මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවේ වඩිද්දී කොසොල් වැසියන්ගේ ඉච්ඡානංගල නම් වූ බ්‍රාහ්මණ ගමටද වැඩම කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල ගමෙහි ඉච්ඡානංගල නම් වූ වන ලැහැබෙහි වැඩසිටියා.
ඒ කාලයෙහි පොක්ඛරසාතී බ්‍රාහ්මණයා උක්කට්ඨා කියන නගරයේ වාසය කළා. ඒ නගරය ඔහුට පසේනදී කොසොල් රජුගෙන් ලැබුණු තෑග්ගක්. ඒක ශ්‍රේෂ්ඨ තෑග්ගක්. එහි බොහෝ ජනයා ඉන්නවා. තණ සහිත, දර සහිත, ජලය සහිත වූ, බොහෝ ධාන්‍ය තියෙනවා. රාජ පරිභෝග නගරයක්. ඉතින් පොක්ඛරසාති බ්‍රාහ්මණයාට මේ කතාව අසන්නට ලැබුනා.
“භවත්නි, අන්න ශාක්‍ය පුත්‍ර වූ, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමඟ කොසොල් රට චාරිකාවේ වඩිද්දී ඉච්ඡානංගලයටත් වැඩම කරලා ඉච්ඡානංගල ගමේ ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කළ්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොසින් තියෙනවා. “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථි වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොතරම් යහපත් දෙයක්ද” කියලා.
එසමයෙහි පොක්ඛරසාති බ්‍රාහ්මණයාට අම්බට්ඨ මාණව නමින් ගෝලයෙක් හිටියා. ඔහු වේදය හදාරපු, මන්ත්‍ර පාඩම් කරපු, ත්‍රිවේද පාරප්‍රාප්ත වූ කෙනෙක්. ඔහු භාෂා ශාස්ත්‍ර පිළිබඳ ශික්ෂා නිරුත්ති සහිත අක්ෂර ප්‍රභේද සහිත දැනුමෙන් යුතු ඉතිහාසය පස්වැනි කොට දන්නා කෙනෙක්. ඒ වගේම පද පාඨ, ව්‍යාකරණ දන්නා ලෝකායත ශාස්ත්‍රයත්, මහාපුරුෂ ලක්ෂණත් ගැන මනා නිපුණත්වයක් ඇති කෙනෙක්. ඒ වගේම උගන්වන ලද ත්‍රිවේදයට අදාළ කරුණු ගැන “මං යමක් දන්නවා නම්, (එම්බා ශිෂ්‍යය) ඔබද එය දන්නවා. ඔබ යමක් දන්නවා නම්, මාත් එය දන්නවා” කියලා තමන්ගේ ආචාර්යවරුන් විසින් සම තත්වයෙහිලා සළකනු ලබන කෙනෙක්.
එතකොට පොක්ඛරසාති බ්‍රාහ්මණයා අම්බට්ඨ මාණවකයා ඇමතුවා. “පුතේ අම්බට්ඨ, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමඟ කොසොල් රට චාරිකාවේ වඩිද්දී ඉච්ඡානංගලයටත් වැඩම කරලා ඉච්ඡානංගල ගමේ ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩඉන්නවා.
ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මෙවැනි කළ්‍යාණ කීර්ති රාවයක් පැතිර ගොස් තිබෙනවා. “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු නිසා අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක ….(පෙ)…. බඹසර ප්‍රකාශ කරනවා. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොතරම් යහපත් දෙයක්ද.”
“පුතේ අම්බට්ඨ, මෙහෙ එන්න. ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන දැනගන්න. භවත් ගෞතමයන් වහන්සේ තුළ පවතින්නා වූ ම කීර්ති ඝෝෂාවක්ද පැතිර තියෙන්නේ, එහෙම නැත්නම් නොපවතින දෙයක් ගැන කීර්ති ඝෝෂාවක්ද කියලා. එහෙමත් නැත්නම්, ඒ භවත් ගෞතමයන් වහන්සේ තුළ එබඳු ගුණ තියෙනවාද? නැත්නම් එබඳු ගුණ රහිතද, කියලා ඔය විදිහට අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන දැනගන්නට කැමැතියි.”
“භවත, මං කොහොමද ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන දැනගන්නේ? ඒ කියන්නේ භවත් ගෞතමයන් වහන්සේ තුළ තිබෙන්නා වූ ම ගුණයන් ගැනද ඔය කීර්ති රාවය පැතිර තියෙන්නේ. නොඑසේ නම් නැති ගුණ පිළිබඳවද කියලා? ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ තුළ එබඳු ගුණ තියෙනවාද? එහෙමත් නැත්නම් එබඳු ගුණ නැද්ද කියලා?”
“පුතේ අම්බට්ඨ, අපගේ මන්ත්‍රවල මහා පුරිස ලක්ෂණ තිස් දෙකක් ගැන විස්තර ඇවිල්ලා තියෙනවා නෙව. ඉදින් යම් මහාපුරුෂයෙකුට ඔය ලක්ෂණ තියෙනවා නම්, ඒ උතුමන්ට තියෙන්නේ ගති දෙකයි. වෙන එකක් නෑ. ඉදින් ඔහු ගිහිගෙදර වාසය කරනවා නම්, සක්විති රජකෙනෙක් වෙනවා. ධාර්මික වූ ධාර්මික රජු වූ සිව් මහා සමුදුර ජයගත් කෙනෙක් වෙනවා. ජනපදවල තහවුරු බවට පත්වෙනවා. මාණික්‍ය හතකින් සමන්විත වෙනවා. ඔහුට මෙන්න මේ මාණික්‍යයන් හත ලැබෙනවා. ඒ කියන්නේ, චක්‍ර මැණික, ඇත් මැණික, අශ්ව මැණික, මාණික්‍ය මැණික, ස්ත්‍රී මැණික, ගෘහපති මැණික, පුත්‍ර මැණික කියන්නේ හත්වෙනි එකයි. ඉතින් ඔහුට දාහකට වැඩි පිරිසක් පුතුන් හැටියට ලැබෙනවා. ඔවුන් හරී සූරයි. මහා වීරවරයන්. සතුරු සේනා මඬිනවා. ඔහු මේ සාගරය කෙලවර කොට ඇති පොළොව දඬුවමෙන් තොරව ආයුධයෙන් තොරව ධර්මයෙන්ම සුවිශේෂ ජය ලබාගෙන වාසය කරනවා.
ඉදින් ඒ මහාපුරුෂයා ගිහිගෙය අත්හැර අනගාරිකව පැවිදි වෙනවා නම්, ලෝකයෙහි සියලු පවින් මිදුන අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. පුතේ අම්බට්ඨ, මම තමයි ඔබට මන්ත්‍ර දෙන කෙනා. ඔබ ඒ මන්ත්‍ර පිළිගන්නා කෙනා නෙව.”
“භවත, එසේය” කියලා අම්බට්ඨ මාණවකයා පොක්ඛරසාති බ්‍රාහ්මණයාට පිළිතුරු දීලා අසුනෙන් නැගිට, පොක්ඛරසාති බ්‍රාහ්මණයාට ආදරයෙන් වන්දනා කොට, ප්‍රදක්ෂිණා කොට වෙළඹුන් යෙදූ රථයක නැගලා, බොහෝ තරුණයින් සමඟ ඉච්ඡානංගල වන ලැහැබ කරා පිටත් වුනා. යානයෙන් යා හැකිතාක් බිම දක්වා ගිහින් යානයෙන් බැහැලා පාගමනින්ම ආරාමයට පිවිසුනා.
ඒ වන විට බොහෝ භික්ෂූන් වහන්සේලා එළිමහනෙහි සක්මන් කරනවා. එතකොට අම්බට්ඨ මාණවකයා ඒ භික්ෂූන් කරා එළඹුණා. එළඹ ඒ භික්ෂූන්ට මෙකරුණ පැවසුවා. “භවත්නි, මේ වෙලාවේ ඒ භවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද? අපි ඒ භවත් ගෞතමයන් වහන්සේව දැකගැනීම පිණිසයි මෙහි ආවේ.”
එතකොට ඒ භික්ෂූන්ට මෙහෙම හිතුනා. “මේ අම්බට්ඨ මාණවකයා ඉතා සම්භාවනීය පවුලක කෙනෙක්. ඒ වගේම ඉතාමත් ප්‍රසිද්ධ පොක්ඛරසාති බ්‍රාහ්මණයාගේ ගෝලයෙක්. ඉතින් මෙවැනි කුලපුත්‍රයන් සමඟ භාග්‍යවතුන් වහන්සේගේ කතාබහ ඇති වීම කරදරයක් නොවේ” කියලා. ඒ භික්ෂූන් අම්බට්ඨ මාණවකයාට මෙය පැවසුවා. “පින්වත් අම්බට්ඨ, මේ දොර වහලා තියෙන්නේ විහාරය තමයි. ඔබ එතැනට නිශ්ශබ්දව ගිහින් කලබල නැතිව ආලින්දයට පිවිසිලා උගුර පාදලා දොර අගුලට සෙමින් තට්ටු කරන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර විවර කරන සේක්මය.”
ඉතින් අම්බට්ඨ මාණවකයා ඒ දොරවසා ඇති විහාරය ඇති තැනට නිශ්ශබ්දව ගිහින් කලබල නොවී ආලින්දයට පිවිසිලා උගුරපාදා සෙමින් දොර අගුලට තට්ටු කළා. භාග්‍යවතුන් වහන්සේ දොර විවර කොට වදාළා. අම්බට්ඨ මාණවකයා ඇතුළට පිවිසුනා. අනෙක් තරුණයනුත් පිවිසිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටුවිය යුතු පිළිසදර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුනා. නමුත් අම්බට්ඨ මාණවකයා වැඩසිටින්නා වූ භාග්‍යවතුන් වහන්සේ සමඟ ඇවිද ඇවිදත් යම් යම් පිළිසඳර කතාබහේ යෙදෙනවා. වැඩසිටින්නා වූ භාග්‍යවතුන් වහන්සේ සමඟ හිටගෙනත් යම් යම් පිළිසඳර කතාබහේ යෙදෙනවා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාගෙන් මෙකරුණ විමසුවා. “අම්බට්ඨය, ඔබ වාඩි වී සිටින මාත් සමඟ ඇවිදිමිනුත්, හිටගෙනත් යම් යම් පිළිසඳර කතා බහේ යෙදෙනවා නම්, ඒ විදිහටද වැඩිමහළු, ආචාර්ය ප්‍රාචාර්ය වූ බ්‍රාහ්මණයන් සමඟත් ඔබගේ කතාබහ කෙරෙන්නේ?”
“භවත් ගෞතමනි, එහෙම කරන්නේ නෑ. භවත් ගෞතමයෙනි, ගමන් කරන බ්‍රාහ්මණයා ගමන් කරන බ්‍රාහ්මණයෙකු සමඟ කතා බස් කරන්නට සුදුසුයි. හිටගෙන ඉන්න බ්‍රාහ්මණයා හිටගෙන ඉන්න බ්‍රාහ්මණයෙකු සමඟ කතා බස් කරන්නට සුදුසුයි. වාඩි වී ඉන්න බ්‍රාහ්මණයා වාඩි වී සිටින බ්‍රාහ්මණයෙකු සමඟ කතා බස් කරන්නට සුදුසුයි. සැතපී සිටින බ්‍රාහ්මණයා සැතපී සිටින බ්‍රාහ්මණයෙකු සමඟ කතා බස් කරන්නට සුදුසුයි. එහෙත් භවත් ගෞතමය, යම් ඒ හිසමුඩු කළ උදවිය, ලාමක දිවිගෙවන, පහත් දිවි ගෙවන, කළු වූ මහාබ්‍රහ්මයාගේ යටි පතුලෙන් වැටුණු අය ඉන්නවා නම්, ඔවුන් සමඟ මගේ මෙබඳු වූ කතාබහ තමයි මට තියෙන්නේ. ඒ භවත් ගෞතමයන් සමඟ කතා කරන විදිහයි.”
“අම්බට්ඨය, ඔබේ මේ ගමන සිදු වුනේ යම්කිසි වැඩක් පිණිසයි. ඉතින් යම්කිසි කටයුත්තක් සඳහා නම් ඔබ ආවේ අන්න ඒ කටයුත්ත ගැනයි හොඳින් මෙනෙහි කළ යුත්තේ. නමුත් භවත්නි, මේ අම්බට්ඨ මාණවකයා, ස්වකීය ධර්මය තුළ නොහික්මී සිටියදීමයි සම්පූර්ණයෙන් හික්මුණු කෙනෙක් හැටියට මාන්නයෙන් ඉන්නේ. මේක නොහික්මුණුකම විනා වෙන කුමක්ද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඇදුරු කුලයෙහි නොහික්මුණු කෙනෙක්ය යන අවුසිතවාදයෙන් පවසනු ලැබූ අම්බට්ඨ මාණවකයා කිපුනා. නොසතුටු සිත් ඇතිවුනා. භාග්‍යවතුන් වහන්සේටම ආක්‍රෝෂ කරමින්, භාග්‍යවතුන් වහන්සේවම හෙළා කතා කරමින්, භාග්‍යවතුන් වහන්සේටම උපවාද කරමින්, මා විසිනුත් ශ්‍රමණ භවත් ගෞතමයන්ව දෝෂයට පමුණුවනවා කියලා හිතාගෙන මෙහෙම කිව්වා. “භවත් ගෞතමයෙනි, ශාක්‍ය ජාතිය චණ්ඩයි. භවත් ගෞතමයෙනි, ශාක්‍ය ජාතිය ඵරුෂයි. භවත් ගෞතමයෙනි, ශාක්‍ය ජාතිය ලාමකයි. භවත් ගෞතමයෙනි, ශාක්‍ය ජාතිය රළු වචනයෙන් යුක්තයි. ඔවුන් (බ්‍රාහ්මණයන්ගේ මෙහෙකාර වූ) ගිහියන්ව ඉඳගෙනත් බ්‍රාහ්මණයන්ට සත්කාර කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට ගෞරව කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට බුහුමන් දක්වන්නේ නෑ. බ්‍රාහ්මණයන්ව පුදන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට යටහත් පැවැතුම් දක්වන්නේ නෑ. එනිසා භවත් ගෞතමයෙනි, ඒ වැඩේ හරි නෑ. ඒක ගැලපෙන එකක් නොවෙයි. යම් මේ පහත් ගති ඇති ශාක්‍යයන් පහත් ගිහි ගති ඇතිවම සිටිද්දී බ්‍රාහ්මණයන්ට සත්කාර කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට ගෞරව කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට බුහුමන් දක්වන්නේ නෑ. බ්‍රාහ්මණයන්ව පුදන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට යටහත් පැවැතුම් දක්වන්නේ නෑ.
මේ විදිහට අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන් හට මේ ලාමක ගිහිබව (බමුණන්ගේ මෙහෙකාරබව) හෙවත් ඉබ්භවාදය නම් වූ පළමුවෙනි චෝදනාව හෙළුවා.
