1056. පිරිස් පිරිවරාගෙන හැසිරෙන්ට හොඳ නෑ. පිරිස් පිරිවරාගෙන ඉන්ට පුරුදු වුණොත් හිතත් නොමග යනවා. සමාධිය ලබාගන්ටත් අපහසුයි. නොයෙක් ජනයාට සංග්‍රහ කර කර කල් ගෙවීම දුකක්. මේ ආදීනවය තේරුම් ගන්ට ඕනෑ. පිරිස් සමඟ එකතු වීම ගැන අකමැති වෙන්ට ඕනෑ.
1057. මුනිවරයා හිතවත් දායක ගෙවල් ගානෙ ඇවිදින්ට යන්නෙ නෑ. එහෙම ඇවිදින්න ගියොත් හිත නොමග යනවා. සමාධිය ලබාගන්නටත් අපහසුයි. ඒගොල්ල පූජා කරන රසවත් කෑම බීමවලට ගිජු වෙලා ඒකටම උත්සාහ කරාවි. එතකොට සැපය සලසන ජීවිත අර්ථය අහිමි වෙලා යනවා.
1058. දායක පවුල්වලින් ලැබෙන වැඳුම් පිදුම් ගැන, මඩ ගොඩක් හැටියටයි නුවණැත්තන් සැලකුවේ. ඒවාට ඇතිවන ඇල්ම උදුරා දමන්ට අමාරු සියම් හුලක් වගෙයි. අසත්පුරුෂයෙකුට ලාභ සත්කාර අත්හැරීම දුෂ්කර දෙයක්.
1059. දවසක් මං වනාන්තරයෙන් මාවතට ඇවිදින් නගරයට පිණ්ඩපාතෙ වැඩියා. මං දැක්කා ආහාර අනුභව කරමින් ඉන්න කුෂ්ඨ රෝගියෙක්ව. ඉතා යහපත් සිතින්මයි මං එයා ළඟ ගියේ.
1060. ඒ කුෂ්ඨ රෝගියා තමන්ගේ අතින් බත් පිඬක් අරගෙන මගේ පාත්තරේට පූජා කළා. ඒ බත් පිඬ පාත්තරේට දමනවත් එක්කම එයාගේ ඇඟිල්ලකුත් පාත්තරේට වැටුණා.
1061. මං ඒ දානෙ පිළිගත්තා. අගුපිලක වාඩිවුණා. ඒ බත් පිඬ වැළඳුවා. ඒ දානෙ වළඳන කොටත් වැළඳුවාට පස්සෙත් මගේ හිතේ කිසි පිළිකුලක් ඇතිවුණේ නෑ.
1062. ඇත්තෙන්ම යමෙකුට තිබෙනවා නම් පිණ්ඩපාතෙ කරගෙන දානෙ ගැනීමත්, ගොඩ බෙහෙතක් කරගැනීමත්, ගස් සෙවණක වාසය කිරීමත්, පාංශුකූල සිවුරත් යන මේවා, එයාට පුළුවන් සිවු දිශාවේම පහසුවෙන් කල් ගෙවන්ට.
1063. මං ඉන්න කන්දට සමහරු නගිද්දි කලන්තෙ හැදෙනවා. බුදු සමිඳුන්ගේ දායාදයක් වන, කාශ්‍යප භික්ෂුව දැන් හරි මහළුයි. ඒ වුණත් හොඳ සිහි කල්පනාවෙන්, හොඳ සිහි නුවණින්, ඉර්ධි බලයෙන් ලැබෙන උපකාරයෙන් කන්දට නැග ගන්නවා.
1064. කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. බිය තැති ගැනීම් කිසි දෙයක් නෑ. උපාදාන නැතිව භාවනා කරනවා.
1065. කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. එයා ඉන්නෙ කෙලෙස්වලින් පිරිච්ච ජීවිත තිබෙන ලෝකෙ නිවී ගිය හිතක් ඇතිවයි. උපාදාන නැතිව භාවනා කරනවා.
1066. කාශ්‍යප භික්ෂුව පිණ්ඩපාත කරගෙන එනවා. ඊට පස්සෙ ඒ ගල් පර්වතයට නගිනවා. එයා තුළ ආශ්‍රව මොකුත් නෑ. නිවන් මග සම්පූර්ණ කරලයි ඉන්නෙ. උපාදාන නැතිව භාවනා කරනවා.
1067. හැමතැනම පැතිරිලා තියෙන්නෙ ලුණුවරණ ගස්. ඒ පළාත හරි ලස්සනයි. ඇතුන්ගේ කුංච නාදයෙන් තවත් සුන්දර වෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.
1068. එහි තියෙන සීතල වතුරෙ පාට නිල් ආකාසෙ පාටයි. රාත්‍රියට එළිය විහිදන කලාමැදිරියන් පිරෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.
