මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේධඤ්ඤ නම් ශාක්‍ය රජවරු වෙත් ද, ඔවුන්ගේ අඹ වනයෙහි වූ ප්‍රාසාදයෙහි වැඩවසන සේක.
එසමයෙහි වනාහී නිගණ්ඨනාතපුත්‍ර තෙමේ රජගහ නුවරට නුදුරු වූ පාවා නම් නුවරකදී කලුරිය කොට නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුගේ කලුරිය කිරීමෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසකට බෙදී රණ්ඩු ඇති කරගනිමින්, කෝලාහල ඇතිකරගනිමින්, වාද විවාදයන්ට පැමිණෙමින්, එකිනෙකාට වචන නැමැති අවියෙන් විදගනිමින් වාසය කරති. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහි ය. මම් මේ ධර්ම විනය දනිමි. කිම? තෝ මේ ධර්ම විනය දන්නෙහි ද? තෝ මිථ්‍යාවට පිළිපන්නෙහි ය. මම් යහපතට පිළිපන්නෙමි. මා කියන කරුණු හේතු යුක්ත ය. තගේ කරුණු හේතු රහිත ය. කලින් කිව යුත්ත පසු ව කීවෙහි ය. පසු ව කිව යුත්ත කලින් කීවෙහි ය. තා විසින් බොහෝ කල් පුරුදු කළ දෑ මේ වාදය නිසා කණපිට පෙරලුණේ ය. මා විසින් තට වාදයක් නංවන ලද්දේ ය. මා විසින් තෝ ගරහන ලද්දෙහි ය. වාදයෙන් බේරෙන්නට උපාය සොයමින් පල. ඉදින් පුළුවන් නම් වාදය ලිහා ගනුව’ යනුවෙනි.
නිගණ්ඨනාතපුත්තගේ ගෝලයන් අතර හිංසා කරගැනීමක් ම මේ නිසා පවතියි. නිගණ්ඨනාතපුත්තගේ යම් ඒ සුදුවත් හඳින ගිහි සව්වෝ වෙත් ද, ඔවුහු නිගණ්ඨනාතපුත්තගේ ගෝලයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇති ව, නොබැඳුණු ස්වභාව ඇති ව, පුද සත්කාරයන්හි පසුබට වන ස්වභාව ඇති වූවාහු ය. වැරදි ලෙස කියන ලද, වැරදි ලෙස දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්ම විනයක, බිඳීගිය ස්ථූපය ඇති, පිළිසරණ රහිත වූවන් හට සිදුවන්නේ යම් අයුරකින් ද, එසේ ම වූයේ ය.
එකල්හී චුන්ද සාමණේර තෙමේ පාවා නුවර වස් වැස සාමගම යම් තැන ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ යම් තැනක සිටියාහු ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් හට සකසා වන්දනා කොට එකත් පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් චුන්ද සාමණේරයෝ ආයුෂ්මත් ආනන්දයන් හට මෙය පැවසූහ.
“ස්වාමීනී, නිගණ්ඨනාතපුත්‍ර තෙමේ රජගහ නුවරට නුදුරු වූ පාවා නම් නුවරකදී කලුරිය කොට නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුගේ කලුරිය කිරීමෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසකට බෙදී රණ්ඩු ඇති කරගනිමින්, කෝලාහල ඇතිකරගනිමින්, වාද විවාදයන්ට පැමිණෙමින්, එකිනෙකාට වචන නැමැති අවියෙන් විදගනිමින් වාසය කරති. ‘තෝ මේ ධර්ම විනය නොදන්නෙහි ය. මම් මේ ධර්ම විනය දනිමි. කිම? තෝ මේ ධර්ම විනය දන්නෙහි ද? තෝ මිථ්‍යාවට පිළිපන්නෙහි ය. මම් යහපතට පිළිපන්නෙමි. මා කියන කරුණු හේතු යුක්ත ය. තගේ කරුණු හේතු රහිත ය. කලින් කිව යුත්ත පසු ව කීවෙහි ය. පසු ව කිව යුත්ත කලින් කීවෙහි ය. තා විසින් බොහෝ කල් පුරුදු කළ දෑ මේ වාදය නිසා කණපිට පෙරලුණේ ය. මා විසින් තට වාදයක් නංවන ලද්දේ ය. මා විසින් තෝ ගරහන ලද්දෙහි ය. වාදයෙන් බේරෙන්නට උපාය සොයමින් පල. ඉදින් පුළුවන් නම් වාදය ලිහා ගනුව’ යනුවෙනි.
නිගණ්ඨනාතපුත්තගේ ගෝලයන් අතර හිංසා කරගැනීමක් ම මේ නිසා පවතියි. නිගණ්ඨනාතපුත්තගේ යම් ඒ සුදුවත් හඳින ගිහි සව්වෝ වෙත් ද, ඔවුහු නිගණ්ඨනාතපුත්තගේ ගෝලයන් කෙරෙහි කලකිරුණු ස්වභාව ඇති ව, නොබැඳුණු ස්වභාව ඇති ව, පුද සත්කාරයන්හි පසුබට වන ස්වභාව ඇති වූවාහු ය. වැරදි ලෙස කියන ලද, වැරදි ලෙස දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්ම විනයක, බිඳීගිය ස්ථූපය ඇති, පිළිසරණ රහිත වූවන් හට සිදුවන්නේ යම් අයුරකින් ද, එසේ ම වූයේ ය.”
මෙසේ කී කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ චුන්ද සාමණේරයන්ට මෙය පැවසූහ.
“ඇවැත් චුන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ බැහැදකිනු පිණිස මෙය කථා පඬුරෙකි. එමු ඇවැත් චුන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙන්නෙමු. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙම කරුණ සැළකරන්නෙමු.”
“එසේ ය, ස්වාමීනී” යි චුන්ද සාමණේරයෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, චුන්ද සාමණේරයෝ ත්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මේ චුන්ද සාමණේරයෝ මෙසේ කීහ. ‘ස්වාමීනී, නිගණ්ඨනාතපුත්‍ර තෙමේ රජගහ නුවරට නුදුරු වූ පාවා නම් නුවරකදී කලුරිය කොට නොබෝ කල් ඇත්තේ වෙයි. ඔහුගේ කලුරිය කිරීමෙන් පසු නිගණ්ඨයෝ දෙකොටසකට බෙදී ….(පෙ)…. බිඳීගිය ස්ථූපය ඇති, පිළිසරණ රහිත වූවන් හට සිදුවන්නේ යම් අයුරකින් ද, එසේ ම වූයේ ය’ යි.”
“චුන්දයෙනි, වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද, ධර්ම විනයෙහි එය එසේ ම වෙයි.
චුන්දයෙනි, මෙහිලා ශාස්තෘවරයා ත් සම්මා සම්බුදු නොවන්නෙකු වෙයි. ධර්මය ත් වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන සම්මා සම්බුදු නොවන කෙනෙකු විසින් පවසන ලද්දේ වෙයි. ශ්‍රාවකයා ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන්, සාමීචි ප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරීමෙන් තොර ව වසයි නම්, ඔහු ඒ ධර්මයෙන් බැහැර ව පවතියි නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය.
‘ඇවැත, ඒ තොපට ලාභයකි. ඒ තොපට මනා වූ ලැබීමකි. තොපගේ ශාස්තෘ තෙමේ සම්මා සම්බුදු නොවන්නෙකි. ධර්මය ත් වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන සම්මා සම්බුදු නොවන කෙනෙකු විසින් පවසන ලද්දේ වෙයි. තොප ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් නොවසන්නෙහි ය. සාමීචි ප්‍රතිපදාවෙන් නොවසන්නෙහි ය. ධර්මයට අනුව නොහැසිරෙන්නෙහි ය. ධර්මයෙන් බැහැර ව සිටින්නෙහි ය’ යනුවෙනි.
මෙසේ චුන්දයෙනි, එහිලා ශාස්තෘවරයා ත් ගැරහිය යුත්තේ ය. එහි ධර්මය ත් ගැරහිය යුත්තේ ය. එහි ශ්‍රාවකයා මෙසේ පැසසිය යුත්තේ ය. චුන්දයෙනි, යමෙක් මෙබඳු වූ ශ්‍රාවකයෙකුට මෙසේ කියයි නම්, ‘ආයුෂ්මත, පැමිණේවා! ඔබගේ ශාස්තෘවරයා විසින් යම් අයුරකින් ධර්මය දෙසන ලද්දේ ද, පණවන ලද්දේ ද, එසේ ම පිළිපදීවා!’ යි, යමෙකුත් එය සමාදන් කරවයි ද, යමෙකු ව සමාදන් කරවයි ද, යමෙකුත් සමාදන් කරවන ලදු ව ඒ අයුරින් පිළිපදියි ද, ඒ සියල්ලෝ බොහෝ පව් රැස් කරගනිති. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස නොපවතින, සංසිඳීම පිණිස නොපවතින, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්ම විනයෙහි එය එසේ ම වෙයි.
චුන්දයෙනි, මෙහිලා ශාස්තෘවරයා ත් සම්මා සම්බුදු නොවන්නෙකු වෙයි. ධර්මය ත් වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන සම්මා සම්බුදු නොවන කෙනෙකු විසින් පවසන ලද්දේ වෙයි. ශ්‍රාවකයා ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන්, සාමීචි ප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරීමෙන් යුක්ත ව වසයි නම්, ඔහු ඒ ධර්මය සමාදන් ව වසයි නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය.
‘ඇවැත, ඒ තොපට අලාභයකි. ඒ තොපට නපුරු වූ ලැබීමකි. තොපගේ ශාස්තෘ තෙමේ සම්මා සම්බුදු නොවන්නෙකි. ධර්මය ත් වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද කෙලෙස් නැසීම පිණිස හේතු නොවන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු නොවන සම්මා සම්බුදු නොවන කෙනෙකු විසින් පවසන ලද්දේ වෙයි. තොප ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් වසන්නෙහි ය. සාමීචි ප්‍රතිපදාවෙන් වසන්නෙහි ය. ධර්මයට අනුව හැසිරෙන්නෙහි ය. ඒ ධර්මය සමාදන් ව සිටින්නෙහි ය’ යනුවෙනි.
