දීඝ නිකාය

මහා වග්ගෝ

7. මහා සමය සුත්‌තං

7. රැස් වූ මහා පිරිස ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං මහාවනේ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සබ්බේහේව අරහන්තේහි. දසහි ච ලෝකධාතූහි දේවතා යේභුය්‍යේන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසංඝඤ්ච. අථ ඛෝ චතුන්නං සුද්ධාවාසකායිකානං දේවානං ඒතදහෝසි.

මා විසින් මෙසේ අසන ලදී.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යයන්ගේ ජනපදයෙහි කපිලවස්තුවෙහි මහා වනයෙහි සියළු දෙනා වහන්සේ ම රහත් වූ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ වැඩවසන සේක. එකල්හී දස දහස් ලෝක ධාතුවෙනුත් බොහෝ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වත්, භික්ෂු සංඝයා ත් දකිනු පිණිස රැස්වූවාහු වෙති. ඉක්බිති සුද්ධාවාස බඹලොවෙහි දෙවිවරුන් සතර දෙනෙකුට මේ අදහස ඇතිවූයේ ය.

අයං ඛෝ භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං මහාවනේ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සබ්බේහේව අරහන්තේහි. දසහි ච ලෝකධාතූහි දේවතා යේභුය්‍යේන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසංඝඤ්ච. යන්නූන මයම්පි යේන භගවා තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා භගවතෝ සන්තිකේ පච්චේකං ගාථං භාසෙය්‍යාමා’ති.

‘මේ භාග්‍යවතුන් වහන්සේ වනාහී ශාක්‍යයන්ගේ ජනපදයෙහි කපිලවස්තුවෙහි මහා වනයෙහි සියළු දෙනා වහන්සේ ම රහත් වූ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ වැඩවසන සේක. දස දහස් ලෝක ධාතුවෙනුත් බොහෝ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වත්, භික්ෂු සංඝයා ත් දකිනු පිණිස රැස්වූවාහු වෙති. එහෙයින් අපි ත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටිත් ද, එතැනට එළැඹෙන්නෙමු නම්, එළැඹ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වෙන් වෙන් වශයෙන් ගාථාව බැගින් පවසන්නෙමු නම් ඉතා මැනැවි’ යි.

2. අථ ඛෝ තා දේවතා සෙය්‍යථා’පි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය, ඒවමේව සුද්ධාවාසේසු දේවේසු අන්තරහිතා භගවතෝ පුරතෝ පාතුරහංසු, අථ ඛෝ තා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

ඉක්බිති ඒ දෙවිවරු බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම සුද්ධාවාස බඹලොවෙන් නොපෙනී ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියාහු ය. ඉක්බිති ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියාහු ය. එකත්පස් ව සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිට මේ ගාථාව පැවසුවේ ය.

“මහාසමයෝ පවනස්මිං – දේවකායා සමාගතා,
ආගතම්හ ඉමං ධම්මසමයං – දක්ඛිතායේ අපරාජිතසංඝන්’ති.”

‘මහා වනයෙහි රැස්වූ මහා පිරිසකි. දෙව් පිරිස් රැස්වූවාහු ය. අපි මේ ධර්ම සභාවෙහි වැඩසිටින අපරාජිත සංඝයා දකින්නට පැමිණියෙමු.’

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

ඉක්බිති තව බ්‍රහ්මකායික දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය.

තත්‍ර භික්ඛවෝ සමාදහංසු – චිත්තමත්තනෝ උජුකමකංසු,
සාරථී’ව නෙත්තානි ගහෙත්වා – ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතා’ති.

‘එහි සිටින භික්ෂූහු තම සිත එකඟ කරගත්තාහු ය. ඍජු කරගත්තාහු ය. ඒ නුවණැත්තෝ රැහැන් පට අතින් ගත් රියැදුරන් අසුන් හසුරුවන සෙයින් තම ඉඳුරන් රැක ගනිත්.’

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

ඉක්බිති තව බ්‍රහ්මකායික දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය.

ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං – ඉන්දඛීලං ඌහච්ච මනේජා,
තේ චරන්ති සුද්ධා විමලා – චක්ඛුමතා සුදන්තා සුසු නාගා’ති.

‘ඒ යොවුන් වියේ සිටින උතුම් රහත්හු සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දමනය කරන ලද්දාහු, කෙලෙස් හුල් සිඳ, කෙලෙස් පලිඝය සිඳ, කෙලෙස් ඉන්ද්‍රඛීලය උදුරා දමා, තෘෂ්ණා රහිත ව, පිරිසිදු සිතින්, නිර්මල ව හැසිරෙත්.’

