ඛුද්දක නිකාය

ථේර ගාථා

13. තේරස නිපාතෝ

13. දහතුන්වැනි නිපාතය

13.1.1. සෝණත්ථේරගාථා

13.1.1. සෝණ තෙරුන්ගේ ගාථා

632. යාහු රට්ඨේ සමුක්කට්ඨෝ රඤ්ඤෝ අංගස්ස පද්ධගූ
ස්වාජ්ජ ධමමේසු උක්කට්ඨෝ සෝණෝ දුක්ඛස්ස පාරගූ

632. එයා අංග රටේ රජතුමාගේ රාජකීය පිරිවරට අයිති කෙනෙක්. ඒ කාලෙ එයා හරි බල සම්පන්නයි. එයා නමින් සෝණ. අද එයා ධර්මය තුළත් බලසම්පන්න කෙනෙක්. හැම දුකින්ම එතෙර වුණ කෙනෙක්.

633. පඤ්ච ඡින්දේ පඤ්ච ජහේ පඤ්ච චුත්තරි භාවයේ
පඤ්ච සංගාතිගෝ භික්ඛු ඕඝතිණ්ණෝ’ති වුච්චති

633. සිඳ දැමිය යුත්තේ (ඕරම්භාගිය සංයෝජන) පහ ය. පහ කළ යුත්තේ (උද්ධංභාගිය සංයෝජන) පහ ය. දියුණු කර ගතයුත්තේ (ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම) පහ ය. ඉක්ම යා යුත්තේ (රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන) සංග පහ ය. අන්න ඒ භික්ෂුවට කියන්නෙ මේ සැඩ පහරින් එතෙර වෙච්ච කෙනා කියලයි.

634. උන්නළස්ස පමත්තස්ස බාහිරාසස්ස භික්ඛුනෝ
සීලං සමාධි පඤ්ඤා ච පාරිපූරිං න ගච්ඡති

634. ආඩම්බරකමින් හිටියොත්, ප්‍රමාදීව හිටියොත්, බාහිර දේට ආශා කළොත්, ඒ භික්ෂුවට ශීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ කරගන්ට ලැබෙන්නෙ නෑ.

635. යං හි කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං තේසං වඩ්ඪන්ති ආසවා

635. මාන්නෙන් ඉදිමිලා ප්‍රමාද වුණොත් එයා කළ යුතු දේ අත්හැර දානවා. ඊට පස්සෙ නොකළ යුතු දේ කරනවා. අන්තිමේ බලන කොට වැඩිල තියෙන්නෙ කෙලෙස් විතරයි.

636. යේසං ච සුසමාරද්ධා නිච්චං කායගතා සති
අකිච්චං තේ න සේවන්ති කිච්චේ සාතච්චකාරිනෝ
සතානං සම්පජානානං අත්ථං ගච්ඡන්ති ආසවා

636. හැම තිස්සෙම කායානුපස්සනාව පුරුදු කළොත් එයා නොකළ යුතු දේ කරන්නෙ නෑ. කළ යුතු දේ හැම තිස්සෙම කරනවා. හොඳ සිහියත්, නුවණත් තියෙන කොට කෙලෙස් නැතිවෙලා යනවා.

637. උජුමග්ගම්හි අක්ඛාතේ ගච්ඡථ මා නිවත්තථ
අත්තනා චෝදයත්තානං නිබ්බානමභිහාරයේ

637. ශාස්තෘන් වහන්සේ වදාළ නිවනට ඇති ඇද නැති මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණයි. ඒ මගේම ගමන් කරන්න. නොනැවතීම ගමන් කරන්න. තමන්ගේ දුර්වලතාවලට තමන් ම දොස් නගන්න. අන්න ඒ කෙනා නිවන කරා යනවා.

638. අච්චාරද්ධම්හි විරියම්හි සත්ථා ලෝකේ අනුත්තරෝ
වීණෝපමං කිරිත්වා මේ ධම්මං දේසේසි චක්ඛුමා

638. මං අධික වීර්යයක් පටන් අරගෙනයි හිටියේ. ලෝකයට අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ, ඒ දහම් ඇස් ඇති මුනිඳාණන් තමයි එදා වීණාවක් උපමා කරගෙන මට දහම් දෙසුවේ.

639. තස්සාහං වචනං සුත්වා විහාසිං සාසනේ රතෝ
සමථං පටිපාදේසිං උත්තමත්ථස්ස පත්තියා
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං

639. උන්වහන්සේගේ වචනය මං පිළිගත්තා. ආයෙමත් බුද්ධ ශාසනය ගැන කැමැත්තෙන් වාසය කළා. නිවන පිණිස සමථයත් දියුණුකර ගත්තා. මා ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

640. නෙක්ඛම්මේ අධිමුත්තස්ස පවිවේකං ච චේතසෝ
අබ්‍යාපජ්ඣාධිමුත්තස්ස උපාදානක්ඛයස්ස ච

640. මුළු ලෝකයම හිතින් අතහැරලා, හිතට විවේක අරගෙන, දුකක් නැති සිතින් යුක්තව, පංච උපාදානස්කන්ධ ගැන හිතේ තිබෙන ඡන්දරාගය නැතිකර දමද්දී,

641. තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මෝහං ච චේතසෝ
දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති

641. තණ්හාව නැති කිරීමටම යොමු වෙලා, කිසි දේකට රැවටෙන්නෙ නැතිව මේ ඇස, කන ආදී ආයතනයන්ගේ සත්‍ය තත්වය දකින කොට හැම කෙලෙස් වලින්ම හිත නිදහස් වෙලා ගියා.

642. තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ
කතස්ස පතිචයෝ නත්ථි කරණීයං න විජ්ජති

642. කෙලෙස්වලින් හිත නිදහස් වුණාම හරිම ශාන්තයි. සම්පූර්ණ කළ නිවන් මගේ ආයෙමත් වඩන්ට දෙයක් නෑ. ආයෙමත් වඩන්ට දෙයක් නෑ. ආයෙමත් කළ යුතු දෙයක් නෑ.

643. සේලෝ යථා ඒකඝනෝ වාතේන න සමීරති
ඒවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කේවලා

643. විශාල ගල් පර්වතයක් සුළඟට කිසිසේත්ම සෙලවෙන්නෙ නෑ. ඒ වගේමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන ඕනෑම දෙයක්.

644. ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවේධෙන්ති තාදිනෝ
ඨිතං චිත්තං විසඤ්ඤුත්තං වයඤ්චස්සානුපස්සතී’ති

644. හොඳ නරක කිසි දේකට ඒ භික්ෂුව කම්පා කරවන්ට බැහැ. අකම්පිත සිතක් තියෙන්නෙ. ඒ සිත පිහිටා තියෙන්නෙ නිවන තුළ. වෙන කිසි දෙයක් සමඟ එක්වන්නෙ නැහැ. ඒ භික්ෂුවට හොඳට පෙනෙනවා. හැමදේම අනිත්‍ය වන හැටි.

ඉත්ථං සුදං ආයස්මා සෝණෝ කෝළිවීසෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සෝණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං –

සීලවා ච සුනීතෝ ච ථේරා ද්වේ තේ මහිද්ධිකා
ද්වාදසම්හි නිපාතම්හි ගාථායෝ චතුවීසතී’ති.

තේරසනිපාතෝ නිට්ඨිතෝ.

දහතුන්වෙනි නිපාතය නිමා විය.

(ගාථා දහතුන බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M