මෙසේ චුන්දයෙනි, එහිලා ශාස්තෘවරයා ත් ගැරහිය යුත්තේ ය. එහි ධර්මය ත් ගැරහිය යුත්තේ ය. එහි ශ්‍රාවකයා ත් මෙසේ ගැරහිය යුත්තේ ය. චුන්දයෙනි, යමෙක් මෙබඳු වූ ශ්‍රාවකයෙකුට මෙසේ කියයි නම්, ‘ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ අවබෝධය පිණිස පිළිපන්නේ ය. අවබෝධය ඇතිවන්නේ ය’ යනුවෙන් එය පසසන්නේ ද, යමෙකු ව පසසන්නේ ද, යමෙකුත් පසසන ලද්දේ, එසේ හැසිරීම පිණිස බොහෝ සෙයින් වීර්යය අරඹයි ද, ඒ සියල්ලෝ බොහෝ පව් රැස් කරගනිති. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, වැරදියට කියන ලද, වැරදියට දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස නොපවතින, සංසිඳීම පිණිස නොපවතින, සම්මා සම්බුදු නොවන්නෙකු විසින් පවසන ලද ධර්ම විනයෙහි එය එසේ ම වෙයි.
චුන්දයෙනි, මෙහිලා ශාස්තෘවරයා ත් සම්මා සම්බුදු වෙයි. ධර්මය ත් නිවැරදි ව කියන ලද, නිවැරදි ව දන්වන ලද කෙලෙස් නැසීම පිණිස හේතු වන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වන, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද්දේ වෙයි. එසේ නමුත් ශ්‍රාවකයා ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන්, සාමීචි ප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරීමෙන් තොර ව වසයි නම්, ඔහු ඒ ධර්මයෙන් බැහැර ව පවතියි නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය.
‘ඇවැත, ඒ තොපට අලාභයකි. ඒ තොපට නපුරු වූ ලැබීමකි. තොපගේ ශාස්තෘ තෙමේ සම්මා සම්බුදුවරයෙකි. ධර්මය ත් නිවැරදි ව කියන ලද, නිවැරදි ව දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු වන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වන, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද්දේ වෙයි. එසේ නමුත් තොප ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් නොවසන්නෙහි ය. සාමීචි ප්‍රතිපදාවෙන් නොවසන්නෙහි ය. ධර්මයට අනුව නොහැසිරෙන්නෙහි ය. ඒ ධර්මයෙන් බැහැර ව සිටින්නෙහි ය’ යනුවෙනි.
මෙසේ චුන්දයෙනි, එහිලා ශාස්තෘවරයා ත් පැසසිය යුත්තේ ය. එහි ධර්මය ත් පැසසිය යුත්තේ ය. එහි ශ්‍රාවකයා මෙසේ ගැරහිය යුත්තේ ය. චුන්දයෙනි, යමෙක් මෙබඳු වූ ශ්‍රාවකයෙකුට මෙසේ කියයි නම්, ‘ආයුෂ්මත, පැමිණේවා! ඔබගේ ශාස්තෘවරයා විසින් යම් අයුරකින් ධර්මය දෙසන ලද්දේ ද, පණවන ලද්දේ ද, එසේ ම පිළිපදීවා!’ යි, යමෙකුත් එය සමාදන් කරවයි ද, යමෙකු ව සමාදන් කරවයි ද, යමෙකුත් සමාදන් කරවන ලදු ව ඒ අයුරින් පිළිපදියි ද, ඒ සියල්ලෝ බොහෝ පින් රැස් කරගනිති. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, නිවැරදි ව කියන ලද, නිවැරදි ව දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස පවතින, සංසිඳීම පිණිස පවතින, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද ධර්ම විනයෙහි එය එසේ ම වෙයි.
චුන්දයෙනි, මෙහිලා ශාස්තෘවරයා ත් සම්මා සම්බුදු වෙයි. ධර්මය ත් නිවැරදි ව කියන ලද, නිවැරදි ව දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු වන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වන, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද්දේ වෙයි. ශ්‍රාවකයා ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන්, සාමීචි ප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරීමෙන් යුක්ත ව වසයි නම්, ඔහු ඒ ධර්මය සමාදන් ව වසයි නම්, ඔහුට මෙසේ කිව යුත්තේ ය.
‘ඇවැත, ඒ තොපට ලාභයකි. ඒ තොපට මනා වූ ලැබීමකි. තොපගේ ශාස්තෘ තෙමේ සම්මා සම්බුදුවරයෙකි. ධර්මය ත් නිවැරදි ව කියන ලද, නිවැරදි ව දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස හේතු වන, කෙලෙස් සංසිඳීම පිණිස හේතු වන, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද්දේ වෙයි. තොප ද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් වසන්නෙහි ය. සාමීචි ප්‍රතිපදාවෙන් වසන්නෙහි ය. ධර්මයට අනුව හැසිරෙන්නෙහි ය. ඒ ධර්මය සමාදන් ව සිටින්නෙහි ය’ යනුවෙනි.
මෙසේ චුන්දයෙනි, එහිලා ශාස්තෘවරයා ත් පැසසිය යුත්තේ ය. එහි ධර්මය ත් පැසසිය යුත්තේ ය. එහි ශ්‍රාවකයා ත් මෙසේ පැසසිය යුත්තේ ය.
චුන්දයෙනි, යමෙක් මෙබඳු වූ ශ්‍රාවකයෙකුට මෙසේ කියයි නම්, ‘ඒකාන්තයෙන් ආයුෂ්මත් තෙමේ අවබෝධය පිණිස පිළිපන්නේ ය. අවබෝධය ඇතිවන්නේ ය’ යනුවෙන් එය පසසන්නේ ද, යමෙකු ව පසසන්නේ ද, යමෙකුත් පසසන ලද්දේ, එසේ හැසිරීම පිණිස බොහෝ සෙයින් වීර්යය අරඹයි ද, ඒ සියල්ලෝ බොහෝ පින් රැස් කරගනිති. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, නිවැරදි ව කියන ලද, නිවැරදි ව දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස පවතින, සංසිඳීම පිණිස පවතින, සම්මා සම්බුදුවරයෙකු විසින් පවසන ලද ධර්ම විනයෙහි එය එසේ ම වෙයි.
චුන්දයෙනි, මෙහිලා අරහත් සම්මා සම්බුදු ශාස්තෘ තෙමේ ත් ලෝකයෙහි පහළ වූයේය. ධර්මය ත් මැනැවින් දෙසන ලද්දේ, මැනැවින් දන්වන ලද්දේ, කෙලෙස් නැසීම පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත් පවතින අයුරින්. සම්මා සම්බුදුන් විසින් දෙසන ලද්දේ ය. ඒ බුදුරජුන් විසින් සිය ශ්‍රාවකයෝ ද, සද්ධර්මයෙහි අරුත් අවබෝධ නොකරවන ලද්දාහු නම්, ඒ ශ්‍රාවකයන්ට මුළුමනින් ම පිරිපුන් බඹසර නොපවසන ලද්දේ නම්, ඉස්මතු නොකරන ලද්දේ නම්, සියළු ශාසනික අර්ථයන් එකට ගොනු නොකරන ලද්දේ නම්, ප්‍රාතිහාර්යය සහිත ව දහම් නොදෙසන ලද්දේ නම්, යම්තාක් දෙවිමිනිසුන් අතර මැනැවින් ප්‍රකාශිත නොවූයේ ම නම්, එකල්හී යම් හෙයකින් ඒ ශ්‍රාවකයන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවී යත් නම්, චුන්දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කළේ ශ්‍රාවකයන් හට ඒ පිරිනිවීම ගැන සිතන විට මහත් පසුතැවිල්ල ඇති කරන්නේ වෙයි. ඒ මක් නිසාද යත්; ‘අරහත් සම්මා සම්බුදු වූ අපගේ ශාස්තෘන් වහන්සේ ත් ලොව පහළ වූහ. ධර්මය ත් මැනැවින් දෙසන ලද්දේ, මැනැවින් දන්වන ලද්දේ, කෙලෙස් නැසීම පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත් පවතින අයුරින්. සම්මා සම්බුදුන් විසින් දෙසන ලද්දේ ය. එහෙත් ඒ බුදුරජුන් විසින් ශ්‍රාවක අපි සද්ධර්මයෙහි අරුත් අවබෝධ නොකරවන ලද්දෙමු. ඒ අපට මුළුමනින් ම පිරිපුන් බඹසර නොපවසන ලද්දේ ය. ඉස්මතු නොකරන ලද්දේ ය. සියළු ශාසනික අර්ථයන් එකට ගොනු නොකරන ලද්දේ ය. ප්‍රාතිහාර්යය සහිත ව දහම් නොදෙසන ලද්දේ ය. යම්තාක් දෙවිමිනිසුන් අතර මැනැවින් ප්‍රකාශිත නොවූයේ ම වෙයි. එකල්හී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවී ගිය සේක’ යි. චුන්දයෙනි, මෙබඳු ශාස්තෘ තෙමේ කලුරිය කළේ ශ්‍රාවකයන් හට ඒ පිරිනිවීම ගැන සිත සිතා පසුතැවිල්ල ඇති කරන්නේ වෙයි.”