අථ ඛෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

ඉක්බිති තව බ්‍රහ්මකායික දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පැවසුවේ ය.

යේ කේචි බුද්ධං සරණං ගතාසේ – න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං – දේවකායං පරිපූරෙස්සන්තී’ති.

‘යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියාහු ද, ඔවුහු අපායට නොයන්නාහු ය. මිනිස් සිරුර අත්හැර දෙව්ලොව පිරී යන්නාහු ය.’

3. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි, යේභුය්‍යේන භික්ඛවේ දසසු ලෝකධාතූසු දේවතා සන්නිපතිතා හොන්ති, තථාගතං දස්සනාය භික්ඛුසංඝඤ්ච, යේපි තේ භික්ඛවේ අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේසම්පි භගවන්තානං ඒතපරමා යේව දේවතා සන්නිපතිතා අහේසුං සෙය්‍යථා’පි මය්හං ඒතරහි. යේපි තේ භික්ඛවේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේසම්පි භගවන්තානං ඒතපරමා යේව දේවතා සන්නිපතිතා භවිස්සන්ති සෙය්‍යථා’පි මය්හං ඒතරහි. ආචික්ඛිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි, කිත්තයිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි, දේසිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි, තං සුණාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමී’ති. ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච;

එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, දස දහස් ලෝකධාතුවෙන් බොහෝ දේවතාවෝ රැස්වූවාහු වෙති. ඒ තථාගතයන් දකිනු පිණිස ත්, භික්ෂු සංඝයා දකිනු පිණිස ත් ය. මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවත්වරුන්ට ද, මෙපමණ ම වූ දේවතාවෝ රැස් වූවාහු ය. මෙකල්හී මා හට පරිද්දෙනි. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු පහළ වන්නාහු ද, ඒ භාග්‍යවත්වරුන්ට ද, මෙපමණ ම වූ දේවතාවෝ රැස් වෙන්නාහු ය. මෙකල්හී මා හට පරිද්දෙනි.

මහණෙනි, දෙව් පිරිසගේ නම් පවසන්නෙමි. මහණෙනි, දෙව් පිරිසගේ නම් වර්ණනා කරන්නෙමි. මහණෙනි, දෙව් පිරිසගේ නම් දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

4.

සිලෝකමනුකස්සාමි – යත්ථ භුම්මා තදස්සිතා
යේ සිතා ගිරිගබ්භාරං – පහිතත්තා සමාහිතා

සිලෝවක් කියන්නෙමි. හෙවත් කීර්තනය කොට පවසන්නෙමි. යම් තැනක භූමාටු දේවතාවෝ සිටිත් ද, තමා අත්හැර නිවනට මෙහෙය වූ සිත් ඇති, සමාහිත සිත් ඇති යම් ඒ රහත්හු ඒ ගිරිගුහා ඇසුරු කොට වසත්.

පුථුසීහා’ව සල්ලීනා – ලෝමහංසාභිසම්භුනෝ
ඕදාතමනසා සුද්ධා – විප්පසන්න මනාවිලා

ලොමු දහගැනුම් මැඩපැවැත්වූ, කුසලයෙන් සුදු පැහැ ගැන් වූ සිත් ඇති, පිරිසිදු සිත් ඇති, විශේෂයෙන් පහන් වූ, නොකැළඹුණු සිත් ඇති, බොහෝ රහත්හු සිංහයන් සෙයින් ජනයාට නොපෙනී සිටිති.

භිය්‍යෝ පඤ්චසතේ ඤත්වා – වනේ කාපිලවත්ථවේ
තතෝ ආමන්තයී සත්ථා – සාවකේ සාසනේ රතේ

කපිලවස්තු මහා වනයෙහි බුදු සසුනෙහි ඇලී සිටින පන්සියයකට වැඩි ශ්‍රාවකයන් වහන්සේලා දැන ශාස්තෘන් වහන්සේ ඔවුන් ඇමතූ සේක.

දේවකායා අභික්කන්තා – තේ විජානාථ භික්ඛවෝ
තේ ච ආතප්පමකරුං – සුත්වා බුද්ධස්ස සාසනං

‘මහණෙනි, දෙව් පිරිස පැමිණියාහුය. ඔවුන් ආ බව දිවැසින් දනිව්’ යි. ඒ භික්ෂූහු ද භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසා දිවැස පිණිස වීර්ය වැඩූහ.