1069. වලාකුළු වගේ ඉන්න, කුළු ගෙවල් වගේ ඉන්න, ඒ ඇතුන්ගේ කුංච නාදයෙන් පළාතම සුන්දර වෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමැතියි.
1070. එහෙට නිතරම වැස්ස. ඒ පැත්ත හරි ලස්සනයි. රහතුන් වැඩසිටින ඒ පර්වතවලට කියන්නෙ ‘නග’ කියලා. මොණරුන් නාද කරන කොට දෝංකාරය දෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමැතියි.
1071. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, සිහි නුවණ පවත්වන, ධ්‍යාන වඩන මටත්, ඒ කඳු වළල්ල හොඳට ගැලපෙනවා. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන යහපත සලසා ගන්නට කැමැති භික්ෂුවක් වන මටත් ඒ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා.
1072. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, පහසු විහරණයෙන් කල් ගෙවන භික්ෂුවක් වන මටත් මේ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන භාවනා කරන්ට කැමැති අකම්පිත සිත් ඇති භික්ෂුවක් වන මටත් ඒ කඳු වළල්ල හොඳින් ගැලපෙනවා.
1073. ආකාසය, නිල් කටරොළු මලේ පාටයි. ඒ ආකාසෙ වහගෙන පැතිරිලා නොයෙක් කුරුල්ලො ඉගිල්ලෙනවා. ඒ කුරුල්ලන්ගෙන් ගැවසුන කඳු වළල්ලට මං හරි කැමැතියි.
1074. මේ පළාතෙ ගිහි ජනතාව ගැවසීමක් නෑ. නොයෙක් මුව රංචු ගැවසෙනවා. නොයෙක් කුරුල්ලන් ගැවසෙනවා. ඒ කඳු වළල්ලට මං හරි කැමතියි.
1075. මෙහෙ වතුර ටිකත් හරිම අගෙයි. පුළුල් ගල්තලාවක් තියෙනවා. වඳුරන් මුවන් වගේ සත්තුත් ඉන්නවා. දිය සෙවෙල්වලින් වැහිල තිබෙන ඒ කඳු වළල්ලට මං හරි කැමැතියි.
1076. මට තියෙන්නෙ එකඟ වෙච්ච හිතක්. මම හැම දෙයක්ම විදර්ශනා නුවණට යොමු කරනවා. එතකොට ඒ ධර්මයෙන් මං තුළ පුදුමාකාර සතුටක් ඇතිවන්නෙ. පංච තූර්ය නාදයකින් කවදාවත් එවැනි සතුටක් ලබන්ට බැහැ.
1077. නිතරම පන්සල්වල ගොඩනැගිලි හද හදා ඉන්ට හොඳ නෑ. පාපී ජනතාවගේ ආශ්‍රය දුරු කර දමන්ට ඕනෑ. සිවුපසය ලබාගැනීමට මහන්සි වීම අවශ්‍ය නෑ. එතකොට එයා රසවත් කෑම බීමවලට ගිජු වෙනවා. ඒ සඳහාම වෙහෙසෙනවා. ඔහුට ජීවිත අර්ථයෙන් ලබන සැප ලබන්ට බැරිව යනවා.
1078. නිතරම පන්සල්වල ගොඩනැගිලි හද හදා ඉන්ට හොඳ නෑ. තමාගේ යහපත කැමැති භික්ෂුව ඒ වගේ දේවල් අත්හරින්ට ඕනෑ. ඒ වැඩවලින් කයටත් මහන්සියි. කලන්තෙ හැදෙනවා. දුකට පත්වෙනවා. චිත්ත සමාධියක් ලැබෙන්නෙත් නෑ.
1079. ඕනෑවට වඩා හිතට ගත්ත කෙනා තමන්ගේ පමණ දන්නෙ නැතිව කතා කරන්ට ගන්නවා. එයාට තියෙන්නෙ මමත් උතුම් කෙනෙක් කියලා හිතාගෙන බෙල්ල තද කරගෙන ඇවිදිල්ලක් විතරයි.
1080. මෝඩ කෙනා තමන් උතුම් කෙනෙක් නොවී සිටිද්දීම උතුම් පුද්ගලයන් හා සමකර ගන්නවා. මාන්නයෙන් ඉදිමිලා ඉන්න ඒ උදවියට නුවණැත්තන් ප්‍රශංසා කරන්නෙ නෑ.
1081. මං උතුම් කෙනෙක්. මං උතුම් කෙනෙක් නොවේ. මං පහත් කෙනෙක්. අපි කවුරුත් එකයි යන අදහස් තියෙන්නෙ මාන්නය තුළයි. එවැනි මාන්නයක් තුළ සිතේ කම්පාවක් ඇතිවන්නෙ නැත්නම්,
1082. ඒ අකම්පිත සිත් ඇති, ප්‍රඥාවන්ත, සිල්වත්, සමාධිගත සිත් ඇති, චිත්ත සමාධියේම යෙදී සිටින කෙනාටයි නුවණැත්තෝ ප්‍රශංසා කරන්නෙ.