“පින්වත් අම්බට්ඨ, ඔබට ශාක්‍යයන් යම්කිසි වරදක් කරලා තියෙනවාද?”
“භවත් ගෞතමයෙනි, මං එක් කලෙක පොක්ඛරසාති බ්‍රාහ්මණාචාර්යතුමාගේ යම්කිසි කටයුත්තකට කපිලවස්තු නගරයට ගියා. එහි ශාක්‍යයන්ගේ විවේකා ගාරයකටත් ගියා. ඒ වෙලාවේ බොහෝ ශාක්‍යයන්, ශාක්‍යකුමාරවරුන් ඒ විවේකාගාරයෙහි උස් ආසනවල ඉඳගෙන හිටියා. එකිනෙකාට ඇඟිලිවලින් කිතිකවා ගනිමින්, මහාහඬින් සිනාසෙමින්, විහිළු තහළු කරමින් හිටියා. ඒක හරියට මටම හිනහාවෙනවා වගේ. ඒ කවුරුවත් මට වාඩිවෙන්න ආසනයක් දුන්නේ නෑ. භවත් ගෞතමයෙනි, ඒ වැඩේ හරි නෑ. ඒක ගැලපෙන එකක් නොවෙයි. යම් මේ පහත් ගති ඇති ශාක්‍යයන් පහත් ගිහි ගති ඇතිවම සිටිද්දී බ්‍රාහ්මණයන්ට සත්කාර කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට ගෞරව කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට බුහුමන් දක්වන්නේ නෑ. බ්‍රාහ්මණයන්ව පුදන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට යටහත් පැවැතුම් දක්වන්නේ නෑ.
මේ විදිහට අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන් හට මේ ලාමක ගිහිබව (බමුණන්ගේ මෙහෙකාරබව) හෙවත් ඉබ්භවාදය නම් වූ දෙවෙනි චෝදනාව හෙළුවා.
“පින්වත් අම්බට්ඨය, කැට කිරිල්ල වුනත් තමන්ගේ කූඩුවේ සිටිද්දී හිතුමනාපෙට කෑගසනවා නෙව. ඉතින් අම්බට්ඨ යම් මේ කපිලවස්තු කියලා කියන්නේ ශාක්‍යවරුන් සතු තමන්ගේම නගරයයි. ඉතින් ඔවැනි අල්පමාත්‍ර වූ කාරණයකට ආයුෂ්මත් අම්බට්ඨයන් වෛරබැඳ සිටින එක සුදුසු නෑ.”
භවත් ගෞතමයෙනි, මේ වර්ණ (කුල) හතරක් තියෙනවා. ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියලා. භවත් ගෞතමයෙනි, මේ වර්ණ හතරෙන් වර්ණ තුනක්, ඒ කියන්නේ ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන කුල තුන ඒකාන්තයෙන්ම බ්‍රාහ්මණයාගේ මෙහෙකරුවන්මයි. එනිසා භවත් ගෞතමයෙනි, ඒ වැඩේ හරි නෑ. ඒක ගැලපෙන එකක් නොවෙයි. යම් මේ පහත් ගති ඇති ශාක්‍යයන් පහත් ගිහිගති ඇතිවම සිටිද්දී බ්‍රාහ්මණයන්ට සත්කාර කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට ගෞරව කරන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට බුහුමන් දක්වන්නේ නෑ. බ්‍රාහ්මණයන්ව පුදන්නේ නෑ. බ්‍රාහ්මණයන්ට යටහත් පැවැතුම් දක්වන්නේ නෑ.
මේ විදිහට අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන් හට මේ ලාමක ගිහිබව (බමුණන්ගේ මෙහෙකාරබව) හෙවත් ඉබ්භවාදය නම් වූ තුන්වෙනි චෝදනාව හෙළුවා.
එතකොට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුනා. “මේ අම්බට්ඨ මාණවකයා අතිශයින්ම බාල විදිහට ශාක්‍යන් හට ලාමක ගිහිවාදයෙන් පිරිහෙළා කතා කරනවා. මා මෙයාගේ ගෝත්‍රය කුමක්ද කියලා අහන එක හොඳයි.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාගෙන් මෙකරුණ විමසුවා. “අම්බට්ඨයන් කවර ගෝත්‍ර ඇති කෙනෙක්ද?” “භවත් ගෞතමයෙනි, මං කණ්හායන ගෝත්‍රයට අයිති කෙනෙක්.”
“පින්වත් අම්බට්ඨය, ඔබගේ මව්පියවරුන් අයත් පැරණි නම්ගොත් සිහිකරද්දී ශාක්‍යයන්මයි ඔබගේ ආර්ය (ස්වාමි) පුත්‍රයන් වන්නේ. ඔබ ශාක්‍යයන්ගේ දාසියෙකුගේ පුතෙක්. අම්බට්ඨය, ශාක්‍යවරුන් තමන්ගේ මීමුත්තන් හැටියට සළකන්නේ ඔක්කාක රජතුමායි.”
“පින්වත් අම්බට්ඨය, මේක ඉස්සර සිදුවුණු දෙයක්. ඔක්කාක කියලා රජ කෙනෙක් හිටියා. ඔහුට ඉතා ප්‍රියමනාප මහේෂිකාවක් හිටියා. ඇයගේ පුතුට රජකම දෙන්ට ඕන වුනා. ඒ නිසා උක්කාමුඛ, කරණ්ඩක, හත්ථිනික, නිපුර යන ජ්‍යෙෂ්ඨ කුමාරවරුන්ව රටින් පිටුවහල් කළා. ඔවුන් රටින් පිටුවහල් කළාට පස්සේ හිමාල පර්වත ප්‍රදේශයට ගිහින් පොකුණක් අද්දර මහා ගස් ඇති වනගොමුවක වාසය කළා. ඔවුන් තම ජාතිය කිලිටි වේය යන බියෙන් තමන්ගේම සහෝදරියන් සමඟ අඹුසැමියන් සේ වාසය කළා.
ඉතින් අම්බට්ඨ, ඔක්කාක රජ්ජුරුවෝ තම ඇමති පිරිස ඇමතුවා.
“භවත්නි, දැන් කුමාරවරු කොහේ ඉන්නවා ඇද්ද?” කියලා.
“දේවයන් වහන්ස, හිමාල පර්වත ප්‍රදේශයේ පොකුණක් අද්දර මහා ගස් ඇති වනාන්තරයක් තියෙනවා. එහෙ තමයි දැන් කුමාරවරු ඉන්නේ. ඔවුන් තම ජාතිය කිලිටි වේය යන බියෙන් තමන්ගේම සහෝදරියන් සමඟ අඹුසැමියන් හැටියට වාසය කරනවා.”
එතකොට අම්බට්ඨ, ඔක්කාක රජ්ජුරුවෝ සතුටින් උදන් ඇනුවා. “භවත්නි, ඒකාන්තයෙන්ම කුමාරවරු දක්ෂයි. භවත්නි, ඒකාන්තයෙන්ම කුමාරවරු පරම දක්ෂයි.” පින්වත් අම්බට්ඨ, එතැන් පටන් තමයි ශාක්‍යය යන නාමය ඔවුන්ට ලැබුනේ. ඔවුන්ගේ පූර්ව පුරුෂයා වුනේ ඔක්කාක රජතුමායි.
පින්වත් අම්බට්ඨ, ඔය ඔක්කාක රජ්ජුරුවන්ට දිසා කියලා දාසියක් හිටියා. ඒ කණ්හ කියන කෙනාව වැදුවේ ඇයයි. කණ්හ ඉපදුණු ගමන් කෑ ගැසුවා. “අම්මා මාව සෝදන්න. අම්මා මාව නහවන්න. අම්මා මේ අසූචිවලින් මාව මුදවන්න. මං ඔබට යහපත පිණිස වෙන්නම්” කියලා.
පින්වත් අම්බට්ඨ, මේ කාලේ මිනිසුන් පිසාචයන් දැක්කට පස්සේ, පිසාචයන් කියලා හඳුනාගන්නවා වගේ පින්වත් අම්බට්ඨ, ඒ කාලේ මිනිසුන් පිසාචයන් හඳුනාගත්තේ කණ්හ කියලයි. ඔවුන් මෙහෙම කිව්වා. “මෙයා ඉපදුණ ගමන් කෑ ගහලා කතා කළා. කණ්හයෙක් (කළු කෙනෙක්) ඉපදුනා. පිසාචයෙක් ඉපදුනා” කියලා.
එදා ඉඳලා තමයි අම්බට්ඨ, කණ්හායන යන ගෝත්‍රය හඳුන්වන්නේ. කණ්හායන ගෝත්‍රිකයන්ගේ පූර්ව පුරුෂයා ඔහු තමයි. ඔය විදිහට පින්වත් අම්බට්ඨ, ඔබගේ මව්පියවරුන් අයත් පැරණි නම්ගොත් සිහිකරද්දී ශාක්‍යයන්මයි ඔබගේ ආර්ය (ස්වාමි) පුත්‍රයන් වන්නේ. ඔබ ශාක්‍යයන්ගේ දාසියෙකුගේ පුතෙක්.
මෙසේ වදාළ විට ඒ තරුණයන් භාග්‍යවතුන් වහන්සේට මෙය කියා සිටියා. “භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ මාණවකයාව අතිශයින්ම දැඩි විදිහට දාසිපුත්‍රවාදයෙන් නොපිරිහෙලත්වා! භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ මාණවකයා සුජාත උපතක් ලද කෙනෙක්. අම්බට්ඨ මාණවකයා කුල පුත්‍රයෙක්. අම්බට්ඨ මාණවකයා බහුශ්‍රැතයි. අම්බට්ඨ මාණවකයා කළ්‍යාණ වූ වචන කතාබහ කරන කෙනෙක්. අම්බට්ඨ මාණවකයා පණ්ඩිතයි. අම්බට්ඨ මාණවකයා භවත් ගෞතමයන් වහන්සේ සමඟ මේ වචනය පිළිබඳව පිළිතුරු සපයන්නට පොහොසත්” කියලා.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන් අමතා වදාළා. “පින්වත් තරුණයිනි, ඉදින් ඔබට මේ විදිහට හිතෙනවා නම්, ඒ කියන්නේ අම්බට්ඨ මාණවකයා ලාමක උපතක් ලද කෙනෙක්. අම්බට්ඨ මාණවකයා අකුල පුත්‍රයෙක්. අම්බට්ඨ මාණවකයා අල්පශ්‍රැතයෙක්. අම්බට්ඨ මාණවකයා අකළ්‍යාණ වාක්කරණ ඇති කෙනෙක්. අම්බට්ඨ මාණවකයා දුෂ්ප්‍රාඥ කෙනෙක්. අම්බට්ඨ මාණවකයා ශ්‍රමණ ගෞතමයන් සමඟ මේ වචනය පිළිබඳව ප්‍රත්‍යුත්තර දෙන්නට නොපොහොසත් කෙනෙක්” කියලා අම්බට්ඨ මාණවකයා සිටීවා. ඔබ මා සමඟ මේ වචනය පිළිබඳව පිළිතුරු සපයන්න. ඉදින් ඔබට මෙහෙම හිතෙනවා නම්, ඒ කියන්නේ “අම්බට්ඨ මාණවකයා සුජාත උපතක් ලද කෙනෙක්. අම්බට්ඨ මාණවකයා කුල පුත්‍රයෙක්. අම්බට්ඨ මාණවකයා බහුශ්‍රැතයි. අම්බට්ඨ මාණවකයා කළ්‍යාණ වූ වචන කතාබහ කරන කෙනෙක්. අම්බට්ඨ මාණවකයා පණ්ඩිතයි. අම්බට්ඨ මාණවකයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමඟ මේ වචනය පිළිබඳව පිළිතුරු සපයන්නට පොහොසත් කියලා, ඔබ සිටිත්වා. අම්බට්ඨ මාණවකයාම මා සමඟ මේ වචනය පිළිබඳ ව පිළිතුරු කතාබස් කරාවා.”
“භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ මාණවකයා සුජාත උපතක් ලද කෙනෙක්. අම්බට්ඨ මාණවකයා කුල පුත්‍රයෙක්. අම්බට්ඨ මාණවකයා බහුශ්‍රැතයි. අම්බට්ඨ මාණවකාය කළ්‍යාණ වූ වචන කතාබහ කරන කෙනෙක්. අම්බට්ඨ මාණවකයා පණ්ඩිතයි. අම්බට්ඨ මාණවකයා භවත් ගෞතමයන් වහන්සේ සමඟ මේ වචනය පිළිබඳව පිළිතුරු සපයන්නට පොහොසත්. අපි නිශ්ශබ්ද වෙන්නම්. අම්බට්ඨ මාණවකයා භවත් ගෞතමයන් සමඟ මේ වචනය ගැන පිළිතුරු කතාබහ කරාවා.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා හට මෙකරුණ වදාළා. “පින්වත් අම්බට්ඨය, මේ කරුණු සහිතව, පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් ඔබ වෙත එනවා. අකමැත්තෙන් වුනත් විසඳිය යුතුයි. ඉදින් ඔබ එය විසඳන්නේ නැත්නම්, වෙන වෙන කරුණුවලින් ඒක වහලා දානවා නම්, නිශ්ශබ්දව හෝ සිටිනවා නම්, පැනලා දුවනවා නම්, ඔබගේ හිස මෙහිදීම සත්කඩකට පැලී යාවි. පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වැඩිමහළු ආචාර්ය ප්‍රාචාර්ය වූ බ්‍රාහ්මණයන් කියන්නා වූ දෙය ඔබ අහලා තියෙන්නේ කොහොමද? කණ්හායන ගෝත්‍රිකයන්ගේ ආරම්භය ඇතිවුනේ කවුරුන්ගෙන්ද? කණ්හායන ගෝත්‍රිකයන්ගේ පූර්ව පුරුෂයා කවුද?”
මෙසේ වදාළ විට අම්බට්ඨ මාණවකයා නිශ්ශබ්ද වුනා. දෙවෙනි වතාවේදීත් භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා හට මෙකරුණ වදාළා. “පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වැඩිමහළු ආචාර්ය ප්‍රාචාර්ය වූ බ්‍රාහ්මණයන් කියන්නා වූ දෙය ඔබ අහලා තියෙන්නේ කොහොමද? කණ්හායන ගෝත්‍රිකයන්ගේ ආරම්භය ඇතිවුනේ කවුරුන්ගෙන්ද? කණ්හායන ගෝත්‍රිකයන්ගේ පූර්ව පුරුෂයා කවුද?” දෙවන වතාවටත් අම්බට්ඨ මාණවකයා නිශ්ශබ්ද වුණා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාට මෙය වදාළා. “පින්වත් අම්බට්ඨයෙනි, දැන් උත්තර දෙන්න. දැන් ඔබට නිශ්ශබ්දව සිටින්නට කාලය නොවේ. පින්වත් අම්බට්ඨ, තථාගතයන් වහන්සේ විසින් යමෙකුගෙන් තුන්වරක් දක්වා කරුණු සහිතව ප්‍රශ්නයක් විමසන විට පිළිතුරු නොදෙන්නේ නම්, ඔහුගේ හිස එතැනදීම සත්කඩකට පැලී යාවි.”
