසුචී දුග්ගන්ධා බහුකණ්ටකා,
යත්ථ මාතා ච ධීතා ච සභරියා මයං අහුං.

225. මේ කාමයන්ට නින්දා වේවා. මේ කාමයන් ඇත්තෙන් ම අපිරිසිදු යි. ගඳ යි. ගොඩාක් කරදර ඇති කරනවා. මේ කාමයන් නිසාමයි අම්මටයි, දූටයි එකම ස්වාමියාගේ භාර්යාවන් වෙන්ට සිදුවුණේ.

226. කාමෙස්වාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛේමතෝ,
සා පබ්බජි රාජගහේ අගාරස්මානගාරියං.

226. මං මේ කාමයේ ආදීනව දැක්කා. කාමයන්ගෙන් නිදහස් වීම කෙම් බිමක් වශයෙනුත් දැක්කා. ඊට පස්සෙ ඈ රජගහනුවර දී මහණ වුණා.

227. පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසෝධිතං,
චේතෝපරිච්චඤාණඤ්ච සෝතධාතු විසෝධිතා.

227. මං දැන් පුබ්බේනිවාස ඤාණයත් ලබාගත්තා. දිවැස් නුවණත් පිරිසිදු කරගත්තා. අනුන්ගේ සිත් දැනීමේ නුවණත් ලබා ගත්තා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්තා.

228. ඉද්ධීපි මේ සච්ඡිකතා පත්තෝ මේ ආසවක්ඛයෝ,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

228. ඉර්ධි බලත් ලබාගත්ත. අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා හයම ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

229. ඉද්ධියා අභිනිම්මිත්වා චතුරස්සරථං අහං,
බුද්ධස්ස පාදේ වන්දිත්වා ලෝකනාථස්ස තාදිනෝ.

229. මං ඉර්ධි බලයෙන් අශ්ව කරත්ත හතරක් මවා ගත්තා. ලෝකනාථ වූ අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් බැහැදකින්ට ගියා. ඒ සිරිපා කමල් වැඳ පුදා ගත්තා.

230. සුපුප්ඵීතග්ගං උපගම්ම පාදපං,
ඒකා තුවං තිට්ඨසි සාලමූලේ,
න චාපි තේ දුතියෝ අත්ථි කෝචි,
න ත්වං බාලේ භායසි ධුත්තකානං.

230. (මාරයා) ඔයා ඔය තනියම ඉන්නෙ, අතු අග පටන් පිපී ගිය මල් තියෙන සල් ගහක් සෙවණේ. ළඟපාතක වෙන කව්රුවත් නෑ. ඒයි මෝඩ කාන්තාව, සල්ලාලයන් ගැන ඔයාට බයක් නැද්ද?

231. සතං සහස්සානපි ධුත්තකානං,
සමාගතා ඒදිසකා භවෙය්‍යුං,
ලෝමං න ඉඤ්ජේ නපි සම්පවේධේ,
කිං මේ තුවං මාර කරිස්සසේකෝ.

231. (ඒයි මාරය) ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනක් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක් වත් බයෙන් සැලෙන්නෙ නෑ. කම්පා වෙන්නෙ නෑ. මාරය, මං හුදෙකලාවේ සිටීම ගැන උඹට මොකටද?

232. ඒසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තේ,
භමුකන්තරේ වා තිට්ඨාමි තිට්ඨන්තිං මං න දක්ඛසි.

232. මාරය, මට උඹ ඉදිරියේ අතුරුදහන් වෙන්ට පුළුවන්. උඹටත් හොරෙන් උඹේ කුසට රිංගන්ට පුළුවන්. ඇහි බැම දෙක අතරේ ඉන්ට පුළුවන්. මං එහෙම ඉන්නකොට මාව දැකගන්ට උඹට හැකියාවක් නෑ.

233. චිත්තම්හි වසීභූතාහං ඉද්ධිපාදා සුභාවිතා,
ඡ මේ අභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

233. මට තියෙන්නෙ දමනය කරපු හිතක්. මං ඉර්ධිපාද වඩපු කෙනෙක්. මං අභිඤ්ඤා හයම සාක්ෂාත් කරල ඉන්නෙ. මං බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

234. සත්තිසූලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා,
යං ත්වං කාමරතිං බ්‍රෑසි අරතීදානි සා මම.

234. කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ වගේ දෙයක්. උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්. උඹ ඔය කියන කාමරතිය මට දැන් අරතියක්.

235. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධෝ පදාලිතෝ,
ඒවං ජානාහි පාපිම නිහතෝ ත්වමසි අන්තකාති.

235. මං හැම දෙයක් ගැන ම තිබුණ තණ්හාව නැති කළා. අවිද්‍යා අන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔන්න ඔය විදිහට යි ඔය කරුණ තේරුම් ගත යුත්තේ. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබ ම යි.

ඉත්ථං සුදං උප්පලවණ්ණා ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී උප්පලවණ්ණා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ද්වාදසනිපාතෝ නිට්ඨිතෝ.

දොළොස්වෙනි නිපාතය නිමා විය.

(ගාථා දොළොස බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M