සැවැත් නුවරදී …………
2.3.11.1
1. පින්වත් මහණෙනි, අත්හැරීමට දුෂ්කර ආශාවන් දෙකක් තියෙනවා. ඒ කවර ආශාවන් දෙකක්ද යත්? ලාභ ලැබීමට තියෙන ආශාවත්, ජීවිතයට තියෙන ආශාවත් ය. පින්වත් මහණෙනි, මේ ආශාවන් දෙක අත්හැරීම දුෂ්කරයි.
2.3.11.2
2. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා ලෝකයෙහි දුර්ලභයි. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් පළමුව උපකාර කරයිද, යම් කෙනෙක් කෙලෙහි ගුණ දැන කෘතඥ වෙයිද, පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා මේ ලෝකයෙහි දුර්ලභයි.
2.3.11.3
3. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා ලෝකයෙහි දුර්ලභයි. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් ලද දෙයින් තෘප්තියට පත් වෙයිද, යම් කෙනෙක් අනෙකෙක්ව උපකාර කිරීම් ආදියෙන් තෘප්තියට පත් කරවයිද, පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා මේ ලෝකයෙහි දුර්ලභයි.
2.3.11.4
4. පින්වත් මහණෙනි, තෘප්තිමත් කිරීමට අසීරු මේ පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් තමා හට ලැබෙන ලැබෙන දෙය රැස් කර තබා ගනියිද, යම් කෙනෙක් තමා හට ලැබෙන ලැබෙන දෙය වියදම් කරයිද, පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා තෘප්තිමත් කිරීම අසීරු දෙයකි.
2.3.11.5
5. පින්වත් මහණෙනි, පහසුවෙන් තෘප්තිමත් කළ හැකි වූ මේ පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් තමා හට ලැබෙන ලැබෙන දෙය රැස් කර නොතබා ගනියිද, යම් කෙනෙක් තමා හට ලැබෙන ලැබෙන දෙය වියදම් නොකරයිද, පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනා පහසුවෙන් තෘප්තිමත් කළ හැකිය.
2.3.11.6
6. පින්වත් මහණෙනි, රාගය හට ගැනීම පිණිස හේතු වන කාරණා දෙකක් තියෙනවා. ඒ කවර කාරණා දෙකක්ද යත්? රාගයෙන් සිත කැළඹෙන සුළු වූ සුභ අරමුණත්, ඒ ගැන සිහි මුළාවෙන් කල්පනා කිරීමත් ය. පින්වත් මහණෙනි, රාගය උපදින්නට හේතු වන්නේ මේ කාරණා දෙකයි.
2.3.11.7
7. පින්වත් මහණෙනි, ද්වේෂය හට ගැනීම පිණිස හේතු වන කාරණා දෙකක් තියෙනවා. ඒ කවර කාරණා දෙකක් ද යත්? ද්වේෂයෙන් සිත කැළඹෙන සුළු වූ පටිඝ අරමුණත්, ඒ ගැන සිහි මුළාවෙන් කල්පනා කිරීමත් ය. පින්වත් මහණෙනි, ද්වේෂය උපදින්නට හේතු වන්නේ මේ කාරණා දෙකයි.
2.3.11.8
8. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය හට ගැනීම පිණිස හේතු වන කාරණා දෙකක් තියෙනවා. ඒ කවර කාරණා දෙකක්ද යත්? අනුන්ගෙන් අසන්නට ලැබෙන අධර්මයත්, ඒ ගැන සිහි මුළාවෙන් කල්පනා කිරීමත් ය. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය උපදින්නට හේතු වන්නේ මේ කාරණා දෙකයි.
2.3.11.9
9. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය හට ගැනීම පිණිස හේතු වන කාරණා දෙකක් තියෙනවා. ඒ කවර කාරණා දෙකක්ද යත්? අනුන්ගෙන් අසන්නට ලැබෙන චතුරාර්ය සත්‍යය ධර්මයත්, ඒ ධර්මයට අනුව නුවණින් කල්පනා කිරීමත් ය. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය උපදින්නට හේතු වන්නේ මේ කාරණා දෙකයි.
2.3.11.10
10. පින්වත් මහණෙනි, මේ වරදට පැමිණීම් (ආපත්ති) දෙකක් තියෙනවා. ඒ කවර ආපත්ති දෙකක්ද යත්? බරපතල නොවූ ආපත්තියත්, බරපතල ආපත්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ආපත්ති දෙක.
2.3.11.11
11. පින්වත් මහණෙනි, මේ වරදට පැමිණීම් (ආපත්ති) දෙකක් තියෙනවා. ඒ කවර ආපත්ති දෙකක්ද යත්? දුර්වල ආපත්තියත්, දුර්වල නොවූ ආපත්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ආපත්ති දෙක.
2.3.11.12
12. පින්වත් මහණෙනි, මේ වරදට පැමිණීම් (ආපත්ති) දෙකක් තියෙනවා. ඒ කවර ආපත්ති දෙකක්ද යත්? අසම්පූර්ණ ආපත්තියත්, සම්පූර්ණ ආපත්තියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ආපත්ති දෙක.
එකොළොස්වෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-3-11-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M