ඒ වෙලාවේදී වජ්‍රපාණී යක්ෂයා ගිනිගෙන දිළිසෙන, ගිනිදැල් සහිත මහත් යගදාවක් අතින් ගෙන අම්බට්ඨ මාණවකයාට උඩින් අහසේ හිටියා. ඒ ඉදින් මේ අම්බට්ඨ මාණවකයා තුන්වරක් දක්වා භාග්‍යවතුන් වහන්සේ කරුණු සහිතව ප්‍රශ්නයක් විමසද්දී පිළිතුරු නොදෙන්නේ නම්, මෙහිම මොහුගේ හිස සත්කඩකට පලා දමනවා කියලා. ඒ වජ්‍රපාණී යක්ෂයාව පෙනෙන්නේ භාග්‍යවතුන් වහන්සේටත්, අම්බට්ඨ මාණවකයාටත් විතරයි.
එතකොට අම්බට්ඨ මාණවකයා භය වුනා. සංවේග වුනා. ඇඟේ මවිල් කෙළින් වුනා. භාග්‍යවතුන් වහන්සේවම රැකවරණය කොට සෙව්වා. භාග්‍යවතුන් වහන්සේවම ආරක්ෂාව කොට සෙව්වා. භාග්‍යවතුන් වහන්සේවම පිළිසරණ කොට සෙව්වා. භාග්‍යවතුන් වහන්සේ ළඟින්ම හිඳගෙන මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, මට ඒ කුමක්ද පැවසුවේ? භවත් ගෞතමයන් වහන්සේ ආයෙමත් එය පවසත්වා” කියලා.
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වැඩිමහළු ආචාර්ය ප්‍රාචාර්ය වූ බ්‍රාහ්මණයන් කියන්නා වූ දෙය ඔබ අහලා තියෙන්නේ කොහොමද? කණ්හායන ගෝත්‍රිකයන්ගේ ආරම්භය ඇතිවුනේ කවුරුන්ගෙන්ද? කණ්හායන ගෝත්‍රිකයන්ගේ පූර්ව පුරුෂයා කවුද?”
“භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් යම් ආකාරයකින් පැවසුවාහුද ඔය ආකාරයෙන් තමයි මා අසලා තියෙන්නේ. ඔහුගෙන් තමයි කණ්හායන ගෝත්‍රිකයන්ගේ පටන් ගැනීම වෙලා තියෙන්නේ. ඔහු තමයි කණ්හායන ගෝත්‍රිකයන්ගේ පූර්ව පුරුෂයා.”
එසේ කී විට ඒ තරුණයන් මහ හඬින්, උස් හඬින් කෑ ගසන්නට පටන්ගත්තා. “භවත්නි, අම්බට්ඨ මාණවකයා දුර්ජාතයිලු. භවත්නි, අම්බට්ඨ මාණවකයා අකුල පුත්‍රයෙක්ලු. භවත්නි, අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන්ගේ දාසි පුත්‍රයෙක්ලු. භවත්නි, ශාක්‍යයන් අම්බට්ඨ මාණවකයාගේ ස්වාමි පුත්‍රයන්ලු. අපි ධර්මවාදී වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැරහිය යුතු කොටයි සිතුවේ” කියලා.
එතකොට භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුනා. “මේ තරුණයන් අම්බට්ඨ මාණවකයා හට දාසිපුත්‍රවාදයෙන් අතිශයින්ම දැඩි විදිහට පිරිහෙලා කතා කරනවා. මං මොහුව ඒකෙන් නිදහස් කරවන්ට ඕන.” ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන් හට මෙසේ වදාළා. “පින්වත් තරුණයෙනි, අම්බට්ඨ මාණවකයා හට දාසිපුත්‍රවාදයෙන් ඔතරම් දැඩිලෙස පිරිහෙළා කතා නොකරත්වා. ඒ කණ්හ ඍෂිවරයා උදාර වූ කෙනෙක් ඔහු දක්ෂිණ ජනපදයට ගිහින් බ්‍රහ්මමන්ත්‍ර හොඳින් ඉගෙන ගත්තා. ඔක්කාක රජතුමා ළඟට පැමිණුනා. පැමිණිලා මට්ඨරූපී නම් රාජ දියණිය ඉල්ලුවා. එතකොට ඔක්කාක රජතුමා “එම්බල, මාගේ දාසි පුත්‍රයෙක්ව ඉඳගෙනත් මට්ඨරූපී දියණිය මගෙන් ඉල්ලන්ට කවුද මූ?” කියලා කිපිලා, නොසතුටු සිතින් (ඔහුව විද මැරීම පිණිස) ඊතලය දුන්නෙහි පිහිටෙව්වා. නමුත් රජතුමාට ඒ ඊතලය දුන්නෙත් අත්හරින්නට බැරිවුනා. ඇදගන්නටත් බැරිවුනා.
එතකොට පින්වත් තරුණයිනි, ඇමති පිරිස කණ්හ ඍෂිවරයා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “පින්වතුන් වහන්ස, රජතුමාට සෙතක් වේවා. පින්වතුන් වහන්ස, රජතුමාට සෙතක් වේවා” කියලා.
“රජතුමාට සෙතක් වේවි, නමුත් යම් හෙයකින් රජතුමා ඔය ඊතලය යට දිසාවට මුදාහළොත්, රජුගේ රට යම්තාක්ද ඒතාක්ම පොළොව විනාශ වෙලා යාවි.”
“පින්වතුන් වහන්ස, රජතුමාට සෙතක් වේවා. රටටත් සෙතක් වේවා.”
“රජතුමාට සෙතක් වේවි, රටටත් සෙතක් වේවි, නමුත් යම් විදිහකින් රජතුමා ඔය ඊතලය උඩ දිසාවට මුදාහළොත්, රජුගේ විජිතය යම්තාක්ද ඒතාක් ප්‍රදේශයට සත් අවුරුද්දක්ම වැසි වසින එකක් නෑ.”
“පින්වතුන් වහන්ස, රජතුමාට සෙතක් වේවා. රටටත් සෙතක් වේවා. වැස්සද වසීවා.”
“රජතුමාට සෙතක් වේවි, රටටත් සෙතක් වේවි, වැස්සත් වසීවි, නමුත් රජතුමා ඔය ඊතලය දෙටු කුමාරයා කෙරෙහි පිහිටුවාවා. එතකොට කුමාරයාට සෙතක් වේවි. ලොමුඩහ ගැනීම් පමණක්වත් ඇති නොවේවි.”
එතකොට පින්වත් තරුණයෙනි, ඇමැතිවරුන් ඔක්කාක රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා. “දේවයන් වහන්ස, දෙටු කුමරා කෙරෙහි ඔය ඊතලය පිහිටුවාවා. කුමාරයට කරදරයක් වෙන්නේ නෑ. කුමාරයාට ලොමුඩහ ගැනුම් පමණක්වත් වෙන්නේ නෑ.” ඉතින් ඔක්කාක රජතුමා දෙටු කුමරා කෙරෙහි ඊතලය පිහිටෙව්වා. (ඒ දෙසට මුදාහැරියා) කුමාරයාට කරදරයක් වුනේ නෑ. ලොමුඩහගැනීම් ඇතිවුනේ නෑ.
එතකොට ඔක්කාක රජතුමා භය වුනා. සංවේග වුනා. මවිල් කෙළින් වුණා. බ්‍රහ්මදණ්ඩයෙන් තරවටු කරණු ලැබුවා. ඔහුට මට්ඨරූපී දියණිය දුන්නා. පින්වත් තරුණයිනි, ඔය අම්බට්ඨ මාණවකයා දාසපුත්‍රවාදයෙන් දැඩි විදිහට පිරිහෙළන්න එපා. ඒ කණ්හ ඍෂිවරයා උදාර වූ කෙනෙක්.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා වදාළා. “පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙහි ක්ෂත්‍රීය කුමාරයෙක් බ්‍රාහ්මණ දියණියක් සමඟ එකට වාසය කරනවා නම්, ඔවුන්ගේ එකට වාසය කිරීමෙන් දරුවෙක් ලැබෙනවා නම්, ඒ ක්ෂත්‍රීය කුමරයා නිසා බ්‍රාහ්මණ දියණියට උපන් දරුවා බ්‍රාහ්මණ සමාජය තුළ අසුනෙන් සැළකීමත්, සංග්‍රහයෙන් සැළකීමත් ලබනවාද?”
“භවත් ගෞතමයෙනි, ලැබෙනවා.”
“එතකොට බ්‍රාහ්මණයන් මළවුන් උදෙසා දෙන දානයේදීත්, මංගල්‍ය දානයේදීත්, යාග දානයේදීත්, ආගන්තුක දානයේදීත්, ඔහුට දන්පැන් දෙනවාද?”
“භවත් ගෞතමයෙනි, ඔහු වළඳවනවාමයි.”
“ඒ වගේම බ්‍රාහ්මණයන් ඔහුට වේද මන්ත්‍රයන් පාඩම් කරවනවාද? නැද්ද?”
“භවත් ගෞතමයෙනි, පාඩම් කරවනවාමයි.”
“බමුණු දැරියන් හා විවාහ වීම වළක්වනවාද? නොවළක්වනවාද?”
“භවත් ගෞතමයෙනි, නොවළක්වනවාමයි.”
“එසේ නමුත්, ක්ෂත්‍රීයවරුන් ඒ දරුවාව ක්ෂත්‍රීය අභිෂේකයෙන් ඔටුනු පළන්දනවාද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”
“ඒකට හේතුව කුමක්ද?”
“භවත් ගෞතමයෙනි, මව් පාර්ශවයෙන් ඔහු නිසිතැනට පැමිණ නෑ.”
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙහි බ්‍රාහ්මණ කුමාරයෙක් ක්ෂත්‍රීය දියණියක් සමඟ එකට වාසය කරනවා නම්, ඔවුන්ගේ එකට වාසය කිරීමෙන් දරුවෙක් ලැබෙනවා නම්, ඒ බ්‍රාහ්මණ කුමරයා නිසා ක්ෂත්‍රීය දියණියට උපන් දරුවා බ්‍රාහ්මණ සමාජය තුළ අසුනෙන් සැළකීමත්, සංග්‍රහයෙන් සැළකීමත් ලබනවාද?”
“භවත් ගෞතමයෙනි, ලැබෙනවා.”
“එතකොට බ්‍රාහ්මණයන් මළවුන් උදෙසා දෙන දානයේදීත්, මංගල්‍ය දානයේදීත්, යාග දානයේදීත්, ආගන්තුක දානයේදීත්, ඔහුට දන්පැන් දෙනවාද?”
“භවත් ගෞතමයෙනි, ඔහු වළඳවනවාමයි.”
“ඒ වගේම බ්‍රාහ්මණයන් ඔහුට වේද මන්ත්‍රයන් පාඩම් කරවනවාද? නැද්ද?”
“භවත් ගෞතමයෙනි, පාඩම් කරවනවාමයි.”
“බමුණු දැරියන් හා විවාහ වීම වළක්වනවාද? නොවළක්වනවාද?”
“භවත් ගෞතමයෙනි, නොවළක්වනවාමයි.”
“එසේ නමුත්, ක්ෂත්‍රීයවරුන් ඒ දරුවාව ක්ෂත්‍රීය අභිෂේකයෙන් ඔටුනු පළන්දනවාද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමය.”
“ඒකට හේතුව කුමක්ද?”
“භවත් ගෞතමයෙනි, පිය පාර්ශවයෙන් ඔහු නිසිතැනට පැමිණ නෑ.”
මෙසේ පින්වත් අම්බට්ඨ, ස්ත්‍රියක හා තවත් ස්ත්‍රියක සැසඳුවත්, පුරුෂයෙකු හා තවත් පුරුෂයෙකු සැසඳුවත් ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රීයයන්මයි. හීන වන්නේ බ්‍රාහ්මණයන්මයි. පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මෙහි බ්‍රාහ්මණවරු කිසියම් වරදකට තවත් බමුණෙකුට හිස මුඩු කරවලා, හිසෙහි අළු තවරලා, රටෙන් හරි නගරයෙන් හරි පිටුවහල් කරනවා. එතකොට ඔහු බ්‍රාහ්මණ සමාජයේ ආසනයෙන් හෝ දන්පැන්වලින් හෝ සැළකිලි ලබනවාද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“එතකොට බ්‍රාහ්මණයන් මළවුන් උදෙසා දෙන දානයේදීත්, මංගල්‍ය දානයේදීත්, යාග දානයේදීත්, ආගන්තුක දානයේදීත්, ඔහුට දන්පැන් දෙනවාද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“ඒ වගේම බ්‍රාහ්මණයන් ඔහුට වේද මන්ත්‍රයන් පාඩම් කරවනවාද? නැද්ද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“බමුණු දැරියන් හා විවාහ වීම වළක්වනවාද? නොවළක්වනවාද?”
“භවත් ගෞතමයෙනි, වළක්වනවාමයි.”
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මෙහි ක්ෂත්‍රීයවරු කිසියම් වරදකට තවත් ක්ෂත්‍රීයෙකුට හිස මුඩු කරවලා, හිසෙහි අළු තවරලා, රටෙන් හරි නගරයෙන් හරි පිටුවහල් කරනවා. එතකොට ඔහු බ්‍රාහ්මණ සමාජයේ ආසනයෙන් හෝ දන්පැන්වලින් හෝ සැළකිලි ලබනවාද?”
“භවත් ගෞතමයෙනි, ලැබෙනවා.”
“එතකොට බ්‍රාහ්මණයන් මළවුන් උදෙසා දෙන දානයේදීත්, මංගල්‍ය දානයේදීත්, යාග දානයේදීත්, ආගන්තුක දානයේදීත්, ඔහුට දන්පැන් දෙනවාද?”
“භවත් ගෞතමයෙනි, ඔහු වළඳවනවාමයි.”
“ඒ වගේම බ්‍රාහ්මණයන් ඔහුට වේද මන්ත්‍රයන් පාඩම් කරවනවාද? නැද්ද?”
“භවත් ගෞතමයෙනි, පාඩම් කරවනවාමයි.”
“බමුණු දැරියන් හා විවාහ වීම වළක්වනවාද? නොවළක්වනවාද?”
“භවත් ගෞතමයෙනි, නොවළක්වනවාමයි.”
පින්වත් අම්බට්ඨ, මෙපමණකින්ම ක්ෂත්‍රියයා අතිශයින්ම නිහීනබවට පත්වෙනවා. ඒ කියන්නේ ක්ෂත්‍රීයවරුන් ඔහුව හිස මුඩු කරවලා, හිසෙහි අළු තවරලා, රටෙන් හරි නගරයෙන් හරි පිටුවහල් කරනවා. අම්බට්ඨ, ඔය විදිහට යම් කලෙක ක්ෂත්‍රීයයා අතිශයින්ම නිහීන බවට පත්වෙලා හිටියත් එවේලේදීත් ක්ෂත්‍රීයයාමයි ශ්‍රේෂ්ඨ වන්නේ. බ්‍රාහ්මණයන් හීනයි.
