ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගෙ පස්සෙන් එන රෝදයක් වගෙයි.
(ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.
(ජේතවනාරාමයේදී මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අරභයා වදාළ ගාථාවකි.)
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා හිතන්ට ගිහින්, යම් කෙනෙක් ක්‍රෝධයෙන් බැඳිල ගියොත්, ඒ උදවියගේ වෛරය නම් සංසිඳෙන්නේ නෑ.
“අසවල් කෙනා මට බැන්නා, මට පහර දුන්නා. මාව පරාජය කළා, මගේ දේ පැහැරගත්තා” කිය කියා නොසිතා, යම් කෙනෙක් ක්‍රෝධයක් ඇතිකරගන්නෙ නැත්නම්, ඒ උදවියගේ වෛරය සංසිඳිලා යනවා.
(ජේතවනාරාමයේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
මේ ලෝකයේ කවරදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන් ම යි වෛරය සංසිඳෙන්නේ. මේක මේ ලෝකයේ තිබෙන සනාතන ධර්මයක්.
(ජේතවනාරාමයේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි.)
“මේ විදිහට කෝලාහල කරගන්ට ගියොත්, අපි ම යි විනාශ වෙන්නේ” කියල මේ කෝලාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝලාහල වලින් වැනසෙන්නෙ අපි ම යි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින් ම යි කෝලාහල සංසිඳෙන්නේ.
(කොසඹෑ නුවර දී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)
තමාව ඇවිස්සෙන විදිහට අරමුණු සුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්. ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ.
රාගය දුරුවෙලා යන විදිහට අසුභ දෙය අසුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)
කවුරු හරි කසාවත පොරවාගෙන ඉන්නෙ කෙලෙස් කහටත් එක්ක නම්, ඉන්ද්‍රිය දමනයක් නැති, ඇත්ත කතා කිරීමක් නැති ඒ පුද්ගලයා (මේ අරහත් ධජය වූ) කසාවත පොරවන්ට කිසිසේත් සුදුසු නෑ.
කසාවත දරාගෙන ඉන්න කෙනා කෙලෙස් කහට වමනෙ දැම්මා නම්, සිල්වත් නම්, සමාධියකින් යුක්ත නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම්, ඇත්ත කතා කරන කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔහු තමයි කසාවතට නියම සුදුස්සා.
(ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවන්ය.)
මේ ලෝකයේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිථ්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
සම්මා දිට්ඨිය නිසා, සම්මා සංකප්ප ඇති කරගත්ත උදවිය ඉන්නවා. ඔවුන් සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, සාරවත් දේ හැටියටම අවබෝධයෙන් දන්නවා. නිස්සාර දේ නිස්සාර දේ හැටියටත් දන්නවා. ඒ නිසා ඔවුන් සාරවත් වූ නිවන අවබෝධ කරගන්නවා.
(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවන්ය.)
ගෙයක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙනවා.
ගෙයක වහලය සෙවිලි කරලා තියෙන්නෙ නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල්වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා.
(වේළුවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි.)
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු ම යි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා.
(ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි.)
පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී පසුතැවෙන්නේ. පරලොවදී පසුතැවෙන්නෙත් ඔහු ම යි. ඔහු දෙලොවදීම පසුතැවෙනවා. ‘අයියෝ! මං පව් කරගත්තා’ කියලා පසුතැවෙනවා. අපායේ ඉපදුණාට පස්සෙ ඔහු ගොඩක් පසුතැවෙනවා.
(ජේතවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි.)
හොඳට පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.
(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි.)
ප්‍රමාදී පුද්ගලයා අනික් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ.
ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ්‍රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
ගාථා දෙක බැගින් වදාළ කොටස නිමා විය.
(යමක වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M