තේසං පාතුරහු ඤාණං – අමනුස්සානදස්සනං
අප්පේකේ සතමද්දක්ඛුං – සහස්සං අථ සත්තරිං

ඒ භික්ෂූන් වහන්සේලා තුළ මිනිස් නොවන්නවුන් දැකීම පිණිස දිවැස් නුවණ පහළ වූයේ ය. ඇතැම් භික්ෂූහු සිය දෙනෙකු ද, දහස් දෙනෙකු ද, සැත්තෑ දහසක් දෙනෙකු ද දැක්කාහු ය.

සතං ඒකේ සහස්සානං – අමනුස්සානමද්දසුං
අප්පේකේ’නන්තමද්දක්ඛුං – දිසා සබ්බා ඵුටා අහු

ඇතැම් භික්ෂු කෙනෙක් ලක්ෂයක් දෙවිවරුන් දැක්කාහු ය. ඇතැම් භික්ෂු කෙනෙක් අනන්ත දෙව් පිරිස් දැක්කාහු ය. දෙව් බඹුන්ගෙන් සියළු දිශා පිරී ගියේ ය.

5.

තඤ්ච සබ්බං අභිඤ්ඤාය – වවත්ථිත්වාන චක්ඛුමා
තතෝ ආමන්තයී සත්ථා – සාවකේ සාසනේ රතේ

සදහම් ඇස් ඇති ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල විශිෂ්ට ඥානයෙන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන බුදු සසුනෙහි ඇලී සිටි ශ්‍රාවකයන් වහන්සේලා ඇමතූ සේක.

දේවකායා අභික්කන්තා – තේ විජානාථ භික්ඛවෝ
යේ වෝ’හං කිත්තයිස්සාමි – ගිරාහි අනුපුබ්බසෝ

“මහණෙනි, දෙව් පිරිස් පැමිණියාහු ය. මම ඔබට ඔවුන් පිළිබඳ ව අනුපිළිවෙලින් වචනයෙන් කීර්තනය කරන්නෙම් ද, එවිට ඔවුන් ගැන දිවැසින් දැනගනිව්.

සත්තසහස්සා තේ යක්ඛා – භුම්මා කාපිලවත්ථවා
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

කපිලවස්තුවාසී සත් දහසක් වූ ඒ භූමාටු දේවතාවෝ ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ව සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

ඡ සහස්සා හේමවතා – යක්ඛා නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

හිමාල පර්වතවාසී හය දහසක් වූ දේවතාවෝ නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ව සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

6.

සාතාගිරා තිසහස්සා – යක්ඛා නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

සාතාගිරි පර්වතවාසී තුන්දහසක් වූ දේවතාවෝ නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ව සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

ඉච්චේතේ සෝළසසහස්සා – යක්ඛා නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මෙසේ මේ දහසය දහසක් වූ දේවතාවෝ නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ව සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

වෙස්සාමිත්තා පඤ්චසතා – යක්ඛා නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

වෙස්සමිත්ත පර්වතවාසී පන්සියයක් වූ දේවතාවෝ නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ව සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

කුම්භීරෝ රාජගහිකෝ – වේපුල්ලස්ස නිවේසනං
භිය්‍යෝ නං සතසහස්සං – යක්ඛානං පයිරුපාසති
කුම්භීරෝ රාජගහිකෝ – සෝපාග සමිතිං වනං

රජගහ නුවර වේපුල්ල පර්වතයෙහි වසන කුම්භීර යනු යක්ෂ සේනාධිපතියෙකි. ඔහු ලක්ෂයකට වැඩි යකුන් ඇසුරු කරයි. රජගහ නුවරවැසි කුම්භීර යක්ෂ තෙමේ ද භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියේ ය.

7.

පුරිමඤ්ච දිසං රාජා – ධතරට්ඨෝ තං පසාසති
ගන්ධබ්බානං ආධිපති – මහාරාජා යසස්සි සෝ

ධතරාෂ්ට නම් දෙව්මහරජු නැගෙනහිර පෙදෙස පාලනය කරයි. ඔහු ගාන්ධර්වයන්ට අධිපති, යස පිරිවර ඇති මහරජු ය.

පුත්තා’පි තස්ස බහවෝ – ඉන්දනාමා මහබ්බලා
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

ඔහුට ඉන්ද යන නමින් මහත් බල ඇති බොහෝ පුත්‍රයෝ සිටිති. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහුය.

දක්ඛිණඤ්ච දිසං රාජා – විරූළ්හෝ තං පසාසති
කුම්භණ්ඩානං ආධිපති – මහාරාජා යසස්සි සෝ

විරූළ්හ නම් දෙව්මහරජු දකුණු පෙදෙස පාලනය කරයි. ඔහු කුම්භාණ්ඩයන්ට අධිපති, යස පිරිවර ඇති මහරජු ය.

