මේ ජීවිතය (ආශාවෙන්, තරහින්, මෝඩකමින් වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන්) හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ ඇයි?
(ජේතවනාරාමයේදී විශාඛාවගේ මිතුරියන් අරභයා වදාළ ගාථාවකි.)
දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසාගෙන හිටියට මේකෙ තියෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවාට, මේකෙ නිත්‍ය දෙයක් නෑ. ස්ථිර දෙයක් නෑ. පවතින දෙයක් නෑ.
(වේළුවනාරාමයේදී සිරිමා ගණිකාව අරභයා වදාළ ගාථාවකි.)
සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ රූපය ජරා – ජීර්ණ වෙලා අවසන් වෙනවා. රෝගවලට කූඩුවක් වගේ. වහා බිඳී යනවා. දොරටු නවයකින් අසූචි වැගිරෙනවා. මේ ජීවිතය බිඳිලා මරණයෙන් අවසන් වෙනවා.
(ජේතවනාරාමයේදී උත්තරී තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)
පායන කාලෙ කඩලා දාලා, ඒ ඒ තැන විසිකරපු ලබුකබල් වගේ මේ හිස්කබල් තියෙන්නෙ. මේ මිනී ඇට අළු කොබෙයියන්ගේ පාටයි. මේවා දැක දැක මොන කාම රතියක්ද?
(ජේතවනාරාමයේදී අධිමානික භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)
මේ ශරීරය ඇට වලින් ගොඩනගලා, මස් ලේ වලින් ආලේප කරලා අටවලා තියෙන නගරයක් වගේ. ජරාවටත්, මරණයටත් පත්වෙන්නෙත් මේ ශරීරයමයි. අහංකාරකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි. ගුණමකුකම ඇති වෙන්නෙත් මේ ශරීරයටමයි.
(ජේතවනාරාමයේදී රූපනන්දා තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)
විචිත්‍ර විදිහට සරසපු රාජකීය මංගල රථ පවා දිරලා යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් ඒ විදිහටම දිරලා යනවා. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ ධර්ම ජරාවට පත්වෙන්නෙ නෑ. ඇත්තෙන්ම ශාන්ත මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණේ කියලා දෙනවා.
(ජේතවනාරාමයේදී මල්ලිකා දේවියගේ මරණය අරභයා වදාළ ගාථාවකි.)
සද්ධර්මය නිසි ආකාරයට නොදැනගත් පුද්ගලයා ගොනෙක් වගේ තරවෙනවා. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. හැබැයි ඔහුට ප්‍රඥාව නම් වැඩෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී ලාලුදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
මේ සංසාරේ නොයෙක් විදිහේ ඉපදීම්වලට ගොදුරු වෙවී, දුක් සහිත ගමනක මං ඇවිද ඇවිද ගියා. මේ සසර දුක හදන වඩුවා, කවුද කියලයි මං හොය හොයා හිටියේ. ආයෙ ආයෙ ඉපදීම නම් දුකක් මයි.
ඒයි වඩුවා! මං දැන් ඔබව හඳුනාගෙන ඉවරයි. ආයෙත් නම් ඔබට මං වෙනුවෙන් ගෙයක් හදන්ට බෑ. ඔබේ පරාල ඔක්කොම මං කෑලි කෑලිවලට කඩලා දැම්මා. වහලෙ මුදුන් කැණිමඬල මං සී සීකඩ වීසි කළා. මේ සිත සංස්කාර රහිත බවට පත්වුණා. තණ්හාව නැතිවුණා.
(මහා බෝධි මූලයේදී අපේ බුදු සමිඳුන් වදාළ උදාන ගාථාවන්ය.)
මොළේ නැති උදවිය තරුණ කාලෙදී බ්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනෙ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.
මොළේ නැති උදවිය තරුණ කාලෙදි බ්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනේ මිළ මුදලක් වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේදී ඒ අනුවණ උදවිය කලින් විඳපු සැප ගැන හිත හිතා හූල්ල හූල්ල ඉන්නෙ, දුන්නෙන් නිකුත් වෙච්ච ඊතල වැටිච්ච තැනම දිරල යනවා වගේ.
(ඉසිපතනේදී මහාධන සිටු පුත්‍රයා අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
ජරාවට පත්වීම ගැන වදාළ කොටස නිමා විය.
(ජරා වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M