ඛුද්දක නිකාය

ඛුද්දකපාඨ පාළි

5. මංගලසුත්තං

5. මංගල කරුණු ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා එක්තරා දෙවියෙක් රැය පහන් වන වේලෙහි, සුන්දර ශරීර සෝභාවකින් යුක්තව, මුළු මහත් ජේතවනයම බබුලුවා ගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් පැවසුවා.

1. බහූදේවා මනුස්සා ච මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං බ්‍රෑහි මංගලමුත්තමං

01. (භාග්‍යවතුන් වහන්ස,) යහපත සලසාගන්න කැමැති බොහෝ දෙවියොත්, මිනිස්සුත් මංගල සම්මත දේවල් ගැන හිතුවා. යහපත සළසන ඒ උතුම් මංගල කරුණු ගැන වදාරණ සේක්වා!

(භාග්‍යවතුන් වහන්සේ) :

2. අසේවනා ච බාලානං පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං ඒතං මංගලමුත්තමං

02. අසත්පුරුෂ, අඥාන පුද්ගලයන් ඇසුරු නොකිරීමත්, නුවණැති සත්පුරුෂයින් ඇසුරු කිරීමත්, පූජනීය උතුමන් පිදීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

3. පතිරූපදේසවාසෝ ච පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච ඒතං මංගලමුත්තමං

03. ධර්මයේ හැසිරෙන්නට පුළුවන් යහපත් ප්‍රදේශයක වාසය කිරීමත්, කලින් පින් කරපු ජීවිතයක් තිබීමත්, ධර්මය තුළ සිත පිහිටුවා ගැනීමත් උතුම් මංගල කාරණා ය.

4. බාහුසච්චඤ්ච සිප්පඤ්ච විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා ඒතං මංගලමුත්තමං

04. හොඳින් දැන උගත්කම් ඇති කරගැනීමත්, ශිල්ප ශාස්ත්‍ර ගැන අවබෝධයත්, විනය ගරුකභාවය තුළ හොඳින් හික්මීමත්, දෙලොව වැඩ සලසන වචන කතා කිරීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

5. මාතාපිතූ උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා ඒතං මංගලමුත්තමං

05. මව්පියන්ට උපස්ථාන කිරීමත්, අඹුදරුවන්ට සැලකීමත්, ධාර්මික රැකී රක්ෂා කිරීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

6. දානඤ්ච ධම්මචරියා ච ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි ඒතං මංගලමුත්තමං

06. දන් දීමත්, ධර්මානුකූලව ජීවත් වීමත්, ඤාතීන්ට සැලකීමත්, නිවැරදි දේවල් කිරීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

7. ආරති විරති පාපා මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගලමුත්තමං

07. පාපී කටයුතුවලින් වැළකී සිටීමත්, මත්පැන් පානයෙන් වැළකී සිටීමත්, අප්‍රමාදීව ගුණධර්ම දියුණු කරගැනීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

8. ගාරවෝ ච නිවාතෝ ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං ඒතං මංගලමුත්තමං

08. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, නිහතමානී වීමත්, ලද දෙයින් සතුටු වීමත්, අනුන් කළ උදව් උපකාර මතක තිබීමත්, ධර්මාවවාද අවශ්‍ය මොහොතේ ධර්ම ශ්‍රවණය කිරීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

9. ඛන්තී ච සෝවචස්සතා සමණානඤ්ච දස්සනං
කාලේන ධම්මසාකච්ඡා ඒතං මංගලමුත්තමං

09. ඉවසීමත්, කීකරුකමත්, ගුණදහම් සුරකින ශ්‍රමණයන් වහන්සේලා දැකීමත්, ධර්මය පැහැදිලි කරගත යුතු මොහොතේ ධර්ම සාකච්ඡා කිරීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

10. තපෝ ච බ්‍රහ්මචරියඤ්ච අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච ඒතං මංගලමුත්තමං

10. වීරියෙන් ඉන්ද්‍රියයන් දමනය කර ගැනීමත්, බඹසර ජීවිතයක් ගත කිරීමත්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමත්, ඒ අමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමත් යන මේවා උතුම් මංගල කාරණා ය.

11. ඵුට්ඨස්ස ලෝකධම්මේහි චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං

11. (ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන) අෂ්ට ලෝක ධර්මයෙන් පහර වදින විට යම් කෙනෙකුගේ සිත කම්පාවන්නේ නැත්නම්, ශෝකයක් නැති, ක්ලේශයක් නැති, බිය සැක රහිත නිදහස් සිත් ඇති බව ද උතුම් මංගල කාරණා ය.

12. ඒතාදිසානි කත්වාන සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං තේසං මංගලමුත්තමන්ති

12. ඔය විදිහට මංගල කාරණා ඇති කරගෙන, සෑම තැනම අපරාජිතව සිටියොත් සෑම තැනකදීම යහපත කරා යනවා. ඒක තමයි ඔවුන්ට තිබෙන උතුම් මංගල කාරණා.

මංගලසුත්තං.

මේ අවසන් වූයේ මංගල සූත්‍රයයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M