පුත්තා’පි තස්ස බහවෝ – ඉන්දනාමා මහබ්බලා
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

ඔහුට ඉන්ද යන නමින් මහත් බල ඇති බොහෝ පුත්‍රයෝ සිටිති. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහුය.

පච්ඡිමඤ්ච දිසං රාජා – විරූපක්ඛෝ තං පසාසති
නාගානඤ්ච ආධිපති – මහාරාජා යසස්සි සෝ

විරූපක්ඛ නම් දෙව්මහරජු බටහිර පෙදෙස පාලනය කරයි. ඔහු නාගයින්ට අධිපති, යස පිරිවර ඇති මහරජු ය.

පුත්තා’පි තස්ස බහවෝ – ඉන්දනාමා මහබ්බලා
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

ඔහුට ඉන්ද යන නමින් මහත් බල ඇති බොහෝ පුත්‍රයෝ සිටිති. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහුය.

උත්තරඤ්ච දිසං රාජා – කුවේරෝ තං පසාසති
යක්ඛානඤ්ච ආධිපති – මහාරාජා යසස්සි සෝ

කුවේර නම් දෙව්මහරජු උතුරු පෙදෙස පාලනය කරයි. ඔහු යක්ෂයන්ට අධිපති, යස පිරිවර ඇති මහරජු ය.

පුත්තා’පි තස්ස බහවෝ – ඉන්දනාමා මහබ්බලා
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

ඔහුට ඉන්ද යන නමින් මහත් බල ඇති බොහෝ පුත්‍රයෝ සිටිති. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහුය.

8.

පුරිමං දිසං ධතරට්ඨෝ – දක්ඛිණේන විරූළ්හකෝ
පච්ඡිමේන විරූපක්ඛෝ – කුවේරෝ උත්තරං දිසං

නැගෙනහිර දිශාවෙන් ධතරට්ඨ දෙව්මහරජු ය. දකුණු දිශාවෙන් විරූළ්හක දෙව්මහරජු ය. බස්නාහිර දිශාවෙන් විරූපක්ෂ දෙව්මහරජු ය. උතුරු දිශාවෙන් කුවේර දෙව්මහරජු ය.

9.

චත්තාරෝ තේ මහාරාජා – සමන්තා චතුරෝ දිසා
දද්දල්ලමානා අට්ඨංසු – වනේ කාපිලවත්ථවේ

ඒ දෙව්මහරජවරු සිව් දෙනා හාත්පස සිව් දිශාව අතිශයින් බබුළුවමින් කපිලවස්තු මහවනයෙහි සිටියාහු ය.

තේසං මායාවිනෝ දාසා – ආගුං වඤ්චනිකා සඨා
මායා කුටෙණ්ඩු වේටෙණ්ඩු – විටුච්ච විටුඩෝ සහ

ඒ දෙව්මහරජවරුන් හට කුටෙණ්ඩු, වේටෙණ්ඩු, විටුච්ච සහ විටුඩ වශයෙන් වංචනික, ශඨකපට, මායාකාරී දාසයෝ සිටිති.

චන්දනෝ කාමසෙට්ඨෝ ච – කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච
පනාදෝ ඕපමඤ්ඤෝ ච – දේවසූතෝ ච මාතලී
චිත්තසේනෝ ච ගන්ධබ්බෝ – නළෝ රාජා ජනේසභෝ

චන්දන ය, කාමසෙට්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝන්ඩු ය, පනාද ය, ඕපමඤ්ඤ ය, දෙව්රියැදුරු මාතලී ද, චිත්ත ය, සේන ය, චිත්තසේන ය යන ගාන්ධර්වයන් තිදෙනා ද, නළ දෙව්රජ ද, ජනවසභ දෙව්පුතු ද,

ආගුං පඤ්චසිඛෝ චේව – තිම්බරූ සුරියවච්චසා
ඒතේ චඤ්ඤේ ච රාජානෝ – ගන්ධබ්බා සහ රාජුභි
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

පඤ්චසිඛ දෙව්පුත් මෙන් ම, තිම්බරූ ගාන්ධර්ව රජු ත්, සුරියවච්චසා දෙව්දුව ත් යන මේ අය ය. අන්‍ය වූ ගාන්ධර්ව දෙව් රජවරු ය. තවත් දෙව්රජවරුන් සමඟ සතුටු වෙමින්, භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

අථාගුං නාභසා නාගා – වේසාලා සහ තච්ඡකා
කම්බලස්සතරා ආගුං – පායාගා සහ ඤාතිභී

තව ද නාභස විලෙහි වසන නාගයෝ ද, විසල්පුරවැසි නාගයෝ ද, තච්ඡක විලෙහි නාගයෝ ද, කම්බල – අස්සතර නාගයෝ ද, ප්‍රයාග තීර්ථයෙහි නාගයෝ ද, සිය නෑයින් සමඟ ආවාහු ය.