අම්බට්ඨය, සනංකුමාර බ්‍රහ්මයා විසිනුත් මේ ගැන ගාථාවක් පවසලා තියෙනවා.
ගෝත්‍ර පිළිවෙල අනුව සිය පරපුර අතීතයට යොමු කොට විමසා බැලුවොත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රියයාමයි. යමෙක් විජ්ජාචරණ දෙකෙන් (අවබෝධය හා ඊට අනුව හැසිරීම) යුක්ත නම්, ඔහු තමයි දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ.
පින්වත් අම්බට්ඨ, සනංකුමාර බ්‍රහ්මයා විසින් ඔය ගාථාව මැනැවින්ම පවසන ලද දෙයක්. නොමනා ලෙස කියූ ගාථාවක් නොවේ. සුභාෂිත දෙයක්. දුර්භාෂිතයක් නොවේ. අර්ථ සහිත වූ දෙයක්. අනර්ථ සහිත දෙයක් නොවේ. මා විසින් අනුමත කරලා තියෙන්නේ. අම්බට්ඨය, මමත් ඒ විදිහට තමයි පවසන්නේ.
ගෝත්‍ර පිළිවෙල අනුව සිය පරපුර අතීතයට යොමු කොට විමසා බැලුවොත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රියයාමයි. යමෙක් විජ්ජාචරණ දෙකෙන් (අවබෝධය හා ඊට අනුව හැසිරීම) යුක්ත නම්, ඔහු තමයි දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ.
පළමුවෙනි බණවරයි.
“භවත් ගෞතමයෙනි, ඒ චරණ කියන්නේ මොකක්ද? ඒ විද්‍යාව කියන්නේ මොකක්ද?” “පින්වත් අම්බට්ඨ, අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියෙහිදී ‘නුඹ මට සුදුසුයි’ කියලා හෝ ‘නුඹ මට නුසුදුසුයි’ කියලා හෝ ජාතිවාදය කතා කරන්නේ නෑ. ගෝත්‍රවාදය කතා කරන්නේ නෑ. මැනීම් වාදය කතා කරන්නේ නෑ. නමුත් පින්වත් අම්බට්ඨ, යම් තැනක ආවාහයක් වෙනවාද, විවාහයක් වෙනවාද, ආවාහවිවාහයක් වෙනවාද අන්න එතැනදී නම් ‘නුඹ මට සුදුසුයි’ කියලා හෝ ‘නුඹ මට නුසුදුසුයි’ කියලා හෝ කතා කරනවාද, ඒකටයි ජාතිවාදය කියන්නේ. ඒකට තමයි ගෝත්‍රවාදය කියන්නේ. ඒකට තමයි මැනීම්වාදය කියන්නේ. පින්වත් අම්බට්ඨ, යම්කිසි කෙනෙක් ජාතිවාදයට බැඳිලා ගිහින් හෝ ගෝත්‍රවාදයට බැඳිලා ගිහින් හෝ මැනීම් වාදයකට බැඳිලා ගිහින් හෝ ආවාහවිවාහයකට බැඳිලා ගිහින් හෝ ඉන්නවාද, ඔවුන් අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියෙන් දුරුවෙලාමයි ඉන්නේ. පින්වත් අම්බට්ඨ, ජාතිවාදයට ඇති බැඳීමත්, ගෝත්‍රවාදයට ඇති බැඳීමත්, මැනීම්වාදයට ඇති බැඳීමත්, ආවාහවිවාහයට ඇති බැඳීමත් අත්හැරලා තමයි අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියෙහි සාක්ෂාත් කිරීම තියෙන්නේ.
“භවත් ගෞතමයෙනි, ඒ චරණ කියන්නේ මොකක්ද? ඒ විද්‍යාව කියන්නේ මොකක්ද?” “පින්වත් අම්බට්ඨ, මෙහි අරහත් වූ සම්මාසම්බුද්ධ වූ විජ්ජාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්ම සාරථි වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබනවා. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා.
එතකොට ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා කවර හෝ කුලයක උපන් කෙනෙක් වේවා ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය අසලා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධාලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. “ගිහි ගෙදර වාසය කිරීම හරිම කරදරයක්. කෙලෙස් වැඩෙන මාවතක්. නමුත් පැවිදි ජීවිතය ආකාසය වගේ. ගිහි ගෙදර වාසය කරමින් මුළුමණින්ම පිරිපුන්, මුළුමණින්ම පිරිසිදු, සුදෝසුදු බඹසර වසනවා යන කරුණ ලෙහෙසි එකක් නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහි ගෙයින් නික්ම පැවිද්දට ඇතුළත් වෙන එක තමයි හොඳ” කියලා.
ඔහු පස්සේ කාලෙක ස්වල්ප වූ භෝග සම්පත් අත්හරිනවා. මහත් වූ භෝග සම්පත් අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑයන් අත්හරිනවා. මහත් වූ නෑදෑයන් අත්හරිනවා. කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා. යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වෙනවා. අණුමාත්‍ර වූ වරදෙහි පවා භය දකිනවා. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. කුසල්සහගත කායකර්මයෙන් හා වචීකර්මයෙන් යුතු වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්නවා. නුවණින් සළකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුතුව ඉන්නවා. ලද දෙයින් සතුටුව ඉන්නවා.
පින්වත් අම්බට්ඨ, භික්ෂුව සීලයෙන් යුක්ත වන්නේ කොහොමද?
පින්වත් අම්බට්ඨ, මෙහි භික්ෂුව සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬු මුගුරු අත්හැර දාලා, අවි ආයුධ බැහැර කරලා, පවට ලැජ්ජා ඇතිව ඉන්නවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
නුදුන් දේ ගැනීම අත්හැරලා නුදුන් දේ ගැනීමෙන් වැළකී ඉන්නවා. දුන් දේ පමණක් පිළිගන්නවා. දුන් දේ පමණක් පිළිගනු කැමති වෙනවා. සොර රහිත සිතින් යුතු වූ පිරිසිදු සිතින් යුතු වූ ජීවිතයකින් වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
අබ්‍රහ්මචාරී බව අත්හැරලා බ්‍රහ්මචාරීව ඉන්නවා. ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින්ම දුරුකර දමනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. සත්‍යය කතා කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපනවා. ස්ථිරව පිහිටලා කතාකරනවා. පිළිගත හැකි දේ කතා කරනවා. ලෝකයාව රවටන්නේ නෑ. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
කේලාම් කීම අත්හැරලා කේලාම් කීමෙන් වැළකී ඉන්නවා. මෙතැනින් අහලා මේ අය බිඳවන්නට අතන කියන්නේ නෑ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්නට මෙතැන කියන්නේ නෑ. මේ අයුරින් බිඳුණු උදවිය සමගි කරවනවා. සමගි වූවන්ට අනුබල දෙනවා. සමගි වූවන් හා වාසයට කැමතියි. සමගි වූවන් හා එක්ව වසනවා. සමගි වූවන් සමඟ සතුටු වෙනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පරුෂ වචනය අත්හැරලා පරුෂ වචනයෙන් වැළකී ඉන්නවා. යම් වචනයක් දොස් රහිත නම්, කණට සැප නම්, ආදරවන්ත නම්, හෘදයාංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම් එබඳු වූ වචන පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
තේරුමක් නැති කතා බහ අත්හැරලා තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටිනවා. කල් යල් බලා කතා කරනවා. ඇත්ත කතා කරනවා. අර්ථවත් දෙය කතා කරනවා. ධර්මයම කතා කරනවා. විනයම කතා කරනවා. සිත්හි ලා දරාගැනීමට සුදුසු, වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නොතබා, ප්‍රමාණවත් පරිදි, දෙලොව යහපත පිණිස වූ දේ පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පැළවෙන බීජ හා පැළ වුණ ගස් කොළන් විනාශ කිරීමෙන් වැළකී ඉන්නවා. එක් වරුවේ බොජුන් වළඳනවා. රාත්‍රී ආහාරයෙන් වැළකී විකාල භෝජනයෙන් වැළකී ඉන්නවා. නැටුම්, ගැයුම්, වැයුම් හා විසූක දර්ශනයන් නැරඹීමෙන් වැළකී ඉන්නවා. මල් සුවඳ විලවුන් දැරීමෙන්ද ඇඟපත සැරසීමෙන්ද විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන්ද වැළකී ඉන්නවා. ප්‍රමාණය ඉක්ම වූ උස් ආසනද, වටිනා සුඛෝපභෝගී ආසනද පරිහරණයෙන් වැළකී ඉන්නවා. රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු මස් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. එළුබැටළුවන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කුකුළන්, ඌරන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කෙත් වතු පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ගිහි කටයුතු සඳහා දූත මෙහෙවර කිරීමෙන් වැළකී ඉන්නවා. වෙළ හෙළඳාම් කිරීමෙන් වැළකී ඉන්නවා. තරාදියෙන් රැවටීම, නොවටිනා දෙයින් රැවටීම, මිනුමෙන් රැවටීම යන මෙයින් වැළකී ඉන්නවා. අල්ලස් ගෙන හිමිකරුවන්ගේ දේ අහිමි කිරීම, වංචා කිරීම, බාල දේ වටිනා දේ හැටියට පෙන්වීම ආදී නොයෙක් වංචනික දෙයින් වැළකී ඉන්නවා. අත්පා කැපීම්, මැරීම්, බන්ධන කිරීම්, මං පැහැරගැනීම්, ගම් පැහැර ගැනීම් ආදී සැහැසි දෙයින් වැළකී සිටිනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ විදිහේ පැළවෙන දේ හා ගස් කොළන් ආදිය වනසමින් ඉන්නවා. ඒ කියන්නේ මුලින් පැළවෙන දේවල්, කඳින් පැළවෙන දේවල්, පුරුකින් පැළවෙන දේවල්, දල්ලෙන් පැළවෙන දේවල්, පස්වෙනුවට බිජුවටින් පැළවෙන දේවල් යන ආදිය වනසමින් ඉන්නවා. ගස් කොළන් සිඳලීම් ආදී මෙවැනි දේවල්වලිනුත් මෙවැනි වෙනත් දේවල්වලිනුත් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ දේ රැස්කරගෙන පරිභෝග කරමින් වාසය කරනවා. ඒ කියන්නේ කෑම වර්ග රැස්කරලා තියාගන්නවා. බීම වර්ග රැස්කරලා තියාගන්නවා. වස්ත්‍ර රැස්කරලා තියාගන්නවා. යාන වාහන රැස්කරලා තියාගන්නවා. ඇඳ පුටු මේස රැස්කරලා තියාගන්නවා. සුවඳ වර්ග රැස්කරලා තියාගන්නවා. තවත් ආමිස රැස්කරලා තියාගන්නවා. මෙවැනි හෝ මෙවැනි වෙනත් දේවල් හෝ රැස්කරගෙන පරිහරණය කිරීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයේ විසූක දර්ශනයන් නැරඹීමෙහි යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, වැයුම්, නාටක, පැරණි කතා රඟදැක්වීම්, අත්තාල ගසා නැටීම්, වේතාල නැටීම්, බෙර වාදන කිරීම්, රඟමඬළෙහි දේවතාවන්ට පූජා පිණිස නැටීම්, උණ ගසින් කරන ක්‍රීඩා, මිනී ඇට මැද තබා වටකොට නැටීම්, ඇත් යුද බැලීම්, අශ්ව යුද බැලීම්, ගොන් පොර බැලීම්, එළු පොර බැලීම්, බැටළු පොර බැලීම්, කුකුළු පොර බැලීම්, වටු පොර බැලීම්, පොලු හරඹ බැලීම්, මිටි හරඹ බැලීම්, මල්ලව පොර බැලීම්, යුද සේනා බලන්නට යෑම, බලසෙන් ගණින තැන් බලන්නට යාම, බලසෙනඟ විසිරුවන තැන් බලන්නට යාම ආදී දේවල්වල යෙදෙමින් ඉන්නවා. මෙවැනි දේවල්වලිනුත්, මෙවැනි වෙනත් දේවල්වලින් යුතු විසූක දර්ශන නැරඹීම්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා තමාව ප්‍රමාදයට පත් කරවන මේ ආකාර වූ සූදු කෙළියෙන් කල් යවනවා. ඒ කියන්නේ හතරැස් කොටු අටකින් යුතුව කරන සූදුව, කොටු දහයකින් කරන සූදුව, අහසේ රූ අඳිමින් කරන සූදුව, කොටු පැනීමෙන් කරන සූදුව, සන්තික නම් වූ සූදුව, දාදු කැටයෙන් කරන සූදුව, කල්ලි ගැසුම, බූරුවා ගැසීම, ගුළ කෙළිය, නළා පිඹීම, කරණම් ගැසීම, මුගුරක් ගෙන උඩ යට වැටෙන පරිදි උඩට ගැසීම, කොළවලින් කළ ගොටුවලින් තරඟෙට වැලි මැනීම, කුඩා රිය තරඟ, කුඩා දුනුවලින් විදීමේ තරඟ, අකුරු ලිවීමේ සෙල්ලම, සිතූ දේ කියන සෙල්ලම, විකලාංග අනුකරණයෙන් හිනැස්සීමේ සෙල්ලම ආදී දේ කිරීමයි. මේ දෙයිනුත් මෙවැනි තවත් දේවල් ඇත්නම් එයිනුත්, වැළකී ප්‍රමාදයට පත්වන සූදුවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ පමණ ඉක්මවා උස් වූ ආසනත්, වටිනා සුඛෝපභෝගී ආසනත් පරිහරණය කරනවා. ඒ කියන්නේ දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමණින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිලි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සැදූ වටිනා යහන් ආදිය පරිහරණය කරයි. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී උස් අසුන් මහා අසුන් පරිහරණයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්‍රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. ඒ කියන්නේ සුවඳ වර්ග ඇඟ තවරා සිරුර සිනිඳු කිරීම, තෙල් වර්ග ගා සම්බාහනය කොට සිරුර හැඩ කිරීම, සුවඳපැන් නෑම, උරහිස් ආදියෙහි මස් වැඩීමට මුගුරෙන් තැලීම, කැඩපතින් මුහුණ බලා සැරසීම, ඇස්වල අඳුන් ගෑම, මල් හා සුවඳ විලවුන් දැරීම, මුව සුවඳ කිරීම, මුව විලවුන් දැරීම, අත්වල ආභරණ දැමීම, හිසෙහි කුඩුම්බි දැරීම, විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නල දැරීම, විසිතුරු කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල් පට දැරීම, මැණික් පැළඳීම, චාමර දැරීම, දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදියෙන් යුතුවෙයි. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී ඇඟපත සැරසීම් හා විසිතුරු වස්ත්‍රාභරණ සැරසීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරිසන් කථාවල යෙදී වාසය කරනවා. ඒ කියන්නේ; රජවරුන් ගැන කථා, සොරුන් ගැන කථා, මහ ඇමතිවරුන් ගැන කථා, හමුදාවන් ගැන කථා, භය ඇතිවෙන දේවල් ගැන කථා, ආහාර වර්ග ගැන කථා, බොන දේවල් ගැන කථා, ඇඳුම් පැළඳුම් ගැන කථා, ඇඳ පුටු ගැන කථා, මල් වර්ග ගැන කථා, සුවඳ වර්ග ගැන කථා, නෑදෑයන් ගැන කථා, යාන වාහන ගැන කථා, ගම්මාන ගැන කථා, නියම් ගම්මාන ගැන කථා, නගර ගැන කථා, රටවල් ගැන කථා, ස්ත්‍රීන් ගැන කථා, පුරුෂයින් ගැන කථා, කුමාරයින් ගැන කථා, කුමාරියන් ගැන කථා, ශූරයින් ගැන කථා, මංමාවත් ගැන කථා, වළං පොලේ දේවල් ගැන කථා, මියගිය උදවිය ගැන කථා, තව තව දේවල් ගැන කථා, ලෝකය ගැන කථා, සාගරය ගැන කථා, මෙහෙමයි වුණේ මෙහෙමයි නොවුණේ කියන දේ ගැන කතා කරකර ඉන්නවා, මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරිසන් කථාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් එකිනෙකා අතර බැණ දොඩා ගන්නා කතාවෙන් යුතුවයි ඉන්නේ. ඒ කියන්නේ “නුඹ මේ ධර්ම විනය දන්නේ නෑ. මම තමයි මේ ධර්ම විනය දන්නේ, ආ … එහෙමද එතකොට නුඹද මේ ධර්ම විනය දන්නේ? නුඹ ඉන්නේ මිථ්‍යා වැඩපිළිවෙලකයි. මම තමයි නියම වැඩ පිළිවෙල තුළ ඉන්නේ. මං කරුණු සහිතවයි කියන්නේ. නුඹේ කීම කරුණු රහිතයි. නුඹ කලින් කිවයුතු දේ පස්සේ කිව්වා. පස්සේ කිවයුතු දේ කලින් කිව්වා. නුඹ කලක් තිස්සේ කියපු දේ කණපිට පෙරළුනා. මා විසින් නුඹට වාද නංවලයි තියෙන්නේ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නේ. වාදයෙන් නිදහස් වීමට මගක් හොයාගෙන පලයන්. පුළුවන් නම් ලිහාගනින්” යනාදිය කියමින් ආරවුල් හදාගන්නවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ බැණ දොඩාගන්නා කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යන මෙබඳු වූ දූත මෙහෙවරෙහි යෙදෙනවා. ඒ කියන්නේ, “මෙහෙ යන්න, අසවල් තැනට එන්න, මේක (අපේ මේ පණිවිඩය) අරන් යන්න. අසවල් තැනට මේක අරන් යන්න” යනාදී රජුන්ගේ, රාජමහා ඇමැතිවරුන්ගේ, ක්ෂත්‍රීයයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, කුමාරවරුන්ගේ, පණිවිඩ පණත් ගෙනියනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ පණිවිඩ පණත් ගෙනයන ගිහියන්ගේ දූත මෙහෙවරෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා කුහක (උඩින් වෙන ජීවිතයක් පෙන්වමින් යටින් වෙනත් ජීවිතයක් ගෙවමින් නැති ගුණ පෙන්වා) ජීවිත ගෙවනවා. ලාභ සත්කාර ලැබෙන විදිහට (පුහු වර්ණනා කිරීම්, තොඳොල් කිරීම්, නැති ගුණ කීම් ආදී) චාටු බස් කියනවා. දායකයින් හට නොදී බැරි තත්වයට පත්වෙන ආකාරයේ නිමිති දක්වමින් කතා කරනවා. තමන්ට ලැබෙන විදිහට අනුන්ට ගරහනවා. ලාභයෙන් ලාභය හොයනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ කුහක කමින් චාටුබස්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත්වෙනවා. ඒ කියන්නේ ශාරීරික අංග බලා ඵලාඵල කියනවා, නිමිති බලා ඵලාඵල කියනවා, උත්පාත බලා ඵලාඵල කියනවා, සිහින ඵලාඵල කියනවා, ශාරීරික ලක්ෂණ බලා ඵලාඵල කියනවා, මීයන් කෑ වස්ත්‍ර බලා ඵලාඵල කියනවා, ගිනි පූජා පවත්වනවා, හැන්දෙන් පූජා පවත්වනවා, ධාන්‍ය පොතුවලින් පූජා පවත්වනවා. කණ නම් සහලින් කළ පූජා පවත්වනවා, සහලින් පූජා පවත්වනවා, ගිතෙලින් පූජා පවත්වනවා, තල තෙලින් පූජා පවත්වනවා, විශේෂ කොට කරන පූජා පවත්වනවා, සතුන් මරා ලේ පුදා කරන පූජා පවත්වනවා, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනාව උරගා බැලීමේ (ලොතරැයි) විද්‍යාව, භූත විද්‍යාව, පොළොව යට බිම් ගෙයක හිඳ මැතිරීමෙන් කරන (භූරි) විද්‍යාව, සර්ප විද්‍යාව, විෂ විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූෂික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කොට අනාවැකි කියන විද්‍යාව, මතුරන ලද ඊතල විද ආරක්ෂා කරන විද්‍යාව, මෘග පක්ෂ යනාදී මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ මැණික්වල සුභ අසුභ ලකුණු කීම, දඬුවල සුභ අසුභ ලකුණු කීම, වස්ත්‍රවල සුභ අසුභ ලකුණු කීම, කඩු ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ඊතල ආදී සලකුණුවලින් සුභාසුභ කීම, දුනු ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ආයුධ ආදී සලකුණුවලින් සුභාසුභ කීම, ස්ත්‍රීන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, පුරුෂයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දරුවන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දැරියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, ඒ ඒ කටයුතු සඳහා තෝරා ගත යුතු ඇතුන්ගේ ලකුණු කීම, අසුන්ගේ ලකුණු කීම, ඔටුවන්ගේ ලකුණු කීම, වෘෂභයන්ගේ ලකුණු කීම, ගවයන්ගේ ලකුණු කීම, එළුවන්ගේ ලකුණු කීම, බැටළුවන්ගේ ලකුණු කීම, කුකුළු පොර ආදියට සුදුසු කුකුළන්ගේ ලකුණු කීම, වටුවන්ගේ ලකුණු කීම, සුහුනන් ඇඟ වැටීමේ සහ හඬනැගීමේ ඵලාඵල කීම, කනෙහි පළඳාගත් උපකරණවලින් ඵලාඵල කීම, කැස්බෑවන්ට මතුරා ඵලාඵල කීම, මුවන්ට මතුරා ඵලාඵල කීම ආදී තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ‘අසවල් නැකතට රජතුමාගේ යුධ පිණිස නික්මීම වන්නේය. අසවල් නැකතින් ආපසු නුවරට ඇතුල්වීම සිදු කළ යුත්තේය. අසවල් නැකතින් රට ඇතුළේ සිට පිටත සතුරු රජුන් හමුවීමට රජුගේ ගමන කළ යුත්තේය. අසවල් නැකතින් පිටත සිටින රජවරු රට ඇතුළට පැමිණීම වන්නේය. අසවල් නැකතින් රට ඇතුලේ සිටින රජුගේ ඉවත්වීම සිදුවන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුට ජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුනට පරාජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුන්ට ජය වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ රජුට පරාජය වන්නේය’ කියලා මොහුට ජය වෙනවා, මොහුට පරාජය වෙනවා ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සූර්යග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින නැකත් ග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නිසිමගින් යෑම සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නිසි මගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අසවල් දින අසවල් දිශාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. අසවල් දින භූමිකම්පාවක් සිදුවෙනවා. අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදුවෙනවා. චන්ද්‍ර ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. සූර්ය ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නිසි ගමන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නොමග යෑම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. දිශා දාහය මෙවැනි ඵල විපාක ලබාදෙනවා. භූකම්පන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. වැසි නැතිව අහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා” කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ‘මේ කාලයේදී වැස්ස වහිනවා. මේ කාලයේදී නියඟය ඇතිවෙනවා. මේ කාලයේදී ආහාරපානාදියෙන් සරුවෙනවා. මේ කාලයේදී දුර්භික්ෂය ඇතිවෙනවා. මේ කාලයේදී රට සරුවෙනවා. මේ කාලයේදී බිය සැක නැතිව ඉන්නවා. මේ කාලයේදී භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇතිවෙනවා. මේ කාලයේදී නීරෝග බව ඇතිවෙනවා’ කියමින් ඵලා ඵල පැවසීමත් මුද්‍රා, ගණිත, සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් සෑදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සෑදීම, දීපු ණය එකතු කිරීමට නැකත් සෑදීම, මුදල් ණයට පොලියට දීමට නැකත් සෑදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළුවී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම, ගෑණු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ශාන්ති කර්ම, බාර ඔප්පු කිරීම, පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙකු කිරීම, පිරිමියා නපුංසකයෙකු කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වා දීම, අලුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පැවැත්වීම, වතුර මතුරා මූණ සේදවීම, වතුර මතුරා නැහැවීම, ගිනිපිදීම, ලය විරේක කරවීම, බඩ විරේක කරවීම, වමනය කරවීම, වස්ති කරවීම, ශීර්ෂ විරේකය, කණට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස්වලට අඳුන් සෑදීම, ප්‍රතිඅංජන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ළදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වනවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පින්වත් අම්බට්ඨ, ඒ භික්ෂුව වනාහී මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. ඔටුනු පළන් රජ කෙනෙක් ඉන්නවා. ඔහු සතුරන් පරදවලා බැහැර කරලයි ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් මොනම අයුරකින්වත් භයක් දකින්නේ නෑ. පින්වත් අම්බට්ඨ, භික්ෂුවත් ඔය විදිහමයි. මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා. පින්වත් අම්බට්ඨ, ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීලසම්පන්න වන්නේ.
පින්වත් අම්බට්ඨ, භික්ෂුව අකුසලයන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් අම්බට්ඨ, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැකගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් මනස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. මනස රැකගන්නවා. මනස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. ඔහු මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආධ්‍යාත්මිකව පීඩා රහිතව සැපයක් විඳිනවා. පින්වත් අම්බට්ඨ, භික්ෂුව අකුසලයෙන් වැළැක් වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.
පින්වත් අම්බට්ඨ, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? පින්වත් අම්බට්ඨ, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත් එය කරන්නේ සිහි නුවණින්මයි. ඉදිරිය බලද්දී, වටපිට බලද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. අතපය හකුළද්දී, දිගහරිද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. දෙපට සිවුර, පාත්‍රය, අනෙක් සිවුරු ආදිය දරද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. වළඳද්දී, පානය කරද්දී, අනුභව කරද්දී, රස විඳිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. වැසිකිළි කැසිකිළි යාමේදී එය කරන්නෙත් සිහි නුවණින්මයි. ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩි වී සිටිද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. පින්වත් අම්බට්ඨ, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.
පින්වත් අම්බට්ඨ, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද?
පින්වත් අම්බට්ඨ, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. ඒක මේ වගේ දෙයක්. කුරුල්ලෙක් යම් ම තැනකට පියඹා යනවා නම්, පියාපත් බර පමණක් සහිතව පියඹනවා වගෙයි. පින්වත් අම්බට්ඨ, ඔය අයුරින්ම භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්ට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. පින්වත් අම්බට්ඨ, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.
ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා, මේ ආර්ය වූ ලද දෙයින් සතුටුවීමෙන් යුක්ත වෙලා හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ අරණ්‍යය, රුක්සෙවණ, පර්වතය, දිය ඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, ගස් කොළන් රහිත හිස් පිටිය, පිදුරු ගෙය ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසු (එවැනි තැනක) පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙනවා.
ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විෂම ලෝභය දුරු කොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා. විෂම ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. තරහ, වෛර ආදිය අත්හැර තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ, වෛර ආදිය කෙරෙන් සිත පිරිසිදු කරනවා. නිදිමත, අලසකම අත්හැර නිදිමත, අලසකමින් බැහැරව ආලෝක සඤ්ඤාවෙන් යුතුව, සිහිනුවණ ඇතිව වාසය කරනවා. නිදිමත, අලසකම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත්, පසුතැවීමත් බැහැර කොට නොකැළඹී ගිය සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීම හා පසුතැවීම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සැකය දුරු කොට කුසල් දහම් ගැන ‘කෙසේද? කෙසේද?’ යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.
පින්වත් අම්බට්ඨ, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ මුල් ණයක් ඇද්ද, එය සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. එයින් පසු ඔහුට අඹුදරුවන් පෝෂණය පිණිස ලාභයක් ඉතිරිත් වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං කලින් ණයක් අරගෙනයි ව්‍යාපාරයක යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුනා. ඒ මං යම් පරණ මුල් ණයක් ඇද්ද එය සම්පූර්ණයෙන්ම ගෙව්වා. අඹුදරුවන් පෝෂණයටත් මට ආදායම ඉතිරි වුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව ඉන්නවා. ඔහුට බත් කෑමටවත් පිරියක් නෑ. ඔහුගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් නෑ. නමුත් පස්සෙ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් බත් කෑමත් ප්‍රියයි. ඔහුගේ ඇඟපතත් ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං ඉස්සර රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව හිටියේ. මට බත් කෑමටවත් පිරියක් තිබුනේ නෑ. මගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් තිබුනේ නෑ. නමුත් දැන් මං ඒ රෝගයෙන් මිදුනා. මට දැන් බත් කෑමත් ප්‍රියයි. මගේ ඇඟපතත් ප්‍රාණවත්” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සෙ කාලෙක තමන්ගේ ධනය වියදම් නොකොට සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත්වලින් කිසි වියදමක් යන්නේ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං ඉස්සර හිරගෙදරක බන්ධනයකට අහු වුනා. නමුත් ඒ මං දැන් ධන වියදමකින් තොරව සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වුනා. මගේ භෝග සම්පත්වලින් කිසිදෙයක් වියදම් වුනේ නෑ” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි, දාසයෙක් වෙලා හිටියා. ඔහු පස්සෙ කාලෙක ඒ දාසබවෙන් නිදහස් වුනා. තමාට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, තමන් කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා. “මං ඉස්සර තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි දාසයෙක් වෙලා හිටියා. ඒ මං දැන් ඒ දාසබවෙන් නිදහස් වෙලයි ඉන්නේ. මට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, මං කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කාලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා “මං කලින් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුනා. නමුත් දැන් මා ඒ කාන්තාරයෙන් එතෙර වුනා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි. භික්ෂුවත් (කලින්) ණයක් ගත්තා වගේ, ලෙඩ වුනා වගේ, හිරේවිලංගුවේ වැටුනා වගේ, වහල්බවට පත්වුනා වගේ, නිරුදක කතරකට පැමිණුනා වගේ මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා. නමුත් පින්වත් අම්බට්ඨ, ඒ ණය ගෙවා දමා ණය රහිත වුනා වගේ, රෝගයෙන් නිදහස් වෙලා නීරෝග වුනා වගේ, වියදම් නැතුව හිරෙන් නිදහස් වුනා වගේ, දාසබවෙන් නිදහස් වුනා වගේ, නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා වගේ තමයි. පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරුවී ඇති ආකාරයත් දකින්නේ.
ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දී මහත් සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා.
ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නානසුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නානසුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැනම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ.
පින්වත් අම්බට්ඨ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මේකත් ඔහුගේ ධර්මයේ හැසිරීමට අයත් දෙයක්.
පින්වත් අම්බට්ඨ, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. දකුණු පැත්තෙන් වතුර එන මගක් නෑ. බටහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. උතුරු පැත්තෙන් වතුර එන මගක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන්ම සීතල දියදහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විලම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නෑ.
පින්වත් අම්බට්ඨ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මේකත් ඔහුගේ ධර්මයේ හැසිරීමට අයත් දෙයක්.
පින්වත් අම්බට්ඨ, තවදුරටත් කියනවා නම් භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා.
ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා ඒ නෙළුම් ජලයේමයි හටගන්නේ. ජලයේමයි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නෑ. ජලය තුළම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුම් අග දක්වාත්, මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමණින්ම තෙත් වෙලා තියෙන්නේ. පිරිලා තියෙන්නේ. හැමතැනම පැතිරිලා තියෙන්නේ. ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නෑ.
පින්වත් අම්බට්ඨ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මේකත් ඔහුගේ ධර්මයේ හැසිරීමට අයත් දෙයක්.
පින්වත් අම්බට්ඨ, නැවතත් කියනවා නම්, භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරොවාගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. පින්වත් අම්බට්ඨ, අන්න ඒ වගේමයි භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. මේකත් ඔහුගේ ධර්මයේ හැසිරීමට අයත් දෙයක්.
පින්වත් අම්බට්ඨය, චරණය යනු මෙයයි.
පින්වත් අම්බට්ඨ, තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුන, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි.”
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුණ දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට ගෙන හොඳින් විමසා බලනවා. “මේ වෛරෝඩි මැණික හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. මේ මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා” කියලා.
ඒවමේව ඛෝ අම්බට්ඨ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමේති. සෝ ඒවං පජානාති: අයං ඛෝ මේ කායෝ රූපී චාතුම්මහාභූතිකෝ මාතාපෙත්තිකසම්භවෝ ඕදනකුම්‌මාසූපචයෝ අනිච්‌චුච්‌ඡාදනපරිමද්‌දනභේදනවිද්‌ධංසනධම්මෝ. ඉදං ච පන මේ විඤ්‌ඤාණං එත්‌ථ සිතං එත්‌ථ පටිබද්‌ධන්‌ති. ඉදම්පි’ස්ස හෝති විජ්ජාය.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණ, අනිත්‍ය වූ, ඇතිල්ලීම්, පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි” කියලා. මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මුඤ්ජ තණ ගසෙන් තණ ගොබය ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ මුඤ්ජ තණ ගසයි, මේ තණ ගොබයයි. එතකොට මුඤ්ජ තණ ගස වෙන එකක්. තණ ගොබය වෙන එකක්. නමුත් මුඤ්ජ තණ ගසෙන්මයි තණ ගොබය ඇදලා ගත්තේ” කියලා. පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් කොපුවෙන් කඩුවක් ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ කඩුව. මේ කොපුව. එතකොට කඩුව අනෙකක්, කොපුව අනෙකක්. නමුත් කොපුවෙන් තමයි කඩුව ඇදලා ගත්තේ” කියලා. පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයෙකුව ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ තමයි නයා. මේක නයි පෙට්ටිය. එතකොට නයා අනෙකෙක්. නයි පෙට්ටිය අනෙකක්. නමුත් නයි පෙට්ටියෙන් තමයි නයාව ඇදලා ගත්තේ” කියලා. පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා. මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. ඔහු (ඒ භික්ෂුව) නොයෙක් ආකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් ලබයි. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්න සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී, අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා. මේ සා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමඳිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ම ආකාරයේ භාජනයක් හදන්න කැමැති නම්, ඒ ඒ ආකාරයේ බඳුන් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ඇත්දත් කැටයම්කරුවෙක් හෝ ඇත්දත් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ ඇත්දතක යම් ම ආකාරයේ ඇත් දළ කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ ඇත්දළ කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා. පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන් කැටයම්කරුවෙක් හෝ රන් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රනක යම් ම ආකාරයේ රන් කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ රන් කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි.
ඔහු (ඒ භික්ෂුව) නොයෙක් ආකාර වූ ඉර්ධි ප්‍රාතිහාර්යයන් ලබයි. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්නට සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී, අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳ ගෙන අහසේ යනවා. මේ සා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමඳිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා. මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බෙර හඬත්, මිහිඟු බෙර හඬත්, සක්, පනා බෙර, ගැට බෙර හඬත් අසනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක බෙර හඬක්, මේ තමයි මිහිඟු බෙර හඬ, මේක සක් හඬ, මේක පනා බෙර හඬ, මේක ගැට බෙර හඬ” කියලා.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා.
එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා. මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ, වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා.
රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා.
රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා.
ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා.
ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා.
මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා.
මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා.
හැකුළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා.
විසිරුණු සිත විසිරුණු සිතක් වශයෙන් දැනගන්නවා.
සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් දැනගන්නවා.
සමාධි රහිත සිත සමාධි රහිත සිතක් වශයෙන් දැනගන්නවා.
නොදියුණු සිත නොදියුණු සිතක් වශයෙන් දැනගන්නවා.
දියුණු සිත දියුණු සිතක් වශයෙන් දැනගන්නවා.
එකඟ වෙන සිත එකඟ වෙන සිතක් වශයෙන් දැනගන්නවා.
එකඟ නොවෙන සිත එකඟ නොවෙන සිතක් වශයෙන් දැනගන්නවා.
කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්නට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දරුවෙක් හෝ තරුණයෙක් හෝ ඉන්නවා. ඔහු පිරිසිදු දීප්තිමත් කණ්ණාඩියක් ඉදිරියේ හෝ පැහැදිලි දිය ඇති බඳුනකින් හෝ තමන්ගේ මුව මඬල හොඳින් විමසා බලනවා. එතකොට දොස් ඇති තැන දොස් ඇති තැන වශයෙන් දැනගන්නවා. දොස් නැති තැන දොස් නැති තැන වශයෙන් දැනගන්නවා. පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි. භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි.
එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ, වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා.
රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා.
රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා.
ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා.
ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා.
මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා.
මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා.
හැකුළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා.
විසිරුණු සිත විසිරුණු සිතක් වශයෙන් දැනගන්නවා.
සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් දැනගන්නවා.
සමාධි රහිත සිත සමාධි රහිත සිතක් වශයෙන් දැනගන්නවා.
නොදියුණු සිත නොදියුණු සිතක් වශයෙන් දැනගන්නවා.
දියුණු සිත දියුණු සිතක් වශයෙන් දැනගන්නවා.
එකඟ වෙන සිත එකඟ වෙන සිතක් වශයෙන් දැනගන්නවා.
එකඟ නොවෙන සිත එකඟ නොවෙන සිතක් වශයෙන් දැනගන්නවා.
කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. “මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා” ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමන්ගේ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමෙන් යළි තමන්ගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මගේ ගමෙන් අසවල් ගමට ගියා. මං එහෙදී මෙහෙමයි හිටියේ. මෙහෙමයි වාඩි වුණේ. මෙහෙමයි කතාබහ කළේ. මෙහෙමයි නිශ්ශබ්දව සිටියේ. ඉතින් මං ඒ ගමෙනුත් අසවල් ගමට ගියා. එහෙ හිටියේ මේ විදිහටයි. වාඩිවුනේ මේ විදිහටයි. කතාබස් කළේ මේ විදිහටයි. නිහඬව සිටියේ මේ විදිහටයි. ඒ මං ඒ ගමෙන් මගේ ගමටම නැවත ආවා” කියලා.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. “මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුණේ. ඒ මං එතැනින් චුත වුණා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුණේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුණේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුණේ. මං එතැනින් චුත වුණා. මේ ලෝකෙ උපන්නා” ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහිකරනවා. මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. “අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. හතරමං හන්දියක තට්ටු නිවසක් තියෙනවා. එහි ඇස් ඇති පුරුෂයෙක් සිටගෙන බලාගෙන ඉන්නවා. ඔහු (පහළ) ගෙට ඇතුළු වන්නා වූත්, නික්මෙන්නා වූත්, වීදියේ එහාට මෙහාට ඇවිදින්නා වූත්, හතරමං හන්දිය මැද වාඩි වී සිටින්නා වූත් මිනිසුන් දකිනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා “මේ මිනිසුන් ගෙට ඇතුළු වෙනවා. මේ උදවිය ගෙයින් නික්මෙනවා. මේ උදවිය වීදියේ එහාට මෙහාට ඇවිදිනවා. මේ උදවිය හතරමං හන්දිය මැද වාඩිවෙලා ඉන්නවා” කියලා.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. “අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගති නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. මේකත් ඔහුගේ විද්‍යාවට (අවබෝධයට) අයත් දෙයක්.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා.
එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුන බවට ඤාණය ඇතිවෙනවා.
‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
පින්වත් අම්බට්ඨ, ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නෑ. එතැන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඉවුරේ සිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබලිත්, මාළු රංචු ආදියත් හැසිරෙන අයුරු, සිටින අයුරු දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පිබෙල්ලන්, සක්බෙල්ලන්, කැටකැබලිති, මාළු රංචුත් හැසිරෙනවා නෙව. ඉන්නවා නෙව’ කියලා.
පින්වත් අම්බට්ඨ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා.
එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුන බවට ඤාණය ඇතිවෙනවා.
‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා. පින්වත් අම්බට්ඨය, විද්‍යාව (අවබෝධය) යනු මෙයයි.
පින්වත් අම්බට්ඨ, මේ භික්ෂුවට තමයි විද්‍යාවෙන් සමන්විතව ඉන්නවා කියන්නේ. චරණයෙන් සමන්විතව ඉන්නවා කියන්නේ. විජ්ජාචරණින් සමන්විතව ඉන්නවා කියන්නේ. පින්වත් අම්බට්ඨ, මේ විද්‍යා සම්පත්තියෙනුත්, චරණ සම්පත්තියෙනුත් බැහැර වූ වෙනත් උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත්, විද්‍යා සම්පත්තියක්වත්, චරණ සම්පත්තියක්වත් නෑ.
80. ඉමාය ඛෝ අම්බට්ඨ අනුත්තරාය විජ්ජාචරණසම්පදාය චත්තාරි අපායමුඛානි භවන්ති. කතමානි චත්තාරි? ඉධ අම්බට්ඨ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ඉමඤ්ඤේව අනුත්තරං විජ්ජාචරණසම්පදං අනභිසම්භුණමානෝ ඛාරිවිවධමාදාය අරඤ්ඤායතනං අජ්ඣෝගාහති පවත්තඵලභෝජනෝ භවිස්සාමීති. සෝ අඤ්ඤදත්ථු විජ්ජාචරණසම්පන්නස්සේව පරිචාරකෝ සම්පජ්ජති. ඉමාය ඛෝ අම්බට්ඨ අනුත්තරාය විජ්ජාචරණසම්පදාය ඉදං පඨමං අපායමුඛං භවති.
පින්වත් අම්බට්ඨ, මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට විනාශ මුඛ සතරක් තියෙනවා. ඒ කවර සතරක්ද යත්, පින්වත් අම්බට්ඨ, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මෙම විජ්ජාචරණ සම්පත්තියට පැමිණෙන්නට බැරිව තවුස් පිරිකරත් අරගෙන ‘මං පවත්තඵල භෝජනයෙන් යැපෙන (ගසෙන් වැටුණු ගෙඩි වළඳා දිවිගෙවන) කෙනෙක් වෙනවා’ කියලා වනාන්තරයක් ඇතුළට යනවා. ඇත්තෙන්ම ඔහු විජ්ජාචරණ සම්පන්න කෙනෙකුගේ ගෝලයෙක් වගේ කෙනෙක්. පින්වත් අම්බට්ඨ, මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට ඇති පළමුවෙනි විනාශ මුඛය මෙයයි.
පින්වත් අම්බට්ඨ, තවදුරටත් කියනවා නම්, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මෙම විජ්ජාචරණ සම්පත්තියට පැමිණෙන්නට බැරිව පවත්තඵල භෝජනයෙන් යැපෙන (ගසෙන් වැටුණු ගෙඩි වළඳා දිවි ගෙවන) කෙනෙක් වෙන්නටත් බැරිව, ‘මං අල, මුල්, ගෙඩි වළඳන කෙනෙක් වෙනවා’ කියලා උදැල්ලකුත්, මල්ලකුත් අරගෙන වනාන්තරයක් ඇතුළට යනවා. ඇත්තෙන්ම ඔහු විජ්ජාචරණ සම්පන්න කෙනෙකුගේ ගෝලයෙක් වගේ කෙනෙක්. පින්වත් අම්බට්ඨ, මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට ඇති දෙවෙනි විනාශ මුඛය මෙයයි.
පින්වත් අම්බට්ඨ, තවදුරටත් කියනවා නම්, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මෙම විජ්ජාචරණ සම්පත්තියට පැමිණෙන්නට බැරිව පවත්තඵල භෝජනයෙන් යැපෙන (ගසෙන් වැටුණු ගෙඩි වළඳා දිවි ගෙවන) කෙනෙක් වෙන්නටත් බැරිව, අල මුල් ගෙඩි වළඳන කෙනෙක් වෙන්නටත් බැරිව, ගමක් සමීපයේ හෝ නියම්ගමක් සමීපයෙහි හෝ ගිනිපුදන ගෙයක් හදාගෙන, ගිනි පුදන්නට පටන් ගන්නවා. ඇත්තෙන්ම ඔහු විජ්ජාචරණ සම්පන්න කෙනෙකුගේ ගෝලයෙක් වගේ කෙනෙක්. පින්වත් අම්බට්ඨ, මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට ඇති තුන්වෙනි විනාශ මුඛය මෙයයි.