චුන්දයෙනි, මෙහිලා අරහත් සම්මා සම්බුදු ශාස්තෘ තෙමේ ත් ලෝකයෙහි පහළ වෙයි. ධර්මය ත් මැනැවින් දෙසන ලද්දේ, මැනැවින් දන්වන ලද්දේ, කෙලෙස් නැසීම පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත් පවතින අයුරින් සම්මා සම්බුදුන් විසින් දෙසන ලද්දේ ය. ඒ බුදුරජුන් විසින් සිය ශ්‍රාවකයෝ ද, සද්ධර්මයෙහි අරුත් අවබෝධ කරවන ලද්දාහු නම්, ඒ ශ්‍රාවකයන්ට මුළුමනින් ම පිරිපුන් බඹසර පවසන ලද්දේ නම්, ඉස්මතු කරන ලද්දේ නම්, සියළු ශාසනික අර්ථයන් එකට ගොනු කරන ලද්දේ නම්, ප්‍රාතිහාර්යය සහිත ව දහම් දෙසන ලද්දේ නම්, යම්තාක් දෙවිමිනිසුන් අතර මැනැවින් ප්‍රකාශිත වූයේ ම නම්, එකල්හී යම් හෙයකින් ඒ ශ්‍රාවකයන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවී යත් නම්, චුන්දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කළේ ශ්‍රාවකයන් හට ඒ පිරිනිවීම ගැන සිතන විට මහත් පසුතැවිල්ල ඇති නොකරන්නේ වෙයි. ඒ මක් නිසාද යත්; ‘අරහත් සම්මා සම්බුදු වූ අපගේ ශාස්තෘන් වහන්සේ ත් ලොව පහළ වූහ. ධර්මය ත් මැනැවින් දෙසන ලද්දේ, මැනැවින් දන්වන ලද්දේ, කෙලෙස් නැසීම පිණිස ත්, කෙලෙස් සංසිඳීම පිණිස ත් පවතින අයුරින් සම්මා සම්බුදුන් විසින් දෙසන ලද්දකි. ඒ බුදුරජුන් විසින් ශ්‍රාවක වූ අපි සද්ධර්මයෙහි අරුත් අවබෝධ කරවන ලද්දෙමු. ඒ අපට මුළුමනින් ම පිරිපුන් බඹසර පවසන ලද්දේ ය. ඉස්මතු කරන ලද්දේ ය. සියළු ශාසනික අර්ථයන් එකට ගොනු කරන ලද්දේ ය. ප්‍රාතිහාර්යය සහිත ව දහම් දෙසන ලද්දේ ය. යම්තාක් දෙවිමිනිසුන් අතර මැනැවින් ප්‍රකාශිත වූයේ ම වෙයි. එකල්හී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවී ගිය සේක’ යි. චුන්දයෙනි, මෙබඳු වූ ශාස්තෘ තෙමේ කලුරිය කළේ ශ්‍රාවකයන් හට ඒ පිරිනිවීම ගැන සිත සිතා පසුතැවිල්ල ඇති නොකරන්නේ වෙයි.
ඉදින් චුන්දයෙනි, මේ අංගයන්ගෙන් යුක්ත වූ බඹසරක් ඇද්ද, එනමුත් ශාස්තෘවරයා පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ නොවෙයි නම්, ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ නොවෙයි නම්, පැවිදි ව බොහෝ කල් ගත නොවූයේ නම්, පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් නොවූයේ නම්, මෙසේ ඒ බඹසර ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
ඉදින් චුන්දයෙනි, යම් කලෙක මේ අංගයන්ගෙන් යුක්ත වූ බඹසරක් ඇද්ද, එමෙන් ම ශාස්තෘවරයා ද පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ වෙයි ද, ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ වෙයි ද, පැවිදි ව බොහෝ කල් ගත වූයේ ද, පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් වූයේ ද, මෙසේ ඒ බඹසර ඒ අංගයෙන් සම්පූර්ණ වෙයි.
ඉදින් චුන්දයෙනි, මේ අංගයන්ගෙන් යුක්ත වූ බඹසරක් ඇද්ද, එමෙන් ම ශාස්තෘවරයා ද පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ වෙයි ද, ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ වෙයි ද, පැවිදි ව බොහෝ කල් ගත වූයේ ද, පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් වූයේ ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, රහත් බවට පත් වූ, සද්ධර්මයෙහි විස්තර පවසන්නට සමර්ථ වූ, උපන් පරාපවාදයන් ධර්මය තුළින් කරුණු සහිත ව නිග්‍රහ කොට සත්‍යාවබෝධ වන පරිදි දහම් දෙසන්නට වූ සමර්ථ වූ පැවිදි ව දසවස් ඉක්ම ගිය ස්ථවිර ශ්‍රාවක භික්ෂූහු නොවෙත් නම්, මෙසේ ඒ බඹසර ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
යම් කලෙක චුන්දයෙනි, මේ අංග දෙකෙන් යුක්ත වූ බඹසරක් ඇද්ද, එමෙන්ම ශාස්තෘවරයා ද පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ වෙයි ද, ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ වෙයි ද, පැවිදි ව බොහෝ කල් ගත වූයේ ද, පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් වූයේ ද, එමෙන් ම ඔහුට ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, රහත් බවට පත් වූ, සද්ධර්මයෙහි විස්තර පවසන්නට සමර්ථ වූ, උපන් පරාපවාදයන් ධර්මය තුළින් කරුණු සහිත ව විග්‍රහ කොට සත්‍යාවබෝධ වන පරිදි දහම් දෙසන්නට සමර්ථ වූ පැවිදි ව දසවස් ඉක්ම ගිය ස්ථවිර ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, මෙසේ ඒ බඹසර ඒ අංගයෙන් සම්පූර්ණ වෙයි.
ඉදින් චුන්දයෙනි, මේ අංගයන්ගෙන් යුක්ත වූ බඹසරක් ඇද්ද, එමෙන් ම ශාස්තෘවරයා ද පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ වෙයි ද, ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ වෙයි ද, පැවිදි ව බොහෝ කල් ගත වූයේ ද, පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් වූයේ ද, එමෙන් ම ඔහුට ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, රහත් බවට පත් වූ, සද්ධර්මයෙහි විස්තර පවසන්නට සමර්ථ වූ, උපන් පරාපවාදයන් ධර්මය තුළින් කරුණු සහිත ව විග්‍රහ කොට සත්‍යාවබෝධ වන පරිදි දහම් දෙසන්නට සමර්ථ වූ පැවිදි ව දසවස් ඉක්ම ගිය ස්ථවිර ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. මධ්‍යම වස් ඇති ශ්‍රාවක භික්ෂූහු නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. මධ්‍යම වස් ඇති ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. නවක ශ්‍රාවක භික්ෂූහු නොවෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. නවක ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. දස වස් ඇති ස්ථවිර ශ්‍රාවිකා භික්ෂුණීහු නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. දස වස් ඇති ස්ථවිර ශ්‍රාවිකා භික්ෂුණීහු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. මධ්‍යම වස් ඇති ශ්‍රාවිකා භික්ෂුණීහු නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. මධ්‍යම වස් ඇති ශ්‍රාවිකා භික්ෂුණීහු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. නවක ශ්‍රාවිකා භික්ෂුණීහු නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. නවක ශ්‍රාවිකා භික්ෂුණීහු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ බ්‍රහ්මචාරී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසකවරු නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. බ්‍රහ්මචාරී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසකවරු වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. බ්‍රහ්මචාරිනී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසිකාවෝ නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. බ්‍රහ්මචාරිනී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසිකාවෝ වෙත් ද, නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසකවරු නොවෙත් ද, ….(පෙ)…. එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසකවරු වෙත් ද, ….(පෙ)…. නමුත් ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසිකාවෝ නොවෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසිකාවෝ වෙත් ද, ….(පෙ)…. නමුත් ඔහුගේ බඹසර සමෘද්ධිමත් නොවූයේ ත්, ආඪ්‍ය නොවූයේ ත්, නොපැතිර ගියේ ත්, බොහෝ ජනයා විසින් නොදන්නා ලද්දේ ත්, පුළුල් ව නොගියේ ත්, නුවණැති දෙව් මිනිසුන් අතර යම්තාක් මැනැවින් ප්‍රකාශිත නොවූයේ ත් වෙයි ද, ….(පෙ)…. එමෙන් ම ඔහුගේ බඹසර සමෘද්ධිමත් වූයේ ත්, ආඪ්‍ය වූයේ ත්, පැතිර ගියේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව ගියේ ත්, නුවණැති දෙව් මිනිසුන් අතර යම්තාක් මැනැවින් ප්‍රකාශිත වූයේ ත් වෙයි ද, ….(පෙ)…. ඔහුගේ බඹසර සමෘද්ධිමත් වූයේ ත්, ආඪ්‍ය වූයේ ත්, පැතිර ගියේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව ගියේ ත්, නුවණැති දෙව් මිනිසුන් අතර යම්තාක් මැනැවින් ප්‍රකාශිත වූයේ ත් වෙයි. නමුත් ලාභයෙන්, යස පිරිවරින් අගතැන්පත් නොවෙයි නම් මෙසේ ඒ බඹසර ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
යම් කලෙක චුන්දයෙනි, මේ දෙඅංගයෙන් යුක්ත වූ බඹසරක් ඇද්ද, එනම්, ශාස්තෘවරයා ද පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ වෙයි ද, ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ වෙයි ද, පැවිදි ව බොහෝ කල් ගත වූයේ ද, පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් වූයේ ද, එමෙන් ම ඔහුට ව්‍යක්ත වූ ….(පෙ)…. පැවිදි ව දසවස් ඉක්ම ගිය ස්ථවිර ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, ව්‍යක්ත වූ ….(පෙ)…. එමෙන් ම මධ්‍යම වස් ඇති ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. නවක ශ්‍රාවක භික්ෂූහු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. දස වස් ඇති ස්ථවිර ශ්‍රාවිකා භික්ෂුණීහු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. මධ්‍යම වස් ඇති ශ්‍රාවිකා භික්ෂුණීහු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. නවක ශ්‍රාවිකා භික්ෂුණීහු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. බ්‍රහ්මචාරී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසකවරු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. බ්‍රහ්මචාරිනී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසිකාවෝ වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසකවරු වෙත් ද, එමෙන් ම ව්‍යක්ත වූ ….(පෙ)…. සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසිකාවෝ වෙත් ද, එමෙන් ම ඔහුගේ බඹසර සමෘද්ධිමත් වූයේ ත්, ආඪ්‍ය වූයේ ත්, පැතිර ගියේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව ගියේ ත්, නුවණැති දෙව් මිනිසුන් අතර යම්තාක් මැනැවින් ප්‍රකාශිත වූයේ ත් වෙයි ද, එමෙන් ම ලාභයෙන්, යස පිරිවරින් අගතැන්පත් ද වෙයි නම් මෙසේ ඒ බඹසර ඒ අංගයෙන් සම්පූර්ණ වෙයි.
චුන්දයෙනි, මම් වනාහී මෙකල්හී ලෝකයෙහි පහළ වූ අරහත් සම්මා සම්බුදු ශාස්තෘවරයා වෙමි. ධර්මය ද මනාකොට දෙසන ලද්දේ, මැනැවින් දන්වන ලද්දේ, කෙලෙස් නැසීම පිණිස පවතින්නේ, කෙලෙස් සංසිඳීම පිණිස පවතින්නේ, සම්මා සම්බුදු වූ මා විසින් පවසන ලද්දකි. මා විසින් ශ්‍රාවකයෝ සද්ධර්මයෙහි අරුත් අවබෝධ කරවන ලද්දාහ. ඒ ශ්‍රාවකයන්ට මුළුමනින් ම පිරිපුන් බඹසර පවසන ලද්දේ ය. ඉස්මතු කරන ලද්දේ ය. සියළු ශාසනික අර්ථයන් එකට ගොනු කරන ලද්දේ ය. ප්‍රාතිහාර්යය සහිත ව දහම් දෙසන ලද්දේ ය. යම්තාක් දෙවිමිනිසුන් අතර මැනැවින් ප්‍රකාශිත වූයේ ම වෙයි.
