ඇස සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. කන සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. නාසය සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. දිව සංවර කරගැනීම කොයිතරම් යහපත් ද.
කය සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. වචනය සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. සිත සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. ඔය හැමදේම සංවර කරගැනීම කොයිතරම් යහපත් ද. හැම දෙයින්ම සංවර වූ භික්ෂුව, හැම දුකින්ම නිදහස් වෙනවා.
(ජේතවනාරාමයේදී භික්ෂූන් පස් නමක් අරභයා වදාළ ගාථාවන්ය.)
දෑතත් සංවර නම්, දෙපයත් සංවර නම්, වචනයත් සංවර නම්, උතුම් සංවරකමින් යුක්ත නම්, තම චිත්ත සමාධිය තුළ ඇලී සිටිනවා නම්, හුදෙකලාවේම සතුටින් ඉන්නවා නම්, ඔහුට තමයි ‘භික්ෂුව’ කියන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
යම් භික්ෂුවක් කට සංවර කරගෙන, අවබෝධය ඇතිවෙන දේ කතා කරනවා නම්, නිහතමානී නම්, ඔහුට ධර්ම අර්ථ බබුළුවන්නට පුළුවන්. ඔහුගේ කතාව මිහිරි එකක්.
(ජේතවනාරාමයේදී කෝකාලික අරභයා වදාළ ගාථාවකි.)
ධර්මය තුළ ජීවත්වන, ධර්මයට ම ඇළුණු, ධර්මය ම හිත හිතා ඉන්න, ධර්මය සිහිකරන භික්ෂුව කවදාවත් සද්ධර්මයෙන් පිරිහෙන්නෙ නෑ.
(සැවැත් නුවරදී ධම්මාරාම භික්ෂුව අරභයා වදාළ ගාථාවකි.)
තමන්ට ලැබිච්ච දේ ගැන පහත් කරලා හිතන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේ ගැන ආසාවෙන් හැසිරෙන්ට හොඳ නෑ. අනුන්ට ලැබෙන දේ ගැන ආසා කරන භික්ෂුවට, සමාධිය ඇතිකර ගන්ට බැරුව යනවා.
ඉදින් භික්ෂුවට ලැබෙන්නේ ස්වල්ප දෙයක් වෙන්ට පුළුවනි. නමුත් තමන්ගේ ලැබීම ගැන හෙළා නොදැකිය යුතුයි. පිරිසිදු ජීවිකා තියෙන, කම්මැලි නැති ඒ භික්ෂුවට ඒකාන්තයෙන්ම දෙවියොත් ප්‍රශංසා කරනවා.
(වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවන්ය.)
මේ නාමරූපය ගැන මුළුමනින්ම මමත්වයක් කෙනෙකුට නැත්නම්, ඒවා නැතිවුණා කියලා, ඔහු ශෝක වෙන්නෙ නෑ. ඔහුට තමයි භික්ෂුව කියන්නේ.
(සැවැත් නුවරදී පංචග්ගදායක බ්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි.)
යම් භික්ෂුවක් මෛත්‍රී භාවනාවෙන් යුක්තව වාසය කරනවා නම්, බුද්ධ ශාසනය පිළිබඳ අචල ප්‍රසාදයකින් යුක්ත නම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීමේ සැපය වන, ශාන්ත වූ ඒ අමා නිවන ලබන්නට ඒ භික්ෂුවට පුළුවන්.
පින්වත් භික්ෂුව, මේ ජීවිතය නමැති නැවේ පිරිලා තියෙන ලාමක විතර්ක නමැති වතුර ඉහලා දාන්න. වතුර හිස්කරපු නැව හරි සැහැල්ලුයි. රාග, ද්වේෂ නැතිකරගෙන ඔබට ඉක්මනට නිවන කරා යන්ට පුළුවනි.
ඕරම්භාගිය සංයෝජන පහ සිඳින්ට ඕන. උද්ධම්භාගිය සංයෝජන පහත් දුරුකරන්ට ඕන. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහත් දියුණු කරන්ට ඕන. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන සංග පහත් ඉක්මවන්ට ඕනෙ. අන්න ඒ භික්ෂුවටයි කියන්නෙ මේ සැඩපහරින් එතෙර වුණ කෙනා කියලා.