පින්වත් අම්බට්ඨ, තවදුරටත් කියනවා නම්, මෙහි ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මෙම විජ්ජාචරණ සම්පත්තියට පැමිණෙන්නට බැරිව පවත්තඵල භෝජනයෙන් යැපෙන (ගසෙන් වැටුණු ගෙඩි වළඳා දිවි ගෙවන) කෙනෙක් වෙන්ටනත් බැරිව, අල මුල් ගෙඩි වළඳන කෙනෙක් වෙන්නටත් බැරිව, ගිනි පිදීමත් කරගන්ට බැරිව, හතරමං හන්දියක දොර සතරක් ඇති ගෙයක් තනාගෙන ඉන්නවා. ‘කවුරුහරි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා සිව් දිසාවෙන් එනවා නම්, මම ඔහුට පුළුවන් තරමින් උපස්ථාන කරනවා’ කියලා. ඇත්තෙන්ම ඔහු විජ්ජාචරණ සම්පන්න කෙනෙකුගේ ගෝලයෙක් වගේ කෙනෙක්. පින්වත් අම්බට්ඨ, මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට ඇති හතරවෙනි විනාශ මුඛය මෙයයි.
පින්වත් අම්බට්ඨ, මෙම අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට බාධක වූ විනාශ මුඛ හතර කියන්නේ මේකටයි.
පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තිය තුළ ඔබ තමන්ගේ ආචාර්යවරයා සමඟ ඉන්න බව දකිනවාද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි. භවත් ගෞතමයෙනි, ආචාර්යවරයා සහිත වූ මම කවුද? අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තිය මොකක්ද? භවත් ගෞතමයෙනි, ආචාර්යවරයා සහිත වූ මං අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියෙන් දුරු වෙලාමයි ඉන්නේ.”
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? එහෙමනම්, ඔබ මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තිය ලබාගන්නට බැරුව තවුස් පිරිකර කඳ ගෙන ‘පවත්තඵල භෝජී වන්නෙමි’යි කියලා ආචාර්යවරයා සහිතව අරණ්‍ය වනයක් මැදට ගිහිල්ලවත් ඉන්න කෙනෙක්ද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? එහෙම නම්, ඔබ මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තිය ලබාගන්නට බැරුව, පවත්තඵල භෝජී වන්නටත් බැරුව, ‘අල මුල් ගෙඩි අනුභව කරන කෙනෙක් වෙනවා’ කියලා ආචාර්යවරයා සහිතව උදැල්ලකුත්, මල්ලකුත් අරගෙන අරණ්‍ය වනයක් මැදට ගිහිල්ලවත් ඉන්න කෙනෙක්ද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? එහෙම නම්, ඔබ මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තිය ලබාගන්නට බැරුව, පවත්තඵල භෝජී වන්ටත් බැරුව, අල මුල් ගෙඩි අනුභව කරන කෙනෙක් වෙන්නටත් බැරුව, ගමක් අසල හෝ නියම්ගමක් අසල හෝ ගිනි පුදන ගෙයක් කරවලා, ආචාර්යවරයා සහිතව ඔබ ගිනි පුදමින් ඉන්න කෙනෙක්ද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? එහෙම නම්, ඔබ මේ අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තිය ලබාගන්නට බැරුව, පවත්තඵල භෝජී වන්නටත් බැරුව, අල මුල් ගෙඩි අනුභව කරන කෙනෙක් වෙන්නටත් බැරුව, ගිනි පුදා ගන්නටත් බැරුව, සතරමං හන්දියක දොර සතරක් ඇති ගෙයක් කරවලා, ආචාර්යවරයා සහිතව ඔබ ‘කවුරුහරි ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා සතර දිශාවෙන් එනවා නම් අපි ශක්ති පමණින්, පුළුවන් හැටියට ඔහුට උපස්ථාන කරනවා’ කියලා ඉන්න කෙනෙක්ද?”
“භවත් ගෞතමයෙනි, මෙය නොවේමයි.”
“පින්වත් අම්බට්ඨ, ඔය විදිහට ආචාර්යවරයා සහිත වූ ඔබ මෙම අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියෙනුත් පිරිහිලා ඉන්නේ. මෙම අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තියට යම් විනාශ මුඛ හතරක් ඇත්නම්, ආචාර්යවරයා සහිත වූ ඔබ එයිනුත් පිරිහිලා ඉන්නේ. පින්වත් අම්බට්ඨ, ඔබගේ ගුරුවරයා වූ පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් මේ වචන කියලා තියෙනවා. ‘ලාමක ගිහියන් වූ, කළු වූ, මහබඹුගේ පයින් උපන්, පවිටු මුඩු ශ්‍රමණයන් කවුද, එබඳු අයත් එක්ක ත්‍රිවිද්‍යා ලබාගත් බ්‍රාහ්මණයන්ට මොන සාකච්ඡාද?’ කියලා. එහෙම කියන්නේ තමන් විසින් විනාශ මුඛ හතරවත් නොපුරමිනුයි. පින්වත් අම්බට්ඨ, බලන්න ඔබගේ ආචාර්යවරයා වූ පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් මොනතරම් බරපතල වරදක්ද කරලා තියෙන්නේ?
පින්වත් අම්බට්ඨ, පොක්ඛරසාති බ්‍රාහ්මණයා භුක්ති විඳින්නේ පසේනදී කොසොල් රජතුමා දීපු දේවල් නෙව. නමුත් කොසොල් රජතුමා ඔහුට මුණගැසීමක්වත් වෙලා නෑ. යම් දවසක ඔහු සමඟ සාකච්ඡා කරනවා නම්, කඩතුරාවකට මුවාවෙලයි ඒකත් කරන්නේ. පින්වත් අම්බට්ඨ, යමෙකු විසින් තමාට දෙන ලද ධාර්මික භික්ෂාව පිළිගන්නවා නම්, ඒ පසේනදී කොසොල් රජු ඔහු හා මුණ ගැසීමක්වත් නොදෙන්නේ කොහොමද? අම්බට්ඨ, බලන්න ඔබගේ ආචාර්යවරයා වූ පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් මොනතරම් බරපතල වරදක්ද කරලා තියෙන්නේ?
පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? පසේනදී කොසොල් රජතුමා ඇත් ගෙල මත වාඩිවෙලා ඉන්නවා. එහෙම නැත්නම් අසු පිට වාඩි වෙලා ඉන්නවා. එක්කෝ රථයෙහි සරසා ඇති තැන සිටගෙන හෝ ඉන්නවා. එතකොට රජුට උසස් ඇමතිවරුන් සමඟ හෝ ඔටුන්න හිමි කුමාරවරුන් සමඟ හෝ යම් යම් කරුණු ගැන කතා කරන්නට උවමනා වෙනවා. ඉතින් ඔහු එතැනින් මෑත් වෙලා පැත්තක හිට ගන්නවා. එතකොට ඔතැනට ශුද්‍රයෙක් හෝ ශුද්‍රදාසයෙක් එනවා. ඔහුත් ඒ ප්‍රදේශයේම ඉඳගෙන ඒ කරුණ ගැනම කතා කරනවා. ඒ කියන්නේ “මේ විදිහටත් පසේනදී කොසොල් රජ්ජුරුවෝ කිව්වා. මේ විදිහටත් පසේනදී කොසොල් රජ්ජුරුවෝ කිව්වා” කියලා. එතකොට එකරුණින් ඔහු රාජකීය කතාබහ කරන කෙනෙක්ද? රාජමන්ත්‍රණ කරන කෙනෙක්ද? එපමණකින් ඔහු රජෙක් වෙනවාද? රාජමහාමාත්‍යයෙක් වෙනවාද?”
“භවත් ගෞතමයෙනි, එය නොවේමය.”
“පින්වත් අම්බට්ඨ, අන්න ඒ වගේ තමයි. යම් ඒ බ්‍රාහ්මණයින්ගේ මන්ත්‍ර හදන, මන්ත්‍ර කියන පූර්ව ඍෂිවරු හිටියාද, ඒ කියන්නේ අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු කියලා. ඒ පැරණි ඍෂිවරුන් යම් මේ මන්ත්‍රපද ගායනා කළාද, කියෙව්වාද, රැස්කළාද, දැන් ඉන්න බමුණන් ඔවුන් අනුව ගායනා කරනවා. ඒ කියපු දෙය කියාගෙන යනවා. ඒ කියපු දෙයම නැවත නැවතත් කියාගෙන යනවා. ඒ විදිහට පාඩම් කරවනවා. එහෙම කරලා ‘මාත් ආචාර්යවරයා සහිතව මන්ත්‍ර හදාරණවා’ කියලා කියූ පමණකින් ඔබ ඍෂිවරයෙක් වෙනවා, ඍෂිබවට පිළිපන් කෙනෙක් වෙනවා යන කරුණ සිදුවෙන දෙයක් නොවේ.
පින්වත් අම්බට්ඨ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඒ වැඩිමහළු ආචාර්ය ප්‍රාචාර්ය වූ බ්‍රාහ්මණයන් ඒ ඍෂිවරුන් ගැන කියන දේ ඔබ අහලා තියෙන්නේ කොහොමද? ‘යම් ඒ බ්‍රාහ්මණයින්ගේ මන්ත්‍ර හදන, මන්ත්‍ර කියන පූර්ව ඍෂිවරු හිටියාද, ඒ කියන්නේ අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගු කියලා. ඒ පැරණි ඍෂිවරුන් යම් මේ මන්ත්‍රපද ගායනා කළාද, කියෙව්වාද, රැස්කළාද, දැන් ඉන්න බමුණන් ඔවුන් අනුවනෙ ගායනා කරන්නේ. ඒ කියපු දෙයනෙ කියාගෙන යන්නේ. ඒ කියපු දෙයමනෙ නැවත නැවතත් කියාගෙන යන්නේ. ඒ විදිහටමනෙ පාඩම් කරවන්නේ. ඉතින් ඔබ අහලා තියෙනවාද දැන් ආචාර්යවරයා සහිතව ඔබ හොඳට නාලා, හොඳට සුවඳ විලවුන් ගාලා, හැඩට කෙස් රැවුල් පීරලා, මිණිකොඬොල් ආභරණවලින් සැරසිලා, සුදුවස්ත්‍ර ඇඳගෙන පංචකාම ගුණයන්හි ඇලී ගැලී එහි සතුටුවෙමින් ඉන්නවා වාගේ ඒ ඍෂිවරුත් සිටියා කියලා?
“භවත් ගෞතමයෙනි, එය නොවේමයි.”
“ඒ වගේම දැන් ආචාර්යවරයා සහිත ඔබ කළුහාල් ඉවත් කරපු, ඇල්හාලේ බත් ඇතුව, අනේක වූ සූපව්‍යංජන ඇතිව, රසමසවුලින් යුතු කෑම කනවා වගේ ඒ ඍෂිවරුත් ආහාර අරගෙන තියෙනවාද?”
“භවත් ගෞතමයෙනි, එය නොවේමයි.”
“ඒ වගේම දැන් ආචාර්යවරයා සහිත ඔබ කුසට වෙළුම්පටි බැඳලා, සිහින් කළ ඉඟ තියෙන ස්ත්‍රීන් ලවා උපස්ථාන කරගන්නවා වගේ ඒ ඍෂිවරුත් එහෙම කරගෙන තියෙනවාද?”
“භවත් ගෞතමයෙනි, එය නොවේමයි.”
“ඒ වගේම දැන් ආචාර්යවරයා සහිත ඔබ ලස්සනට වල්ගා සරසපු, වෙළුඹුන් යොදපු රථවල නැගලා, කෙවිටි දික්කරගෙන, සතුන්ට සන්කරමින් ඉන්නවා වගේ ඒ ඍෂිවරුත් එහෙම ගමන් බිමන් ගිහින් තියෙනවාද? ”
“භවත් ගෞතමයෙනි, එය නොවේමයි.”
“ඒ වගේම දැන් ආචාර්යවරයා සහිත ඔබ අගල් කැණලා තියෙන, යටට හාරපු උපකාරිකා තියෙන නගරවල්වල දිග කඩුගත්තු පුරුෂයන්ගේ රැකවරණ ලබමින් ඉන්නවා වගේ ඒ ඍෂිවරුත් රැකවල් ඇතිව සිටියාද?”
“භවත් ගෞතමයෙනි, එය නොවේමයි.”
“එහෙම නම් පින්වත් අම්බට්ඨ, ආචාර්යවරයා සහිත වූ ඔබ ඍෂිවරයෙකුත් නොවේ. ඍෂිවරයෙක් වීමට පිළිපන් කෙනෙකුත් නොවේ. පින්වත් අම්බට්ඨ, නමුත් යම් කෙනෙකුට මා ගැන සැකයක් හෝ විමතියක් හෝ තියෙනවා නම්, ඔහු මගෙන් ප්‍රශ්න අහන්නට ඕන. එතකොට මං ඔහුගේ ප්‍රශ්න විසඳීමෙන් ඒ සැකය දුරු කරලා දානවා.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් එළියට වැඩලා සක්මන් මළුවට පැමිණ වදාළා. අම්බට්ඨ මාණවකයාත් විහාරයෙන් නික්මිලා සක්මනට නැග්ගා. ඉතින් අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ සක්මනේ වඩිද්දී ඒ අනුව සක්මන් කරමින් බුදු සිරුරක තිබෙන මහාපුරුෂ ලක්ෂණ තිස්දෙක සොයන්න පටන් ගත්තා. එතකොට අම්බට්ඨ මාණවකයා දෙකක් හැර මහාපුරුෂ ලක්ෂණ බොහොමයක් භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි තිබෙන බව දැක ගත්තා. ඔහු කෙමියක් තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තද, පුළුල් දිවද යන මහාපුරුෂ ලක්ෂණ දෙක ගැන සැක කළා. විචිකිච්ඡා කළා. ඒ වටහා ගත්තේ නෑ. ඒ ගැන පැහැදුණේ නෑ.
එතකොට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවුණා. “මේ අම්බට්ඨ මාණවකයා දෙකක් හැර මහාපුරුෂ ලක්ෂණ බොහොමයක් මාගේ කයෙහි තිබෙන බව දැකගත්තා. නමුත් ඔහු කෙමියක් තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තද, පුළුල් දිවද යන මහාපුරුෂ ලක්ෂණ දෙක ගැන සැක කරනවා. විචිකිච්ඡා කරනවා. ඒ වටහා ගන්නේ නෑ. ඒ ගැන පහදින්නේ නෑ.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්යයක් දක්වා වදාළා. ඒ කියන්නේ අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේගේ කෙමියක් තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්ත දැකගන්නවාද අන්න ඒ ආකාරයටයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ (මෙයද ඉර්ධියකි) දිව නිකුත්කොට දෙකන් සිදුරු පිරිමැද වදාළා. දෙනාස්පුඩු පිරිමැද වදාළා. සම්පූර්ණ නළල් තලය දිවෙන් වසා වදාළා.
එතකොට අම්බට්ඨ මාණවකයාට මෙහෙම හිතුනා. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහාපුරුෂ ලක්ෂණ තිස්දෙකෙන්ම පරිපූර්ණයි. අපරිපූර්ණ නෑ’ කියලා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයෙනි, දැන් අපි යනවා. අපි ඉතින් බොහෝ වැඩකටයුතු ඇති උදවිය නෙව” කියලා.