යාමුනා ධතරට්ඨෝ ච – ආගුං නාගා යසස්සිනෝ
ඒරාවණෝ මහානාගෝ – සෝපාග සමිතිං වනං

යමුනා නදීවැසි නාගයෝ ද, යස පිරිවර ඇති ධතරට්ඨ නාගයෝ ද, ඒරාවණ මහා නාගරාජයා ද, භික්ෂූන්ගේ රැස්වීම දකින්නට මහා වනයට පැමිණියාහු ය.

10.

යේ නාගරාජේ සහසා හරන්ති
දිබ්බා දිජා පක්ඛි විසුද්ධචක්ඛූ
වේහාසයා තේ වනමජ්ඣපත්තා
චිත්‍රා සුපණ්ණා ඉති තේසං නාමානි

පිරිසිදු පෙනීම ඇති, යම් දිව්‍ය වූ ගුරුළු පක්ෂීහු ත් බලහත්කාරයෙන් නා රජවරුන් රැගෙන යත් ද, ඔවුහු අහසින් වන මැදට පැමිණියාහු ය. චිත්ත, සුපර්ණ යනු ඔවුන්ගේ නම් ය.

අභයං තදා නාගරාජානමාසි
සුපණ්ණතෝ ඛේමමකාසි බුද්ධෝ
සණ්හාහි වාචාහි උපව්හයන්තා
නාගා සුපණ්ණා සරණමගංසු බුද්ධං

එදා නා රජුන්ට බිය නැති බව ලැබුණේ ය. බුදුරජාණන් වහන්සේ ඒ නා රජවරුන් ගුරුලන්ගෙන් මුදවා බිය රහිත රැකවරණයට පත්කළ සේක. මොළොක් වචනයෙන් ඔවුනොවුන් අමතමින් නාගයෝ ත්, ගුරුළො ත් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියහ.

11.

ජිතා වජිරහත්ථේන – සමුද්දං අසුරා සිතා
භාතරෝ වාසවස්සේතේ – ඉද්ධිමන්තෝ යසස්සිනෝ

දියමන්ති අත්ඇති තැනැත්තා (සක්දෙවිඳු) විසින් පරදවන ලද, මුහුද ඇසුරු කොට සිටින, සක්දෙවිඳුගේ සහෝදරත්වයට පත් ඉර්ධිමත් යස පිරිවර ඇති අසුරයෝ ද,

කාලකඤ්ජා මහාභිස්මා – අසුරා දානවේඝසා
වේපචිත්ති සුචිත්තී ච – පහාරාදෝ නමුචී සහ

කාලකඤ්ජ, දානවේඝස යන මහා බිහිසුණු අසුරයෝ ද, වේපචිත්ති, සුචිත්ති, පහාරාද සහ නමුචි යන අසුරයෝ ද පැමිණියාහු ය.

සතඤ්ච බලිපුත්තානං – සබ්බේ වේරෝචනාමකා
සන්නය්හිත්වා බලිං සේනං – රාහුභද්දමුපාගමුං
සමයෝදානි භද්දන්තේ – භික්ඛූනං සමිතිං වනං

සියළු දෙනා ම, වෛරෝචන යන නම් ඇති බලි අසුරයාගේ පුත්‍රයෝ සිය දෙනා ද, බල සේනා සන්නද්ධ කොට රාහු අසුරේන්ද්‍රයා වෙත පැමිණියාහු ය. ‘ඔබට යහපතක් වේවා! දැන් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට වනයට යෑමට කල් ය’ යි කීවාහුය.

12.

ආපෝ ච දේවා පඨවී ච – තේජෝ වායෝ තදාගමුං
වරුණා වාරුණා දේවා – සෝමෝ ච යසසා සහ
මෙත්තාකරුණාකායිකා – ආගුං දේවා යසස්සිනෝ

ආපෝ දේවතාවෝ ත්, පඨවි දේවතාවෝ ත්, තේජෝ දේවතාවෝ ත්, වායු දේවතාවෝ ත් එදා පැමිණියාහු ය. වරුණ, වාරුණ දෙවියෝ ද, සෝම දෙවි ද, යසස දෙවි ද, යස පිරිවර ඇති මෛත්‍රී කායික දෙවිවරු, කරුණා කායික දෙවිවරු ද පැමිණියාහුය.