චුන්දයෙනි, මෙකල්හී ශාස්තෘවරයා වන මම් වනාහී පැවිදි ව දසවසක් ඉක්ම ගිය ස්ථවිර බවට පත් වූයේ වෙමි. ගෙවන ලද බොහෝ රාත්‍රී ඇත්තේ වෙමි. පැවිදි ව බොහෝ කල් ගත වූයේ වෙමි. පිළිවෙලින් වයෝවෘද්ධ බවට පත් වූයේ වෙමි. චුන්දයෙනි, මෙකල්හී මා හට පැවිදි ව දසවස් ඉක්ම ගිය ස්ථවිර ශ්‍රාවක භික්ෂූහු වෙති. ඒ ශ්‍රාවකවරු ව්‍යක්ත වෙති. විනීත වෙති. විශාරද වෙති. රහත් බවට පත් වෙති. සද්ධර්මයෙහි විස්තර පවසන්නට සමර්ථ වෙති. උපන් පරාපවාදයන් ධර්මය තුළින් කරුණු සහිත ව නිග්‍රහ කොට සත්‍යාවබෝධ වන පරිදි දහම් දෙසන්නට සමර්ථ වෙති.
චුන්දයෙනි, මෙකල්හී මා හට මධ්‍යම වස් ඇති ශ්‍රාවක භික්ෂූහු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට නවක ශ්‍රාවක භික්ෂූහු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට දස වස් ඇති ස්ථවිර ශ්‍රාවිකා භික්ෂුණීහු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට මධ්‍යම වස් ඇති ශ්‍රාවිකා භික්ෂුණීහු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට නවක ශ්‍රාවිකා භික්ෂුණීහු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට බ්‍රහ්මචාරී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසකවරු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට බ්‍රහ්මචාරිනී ව සුදුවත් හැඳ ගිහි ගෙයි වසන උපාසිකාවෝ වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසකවරු වෙති. ….(පෙ)…. චුන්දයෙනි, මෙකල්හී මා හට සුදුවත් හැඳ කාමභෝගී ව ගිහි ගෙයි වසන උපාසිකාවෝ වෙති. ….(පෙ)….
චුන්දයෙනි, මෙකල්හී මාගේ බඹසර සමෘද්ධිමත් වූයේ ත්, ආඪ්‍ය වූයේ ත්, පැතිර ගියේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව ගියේ ත්, නුවණැති දෙව් මිනිසුන් අතර යම්තාක් මැනැවින් ප්‍රකාශිත වූයේ ත් වෙයි.
චුන්දයෙනි, මෙකල්හී යම්තාක් ශාස්තෘවරු ලොව පහළ වී සිටිත් ද, චුන්දයෙනි, ඔවුන් අතර මම් බඳු ලාභ සත්කාරයෙන් හා යස පිරිවරින් මුදුන් පත් අන්‍ය වූ එක් ශාස්තෘවරයෙකුවත් මම නොදකිමි.
චුන්දයෙනි, මෙකල්හී යම්තාක් සඟ පිරිසක් හෝ සමූහයක් හෝ ලොව පහළ ව සිටිත් ද, චුන්දයෙනි, මේ භික්ෂු සංඝයා බඳු ලාභසත්කාරයෙන් හා යස පිරිවරින් මුදුන් පත් අන්‍ය වූ එකදු සඟ පිරිසක් වත් මම නොදකිමි.
චුන්දයෙනි, මනාකොට කියන්නෙක් සියළු අයුරින් සම්පූර්ණ වූ, සියළු අයුරින් පිරිපුන්, අඩු ත් නොවූ, වැඩි ත් නොවූ, මැනැවින් පවසන ලද, මුළුමනින් ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශිත යැයි යමක් අරභයා කියයි නම්, මනාකොට කියන්නෙක් එය මේ සසුන් බඹසර අරභයා ම සියළු අයුරින් සම්පූර්ණ වූ, සියළු අයුරින් පිරිපුන්, අඩු ත් නොවූ, වැඩි ත් නොවූ, මැනැවින් පවසන ලද, මුළුමනින් ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශිත යැයි මැනැවින් ම කියයි.
චුන්දයෙනි, රාමපුත්ත උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි. ‘දැක්ක විට නොදකියි’ යි කියා ය. කුමක් දැක්ක විට නොදකියි ද යත්; හොඳින් මුවහත් කරන ලද දැලිපිහියෙහි තලය පෙනෙයි. එහෙත් එහි මුවහත නොපෙනෙයි. චුන්දයෙනි, මෙය ‘දැක්ක විට නොදකියි’ යි කියනු ලැබෙයි. චුන්දයෙනි, රාම පුත්ත උද්දක විසින් යමක් කියන ලද්දේ ද, එය හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජන වූ, අනාර්ය වූ, අනර්ථයෙන් යුක්ත වූ දැලිපිහිය අරභයා ම කියන ලද්දේ ය. නමුත් චුන්දයෙනි, ඉදින් මනාකොට කියන්නෙක් යමක් අරභයා ‘දැක්ක විට නොදකියි’ යි කියා කියයි නම්, මනාකොට කියන්නෙක් මේ සසුන් බඹසර අරභයා ම ‘දැක්ක විට නොදකියි’ යි මැනැවින් කියන්නේ ය.
කුමක් දැක්ක විට නොදකියි ද යත්; මෙසේ සියළු අයුරින් සම්පූර්ණ වූ, සියළු අයුරින් පිරිපුන්, අඩු ත් නොවූ, වැඩි ත් නොවූ, මැනැවින් පවසන ලද, මුළුමනින් ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශිත යැයි ද, මෙසේ ම මේ සසුන් බඹසර දකියි. මේ සසුන් බඹසරෙහි මේ කොටස බැහැර කළ යුතු ය, එය බැහැර කළ විට ඒ සසුන් බඹසර වඩාත් පිරිසිදු වෙයි කියා මෙසේ බැහැර කළ යුතු දෙයක් නොදකියි. මේ සසුන් බඹසරට බාහිරින් මේ කොටස එක් කළ යුතුය, එවිට මෙය වඩා ත් පිරිසිදු වෙයි කියා මේ සසුන් බඹසරට බාහිරින් එක් කළ යුතු දේකුත් නොදකියි. මෙය ‘දැක්ක විට නොදකියි’ යි කියනු ලැබෙයි.
චුන්දයෙනි, මනාකොට කියන්නෙක් සියළු අයුරින් සම්පූර්ණ වූ, සියළු අයුරින් පිරිපුන්, අඩු ත් නොවූ, වැඩි ත් නොවූ, මැනැවින් පවසන ලද, මුළුමනින් ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශිත යැයි යමක් අරභයා කියයි නම්, මනාකොට කියන්නෙක් එය මේ සසුන් බඹසර අරභයා ම සියළු අයුරින් සම්පූර්ණ වූ, සියළු අයුරින් පිරිපුන්, අඩු ත් නොවූ, වැඩි ත් නොවූ, මැනැවින් පවසන ලද, මුළුමනින් ම පිරිපුන් සසුන් බඹසරක් මනාකොට ප්‍රකාශිත යැයි මැනැවින් ම කියයි.
එහෙයින් චුන්දයෙනි, මා විසින් ඔබලාට යම් ධර්මයෝ විශිෂ්ට ඥානයෙන් දැන දෙසන ලද්දාහු ද, එහි සියළු දෙනා විසින් ම එකට එක් වී, එකට රැස් වී, අර්ථයෙන් අර්ථය, ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සංගායනා කළ යුත්තේ ය. වාද විවාද නොකළ යුත්තේ ය. යම් අයුරකින් මේ සසුන් බඹසර දිගු කලක්, බොහෝ කලක් පවත්වාලිය හැකි පරිද්දෙනි. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත හිතසුව පිණිස පවතින්නේ ය.
චුන්දයෙනි, යම් ධර්මයක් පිළිබඳ ව සියළු දෙනා විසින් ම එකට එක් වී, එකට රැස් වී, අර්ථයෙන් අර්ථය, ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සංගායනා කළ යුතු නම්, වාද විවාද නොකළ යුතු නම්, යම් අයුරකින් මේ සසුන් බඹසර දිගු කලක්, බොහෝ කලක් පවත්වාලිය හැකි නම්, එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත හිතසුව පිණිස පවතියි නම්, මා විසින් ඔබට විශේෂ ඥානයෙන් දැන පවසන ලද්දේ කවර ධර්මයන් ද? එනම්; සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක් ප්‍රධානයෝ ය, සතර ඉර්ධිපාදයෝ ය, පංච ඉන්ද්‍රියයෝ ය, පංච බලයෝ ය, සප්ත බොජ්ඣංගයෝ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ය.
චුන්දයෙනි, මේ ධර්මයෝ වනාහී මා විසින් ඔබට විශිෂ්ට නුවණින් යුතු ව දෙසන ලද්දාහු ය. යම් ධර්මයෙක්හි සියළු දෙනා විසින් ම එකට එක් වී, එකට රැස් වී, අර්ථයෙන් අර්ථය, ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සංගායනා කළ යුතු නම්, වාද විවාද නොකළ යුතු නම්, යම් අයුරකින් මේ සසුන් බඹසර දිගු කලක්, බොහෝ කලක් පවත්වාලිය හැකි නම්, එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත හිතසුව පිණිස පවතියි නම් ඒ මේ ධර්මය යි.
චුන්දයෙනි, සමගි ව, සතුටින් යුතු ව, වාද විවාද නොකරමින්, ඔබලා විසින් මෙසේ හික්මිය යුත්තේ ය. එනම්; එක්තරා සබ්‍රහ්මචාරී නමක් සංඝයා මධ්‍යයෙහි ධර්මය දෙසන්නේ නම්, එවිට ඒ ධර්මය ගැන ඔබලාට මෙසේ සිතෙයි නම්, ‘මේ ආයුෂ්මත් තෙමේ වනාහී අර්ථය ත් වරදවා ගනියි. ව්‍යඤ්ජන ත් වැරදියට යොදයි’ යනුවෙනි. එවිට ඔහුගේ වචනය සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ඇවැත්නි, මේ අර්ථයට මේ ව්‍යඤ්ජනයන් ගැලපෙයි ද? අසවල් ව්‍යඤ්ජනයන් ගැලපෙයි ද? වඩා ත් යෝග්‍ය වන්නේ කවර වචන භාවිතය ද? මේ වචනයන්ගේ අර්ථය මෙය ම ද? නැත්නම් අසවල් දෙය ද? වඩාත් යෝග්‍ය වන්නේ කවර අර්ථය ද?’ යනුවෙනි.
