අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

22. (2) පරිසසෝභනවග්ගෝ

22. (2) පරිසසෝභන වර්ගය

4.5.2.1. පරිසසෝභන සූත්‍රය

පිරිස හොබවන්නා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, මේ පිරිස දූෂණය කරන්නෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;

මහණෙනි, දුස්සීල වූ පවිටු ගතිගුණ ඇති භික්ෂුව පිරිස දූෂණය කරන්නේ වෙයි. මහණෙනි, දුස්සීල වූ පවිටු ගතිගුණ ඇති භික්ෂුණිය පිරිස දූෂණය කරන්නී වෙයි. මහණෙනි, දුස්සීල වූ පවිටු ගතිගුණ ඇති උපාසකයා පිරිස දූෂණය කරන්නේ වෙයි. මහණෙනි, දුස්සීල වූ පවිටු ගතිගුණ ඇති උපාසිකාව පිරිස දූෂණය කරන්නී වෙයි. මහණෙනි, මේ වනාහී පිරිස දූෂණය කරන්නෝ සතර දෙනා ය.

මහණෙනි, මේ පිරිස සෝභමාන කරන්නෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;

මහණෙනි, සිල්වත් වූ කල්‍යාණ ගතිගුණ ඇති භික්ෂුව පිරිස සෝභමාන කරන්නේ වෙයි. මහණෙනි, සිල්වත් වූ කල්‍යාණ ගතිගුණ ඇති භික්ෂුණිය පිරිස සෝභමාන කරන්නී වෙයි. මහණෙනි, සිල්වත් වූ කල්‍යාණ ගතිගුණ ඇති උපාසකයා පිරිස සෝභමාන කරන්නේ වෙයි. මහණෙනි, සිල්වත් වූ කල්‍යාණ ගතිගුණ ඇති උපාසිකාව පිරිස සෝභමාන කරන්නී වෙයි. මහණෙනි, මේ වනාහී පිරිස සෝභමාන කරන්නෝ සතර දෙනා ය.

සාදු! සාදු!! සාදු!!!

පරිසසෝභන සූත්‍රය නිමා විය.

4.5.2.2. පඨම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ පළමු දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

කාය දුෂ්චරිතයෙනි. වචී දුෂ්චරිතයෙනි. මනෝ දුෂ්චරිතයෙනි. මිථ්‍යා දෘෂ්ටියෙනි.

මහණෙනි, මේ සතර කරුණින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

කාය සුචරිතයෙනි. වචී සුචරිතයෙනි. මනෝ සුචරිතයෙනි. සම්‍යක් දෘෂ්ටියෙනි.

මහණෙනි, මේ සතර කරුණින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.3. දුතිය නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

කාය දුෂ්චරිතයෙනි. වචී දුෂ්චරිතයෙනි. මනෝ දුෂ්චරිතයෙනි. කෙලෙහි ගුණ නොදන්නා බව, කෙලෙහි ගුණ සිහි නොකරන බව ය.

මහණෙනි, මේ සතර කරුණින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

කාය සුචරිතයෙනි. වචී සුචරිතයෙනි. මනෝ සුචරිතයෙනි. කෙලෙහි ගුණ දන්නා බව, කෙලෙහි ගුණ සිහි කරන බව ය.

මහණෙනි, මේ සතර කරුණින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.4. තතිය නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ තෙවෙනි දෙසුම

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.)

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයේ යෙදීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.)

සාදු! සාදු!! සාදු!!!

තතිය නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.5. චතුත්ථ නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

වැරදි දෘෂ්ටි ඇත්තේ වෙයි. වැරදි සංකල්ප ඇත්තේ වෙයි. වැරදි වචන භාවිතය ඇත්තේ වෙයි. වැරදි කායික ක්‍රියා ඇත්තේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.)

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

නිවැරදි දෘෂ්ටි ඇත්තේ වෙයි. නිවැරදි සංකල්ප ඇත්තේ වෙයි. නිවැරදි වචන භාවිතය ඇත්තේ වෙයි. නිවැරදි කායික ක්‍රියා ඇත්තේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.)