දසේතේ දසධා කායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මේ දස කොටසක් වූ දෙව් පිරිස් සියළු දෙනා ම නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට දස අයුරකින් මහා වනයට පැමිණියාහු ය.

13.

වෙණ්හූ ච දේවා සහලී ච – අසමා ච දුවේ යමා
චන්දස්සූපනිසා දේවා – චන්දමාගුං පුරක්ඛත්වා

විෂ්ණු දෙවිවරු ද, සහලී දෙවිවරු ද, අසම දෙවිවරු ද, යම දෙවිවරු ද, සඳ ඇසුරු කොට සිටින දෙවිවරු ද, සඳ දෙව් පුතු පෙරටු කොට පැමිණියාහු ය.

සුරියස්සූපනිසා දේවා – සුරියමාගුං පුරක්ඛත්වා
නක්ඛත්තානි පුරක්ඛත්වා – ආගුං මන්දවලාහකා
වසූනං වාසවෝ සෙට්ඨෝ – සක්කෝපාග පුරින්දදෝ

හිරු ඇසුරු කොට සිටින දෙවිවරු ද, හිරු දෙව් පුතු පෙරටු කොට පැමිණියාහු ය. නැකැත් තරු ඇසුරු කොට වසන දෙවිවරු ද, නැකැත් තරු අධිපති දෙවියන් පෙරටු කොට පැමිණියාහු ය. මන්දවලාහක දෙවිවරු ද පැමිණියාහු ය. වසු දේවතාවන්ට නායක වූ පුරින්දද නම් වූ වාසව නම් වූ සක් දෙවිඳු ද පැමිණියේ ය.

දසේතේ දසධා කායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මේ දස කොටසක් වූ දෙව් පිරිස් සියළු දෙනා ම නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට දස අයුරකින් මහා වනයට පැමිණියාහු ය.

14.

අථාගුං සහභූ දේවා – ජලමග්ගි සිඛාරිව
අරිට්ඨකා ච රෝජෝ ච – උම්මාපුප්ඵනිභාසිනෝ

වරුණා සහ ධම්මා ච – අච්චුතා ච අනේජකා
සූලෙය්‍ය රුචිරා ආගුං – ආගුං වාසවනේසිනෝ

ඉක්බිති සහභූ නම් දෙවිවරු ගිනිසිළු මෙන් බැබලෙමින් වනයට ආවාහු ය. දිය බෙරලිය මල් පැහැ ගත් අරිට්ඨක දෙවිවරු ද, රෝජ දෙවිවරු ද, වරුණ, ධම්ම, අච්චුත, අනේජක දෙවිවරු ද, සූලෙය්‍ය, රුචිර දෙවිවරු ද, ආවාහු ය. වාසවනේසි නම් දෙවිවරු ද ආවාහු ය.

දසේතේ දසධා කායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මේ දස කොටසක් වූ දෙව් පිරිස් සියළු දෙනා ම නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට දස අයුරකින් මහා වනයට පැමිණියාහු ය.

15.

සමානා මහාසමානා – මානුසා මානුසුත්තමා
ඛිඩ්ඩාපදූසිකා ආගුං – ආගුං මනෝපදූසිකා

සමාන, මහාසමාන, මානුස, මානුසුත්තම, ඛිඩ්ඩාපදෝසික දෙවිවරු ද ආවාහු ය. මනෝපදෝසික දෙවිවරු ද ආවාහු ය.

අථාගුං හරයෝ දේවා – යේ ච ලෝහිතවාසිනෝ
පාරගා මහාපාරගා – ආගුං දේවා යසස්සිනෝ

එමෙන් ම හරි නම් දෙවිවරු ද ආවාහු ය. රත්පැහැ වත් හඳින දෙවිවරු ද, පාරග, මහා පාරග නම් යස පිරිවර ඇති දෙවිවරු ද ආවාහු ය.

දසේතේ දසධා කායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මේ දස කොටසක් වූ දෙව් පිරිස් සියළු දෙනා ම නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට දස අයුරකින් මහා වනයට පැමිණියාහු ය.

16.

සුක්කා කරුම්හා අරුණා – ආගුං වේඛනසා සහ
ඕදාතගය්හා පාමොක්ඛා – ආගුං දේවා විචක්ඛණා

සදාමත්තා හාරගජා – මිස්සකා ච යසස්සිනෝ
ථනයං ආග පජ්ජුන්නෝ – යෝ දිසා අභිවස්සති

සුක්ක, කරුම්හ, අරුණ, වේඛනස්ස දෙවිවරු ද ආවාහු ය. ඕදාතගය්හ, පාමොක්ඛ, විචක්ඛණ දෙවිවරු ද ආවාහු ය. යස පිරිවර ඇති සදාමත්ත, හාරගජ, මිස්සක දෙවිවරු ද ආවාහු ය. යමෙක් දිශාවන් වැස්සෙන් තෙමයි ද, ඒ පර්ජන්‍ය දෙවි ද අහස ගුගුරුවමින් ආවේ ය.

දසේතේ දසධා කායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මේ දස කොටසක් වූ දෙව් පිරිස් සියළු දෙනා ම නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට දස අයුරකින් මහා වනයට පැමිණියාහු ය.

17.

ඛේමියා තුසිතා යාමා – කට්ඨකා ච යසස්සිනෝ
ලම්බීතකා ලාමසෙට්ඨා – ජෝතිනාමා ච ආසවා
නිම්මාණරතිනෝ ආගුං – අථාගුං පරනිම්මිතා

ඛේමිය, තුසිත, යාම, කට්ඨක, ලම්බීතක, ලාමසෙට්ඨ, ජෝති, ආසව නම් යස පිරිවර ඇති දෙවිවරු ද, නිම්මාණරතී දෙවිවරු ද ආවාහු ය. එමෙන් ම පරනිම්මිත දෙවිවරු ද ආවාහු ය.

දසේතේ දසධා කායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ – වණ්ණවන්තෝ යසස්සිනෝ
මෝදමානා අභික්කාමුං – භික්ඛූනං සමිතිං වනං

මේ දස කොටසක් වූ දෙව් පිරිස් සියළු දෙනා ම නා නා වර්ණ ඇත්තාහු ය. ඉර්ධිමත් ව, බබලමින් වර්ණවත් ව, යසස් ඇති ඔවුහු සතුටු වෙමින් භික්ෂූන්ගේ රැස්වීම දකින්නට දස අයුරකින් මහා වනයට පැමිණියාහු ය.

18.

සට්ඨේතේ දේවනිකායා – සබ්බේ නානත්තවණ්ණිනෝ
නාමන්වයේන ආගඤ්ඡුං – යේ චඤ්ඤේ සදිසා සහ

මේ සැටක් වූ සියළු දෙව් නිකායයෝ නා නා වර්ණ ඇත්තාහු ය. ඔවුහු යම් අන්‍ය වූ දෙවි කෙනෙක් තමන් හා සමාන වූවාහු ද, ඔවුනුත් සමඟ නම් පිළිවෙලින් ආවාහු ය.

පවුත්ථජාතිමඛිලං – ඕඝතිණ්ණමනාසවං
දක්ඛේමෝඝතරං නාගං – චන්දංව අසිතාතිගං

වාසය කොට අවසන් කළ උපත ඇති, උදුරා හළ කෙලෙස් හුල් ඇති, එතෙර වූ සසර සැඩ පහර ඇති, ආශ්‍රව රහිත, ඕඝ තරණය කළ, අගතිය ඉක්ම වූ, පුන් සඳක් සේ උතුම් අප බුදුරජුන් දකිමු.

සුබ්‍රහ්මා පරමත්තෝ ච – පුත්තා ඉද්ධිමතෝ සහ
සනංකුමාරෝ තිස්සෝ ච – සෝපාග සමිතිං වනං

ඉර්ධිමත් බුදුරජුන්ගේ ශ්‍රාවක පුතුන් වූ සුබ්‍රහ්ම, පරමාත්ම යන බ්‍රහ්මකායික දෙවිවරු ද, සනංකුමාර බ්‍රහ්මරාජයා ද පැමිණියාහු ය. තිස්ස නම් බ්‍රහ්මරාජයා ද භික්ෂූන්ගේ රැස්වීමට වනයට පැමිණියාහු ය.

සහස්සං බ්‍රහ්මලෝකානං – මහා බ්‍රහ්මාභිතිට්ඨති
උප්පන්නෝ ජුතිමන්තෝ – භිස්මාකායෝ යසස්සි සෝ

මහා බ්‍රහ්මරාජයා දහසක් බ්‍රහ්මලෝකයන් මැඩ පවත්වා සිටියි. බඹලොව උපන්, බබලන්නා වූ, බිහිසුණු මහා සිරුරකින් හෙබි යස පිරිවර ඇති ඔහු ද පැමිණියේ ය.