එවිට ඔහු මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, මේ අර්ථයට මෙසේ යම් ව්‍යඤ්ජනයන් භාවිත කරන ලද්දේ ද, ඒ ව්‍යඤ්ජනයන් ම වඩා ත් යෝග්‍ය වෙයි. මේ ව්‍යඤ්ජනයන්ට මෙසේ යම් අර්ථයක් දෙන ලද්දේ ද, ඒ මේ අර්ථය ම වඩාත් යෝග්‍ය වෙයි’ යනුවෙනි. එවිට ඔහු හුවා නොදැක්විය යුත්තේ ය. ගැටීමක් නොකළ යුත්තේ ය. හුවා නොදක්වා, ගැටීමක් නොකොට ඒ අර්ථයේ ත්, ඒ ව්‍යඤ්ජනයන්ගේ ත් වටහා ගැනීම පිණිස ඔහු ව හොඳින් දැනුවත් කළ යුත්තේ ය.
චුන්දයෙනි, තවත් සබ්‍රහ්මචාරී නමක් සංඝයා මධ්‍යයෙහි ධර්මය දෙසන්නේ නම්, එවිට ඒ ධර්මය ගැන ඔබලාට මෙසේ සිතෙයි නම්, ‘මේ ආයුෂ්මත් තෙමේ වනාහී අර්ථය වරදවා ගනියි. ව්‍යඤ්ජනයන් නිවැරදි ව යොදයි’ යනුවෙනි. එවිට ඔහුගේ වචනය සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ඇවැත්නි, මේ ව්‍යඤ්ජනයන්ගෙන් ගත යුත්තේ මේ අර්ථය ද? අසවල් අර්ථය ද? වඩාත් යෝග්‍ය කුමක් ද?’ යනුවෙනි.
එවිට ඔහු මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, මේ ව්‍යඤ්ජනයන්ගෙන් යම් අර්ථයක් මෙසේ කිව්වේ ද, ඒ මේ අර්ථය ම වඩාත් යෝග්‍ය ය. ’ යනුවෙනි. එවිට ඔහු හුවා නොදැක්විය යුත්තේ ය. ගැටීමක් නොකළ යුත්තේ ය. හුවා නොදක්වා, ගැටීමක් නොකොට ඒ අර්ථයෙහි ම කරුණු තේරුම් ගැනීම පිණිස ඔහු ව හොඳින් දැනුවත් කළ යුත්තේ ය.
චුන්දයෙනි, තවත් සබ්‍රහ්මචාරී නමක් සංඝයා මධ්‍යයෙහි ධර්මය දෙසන්නේ නම්, එවිට ඒ ධර්මය ගැන ඔබලාට මෙසේ සිතෙයි නම්, ‘මේ ආයුෂ්මත් තෙමේ වනාහී අර්ථය යහපත් ව ගනියි. නමුත් ව්‍යඤ්ජනයන් වැරදියට යොදයි’ යනුවෙනි. එවිට ඔහුගේ වචනය සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ඇවැත්නි, මේ අර්ථය සඳහා යොදා ගත යුත්තේ මේ ව්‍යඤ්ජනයන් ද? අසවල් ව්‍යඤ්ජනයන් ද? වඩාත් යෝග්‍ය කුමක් ද?’ යනුවෙනි.
එවිට ඔහු මෙසේ කියන්නේ නම්, ‘ඇවැත්නි, මේ අර්ථය සඳහා යම් ව්‍යඤ්ජනයන් මෙසේ යොදන ලද ද, මේ ව්‍යඤ්ජනයන් ම වඩාත් යෝග්‍ය ය.’ යනුවෙනි. එවිට ඔහු හුවා නොදැක්විය යුත්තේ ය. ගැටීමක් නොකළ යුත්තේ ය. හුවා නොදක්වා, ගැටීමක් නොකොට ඒ නිවැරදි ව්‍යඤ්ජනයන් නුවණින් සලකා බැලීම පිණිස ම ඔහු ව හොඳින් දැනුවත් කළ යුත්තේ ය.
චුන්දයෙනි, තවත් සබ්‍රහ්මචාරී නමක් සංඝයා මධ්‍යයෙහි ධර්මය දෙසන්නේ නම්, එවිට ඒ ධර්මය ගැන ඔබලාට මෙසේ සිතෙයි නම්, ‘මේ ආයුෂ්මත් තෙමේ වනාහී අර්ථය ත් යහපත් ව ගනියි. ව්‍යඤ්ජන ත් යහපත් ව යොදයි’ යනුවෙනි. එවිට ඔහුගේ වචනය ‘ඉතා යහපති’ යි සතුටින් පිළිගත යුත්තේ ය. අනුමෝදන් විය යුත්තේ ය. ඔහුගේ භාෂිතය ‘ඉතා යහපති’ යි සතුටින් පිළිගෙන අනුමෝදන් ව ඔහුට මෙසේ කිව යුත්තේ ය. ‘ඇවැත්නි, අපට ලාභයකි. ඇවැත්නි, අපට මනා වූ ලැබීමකි. යම් බඳු අපි ආයුෂ්මතුන් වැනි මෙසේ අර්ථයෙන් යුක්ත ව, ව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත ව ධර්මය පවසන සබ්‍රහ්මචාරී නමක් දකිමු ද, එහෙයිනි.’
චුන්දයෙනි, මම ඔබලාට මෙලොව දී මුහුණ දෙන උපද්‍රව, ආශ්‍රවයන්ගේ වළක්වාලීම උදෙසා පමණක් ධර්මය නොදෙසමි. චුන්දයෙනි, මම පරලොවදී මුහුණ දෙන උපද්‍රව, ආශ්‍රවයන්ගේ නැසීම උදෙසා පමණක් ධර්මය නොදෙසමි. චුන්දයෙනි, මම මෙලොව දී මුහුණ දෙන උපද්‍රව, ආශ්‍රවයන් වළක්වාලීම උදෙසා ත්, පරලොව දී මුහුණ දෙන උපද්‍රව, ආශ්‍රවයන් නැසීම උදෙසා ත් ධර්මය දේශනා කරමි.
එහෙයින් චුන්දයෙනි, මා විසින් ඔබලාට යම් සිවුරක් අනුමත කරන ලද්දේ ද, එය හුදෙක් සීත නැසීම පිණිස, උණුසුම නැසීම පිණිස, මැසි මදුරු, අව්, සුළං, සර්පාදීන්ගේ පහස නැසීම පිණිස, හුදෙක් ලැජ්ජා ඇති වන තම සිරුරු අවයව වසා ගැනීම පිණිස ඔබලාට ප්‍රමාණවත් වෙයි.
මා විසින් ඔබලාට යම් පිණ්ඩපාතයක් අනුමත කරන ලද්දේ ද, එය හුදෙක් ඔබගේ කය පවත්වනු පිණිස, යැපීම පිණිස, කුසගිනි වෙහෙස සංසිඳවනු පිණිස, බඹසරට අනුබල පිණිස ප්‍රමාණවත් වෙයි. මෙසේ පැරණි කුසගිනි වේදනා ත් නසමි. අලුත් කුසගිනි වේදනා ත් නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාව ද වන්නේ ය. නිවැරදි බව ත්, පහසු විහරණය ත් වන්නේ ය කියා ය.
මා විසින් ඔබලාට යම් සෙනසුනක් අනුමත කරන ලද්දේ ද, එය හුදෙක් සීත නැසීම පිණිස, උණුසුම නැසීම පිණිස, මැසි මදුරු, අව්, සුළං, සර්පාදීන්ගේ පහස නැසීම පිණිස, හුදෙක් දේශගුණික වෙනස්කම්වලින් පැමිණෙන පීඩා දුරලනු පිණිස, භාවනාවෙහි ඇලී වසනු පිණිස ඔබලාට ප්‍රමාණවත් වෙයි.
මා විසින් ඔබලාට යම් ගිලන්පස බෙහෙත් පිරිකරක් අනුමත කරන ලද්දේ ද, එය හුදෙක් උපන්නා වූ අසනීපවලින් ඇතිවන වේදනා නැසීම පිණිස, නීරෝග බවින් වන නිදුක් බව පරම කොට ඇති බව පිණිස ඔබලාට ප්‍රමාණවත් වෙයි.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ යමක් පවසත් නම්, එබඳු දෙයක් දකින්නට ලැබෙයි. එනම්, ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ සැපයේ යෙදී වාසය කරන්නාහු ය’ කියා ය. චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, ඒ සැපයේ යෙදී වාසය කිරීම යනු කුමක් ද? සැපයේ යෙදී වාසය කිරීම් බොහෝ ය. නොයෙක් අයුරු වෙයි. නා නා ප්‍රකාර වෙයි.
චුන්දයෙනි, මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතරක් ඇත්තේ ය. ඒවා හීන ය. ග්‍රාම්‍ය ය. පෘථග්ජනයන්ට අයත් ය. අනාර්ය ය. අනර්ථයෙන් යුක්ත ය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. විශිෂ්ට ඥානය පිණිස නොපවතියි. අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි. ඒ කවර සතරක් ද යත්;
චුන්දයෙනි, මෙහිලා ඇතැම් අනුවණයෙක් ප්‍රාණීන් ඝාතනය කොට, ඝාතනය කොට, තමා ව සැපවත් කරයි. පිනවයි. මෙය සැපයේ යෙදී වාසය කිරීමේ පළමුවැන්න යි.
තව ද චුන්දයෙනි, මෙහි ඇතැමෙක් නුදුන් දෙය සොරකම් කොට, සොරකම් කොට, තමා ව සැපවත් කරයි. පිනවයි. මෙය සැපයේ යෙදී වාසය කිරීමේ දෙවැන්න යි.