පින්වත් භික්ෂුව, භාවනා කරන්න. ප්‍රමාද වෙන්ට එපා! ඔබේ ඔය හිතට පංචකාම ගුණ ඔස්සේ කැරකෙන්ට දෙන්න එපා! අන්තිමේදී ප්‍රමාද වෙලා නිරයේ ඉපදිලා යකඩ ගුලි ගිලින කෙනෙක් වෙන්ට එපා! එතකොට ඒ ගින්නට දැවි දැවී “අයියෝ! මේක දුකයි” කිය කියා හඬන කෙනෙක් වෙන්ට එපා!
ප්‍රඥාව නැති කෙනෙකුට ධ්‍යානයකුත් නෑ. ධ්‍යාන නොවඩන කෙනෙකුට ප්‍රඥාවකුත් නෑ. යමෙක් තුළ ධ්‍යානයත් ප්‍රඥාවත් තියෙනවා නම්, ඇත්ත වශයෙන්ම ඔහු ඉන්නෙ ඒ අමා නිවන ළඟයි.
පාළු කුටියකට ගිය ශාන්ත සිත් ඇති භික්ෂුව, මේ පංච උපාදානස්කන්ධයන් මනාකොට විදර්ශනා වඩද්දී, ඒ ධර්මය කෙරෙහි ඒ භික්ෂුව තුළ ඇති වෙන ඇල්ම මිනිස් හැඟීම් ඉක්මවා යනවා.
මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් විදර්ශනා වශයෙන් වඩන්නේ යම් යම් ආකාරයකින් ද, ඒ හැමවිටම මහත් ප්‍රීතියක් ප්‍රමුදිත බවක් ඇතිවෙනවා. යථාර්ථය අවබෝධ කළ කෙනෙකුට ඒක අමෘතයක්.
මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුවට පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් බැලීමේදී මේ කරුණු තුන මුල් වෙනවා. ඉන්ද්‍රිය සංවරයත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ලද දෙයින් සතුටුවීමත්, යන මේ තුනයි.
පිරිසිදු ජීවිකාව ඇති, කම්මැලි නැති, කල්‍යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න. සදහම් පිළිසඳරෙහි යුක්ත වෙන්න. ඇවතුම් පැවැතුම්වල දක්ෂ කෙනෙක් වෙන්න. ඒ තුළින් ප්‍රමුදිත භාවය හොඳින් ඇතිකරගෙන මේ දුක අවසන් කරන කෙනෙක් වෙන්න.
(ජේතවනාරාමයේදී නවසියයක් භික්‍ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)
මැලවුණු සමන් මල් නටුවෙන් ගිලිහී වැටෙනවා වගේ, පින්වත් මහණෙනි, ඒ විදිහටම මේ රාගයත් ද්වේෂයත් ඔය සිතින් මුදාහරින්න.
(ජේතවනාරාමයේදී පන්සියයක් තෙරවරුන් අරභයා වදාළ ගාථාවකි.)
කයත් ශාන්ත නම්, වචනයත් ශාන්ත නම්, සිතත් සමාහිත නම්, පංචකාම ආශාව දුරුවෙලා නම්, ඒ භික්ෂුවටයි කියන්නෙ උපශාන්ත කෙනා කියල.
(ජේතවනාරාමයේදී සන්තකාය තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
පින්වත් භික්ෂුව, තමාමයි තමන්ට චෝදනා කළ යුත්තෙ. තමාමයි තමන් ගැන විමසා බැලිය යුත්තෙ. තමා විසින් තමාව රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන සැප සේ ඉන්න.
තමාමයි තමාට පිහිට වෙන්නෙ. තමාමයි තමන්ගේ ගමනට මුල් වෙන්නෙ. මේ නිසා, දක්ෂ වෙළෙන්දා සුන්දර අශ්වයාව රැකගන්නවා වගේ තමන්ව රැකගන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී නංගලකුල තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
ධර්මයේ හැසිරීම නිසා, මහත් සතුටින් කල් ගෙවලා, සම්බුදු සසුන ගැන අචල ප්‍රසාදයකින් ඉන්න භික්ෂුව, ඒ නිසාම සංස්කාරයන් සංසිඳීමේ සැපය වූ ශාන්ත නිවනට පත්වෙනවා.
(රජගහ නුවරදී වක්කලී තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
ඒ භික්ෂුව ළදරු කෙනෙක් වෙන්ට පුළුවනි. නමුත් බුද්ධ ශාසනයේ යෙදෙනවා නම්, වළාකුළුවලින් මිදුන පුන් සඳක් වගේ, ඒ භික්ෂුව තමයි මේ ලෝකය එළිය කරන්නේ.
(පූර්වාරාමයේදී සුමන සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
භික්ෂුව ගැන වදාළ කොටස නිමා විය.
(භික්ඛු වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-25/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M