නොනිදා ඇහැරගෙන ඉන්න කෙනාට රාත්‍රිය ගොඩාක් දිගයි. වෙහෙසට පත්වෙච්ච කෙනාට යොදුන ගොඩක් දිගයි. අන්න ඒ විදිහමයි, සද්ධර්මය අවබෝධ නොකරගත්තු බාලයන්ගේ සංසාර ගමනත් බොහෝම දිගයි.
(ජේතවනාරාමයේදී කොසොල් රජු අරභයා වදාළ ගාථාවකි.)
එක්කො තමන්ට වඩා උසස් කෙනෙක්වයි ආශ්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙමත් නැත්නම් තමන්ට සමාන ගුණධර්ම තියෙන කෙනෙක්වයි ආශ්‍රයට සොයාගන්නට ඕනෙ. එහෙම කෙනෙකුත් සොයාගන්ට නැත්නම්, දැඩි අධිෂ්ඨානයකින් හුදෙකලාවේ තනියම ජීවත්වෙන්ට ඕනෙ. අසත්පුරුෂයන් එක්ක යාළුකම් ඕනෙ නෑ.
(සැවැත් නුවරදී මහාකස්සප තෙරුන්ගේ ගෝලයෙක් අරභයා වදාළ ගාථාවකි.)
“අනේ මට දරුමල්ලො ඉන්නවා. මට සල්ලි බාගෙ තියෙනවා” කියල අඥාන පුද්ගලයා ඒ මත්තේම හැපෙනවා. නමුත්, තමන්ට තමන්වත් නෑ. එහෙම එකේ දරුමල්ලො කොහෙන්ද? සල්ලි බාගෙ කොහෙන්ද?
(සැවැත් නුවරදී ආනන්ද සිටුවරයා අරභයා වදාළ ගාථාවකි.)
යම්කිසි අඥාන පුද්ගලයෙක් තමන්ගේ අඥානකම දන්නවා නම්, ඔහු නුවණැත්තෙක් වෙන්ට හේතු වෙන්නෙ ඒකමයි. අඥාන පුද්ගලයා තමන් ගැන හිතාගෙන ඉන්නෙ මහා නුවණැත්තෙක් කියලා නම්, ඔහු ඒකාන්තයෙන්ම අඥානයෙක් කියලයි කියන්ට තියෙන්නේ.
(ජේතවනාරාමයේදී ගැට කපන්නන් දෙදෙනෙක් අරභයා වදාළ ගාථාවකි.)
අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ.
(ජේතවනාරාමයේදී උදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. හොද්දක රසය වහාම දැනගන්න දිවක් වගේ.
(ජේතවනාරාමයේදී පාවෙය්‍යක භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)
ප්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට සිද්ධ වෙනවා.
(වේළුවනයේදී සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා අරභයා වදාළ ගාථාවකි.)
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කඳුළු හල හලා, හඬා ඒකේ විපාක විඳින්ට සිදුවෙනවා නම්, එබඳු පව් කරන්ට හොඳ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා ගොවියෙකු අරභයා වදාළ ගාථාවකි.)
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප්‍රීතියෙන් පිනාගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කරගන්න එක කොයි තරම් හොඳ දෙයක් ද.
(වේළුවනාරාමයේදී සුමන මල්කාරයා අරභයා වදාළ ගාථාවකි.)
පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ.
(ජේතවනාරාමයේදී නන්ද මාණවකයා අරභයා වදාළ ගාථාවකි.)
අඥාන පුද්ගලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන, මාසයකට වතාවක්, තණ කොලයක අග තවරපු ආහාර ඩිංගක් අනුභව කළත්, ඒක ධර්මාවබෝධ කළ රහතන් වහන්සේලාගේ ජීවිතයෙන් දහසයෙන් කොටසක් දහසය වතාවකට බෙදලා ගන්න කොටසක් තරම් වත් වටින්නෙ නෑ.
(වේළුවනාරාමයේදී ජම්බුක ආජීවකයා අරභයා වදාළ ගාථාවකි.)
කිරි නම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නෙ නෑ. අළු යට සැඟවෙලා තියෙන ගිනි පුපුරු වගේ තිබිල, නියම වෙලාවට ඒ පාපී පුද්ගලයාව පුච්චමින් පස්සෙන් ලුහුබඳිනවා.
(වේළුවනයේදී ප්‍රේතයෙක් අරභයා වදාළ ගාථාවකි.)
අසත්පුරුෂයාගේ යම් කිසි දැනුමක් ඇත්නම්, ඔහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නෙ. අන්තිමේදී ඒ අසත්පුරුෂයා තමන්ගේ හිස් මුදුන වන නුවණත් වනසාගන්නවා. යහපත් ගතිගුණ ටිකක් හරි ඇත්නම්, ඒකත් වනසාගන්නවා. විනාශය කරාම යනවා.
(වේළුවනයේදී ප්‍රේතයෙක් අරභයා වදාළ ගාථාවකි.)
අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු බුහුමන් ලබන්ටමයි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්ටමයි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්ටමයි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා ලබන්ටමයි කැමති වෙන්නෙ.
“මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගෙන් විතරමයි අහන්ට ඕනෙ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගෙන් විතරමයි උපදෙස් ගන්න ඕනෙ” කියල හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල. ඒකෙන්මයි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නේ.
(ජේතවනාරාමයේදී සුධම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවාගන්න එක වෙනත් වැඩපිළිවෙළක්. නිවන් අවබෝධ කරන එක වෙනම වැඩපිළිවෙළක්. බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා, ඔහු ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වලට කැමති වෙන්නෙ නෑ. බණ භාවනා කිරීමට වුවමනා විවේකය ම යි ඇතිකරගන්නෙ.
(ජේතවනාරාමයේදී අරණ්‍යවාසී තිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
අඥාන බාලයා ගැන වදාළ කොටස නිමා විය.
(බාල වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M