2.1.3.1.
21. සැවැත් නුවරදී …………..
පින්වත් මහණෙනි, මේ බාලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? කෙනෙක් ඉන්නවා වරද වරද හැටියට දකින්නේ නෑ. තව කෙනෙක් ඉන්නවා වරද පිළිඅරගෙන (ආයති සංවරය පිණිස) එය දේශනා කරන විට ඒ පිළියම් කිරීම පිළිගන්නෙ නෑ. පින්වත් මහණෙනි, මේ තමයි බාලයෝ දෙන්නා.
පින්වත් මහණෙනි, මේ නුවණැත්තෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? කෙනෙක් ඉන්නවා වරද වරද හැටියට දකිනවා. තව කෙනෙක් ඉන්නවා වරද පිළිඅරගෙන (ආයති සංවරය පිණිස) එය දේශනා කරන විට ඒ පිළියම් කිරීම පිළිගන්නවා. පින්වත් මහණෙනි, මේ තමයි ඤාණවන්තයෝ දෙන්නා.
2.1.3.2.
22. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා කරන දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? සිත ඇතුළේ තරහ තියාගෙන ඉන්න දුෂ්ට කෙනාත්, වැරදි විදිහට කරුණු පටලවා ගෙන ඒ වැරදි දේ කෙරෙහි පැහැදී විශ්වාසයෙන් ඉන්න කෙනාත්ය. පින්වත් මහණෙනි, මේ දෙන්නා තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා.
2.1.3.3.
23. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා කරන දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලද දේ, නොපැවසූ දේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදැයි, පවසන ලදැයි විස්තර කරනවා. තව කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද, පවසන ලද දෙය තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලදැයි නොපවසන ලදැයි විස්තර කරනවා. පින්වත් මහණෙනි, මේ තමයි තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන දෙදෙනා.
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා නොකරන දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලද, නොපවසන ලද දේ තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලද හැටියටත්, නොපවසන ලද හැටියටත් විස්තර කරනවා. කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද දේ, පවසන ලද දේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ හැටියටත්, පවසන ලද හැටියටත් විස්තර කරනවා. පින්වත් මහණෙනි, මේ තමයි තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන දෙදෙනා.
2.1.3.4.
24. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා කරන දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? යම් කෙනෙක් විස්තර විභාග වශයෙන් අරුත් මතු කොට දැක්විය යුතු සූත්‍ර දේශනා, සරලව පෙන්වා ඇති අරුත් සහිත සූත්‍ර දේශනා යැයි දක්වනවා නම්, යම් කෙනෙක් සරලව පෙන්වා ඇති අරුත් සහිත සූත්‍ර දේශනා, විස්තර විභාග වශයෙන් අරුත් මතුකොට දැක්විය යුතු සූත්‍ර දේශනා යැයි දක්වනවා නම්, පින්වත් මහණෙනි, මොවුන් දෙදෙනා තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා කරනවා.
2.1.3.5.
25. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා නොකරන දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? යම් කෙනෙක් විස්තර විභාග වශයෙන් අරුත් මතු කොට දැක්විය යුතු සූත්‍ර දේශනා, විස්තර විභාග වශයෙන් අරුත් මතු කොට දැක්විය යුතු සූත්‍ර දේශනා යැයි දක්වනවා නම්, යම් කෙනෙක් සරලව පෙන්වා ඇති අරුත් සහිත සූත්‍ර දේශනා, සරලව පෙන්වා ඇති අරුත් සහිත සූත්‍ර දේශනා යැයි දක්වනවා නම්, පින්වත් මහණෙනි, මොවුන් දෙදෙනා තථාගතයන් වහන්සේට අභූතයෙන් (නිස්කාරණයෙහි) චෝදනා කරන්නේ නෑ.
2.1.3.6.
26. පින්වත් මහණෙනි, තමන් කළ පව්කම් සඟවන කෙනාට මේ පරලොව ගති දෙක අතරින්, එක් ගතියක් තමයි කැමති වෙන්න තියෙන්නේ. එක්කෝ නිරයේ උපත ලබනවා. නැතිනම් තිරිසන් යෝනියෙහි උපත ලබනවා.