තව ද චුන්දයෙනි, මෙහි ඇතැමෙක් බොරු කිය කියා තමා ව සැපවත් කරයි. පිනවයි. මෙය සැපයේ යෙදී වාසය කිරීමේ තුන්වැන්න යි.
තව ද චුන්දයෙනි, මෙහි ඇතැමෙක් පංච කාමගුණයන්ගෙන් යුක්ත ව ඒවා හා එක් වී, ඒවා පිරිවරාගෙන වාසය කරයි. මෙය සැපයේ යෙදී වාසය කිරීමේ සිව්වැන්න යි.
චුන්දයෙනි, මේවා වනාහී සැපයේ යෙදී වාසය කිරීම් සතරයි. මේවා හීන ය. ග්‍රාම්‍ය ය. පෘථග්ජනයන්ට අයත් ය. අනාර්ය ය. අනර්ථයෙන් යුක්ත ය. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. විශිෂ්ට ඥානය පිණිස නොපවතියි. අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ යමක් පවසත් නම්, එබඳු දෙයක් දකින්නට ලැබෙයි. එනම්; ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතරෙහි යෙදී සිටිති’ යි. එවිට ඔබ ඔවුන්ට ‘එසේ නොකියනු’ යි පිළිතුරු දිය යුත්තේ ය. නිවැරදි ලෙස නොකියන ඔවුහු එසේ කියන්නාහු ය. නැති දෙයින්, අභූතයෙන් දොස් කියන්නාහු ය.
චුන්දයෙනි, මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතරකි. ඒවා ඒකාන්තයෙන් කලකිරීම පිණිස පවතියි. විරාගය පිණිස පවතියි. නිරෝධය පිණිස පවතියි. සංසිඳීම පිණිස පවතියි. විශිෂ්ට ඥානය පිණිස පවතියි. අවබෝධය පිණිස පවතියි. නිවන පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්;
චුන්දයෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන් ගෙන් වෙන් ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මෙය පළමුවෙනි සැපයෙහි යෙදී වාසය කිරීම යි.
තව ද චුන්දයෙනි, භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, ආධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ව, සිතෙහි එකඟ බවින් යුතු ව, විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. මෙය සැපයෙහි යෙදී වාසය කිරීමේ දෙවැන්න යි.
තව ද චුන්දයෙනි, භික්ෂුව ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මෙය සැපයෙහි යෙදී වාසය කිරීමේ තුන්වැන්න යි.
තව ද චුන්දයෙනි, භික්ෂුව සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් ….(පෙ)…. ඒ සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මෙය සැපයෙහි යෙදී වාසය කිරීමේ සිව්වැන්න යි.
චුන්දයෙනි, මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතර වනාහී ඒකාන්තයෙන් කලකිරීම පිණිස පවතියි. විරාගය පිණිස පවතියි. නිරෝධය පිණිස පවතියි. සංසිඳීම පිණිස පවතියි. විශිෂ්ට ඥානය පිණිස පවතියි. අවබෝධය පිණිස පවතියි. නිවන පිණිස පවතියි.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් ද, මෙබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්; ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතරකින් යුක්ත ව සිටිති’ යි. එවිට ඔබ ඔවුන්ට ‘එසේ ය’ කියා පිළිතුරු දිය යුත්තේ ය. නිවැරදි ව පවසන ඔවුහු ඔබට එසේ කියන්නාහු ය. ඔවුහු ඔබට නැති දෙයින්, අභූතයෙන් චෝදනා නොකරන්නාහු ය.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් ද, මෙබඳු වූ කරුණක් දකින්නට ලැබෙයි. එනම්; ‘ඇවැත්නි, මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතරින් යුක්ත වීමෙන් කොතෙක් ඵලයෝ, කොතෙක් ආනිශංසයෝ කැමති විය යුත්තාහු ද?’ චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, මේ සැපයෙහි යෙදී වාසය කිරීම් සතරින් යුක්ත ව වසද්දී සතරක් වූ ඵලයෝ, සතරක් වූ ආනිශංසයෝ කැමති විය යුත්තාහු ය. ඒ කවර සතරක් ද යත්;
ඇවැත්නි, මෙහිලා භික්ෂුව සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සතර අපායෙන් මිදුණේ, නිත්‍ය වශයෙන් නිවන් අවබෝධ කරන සුළු ව සෝවාන් වූයේ වෙයි. මෙය පළමු ඵලය යි. පළමු ආනිශංසය යි.
තව ද ඇවැත්නි, භික්ෂුව සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තුනී වීමෙන් එක්වරක් ම මෙලොවට අවුත් දුක් අවසන් කරන සුළු ව සකදාගාමී වෙයි. මෙය දෙවෙනි ඵලය යි. දෙවෙනි ආනිශංසය යි.
තව ද ඇවැත්නි, භික්ෂුව ඕරම්භාගීය සංයෝජනයන් පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි ඕපපාතික ව උපදින සුළු ව යළි ඒ බඹලොවින් මේ කාමලොවට නොඑන ස්වභාව ඇති ව, එහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මේ තුන් වෙනි ඵලය යි. තුන්වෙනි ආනිශංසය යි.
තව ද ඇවැත්නි, භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි. මෙය සිව්වෙනි ඵලය යි. සිව්වෙනි ආනිශංසයයි.
ඇවැත්නි, මේ සැපයේ යෙදී වාසය කිරීම් සතරින් යුක්ත ව වසන විට මෙකී සිව් ඵලයෝ, මෙකී සිව් ආනිශංසයෝ කැමති විය යුත්තාහ.’
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් ද, එබඳු වූ කරුණක් දකින්නට ලැබෙයි. එනම් ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ස්ථිර ව නොපිහිටි ස්වභාව ඇති ව වාසය කරති’ යනුවෙනි. චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය.
‘ඇවැත්නි, සියල්ල දන්නා, දක්නා, අරහත් සම්මා සම්බුදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දිවි හිමියෙන් නොඉක්මවිය යුතු ධර්මයෝ ශ්‍රාවකයන්ට දෙසන ලද්දාහු ය. පණවන ලද්දාහු ය. ඇවැත්නි, එය මෙබඳු දෙයකි. ඉන්ද්‍රඛීලයක් හෝ යකඩින් කළ කණුවක් හෝ පොළොවෙහි ගැඹුරට මැනැවින් සාරා සිටුවන ලදු ව නොසෙල්වී, අකම්පිත ව තිබෙන්නේ යම් සේ ද, එසෙයින් ම ඇවැත්නි, සියල්ල දන්නා, දක්නා, අරහත් සම්මා සම්බුදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දිවි හිමියෙන් නොඉක්මවිය යුතු ධර්මයෝ ශ්‍රාවකයන්ට දෙසන ලද්දාහු ය. පණවන ලද්දාහු ය.
ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් රහත් ද, ආශ්‍රවයන් ක්ෂය කරන ලද්දේ ද, බඹසර වැස අවසන් කළේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර බහා තබන ලද්දේ ද, පිළිවෙලින් පත් නිවන් අවබෝධය ඇත්තේ ද, භව සංයෝජනයන් ක්ෂය කොට, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණේ ද, ඒ රහත් භික්ෂුව නව කරුණක් ඉක්මවා හැසිරෙන්නට නොහැක්කේ ම ය.
ඇවැත්නි, කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව දැන දැන සතෙකු ජීවිතයෙන් තොර කරන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව නුදුන් දෙයක් සොර සිතින් පැහැර ගන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව අඹුසැමියන් සේ මෛථුනයෙහි යෙදෙන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව දැන දැන බොරුවක් කියන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව පූර්වයෙහි ගිහි ජීවිතය ගත කළ අවදියේ මෙන් කාමයන් රැස් කොට පරිහරණය කරන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව කැමැත්ත හේතුවෙන් අගතියට යන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව ද්වේෂය හේතුවෙන් අගතියට යන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව මෝහය හේතුවෙන් අගතියට යන්නට නොහැක්කේ වෙයි.
කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් භික්ෂුව භය හේතුවෙන් අගතියට යන්නට නොහැක්කේ වෙයි.
ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් රහත් ද, ආශ්‍රවයන් ක්ෂය කරන ලද්දේ ද, බඹසර වැස අවසන් කළේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර බහා තබන ලද්දේ ද, පිළිවෙලින් පත් නිවන් අවබෝධය ඇත්තේ ද, භව සංයෝජනයන් ක්ෂය කොට, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් මිදුණේ ද, ඒ රහත් භික්ෂුව මේ නව කරුණ ඉක්මවා හැසිරෙන්නට නොහැක්කේ ම ය.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්; ශ්‍රමණ ගෞතම තෙමේ අතීතය අරභයා සීමා රහිත ව (අතීත භවයන්හි ජීවිත ගත කළ අයුරු දකිනා) ඥාන දර්ශනය පණවයි. එහෙත් අනාගතය අරභයා එපරිද්දෙන් සීමා රහිත කොට ඥාන දර්ශනය නොපණවයි. ඒ මක් නිසා ද? ඒ කවර හෙයින් ද?’ යනුවෙනි.
ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාකයෝ ත් අව්‍යක්ත, අනුවණයන් සේ අන් තැනක සිත යෙදූ ඥාන දර්ශනයකින් තවත් තැනක සිත යෙදූ ඥානදර්ශනයක් පැණවිය යුතු යැයි හඟිති. චුන්දයෙනි, තථාගතයන් හට අතීතය අරභයා පෙර භවයන්හි තමන් විසූ ආකාරය පිළිබඳ ව සිහි කිරීම අනුසාරයෙන් ලත් ඥානයක් වෙයි. හෙතෙම යම් පමණ කැමති වෙයි ද, එපමණ සිහි කරයි. අනාගතය අරභයා තථාගතයන් හට චතුරාර්ය සත්‍යාවබෝධයෙන් හටගත් ඥානය උපදියි. එනම් ‘මේ අන්තිම උපත ය. දැන් නැවත භවයක් නැත්තේ ය’ යනුවෙනි.
චුන්දයෙනි, අතීතය පිළිබඳ වුවත්, යමක් නොවුණේ ද, අසත්‍යය ද, අනර්ථයෙන් යුක්ත ද, එබඳු දෙයක් තථාගතයෝ නොපවසති. චුන්දයෙනි, අතීතය පිළිබඳ ව වුවත් සිදු වූ, සත්‍ය වූ නමුත් අනර්ථයෙන් යුක්ත යමක් ඇද්ද, තථාගතයෝ එය ත් නොපවසති. චුන්දයෙනි, අතීතය පිළිබඳ ව සිදු වූ, සත්‍ය වූ, අර්ථයෙන් යුතු යමක් ඇද්ද, එහිදී තථාගතයෝ ඒ ප්‍රශ්නය විසඳීමෙහිලා සුදුසු කල් දනිති.