“පින්වත් අම්බට්ඨය, යමකට දැන් කාලය යැයි ඔබ සිතනවා නම් එය කරන්න.
ඊට පස්සේ අම්බට්ඨ මාණවකයා වෙළුඹුන් යෙදූ රථයේ නැගිලා පිටත් වුනා.
ඒ වෙලාවේදී පොක්ඛරසාති බ්‍රාහ්මණයා උක්කට්ඨා නගරයෙන් නික්මිලා මහත් බ්‍රාහ්මණ පිරිසත් සමඟ තමන්ගේ ආරාමයෙහි අම්බට්ඨ මාණවකයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියා. එතකොට අම්බට්ඨ මාණවකයා තමන්ගේ ආරාමය වෙත පැමිණුනා. රථයෙන් යා හැකිතාක් දුර ගිහින් එයින් බැහැලා පාගමනින්ම පොක්ඛරසාති බ්‍රාහ්මණයා සිටි තැනට ගියා. ගිහින් පොක්ඛරසාති බ්‍රාහ්මණයාට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා.
එකත්පස්ව වාඩිවුන අම්බට්ඨ මාණවකයාගෙන් පොක්ඛරසාති බ්‍රාහ්මණයා මෙහෙම ඇහුවා. “පුතේ අම්බට්ඨ, කොහොමද? භවත් ගෞතමයන් වහන්සේව දැකගත්තද?”
“භවතාණෙනි, අපි භවත් ගෞතමයන්ව දැක්කා.”
“පුතේ අම්බට්ඨ, ඒ භවත් ගෞතමයන් තුළ තිබෙන්නා වූ ම ගුණයන් පිළිබඳ කීර්ති ඝෝෂාවක්ද පැතිර තිබෙන්නේ? නැති ගුණයන් ගැනද? ඒ වගේම භවත් ගෞතමයන් එබඳු ගුණයන්ගෙන් යුක්තයිද? එහෙම නැත්නම් නැද්ද?”
“භවත, ඒ භවත් ගෞතමයන් තුළ තියෙන ගුණ ගැනමයි කීර්ති රාවයක් පැතිරිලා තියෙන්නේ. නැති ගුණ ගැන නොවෙයි. භවත, ඒ භවත් ගෞතමයන් ඒ පැතිරුණු ගුණයන්ගෙන් යුක්තයි. එහෙම නැතුව වෙන විදිහක් නෑ. භවත, ඒ භවත් ගෞතමයන් මහාපුරුෂ ලක්ෂණ තිස්දෙකෙන්ම පරිපූර්ණයි. අපරිපූර්ණ නෑ.”
“පුතේ අම්බට්ඨ, එතකොට ශ්‍රමණ ගෞතමයන් එක්ක ඔබේ මොනවහරි කතාබහක් වුනාද?”
“භවත, ශ්‍රමණ ගෞතමයන් සමඟ මගේ යම්කිසි කතාබහක් වුනා තමයි.”
“පුතේ අම්බට්ඨ, ශ්‍රමණ ගෞතමයන් සමඟ මොන විදිහේ කතාබහක්ද සිද්ධ වුනේ?”
එතකොට අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ සමඟ යම්තාක් කතාබහක් වුණාද ඒ සෑම දෙයක් පොක්ඛරසාති බ්‍රාහ්මණයාට කියා සිටියා.
එහෙම කිව්වහම පොක්ඛරසාති බ්‍රාහ්මණයා අම්බට්ඨ මාණවකයාට මෙහෙම කිව්වා. “අයියෝ! මේකාද අපේ මහලොකු පණ්ඩිතයා, අයියෝ! මේකාද අපේ මහලොකු බහුශ්‍රැතයා. අයියෝ! මේකාද අපේ මහලොකු ත්‍රිවිද්‍යාධරයා. මේ ජාතියේ එකෙක්ව ඇසුරු කරන භවත් පුරුෂයා ඒ හේතුවෙන්ම කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයේ තමයි උපදින්නේ. එම්බා අම්බට්ඨ, නුඹ භවත් ගෞතමයන් හට එකට එක හැප්පි හැප්පි කියන්න ගියා. ඒ නිසා තමයි භවත් ගෞතමයන් වහන්සේ අපේ අතීතය එළියට ඇද ඇද දුන්නේ. අයියෝ! මේකාද අපේ මහලොකු පණ්ඩිතයා, අයියෝ! මේකාද අපේ මහලොකු බහුශ්‍රැතයා. අයියෝ! මේකාද අපේ මහලොකු ත්‍රිවිද්‍යාධරයා. මේ ජාතියේ එකෙක්ව ඇසුරු කරන භවත් පුරුෂයා ඒ හේතුවෙන්ම කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයේ තමයි උපදින්නේ” කියලා නොසතුටු සිතින් කිපුණු පොක්ඛරසාති බ්‍රාහ්මණයා අම්බට්ඨ මාණවකයාට දුන් පා පහරින් එතැනම බිම පෙරලී ගියා. ඒ ක්ෂණයෙහිම භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට කැමැත්තක් ඇති වුනා.
එතකොට ඒ බ්‍රාහ්මණවරු පොක්ඛරසාති බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා.
“භවත, අද ශ්‍රමණ ගෞතමයන්ව දකින්නට යන්න කිසිසේත්ම වෙලාව නොවෙයි. ඒ නිසා භවත් පෙක්ඛරසාතී, හෙට දවසේ ශ්‍රමණ ගෞතමයන් දකින්නට යන එක හොඳයි.”
ඉතින් පොක්ඛරසාතී බ්‍රාහ්මණයා තමන්ගේ නිවසේ ප්‍රණීත ලෙස කෑම්බීම් පිළියෙල කරගෙන, රථවල තබාගෙන දඬුවැට පහන් අරගෙන උක්කට්ඨා නුවරින් නික්මුණා. ඉච්ඡානංගල වන පියසට පැමිණුනා. යානයෙන් යා හැකිතාක් බිම ගොස් එයින් බැහැලා පයින් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුන පොක්ඛරසාති බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “භවත් ගෞතමයෙනි, අම්බට්ඨ මාණවක කියලා අපේ ගෝලයෙක් මේ පැත්තේ ආවද?”
“පින්වත් බ්‍රාහ්මණය, අම්බට්ඨ මාණවක කියන ඔබේ ගෝලයා මෙහේ ආවා තමයි.”
“භවත් ගෞතමයෙනි, එතකොට අම්බට්ඨ මාණවකයාත් සමඟ ඔබ වහන්සේගේ යම්කිසි කතාබහක් ඇති වුනාද?”
“පින්වත් බ්‍රාහ්මණය, අම්බට්ඨ මාණවකයාත් සමඟ මගේ යම්කිසි කතාබහක් ඇති වුනා තමයි.”
“භවත් ගෞතමයෙනි, අම්බට්ඨ මාණවකයාත් සමඟ ඔබවහන්සේ මොන වගේ කතාබහක්ද කළේ?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා සමඟ යම්තාක් කතාබහක යෙදුනාද, ඒ සෑම දෙයක්ම පොක්ඛරසාති බ්‍රාහ්මණයාට පවසා වදාළා.
එසේ වදාළ විට පොක්ඛරසාතී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “භවත් ගෞතමයෙනි, ඔය අම්බට්ඨ මාණවකයා මෝඩයි. භවත් ගෞතමයාණෝ අම්බට්ඨ මාණවකයාට කමා කරත්වා!”
“පින්වත් බ්‍රාහ්මණය අම්බට්ඨ මාණවකයා සුවපත් වේවා!”
ඉතින් පොක්ඛරසාතී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි තිබෙන මහාපුරුෂ ලක්ෂණ තිස්දෙක සොයන්න පටන්ගත්තා. එතකොට පොක්ඛරසාතී බ්‍රාහ්මණයා දෙකක් හැර මහාපුරුෂ ලක්ෂණ බොහොමයක් භාග්‍යවතුන් වහන්සේ ගේ කයෙහි තිබෙන බව දැකගත්තා. ඔහු කෙමියක් තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තද, පුළුල් දිවද යන මහාපුරුෂ ලක්ෂණ දෙක ගැන සැක කළා. විචිකිච්ඡා කළා. ඒ වටහා ගත්තේ නෑ. ඒ ගැන පැහැදුනේ නෑ.
එතකොට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවුනා. ‘මේ පොක්ඛරසාතී බ්‍රාහ්මණයා දෙකක් හැර මහාපුරුෂ ලක්ෂණ බොහොමයක් මාගේ කයෙහි තිබෙන බව දැකගත්තා. නමුත් ඔහු කෙමියක් තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තද, පුළුල් දිවද යන මහාපුරුෂ ලක්ෂණ දෙක ගැන සැක කරනවා. විචිකිච්ඡා කරනවා. ඒ වටහා ගන්නේ නෑ. ඒ ගැන පහදින්නේ නෑ.’
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්යයක් දක්වා වදාළා. ඒ කියන්නේ පොක්ඛරසාතී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ කෙමියක් තුළ බහාලූ පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්ත දැක ගන්නවාද අන්න ඒ ආකාරයටයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ (මෙයද ඉර්ධියකි) දිව නිකුත්කොට දෙකන් සිදුරු පිරිමැද වදාළා. දෙනාස්පුඩු පිරිමැද වදාළා. සම්පූර්ණ නළල් තලය දිවෙන් වසා වදාළා.
එතකොට පොක්ඛරසාතී බ්‍රාහ්මණයාට මෙහෙම හිතුනා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහාපුරුෂ ලක්ෂණ තිස්දෙකෙන්ම පරිපූර්ණයි. අපරිපූර්ණ නෑ කියලා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයෙනි, අද දවසේ දානය පිණිස මාගේ බත භික්ෂු සංඝයා සමඟ ඉවසා වදාළ මැනැව” කියලා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටීමෙන් ඉවසා වදාළා.
ඉතින් පොක්ඛරසාති බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ නිශ්ශබ්ද බව තුළින් එම ඇරැයුම පිළිගත් බව දැන භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, දැන් සුදුසු කාලයයි. දානය පිළියෙල කරලා තියෙන්නේ” කියලා නිසිකල් එළඹි බව දන්වා සිටියා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරොවා, පාසිවුරු ගෙන භික්ෂු සංඝයා සමඟ පොක්ඛරසාති බ්‍රාහ්මණයාගේ දන් බෙදන තැනට වැඩම කළා. වැඩම කොට පණවන ලද ආසනයන්හි වැඩසිටියා. එතකොට පොක්ඛරසාති බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත වූ වැළඳිය යුතු, අනුභව කළ යුතු දෙයින් සියතින්ම හොඳින් වැළඳෙව්වා. හොඳින් පිළිගැන්වූවා. තරුණ පිරිසත් භික්ෂු සංඝයා වහන්සේ සියතින්ම හොඳින් වැළඳෙනවා. හොඳින් පිළිගැන්වූවා. පසුව පොක්ඛරසාති බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් වූ පසු එක්තරා කුඩා ආසනයක් ගෙන එකත්පස්ව වාඩිවුනා.
එකත්පස්ව වාඩිවුන පොක්ඛරසාති බ්‍රාහ්මණයා හට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළා. ඒ කියන්නේ දන් දීමේ අනුසස් ගැන කථාව, සිල් රැකීමෙහි අනුසස් ගැන කථාව, සුගතියෙහි උපත ගැන කථාව, කාමයන්හි ඇති පීඩාකාරීබව ගැන කථාව, කෙලෙස් නිසා ඇතිවන කිලුට ගැන කථාව, එයින් නික්මීමෙන් ලැබෙන ආනිසංස ගැන කථාව වදාළා. එතකොට යම් වෙලාවක පොක්ඛරසාති බ්‍රාහ්මණයා එයට සවන් දීම නිසා යහපත් සිතක් ඇතිවුනාද, මෘදු සිතක් ඇතිවුනාද, නීවරණ බැහැර වුන සිතක් ඇතිවුනාද, සතුටින් ඔද වැඩුණු සිතක් ඇතිවුනාද, පහන් වූ සිතක් ඇතිවුනාද, එය දැන වදාළ භාග්‍යවතුන් වහන්සේ බුදුවරයන් වහන්සේලාගේ යම් සුවිශේෂී සාමුක්කංසික දේශනාවක් ඇද්ද ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍යය වදාළා.
කළු පැල්ලම් නැති පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවද්දී ඉතා හොඳින් ඒ සායම් උරාගන්නේ යම්සේද ඒ අයුරින්ම පොක්ඛරසාති බ්‍රාහ්මණයා හටත් ඒ ආසනයේදීම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද ඒ හේතු ප්‍රත්‍යයන් නැතිවීමෙන් ඒවා නිරුද්ධ වී යන ස්වභාවයට අයත් වන්නේය කියලා කෙලෙස් රහිත වූ, අවිද්‍යා මල රහිත වූ දහම් ඇස පහළ වුනා.
එතකොට ධර්මය දැකපු, ධර්මයට පැමිණි, ධර්මය අවබෝධ කළ, ධර්මයෙහි බැසගත්, සැකයෙන් එතෙර වුණ, ‘කෙසේද, කෙසේද’ කියන අවිශ්වාසයෙන් බැහැර වුන, ආර්ය සත්‍ය ධර්මය තුළ විශාරදභාවයට පත්වුන, ශාස්තෘ සාසනය තුළ බාහිර උපකාර නොසොයන බවට පත්වුන පොක්ඛරසාති බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පවසා සිටියා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුලා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වා ගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. ස්වාමීනි, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා! ඒ මං පුතුන් සහිතව, බිරින්දෑ සහිතව, පිරිස් සහිතව, ඇමැතිවරුන් සහිතව, භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සංඝරත්තනයත් සරණ යනවා. අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් භවත් ගෞතමයන් වහන්සේ මාව පිළිගන්නා සේක්වා! භවත් ගෞතමයන් වහන්සේ උක්කට්ඨා නගරයෙහි අනෙක් උපාසක පවුල් කරා යම් අයුරකින් වඩින සේක්ද, ඒ අයුරින්ම භවත් ගෞතමයන් වහන්සේ පොක්ඛරසාතී පවුල වෙතද වඩින සේක්වා! එහිදී යම් මේ මාණවකයන් වේවා, මාණවිකාවන් වේවා, භවත් ගෞතමයන් වහන්සේට ආදරයෙන් වඳිනවාමයි. යටහත් පැවැතුම් දක්වනවාමයි. වැඩසිටින්නට අසුන් හෝ වළඳන්නට පැන් ආදිය හෝ පුදනවාමයි. සිත හෝ පහදවා ගන්නවාමයි. එය ඔවුන්ට බොහෝ කලක් හිත සුව පිණිස පවතීවි.”
“පින්වත් බ්‍රාහ්මණය, කළ්‍යාණ වූ දෙයක්මයි ඔය කිව්වේ.”
සාදු! සාදු!! සාදු!!!
තුන්වෙනි අම්බට්ඨ සූත්‍රය නිමාවිය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M