1083. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැති නම් ඒ තැනැත්තා සද්ධර්මයෙන් දුරුවෙන්නෙ අහසට පොළොව වගෙයි.
1084. පවට ලැජ්ජාවක්, පවට බියක් ඇතිව හැම තිස්සේම හොඳ සිහියෙන් සිටියොත් ඒගොල්ලන්ගෙ බ්‍රහ්මචාරී ජීවිතය දියුණු වෙනවා. එතකොට පුනර්භවය නැතිවෙලා යාවි.
1085. පොරවා ගෙන ඉන්නෙ පාංශුකූල චීවරයක් වුණත්, ඒ භික්ෂුව උඩඟු නම්, චපල නම්, එයා තුළ කිසි සුන්දරත්වයක් නෑ. ඒ කෙනා සිංහ හමක් පොරවා ගෙන ඉන්න වඳුරෙක් වගෙයි.
1086. යම් භික්ෂුවක් උඩඟු නැතිව, චපල නැතිව, තැනට සුදුසු නුවණ ඇතිව, ඉඳුරන්ද සංවර කරගෙන නම් ඉන්නෙ එයාට නම් පංශුකූල චීවරය හොඳට ගැලපෙනවා. ඒ කෙනා කන්දෙ ගුහාවක වාසය කරන සිංහ රාජයෙක් වගේ.
1087. මෙහෙ ඇවිදින් ඉන්නවා දහදාහක් පමණ වූ බොහෝ දෙවිවරු. ඒගොල්ල ඉර්ධිමත්, කීර්තිමත්. ඒ ඔක්කොම ඇවිදින් ඉන්නෙ බ්‍රහ්මලෝක වලින්.
1088. ධර්ම සේනාධිපති වූ, මහා වීර්ය ඇති, ධ්‍යාන ඇති, සමාධිමත් සිත් ඇති සැරියුත් මුනිඳුන්ටයි ඔවුන් දෝත නගා වන්දනා කරමින් සිටින්නේ.
1089. ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාරය වේවා! පුරුෂෝත්තමය ඔබට නමස්කාර වේවා! ඇත්තෙන්ම ඔබවහන්සේ භාවනාවට ගන්න අරමුණ කුමක්ද කියා අපට සොයාගන්ට බැහැ.
1090. ඒකාන්තයෙන්ම ආශ්චර්යයයි. බුදුවරයන් වහන්සේලාගේ විෂය ක්ෂේත්‍රය පරම ගම්භීරයි. අස්ලෝමයකින් විදින දක්ෂ දුනුවායන් වගේ ඉන්න අපට ඉතා ශූක්ෂම ලෙස සිතන්ට පුළුවන්. අපට පවා ඒක දැනගන්ට බැහැ.
1091. දිව්‍ය සේනාව විසින් වැඳුම් පිදුම් කරන පූජනීය සැරියුත් මුනිඳුන්ව කාශ්‍යප මුනිඳුන් දැක්කා. ඒ වෙලාවෙ උන්වහන්සේට යහපත් සිනාවක් පැනනැංගා.
1092. මහා මුනිවරයාණන් වූ බුදු සමිඳුන්ගේ සකලවිධ බුද්ධ ක්ෂේත්‍රය තුළ උන්වහන්සේ හැරුණු කොට ඒ ධුතාංග දරාගන්ට ඉන්නෙ මං විතරයි. ඒ ධුතාංග තුළ මම ශ්‍රේෂ්ඨත්වයට පත්වුණා.
1093. මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. මට ආයෙත් පුනර්භවයක් නම් නෑ.
1094. මේ කාශ්‍යප භික්ෂුව තුළත් අප්‍රමාණ ගුණ තිබෙනවා. සිවුරුවලට, කුටිවලට, දානෙට ඇලෙන්නෙ නෑ. වතුරෙ වැඩිලා වතුරෙ නොතැවරී පිපිල සුවඳ හමන ලස්සන නිල් මහනෙල් මලක් වගෙයි. සියලු භවයන්ගෙන්ම එයා නිදහස් වෙලයි ඉන්නෙ.
1095. ඒ මහා මුනිවරයාට සතිපට්ඨානය නම් බෙල්ලක් තියෙනවා. ශ්‍රද්ධාව නම් දෑතක් තියෙනවා. ප්‍රඥාව නම් හිසක් තිබෙනවා. ඒ මහා නුවණැති කෙනා හැම තිස්සේම ඉන්නෙ නිවී ගිය හිතකින්.
මේ වනාහී ආයුෂ්මත් මහා කාශ්‍යප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ගාථා හතළිහ බැගින් වදාළ කොටස නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_18/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M