චුන්දයෙනි, අනාගතය පිළිබඳ වුවත්, සිදු නොවන, අසත්‍යය, අනර්ථයෙන් යුක්ත ….(පෙ)…. චුන්දයෙනි, වර්තමානයෙහි වුවත් සිදු නොවූත්, අසත්‍යය වූ, අනර්ථයෙන් යුක්ත වූ යමක් ඇද්ද, එබඳු දෙයක් තථාගතයෝ නොපවසති. චුන්දයෙනි, වර්තමානය පිළිබඳ ව වුවත් සිදු වූ, සත්‍ය වූ නමුත් අනර්ථයෙන් යුක්ත යමක් ඇද්ද, තථාගතයෝ එය ත් නොපවසති. චුන්දයෙනි, වර්තමානය පිළිබඳ ව සිදු වූ, සත්‍ය වූ, අර්ථයෙන් යුතු යමක් ඇද්ද, එහිදී තථාගතයෝ ඒ ප්‍රශ්නය විසඳීමෙහිලා සුදුසු කල් දනිති.
මෙසේ චුන්දයෙනි, අතීත – අනාගත – වර්තමාන ධර්මයන්හි තථාගත තෙමේ කල් දැන කියන්නෙකි. සිදු වූ දෙය කියන්නෙකි. යහපත කියන්නෙකි. ධර්මය කියන්නෙකි. විනය කියන්නෙකි. එහෙයින් ‘තථාගත’ යැයි කියනු ලැබේ.
චුන්දයෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, සිතන ලද යමක් ඇද්ද, ලබන ලද යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද, ඒ සියල්ල තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ ය. එහෙයින් ‘තථාගත’ යැයි කියනු ලැබේ.
චුන්දයෙනි, යම් රාත්‍රියක තථාගත තෙමේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරයි ද, යම් රාත්‍රියක අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පායි ද, ඒ අතර කාලයෙහි යමක් පවසයි ද, කියයි ද, විස්තර කරයි ද, ඒ සියල්ල එසේ ම වෙයි. අන් අයුරකින් නොවෙයි. එහෙයින් ‘තථාගත’ යැයි කියනු ලැබේ.
චුන්දයෙනි, තථාගත තෙමේ යම් පරිදි කියයි ද, එසෙයින් ම කරයි. යම් පරිදි කරයි ද, එසෙයින් ම කියයි. මෙසේ යම් පරිදි කියයි ද, එසෙයින් ම කරයි ද, යම් පරිදි කරයි ද, එසෙයින් ම කියයි ද, එහෙයින් ‘තථාගත’ යැයි කියනු ලැබේ.
චුන්දයෙනි, තථාගත තෙමේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි සියල්ල මැඬලයි. සියල්ල විසින් තමා නොමැඬලයි. සියල්ල දකියි. තමාගේ වසඟයෙහි පවත්වයි. එහෙයින් ‘තථාගත’ යැයි කියනු ලැබේ.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘කිම? ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු සිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල හිස් ද?’ යි. චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු සිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය’ යන මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දකි.’
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘කිම? ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල හිස් ද?’ යි. චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය’ යන මෙකරුණ ත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දකි.’
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘කිම? ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු සිටියි, නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල හිස් ද?’ යි. චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු සිටියි, නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය’ යන මෙකරුණ ත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දකි.’
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘කිම? ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල හිස් ද?’ යි. චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, තථාගත තෙමේ මරණින් මතු නොසිටියි, නොම නොසිටියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය’ යන මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලද්දකි.’
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් විසින් එය නොවදාරණ ලද්දේ කුමක් නිසා ද?’ චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, මෙය යහපතින් යුක්ත නොවෙයි. ධර්මයෙන් යුක්ත නොවෙයි. නිවන් මගට මුල් නොවෙයි. කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. විශිෂ්ට ඥානය පිණිස නොපවතියි. අවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරණ ලද්දේ ය.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් විසින් කුමක් වදාරණ ලද්දේ ද?’ චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය දුක යැ’ යි වදාරණ ලද්දේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දුකෙහි හටගැනීම යැ’ යි වදාරණ ලද්දේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දුක නිරුද්ධ වීම යැ’ යි වදාරණ ලද්දේ ය. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැ’ යි වදාරණ ලද්දේ ය.
චුන්දයෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ යමක් මෙසේ පවසත් නම්, එබඳු කරුණක් දකින්නට ලැබෙයි. එනම්, ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් විසින් මෙය වදාරණ ලද්දේ මක් නිසා ද?’ චුන්දයෙනි, මෙසේ කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දිය යුත්තේ ය. ‘ඇවැත්නි, මෙය වනාහී යහපතින් යුක්ත වෙයි. මෙය ධර්මයෙන් යුක්ත වෙයි. මෙය නිවන් මගට මුල් වෙයි. ඒකාන්තයෙන් කලකිරීම පිණිස පවතියි. විරාගය පිණිස පවතියි. නිරෝධය පිණිස පවතියි. සංසිඳීම පිණිස පවතියි. විශිෂ්ට ඥානය පිණිස පවතියි. අවබෝධය පිණිස පවතියි. නිවන පිණිස පවතියි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරණ ලද්දේ ය.’
චුන්දයෙනි, අතීත කෙළවර පිළිබඳ ව යම් වැරදි මතවාදයෝ වෙත් ද, යම් සේ ඒ මතවාදයෝ විස්තර කළ යුත්තාහු ද, මා විසින් ඔබලාට ඒවා ත් විස්තර කරන ලද්දාහු ය. යම් සේ ඒ මතවාදයෝ විස්තර නොකළ යුත්තාහු ද, එහිලා ඔබට ඒ මතවාදයන් මම කුමකට විස්තර කරන්නෙම් ද?
චුන්දයෙනි, අනාගත කෙළවර පිළිබඳ ව යම් වැරදි මතවාදයෝ වෙත් ද, යම් සේ ඒ මතවාදයෝ විස්තර කළ යුත්තාහු ද, මා විසින් ඔබලාට ඒවා ත් විස්තර කරන ලද්දාහු ය. යම් සේ ඒ මතවාදයෝ විස්තර නොකළ යුත්තාහු ද, එහිලා ඔබට ඒ මතවාදයන් මම කුමකට විස්තර කරන්නෙම් ද?
චුන්දයෙනි, අතීත කෙළවර පිළිබඳ ව යම් වැරදි මතවාදයෝ වෙත් ද, යම් සේ ඒ මතවාදයෝ විස්තර කළ යුත්තාහු ද, මා විසින් ඔබලාට ඒවා ත් විස්තර කරන ලද්දාහු නම්, ඒ වැරදි මතවාද මොනවාද?
චුන්දයෙනි, මෙබඳු මතයක් කියන, මෙබඳු මතයක් දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිති. එනම්; ‘ආත්මයත් ලෝකය ත් සදාකාලික ව පවතියි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’
චුන්දයෙනි, මෙබඳු මතයක් කියන, මෙබඳු මතයක් දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිති. එනම්; ‘ආත්මයත් ලෝකය ත් සදාකාලික ව නොපවතියි. ආත්මයත් ලෝකය ත් සදාකාලික ව පවතියි, නොපවතියි. ආත්මයත් ලෝකය ත් සදාකාලික ව නොපවතියි, නොම නොපවතියි. ආත්මය ත් ලෝකය ත් තමා විසින් කරන ලද්දේ ය. ආත්මය ත් ලෝකය ත් අනුන් විසින් කරන ලද්දේ ය. ආත්මය ත් ලෝකය ත් තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේ ය. ආත්මය ත් ලෝකය ත් තමා විසිනුත් නොකරන ලද්දේ, අනුන් විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තකි’ යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’
‘සැප දුක් සදාකාලික ව පවතියි. සැප දුක් සදාකාලික ව නොපවතියි. සැප දුක් සදාකාලික ව පවතියි, නොපවතියි. සැප දුක් සදාකාලික ව නොපවතියි, නොම නොපවතියි’ යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’
‘සැප දුක් තමා විසින් කරන ලද්දේ ය. සැප දුක් අනුන් විසින් කරන ලද්දේ ය. සැප දුක් තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේ ය. සැප දුක් තමා විසිනුත් නොකරන ලද්දේ, අනුන් විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තකි.’ යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’
චුන්දයෙනි, එහිලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු මතවාදයක් කියත් ද, මෙබඳු මතවාදයක් දරත් ද, එනම්; ‘ආත්මය ත් ලෝකය ත් සදා පවතියි. මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු’ ය කියා. මම ඔවුන් වෙත එළඹ මෙසේ අසමි. ‘ඇවැත්නි, සදා පවතින ආත්මයක් හා ලෝකයක් ඇතැයි මෙය කියනු ලැබේ ද?’ ඔවුහු මෙසේ යමක් කීවාහු ද, එනම්, ‘මෙය ම සත්‍ය යැයි, අන් සියල්ල බොරු යැ’ යි ඔවුන්ගේ ඒ වචනය අනුමත නොකරමි. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, මෙකරුණ පිළිබඳ ව වෙනත් ලෙසකින් සිතන ඇතැම් සත්වයෝ ත් ඇත්තාහ. චුන්දයෙනි, මේ මතවාද පැණවීම පිළිබඳ ව මම තමන් හා සම සම කොට ගත්තෙක් නොදකිමි. ඊට වැඩිතරම් කෙනෙකු ගැන කොයින් දකිම් ද? එකල්හී යම් මේ විශේෂ පැණවීමක් ඇද්ද, එහිලා මම පමණක් වැඩිතරම් වෙමි.