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.6. පඤ්චම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ පස්වෙනි දෙසුම

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

වැරදි ජීවිකාව ඇත්තේ වෙයි. වැරදි වීරිය ඇත්තේ වෙයි. වැරදි සිහිය ඇත්තේ වෙයි. වැරදි සමාධිය ඇත්තේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.)

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

නිවැරදි ජීවිකාව ඇත්තේ වෙයි. නිවැරදි වීරිය ඇත්තේ වෙයි. නිවැරදි සිහිය ඇත්තේ වෙයි. නිවැරදි සමාධිය ඇත්තේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.)

සාදු! සාදු!! සාදු!!!

පඤ්චම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.7. ඡට්ඨම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ සයවෙනි දෙසුම

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

නුදුටු දේ දුටු බව කියන්නේ වෙයි. නොඇසූ දේ ඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය නොකළ දේ ආඝ්‍රාණය කළ බව කියන්නේ වෙයි, අනුභව නොකළ දේ අනුභව කළ බව කියන්නේ වෙයි, ස්පර්ශය නොලැබූ දේ ස්පර්ශය ලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් නොදැන ගත් දේ සිතෙන් දැනගත් බව කියන්නේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.)

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

නුදුටු දේ නුදුටු බව කියන්නේ වෙයි. නොඇසූ දේ නොඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය නොකළ දේ ආඝ්‍රාණය නොකළ බව කියන්නේ වෙයි, අනුභව නොකළ දේ අනුභව නොකළ බව කියන්නේ වෙයි, ස්පර්ශය නොලැබූ දේ ස්පර්ශය නොලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් නොදැන ගත් දේ සිතෙන් නොදැනගත් බව කියන්නේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.)

සාදු! සාදු!! සාදු!!!

ඡට්ඨ නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.8. සත්තම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ සත්වෙනි දෙසුම

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

දුටු දේ නුදුටු බව කියන්නේ වෙයි. ඇසූ දේ නොඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය කළ දේ ආඝ්‍රාණය නොකළ බව කියන්නේ වෙයි, අනුභව කළ දේ අනුභව නොකළ බව කියන්නේ වෙයි, ස්පර්ශය ලැබූ දේ ස්පර්ශය නොලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් දැන ගත් දේ සිතෙන් නොදැනගත් බව කියන්නේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.)

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

දුටු දේ දුටු බව කියන්නේ වෙයි. ඇසූ දේ ඇසූ බව කියන්නේ වෙයි. ආඝ්‍රාණය කළ දේ ආඝ්‍රාණය කළ බව කියන්නේ වෙයි, අනුභව කළ දේ අනුභව කළ බව කියන්නේ වෙයි, ස්පර්ශය ලැබූ දේ ස්පර්ශය ලැබූ බව කියන්නේ වෙයි. සිතෙන් දැන ගත් දේ සිතෙන් දැනගත් බව කියන්නේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.)

සාදු! සාදු!! සාදු!!!

සත්තම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.9. අට්ඨම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ අටවෙනි දෙසුම

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

සැදැහැ නැත්තේ වෙයි. දුස්සීල වෙයි. පවට ලැජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.)

(මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා ….(පෙ)…. )

සැදැහැ ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. පවට ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. ….(පෙ)…. (ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.)

සාදු! සාදු!! සාදු!!!

අට්ඨම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

4.5.2.10. නවම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය

නිරයේ – ස්වර්ගයේ ඉපදීම ගැන වදාළ නවවෙනි දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

සැදැහැ නැත්තේ වෙයි. දුස්සීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.

මහණෙනි, මේ සතර කරුණින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ වෙයි.

මහණෙනි, සතර කරුණකින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

සැදැහැවත් වෙයි. සිල්වත් වෙයි. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි.

මහණෙනි, මේ සතර කරුණින් යුතු වූ තැනැත්තා යම් සේ ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

නවම නිරය – සග්ග නික්ඛිත්ත සූත්‍රය නිමා විය.

දෙවෙනි පරිසසෝභන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පරිසසෝභන සූත්‍රය සහ නිරය සග්ග සූත්‍ර නවයක් වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M