1. 13. 1.
සැවැත් නුවරදී …..
“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම, හිතසුව පිණිසම, සැපය පිණිසමයි උපදින්නේ. ඒ එකම පුද්ගලයා වනාහී කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. පින්වත් මහණෙනි, මොහු වනාහී බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ම හිතසුව පිණිස ම සැපය පිණිස මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එකම පුද්ගලයාය.”
1. 13. 2.
“පින්වත් මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ දෙයකි. ඒ කවර එකම පුද්ගලයෙකුගේ පහළ වීමක්ද යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමය. පින්වත් මහණෙනි, මේ එකම පුද්ගලයාගේ පහළ වීම ලෝකයෙහි ඉතාමත් දුර්ලභ වූ දෙයයි.”
1. 13. 3.
“පින්වත් මහණෙනි, ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් ලෝකයෙහි උපදිනවා නම් උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එකම පුද්ගලයා කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. පින්වත් මහණෙනි, මොහු වනාහී ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින එකම පුද්ගලයාය.”
1. 13. 4.
“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි එකම පුද්ගලයෙකුගේ කළුරිය කිරීම බොහෝ දෙනා හට දුක් වීම පිණිස හේතු වෙනවා. ඒ කවර එකම පුද්ගලයෙකුගේ අභාවයක්ද යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කළුරිය කිරීමයි. පින්වත් මහණෙනි, මේ එකම පුද්ගලයාගේ කළුරිය කිරීම බොහෝ ජනයාට දුක් වීමට හේතුවක් වෙනවා.”
1. 13. 5-13.
“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නොහැකි) වූ, අප්‍රතිසම (කිසිවෙකු හා සම නොවූ), අප්‍රතිභාග (කිසිවෙකුගේ කොටස්කරුවෙකු නොවන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නොහැකි) වූ, අසම (සම්මා සම්බුදු නොවන කිසිවෙකු හා සම නොවූ), අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණක් සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයෙක් ඉන්නවා. ඒ එකම පුද්ගලයා කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. පින්වත් මහණෙනි, මොහු වනාහී ලෝකයෙහි උපදිනවා නම් උපදින්නා වූ අද්විතීය (දෙවැන්නෙක් නොමැති) වූ, අසහාය (සහායකයෙක් නොමැති) වූ, අප්‍රතිම (කිසිවෙකු හා සැසඳිය නොහැකි) වූ, අප්‍රතිසම (කිසිවෙකු හා සම නොවූ), අප්‍රතිභාග (කිසිවෙකුගේ කොටස්කරුවෙකු නොවන) වූ, අප්‍රතිපුද්ගල (කිසිවෙකු හා සම කළ නොහැකි) වූ, අසම (සම්මා සම්බුදු නොවන කිසිවෙකු හා සම නොවූ), අසමසම (සම්මා සම්බුදුවරුන් සමඟ පමණක් සැසඳිය හැකි) වූ, දෙපා ඇති මිනිසුන්ට අග්‍ර වූ එකම පුද්ගලයාය.”
1. 13. 14-25.
“පින්වත් මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළ වීම වනාහී මහා ප්‍රඥා ඇසක පහළ වීමය. මහා ආලෝකයක පහළ වීමය. මහා එළියක පහළ වීමය. සය වැදෑරුම් අනුත්තරීය ධර්මයන්ගේ පහළ වීමය. සිව් පිළිසිඹියා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීමය. අනේක ධාතූන් ගැන අවබෝධ කිරීමය. නානා ධාතූන් ගැන අවබෝධ කිරීමය. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීමය. සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීමය. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමය. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමය. ඒ කවර පුද්ගලයෙකුගේ පහළ වීම නිසාද යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසාය. පින්වත් මහණෙනි, මේ එකම පුද්ගලයෙකුගේ පහළ වීම වනාහී මහා ප්‍රඥා ඇසක පහළ වීමය. මහා ආලෝකයක පහළ වීමය. මහා එළියක පහළ වීමය. සය වැදෑරුම් අනුත්තරීය ධර්මයන්ගේ පහළ වීමය. සිව් පිළිසිඹියා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීමය. අනේක ධාතූන් ගැන අවබෝධ කිරීමය. නානා ධාතූන් ගැන අවබෝධ කිරීමය. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීමය. සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීමය. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමය. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමය.”
1. 13. 26.
“පින්වත් මහණෙනි, යම් කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් මැනැවින් පවත්වන ලද අනුත්තර වූ ධර්ම චක්‍රය ඉතා මැනැවින් ඒ අයුරින් ම පවත්වනවා නම්, පින්වත් මහණෙනි, මේ පින්වත් සාරිපුත්තයන් (සාරිපුත්ත මහරහතන් වහන්සේ) හැර වෙන එකම පුද්ගලයෙකුවත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ පින්වත් සාරිපුත්තයන් තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්ම චක්‍රය ඒ අයුරින්ම මැනැවින් පවත්වනවා.”
දහතුන්වෙනි වර්ගය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M