පින්වත් මහණෙනි, තමන් කළ පව්කම් සඟවන්නේ නැති කෙනාට මේ පරලොව ගති දෙක අතරින්, එක් ගතියක් තමයි කැමති වෙන්න තියෙන්නේ. එක්කෝ දෙව්ලොව උපත ලබනවා. නැතිනම් මනුස්ස ලෝකයෙහි උපත ලබනවා.
2.1.3.7.
27. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිකයාට මේ පරලොව ගති දෙක අතරින්, එක් ගතියක් තමයි කැමති වෙන්න තියෙන්නේ. එක්කෝ නිරයේ උපත ලබනවා. නැතිනම් තිරිසන් යෝනියෙහි උපත ලබනවා.
2.1.3.8.
28. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට මේ පරලොව ගති දෙක අතරින්, එකක් තමයි කැමති වෙන්න තියෙන්නේ. එක්කෝ දෙව්ලොව උපත ලබනවා. නැතිනම් මනුස්ස ලෝකයේ උපත ලබනවා.
2.1.3.9.
29. පින්වත් මහණෙනි, දුස්සීල කෙනාට පිළිගන්න සිද්ධ වෙන දේවල් දෙකක් තියෙනවා. එක්කො නිරයයි, එහෙම නැත්නම් තිරිසන් යෝනියයි. පින්වත් මහණෙනි, සිල්වත් කෙනාට පිළිගන්න සිද්ධ වෙන දේවල් දෙකක් තියෙනවා. එක්කො දෙව්ලොවයි. නැතිනම් මනුස්ස ලෝකයයි.
2.1.3.10.
30. පින්වත් මහණෙනි, මා මේ කරුණු දෙකක යහපත දකිමින් අරණ්‍යයන්ද, වනාන්තරයන්ද, ඈත හුදෙකලා වනසෙනසුන්ද සේවනය කරනවා. ඒ කරුණු දෙක මොනවාද? තමා හට මේ ජීවිතයේදීම සැප සේ වාසය කිරීම දැකීමත්, පසු පරම්පරාව ගැන තියෙන අනුකම්පාවත්ය. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු දෙකේ යහපත දකිමින් තමයි මම අරණ්‍යය, වනාන්තර, ඈත හුදෙකලා වනසෙනසුන් සේවනය කරන්නේ.
2.1.3.11.
31. පින්වත් මහණෙනි, චතුරාර්ය සත්‍යාවබෝධය නම් වූ විද්‍යාව ඇති කරවන කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? සමථ භාවනාවත්, විදර්ශනා භාවනාවත්ය. පින්වත් මහණෙනි, සමථ භාවනාව වැඩූ කල්හී මොන වගේ යහපතක්ද ලැබෙන්නේ? සිත වැඩෙනවා. සිත වැඩුණු කල්හී මොන වගේ යහපතක්ද ලැබෙන්නේ? යම් රාගයක් තියෙනවා නම්, ඒක ප්‍රහීණ වෙලා යනවා. පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාව වැඩීමෙන් මොන වගේ යහපතක්ද ලැබෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩුණු කල්හී මොන වගේ යහපතක්ද ලැබෙන්නේ? යම් අවිද්‍යාවක් (ආර්ය සත්‍යය පිළිබඳව අනවබෝධයක්) තියෙනවා නම් ඒක ප්‍රහීණ වෙලා යනවා. පින්වත් මහණෙනි, රාගයෙන් කිළිටි වූ සිත (නීවරණවලින්) නිදහස් වෙන්නෙ නෑ. අවිද්‍යාවෙන් කිළිටි වුනාම ප්‍රඥාව වැඩෙන්නෙත් නෑ. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට රාගය ප්‍රහීණ වීම තමයි චේතෝ විමුක්තිය. අවිද්‍යාව ප්‍රහීණ වීම තමයි ප්‍රඥා විමුක්තිය.
තුන්වෙනි බාල වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M