චුන්දයෙනි, එහිලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු මතවාදයක් කියත් ද, මෙබඳු මතවාදයක් දරත් ද, එනම්; ‘ආත්මයත් ලෝකය ත් සදාකාලික ව නොපවතියි. ආත්මයත් ලෝකය ත් සදාකාලික ව පවතියි, නොපවතියි. ආත්මයත් ලෝකය ත් සදාකාලික ව නොපවතියි, නොම නොපවතියි. ආත්මය ත් ලෝකය ත් තමා විසින් කරන ලද්දේ ය. ආත්මය ත් ලෝකය ත් අනුන් විසින් කරන ලද්දේ ය. ආත්මය ත් ලෝකය ත් තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේ ය. ආත්මය ත් ලෝකය ත් තමා විසිනුත් නොකරන ලද්දේ, අනුන් විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තකි’ යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’ ‘සැප දුක් සදාකාලික ව පවතියි. සැප දුක් සදාකාලික ව නොපවතියි. සැප දුක් සදාකාලික ව පවතියි, නොපවතියි. සැප දුක් සදාකාලික ව නොපවතියි, නොම නොපවතියි’ යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’ ‘සැප දුක් තමා විසින් කරන ලද්දේ ය. සැප දුක් අනුන් විසින් කරන ලද්දේ ය. සැප දුක් තමා විසිනුත් අනුන් විසිනුත් කරන ලද්දේ ය.
චුන්දයෙනි, එහිලා යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු මතවාදයක් කියත් ද, මෙබඳු මතවාදයක් දරත් ද, එනම්; ‘සැප දුක් තමා විසිනුත් නොකරන ලද්දේ, අනුන් විසිනුත් නොකරන ලද්දේ, ඉබේ හටගත්තකි යන මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු’ ය කියා. මම ඔවුන් වෙත එළඹ මෙසේ අසමි. ‘ඇවැත්නි, තමා විසිනුත් නොකරන ලද, අනුන් විසිනුත් නොකරන ලද, ඉබේ හටගත් සැප දුක් ඇතැයි මෙය කියනු ලැබේ ද?’ ඔවුහු මෙසේ යමක් කීවාහු ද, එනම්, ‘මෙය ම සත්‍ය යැයි, අන් සියල්ල බොරු යැ’ යි ඔවුන්ගේ ඒ වචනය අනුමත නොකරමි. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, මෙකරුණ පිළිබඳ ව වෙනත් ලෙසකින් සිතන ඇතැම් සත්වයෝ ත් ඇත්තාහ. චුන්දයෙනි, මේ මතවාද පැණවීම පිළිබඳ ව මම තමන් හා සම සම කොට ගත්තෙක් නොදකිමි. ඊට වැඩිතරම් කෙනෙකු ගැන කොයින් දකිම් ද? එකල්හී යම් මේ විශේෂ පැණවීමක් ඇද්ද, එහිලා මම පමණක් වැඩිතරම් වෙමි.
චුන්දයෙනි, අතීත කෙළවර පිළිබඳ ව යම්සේ ඒ මතවාදයෝ විස්තර කළ යුත්තාහු ද, ඔබට මා විසින් යම් ඒ මතවාදයන් විස්තර කරන ලද්දාහු ද, මේ ඒ මතවාදයෝ ය. යම්සේ ඒ මතවාදයෝ විස්තර නොකළ යුත්තාහු ද, එහිලා ඔබට ඒ මතවාදයන් මම් කුමකට විස්තර කරන්නෙම් ද?
චුන්දයෙනි, අනාගත කෙළවර පිළිබඳ ව යම්සේ ඒ මතවාදයෝ විස්තර කළ යුත්තාහු ද, ඔබට මා විසින් යම් ඒ මතවාදයන් විස්තර කරන ලද්දාහු ද, ඒ මතවාදයෝ මොනවාද?
චුන්දයෙනි, මෙබඳු මතවාදයක් කියන, මෙබඳු මතවාදයක් දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිති. එනම්, ‘ආත්මය සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපවත් දෙයකි. එය මරණින් පසු රෝග නැත්තේ වෙයි. මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’
චුන්දයෙනි, මෙබඳු මතවාදයක් කියන, මෙබඳු මතවාදයක් දරණ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සිටිති. එනම්, ‘ආත්මය අරූපී දෙයකි. ….(පෙ)…. ආත්මය රූපී වූ ත්, අරූපී වූ ත් දෙයකි. ….(පෙ)…. ආත්මය රූපී ත් නොවූ, අරූපී ත් නොවූ දෙයකි. ….(පෙ)…. ආත්මය සංඥාවෙන් යුක්ත වෙයි. ….(පෙ)…. ආත්මය සංඥාවෙන් තොර දෙයකි. ….(පෙ)…. ආත්මය සංඥාව ඇත්තේ ත් නොවෙයි. සංඥාව නැත්තේ ත් නොවෙයි. ….(පෙ)…. ආත්මය මරණින් පසු සිඳී යයි. වැනසෙයි. මරණින් පසු නොවෙයි. මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු ය.’
චුන්දයෙනි, එහිලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු මතවාදයක් කියත් ද, මෙබඳු මතවාදයක් දරත් ද, එනම්; ‘ආත්මය සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපවත් දෙයකි. එය මරණින් පසු රෝග නැත්තේ වෙයි. මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු’ ය කියා. මම ඔවුන් වෙත එළඹ මෙසේ අසමි. ‘ඇවැත්නි, ආත්මය සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපවත් දෙයකි. එය මරණින් පසු රෝග නැත්තේ වෙයි යන මෙය කියනු ලැබේ ද?’ ඔවුහු මෙසේ යමක් කීවාහු ද, එනම්, ‘මෙය ම සත්‍ය යැයි, අන් සියල්ල බොරු යැ’ යි ඔවුන්ගේ ඒ වචනය අනුමත නොකරමි. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, මෙකරුණ පිළිබඳ ව වෙනත් ලෙසකින් සිතන ඇතැම් සත්වයෝ ත් ඇත්තාහ. චුන්දයෙනි, මේ මතවාද පැණවීම පිළිබඳ ව ද මම තමන් හා සම සම කොට ගත්තෙක් නොදකිමි. ඊට වැඩිතරම් කෙනෙකු ගැන කොයින් දකිම් ද? එකල්හී යම් මේ විශේෂ පැණවීමක් ඇද්ද, එහිලා මම පමණක් වැඩිතරම් වෙමි.
චුන්දයෙනි, එහිලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු මතවාදයක් කියත් ද, මෙබඳු මතවාදයක් දරත් ද, එනම්; ‘ආත්මය අරූපී දෙයකි. ….(පෙ)…. ආත්මය රූපී වූ ත්, අරූපී වූ ත් දෙයකි. ….(පෙ)…. ආත්මය රූපී ත් නොවූ, අරූපී ත් නොවූ දෙයකි. ….(පෙ)…. ආත්මය සංඥාවෙන් යුක්ත වෙයි. ….(පෙ)…. ආත්මය සංඥාවෙන් තොර දෙයකි. ….(පෙ)…. ආත්මය සංඥාව ඇත්තේ ත් නොවෙයි. සංඥාව නැත්තේ ත් නොවෙයි. ….(පෙ)…. ආත්මය මරණින් පසු සිඳී යයි. වැනසෙයි. මරණින් පසු නොවෙයි. මෙය ම සත්‍ය ය. අන් සියල්ල බොරු’ ය කියා. මම ඔවුන් වෙත එළඹ මෙසේ අසමි. ඇවැත්නි, ‘ආත්මය මරණින් පසු සිඳී යයි. වැනසෙයි. මරණින් පසු නොවෙයි’ යන මෙය කියනු ලැබේ ද?’ ඔවුහු මෙසේ යමක් කීවාහු ද, එනම්, ‘මෙය ම සත්‍ය යැයි, අන් සියල්ල බොරු යැ’ යි ඔවුන්ගේ ඒ වචනය අනුමත නොකරමි. ඒ මක් නිසා ද යත්; චුන්දයෙනි, මෙකරුණ පිළිබඳ ව වෙනත් ලෙසකින් සිතන ඇතැම් සත්වයෝ ත් ඇත්තාහ. චුන්දයෙනි, මේ මතවාද පැණවීම පිළිබඳ ව ද මම තමන් හා සම සම කොට ගත්තෙක් නොදකිමි. ඊට වැඩිතරම් කෙනෙකු ගැන කොයින් දකිම් ද? එකල්හී යම් මේ විශේෂ පැණවීමක් ඇද්ද, එහිලා මම පමණක් වැඩිතරම් වෙමි.
චුන්දයෙනි, අනාගත කෙළවර පිළිබඳ ව යම්සේ ඒ මතවාදයෝ විස්තර කළ යුත්තාහු ද, ඔබට මා විසින් යම් ඒ මතවාදයන් විස්තර කරන ලද්දාහු ද, මේ ඒ මතවාදයෝ ය. යම්සේ ඒ මතවාදයෝ විස්තර නොකළ යුත්තාහු ද, එහිලා ඔබට ඒ මතවාදයන් මම් කුමකට විස්තර කරන්නෙම් ද?
චුන්දයෙනි, අතීත කෙළවර පිළිබඳ වූ මේ මතවාදයන්ගේ ත්, අනාගත කෙළවර පිළිබඳ වූ මේ මතවාදයන්ගේ ත් ප්‍රහාණය පිණිස, ඉක්මයාම පිණිස මෙසේ මා විසින් සතර සතිපිට්ඨානයෝ දෙසන ලද්දාහු ය. පණවන ලද්දාහු ය. ඒ කවර සතරක් ද යත්;
චුන්දයෙනි, මෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, මනා සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
චුන්දයෙනි, අතීත කෙළවර පිළිබඳ වූ මේ මතවාදයන්ගේ ත්, අනාගත කෙළවර පිළිබඳ වූ මේ මතවාදයන්ගේ ත් ප්‍රහාණය පිණිස, ඉක්මයාම පිණිස මෙසේ මා විසින් මේ සතර සතිපට්ඨානයෝ දෙසන ලද්දාහු ය. පණවන ලද්දදාහු ය.”
එසමයෙහි ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් පවන් සළමින් සිටියාහු ය. ඉක්බිති ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, ඒකාන්තයෙන් මේ ධර්මපරියාය සිත පහදවන සුළු ය. ස්වාමීනී, ඒකාන්තයෙන් මේ ධර්මපරියාය විශේෂයෙන් සිත පහදවන සුළු ය. ස්වාමීනී, මේ ධර්මපරියාය කවර නම් ඇත්තේ ද?”
“එසේ වී නම් උපවාණයෙනි, ඔබ මේ ධර්මපරියාය ‘සිත පහදවන සුළු දෙය’ ලෙසින් ම මතක තබාගන්න.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.
සාදු! සාදු!! සාදු!!!
පාසාදික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M