දසෙත්ථ ඉස්සරා ආගුං – පච්චේකවසවත්තිනෝ
තේසඤ්ච මජ්ඣතෝ ආග – හාරිතෝ පරිවාරිතෝ

වෙන් වෙන් ව සිය පිරිස් තම වසඟයෙහි පවත්වන ඊශ්වර නම් දෙවිවරු දස දෙනෙක් මෙහි පැමිණියාහු ය. ඔවුන්ගේ මැදින් පිරිවර සහිත ව හාරිත නම් බ්‍රහ්මරාජයා පැමිණියේ ය.

19.

තේ ච සබ්බේ අභික්කන්තේ – සඉන්දේ දේවේ සබ්‍රහ්මකේ
මාරසේනා අභික්කාමුං – පස්ස කණ්හස්ස මන්දියං

සක් දෙවිඳුන් සහිත වූ, මහා බ්‍රහ්මයා සහිත වූ, ඒ සියළු දෙවිවරුන් පැමිණි කල්හී මාර සේනාවෝ පැමිණියාහු ය. පවිටු මාරයාගේ නුවණ මඳ බව බලව.

ඒථ ගණ්හථ බන්ධථ – රාගේන බද්ධමත්ථු වෝ
සමන්තා පරිවාරේථ – මා වෝ මුඤ්චිත්ථ කෝචි නං

‘එව්, මාර සේනාවෙනි, මේ දෙවිවරුන් අල්ලා ගනිව්. රාග සිතිවිල්ලෙන් සිර කරව්. මොවුහු රාග උගුලේ සිරකරුවෝ වෙත්වා! හාත්පසින් වට කරව්. ඔවුන් කිසිවෙකුට කෙලෙසුන්ගෙන් නිදහස් වන්නට ඉඩ නොදෙව්.’

ඉති තත්ථ මහාසේනෝ – කණ්හසේනං අපේසයී
පාණිනා ථලමාහච්ච – සරං කත්වාන භේරවං

මෙසේ එහි මහාසේනා ඇති මාරයා අතින් පොළොවට පහර දෙමින් බිහිසුණු හඬ නංවා කළු පැහැ ගත් සේනාව පිටත් කරවීය.

20.

යථා පාවුස්සකෝ මේඝෝ – ථනයන්තෝ සවිජ්ජුකෝ
තදා සෝ පච්චුදාවත්ති – සංකුද්ධෝ අසයංවසී

මහාවැසි ඇදහැලෙන කල්හී අහස ගුගුරුවමින් විදුලි කොටන්නේ යම් සේ ද, එසෙයින් ම එදා ඔහු දෙව් පිරිස තමාගේ වසඟයට ගත නොහැකි ව කෝපයෙන් යළි හැරී ගියේ ය.

තඤ්ච සබ්බං අභිඤ්ඤාය – වවත්ථිත්වාන චක්ඛුමා
තතෝ ආමන්තයී සත්ථා – සාවකේ සාසනේ රතේ
මාරසේනා අභික්කන්තා – තේ විජානාථ භික්ඛවෝ

සදහම් ඇස් ඇති ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල විශිෂ්ට ඥානයෙන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන බුදු සසුනෙහි ඇලී සිටි ශ්‍රාවකයන් වහන්සේලා ඇමතූ සේක. “මහණෙනි, මාර සේනාවෝ පැමිණියාහු ය. එය දිවැසින් දනිව්.”

තේ ච ආතප්පමකරුං – සුත්වා බුද්ධස්ස සාසනං
වීතරාගේහපක්කාමුං – නේසං ලෝමම්’පි ඉඤ්ජයුං

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඇසූ ඒ භික්ෂූහු ඔවුන් දකින්නට වීරිය වැඩූහ. ඒ වීතරාගීන් වහන්සේලා වෙතින් ඔවුහු ඉවත් ව ගියාහු ය. ඒ රහතුන්ගේ එක් ලෝමයකුදු සොලවන්නට නොහැකි වූවාහු ය.

සබ්බේ විජිතසංගාමා – භයාතීතා යසස්සිනෝ
මෝදන්ති සහ භූතේහි – සාවකා තේ ජනේසුතා’ති.

ජයගත් මාර යුද්ධ ඇති, ඉක්මවා ගිය භය ඇති, යස පිරිවර ඇති, ජනයා අතර ප්‍රසිද්ධ වූ ඒ සියළු දෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ය. ඔවුහු ආර්ය ශ්‍රාවකයන් හා සතුටු වෙති.

සාදු! සාදු!! සාදු!!!

මහාසමයසුත්තං සමත්තං

මහා සමය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M