අංගුත්තර නිකාය

නවක නිපාතෝ

5. සාමඤ්ඤවග්ගෝ

5. සාමඤ්ඤ වර්ගය

9.1.5.1. සම්බාධ සූත්‍රය

කරදර බාධා ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත, පඤ්චාලචණ්ඩ දිව්‍යපුත්‍රයා විසින් මෙය පවසන ලද්දේ ය.

(ගාථාවකි)

‘මහා ප්‍රඥා ඇති බුදුරජාණෝ යම් ධ්‍යානයක් අවබෝධ කළ සේක් ද, හුදෙකලාවේ දැහැන් වඩන ශ්‍රේෂ්ඨ මුනිඳාණෝ ඒකාන්තයෙන් ම පංච කාමයන්හි ඇති බාධා කරදර මැද ඉඩ ප්‍රස්ථා දත් සේක.’

ආයුෂ්මත, බාධා කරදර යනු කුමක් ද? බාධා කරදර මැද ඉඩ ප්‍රස්ථා ලැබුවේ ය යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ කුමක් ද?”

“ආයුෂ්මත, මේ පංචකාම ගුණයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් බාධා කරදර යැයි වදාරණ ලද්දාහු ය. ඒ කවර පසක් ද යත්;

ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ ඇසින් දැක්ක යුතු වූ රූපයෝ ය. කනෙන් දත යුතු ශබ්දයෝ ය ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ ස්පර්ශයෝ ය.

ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් බාධා කරදර වශයෙන් වදාරණ ලද්දේ මේ පංච කාම ගුණයන් ය.

ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් පංච කාමයන්ගේ බාධා කරදර මැද ප්‍රථම ධ්‍යානය ඇති කරගැනීමට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි ධ්‍යානය පිණිස එහි ද බාධා කරදයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් විතර්ක විචාර නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් විතර්ක විචාරයන් සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් විතර්ක විචාරයන්ගේ බාධා කරදර මැද දෙවෙනි ධ්‍යානයට ඇති කරගැනීමට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි ධ්‍යානය පිණිස එහි ද බාධා කරදයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් ප්‍රීතිය නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් ප්‍රීතියට නොඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රීතියෙහි බාධා කරදර මැද තුන්වෙනි ධ්‍යානය ඇතිකර ගැනීම ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි ධ්‍යානය පිණිස එහි ද බාධා කරදයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් උපේක්ෂා සැපය නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සැපය ද ප්‍රහාණයෙන් ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් උපේක්ෂා සැපය නම් වූ බාධා කරදර මැද සිව්වෙනි ධ්‍යානය ඇති කරගැනීමට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි සමාපත්තිය පිණිස එහි ද බාධා කරදරයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් රූප සංඥා නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් රූප සංඥාවෙහි බාධා කරදර මැද ආකාසානඤ්චායතනයට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි සමාපත්තිය පිණිස එහි ද බාධා කරදරයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ආකාසානඤ්චායතනයෙහි බාධා කරදර මැද විඤ්ඤාණඤ්චායතනයට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි සමාපත්තිය පිණිස එහි ද බාධා කරදයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි බාධා කරදර මැද ආකිඤ්චඤ්ඤායතනයට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි සමාපත්තිය පිණිස එහි ද බාධා කරදයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත්නි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ආකිඤ්ඤායතනයෙහි බාධා කරදර මැද නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය. ඉදිරි සමාපත්තිය පිණිස එහි ද බාධා කරදයක් ඇත්තේ ය. එහි ඇති බාධා කරදරය කුමක් ද? යම් හෙයකින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වී නැද්ද, මෙය මෙහි ඇති බාධා කරදරය යි.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් බාධා කරදර මැද සියළු බාධා ඉක්ම ගිය නිරෝධ සමාපත්තියට ඇති ඉඩප්‍රස්ථා වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

සම්බාධ සූත්‍රය නිමා විය.

9.1.5.2. කායසක්ඛි සූත්‍රය

කායසක්ඛි භික්ෂුව ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘කායසක්ඛි, කායසක්ඛි’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් කායසක්ඛී භික්ෂුව ගැන වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. යම් යම් අයුරින් ඒ ධ්‍යානය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් කායසක්ඛී භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් විතර්ක විචාරයන් සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. යම් යම් අයුරින් ඒ ධ්‍යානය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් කායසක්ඛී භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ….(පෙ)…. සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. යම් යම් අයුරින් ඒ සමාපත්තිය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් කායසක්ඛී භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. යම් යම් අයුරින් ඒ අරහත්ඵල සමාපත්තිය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් කායසක්ඛී භික්ෂුව ගැන ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

කායසක්ඛි සූත්‍රය නිමා විය.

9.1.5.3. පඤ්ඤාවිමුත්ත සූත්‍රය

ප්‍රඥාවිමුක්ත භික්ෂුව ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘ප්‍රඥාවිමුක්ත, ප්‍රඥාවිමුක්ත’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඒ ධ්‍යානය ප්‍රඥාවෙන් ද දැන ගනියි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ප්‍රඥාවිමුක්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් විතර්ක විචාරයන් සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඒ ධ්‍යානය ප්‍රඥාවෙන් ද දැනගනියි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ප්‍රඥාවිමුක්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය. ….(පෙ)…. තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඒ සමාපත්තිය ප්‍රඥාවෙන් ද දැනගනියි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ප්‍රඥාවිමුක්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. යම් යම් අයුරින් ඒ අරහත්ඵල සමාපත්තිය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ද ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙන් ද එය දැනගනියි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ප්‍රඥාවිමුක්ත භික්ෂුව ගැන ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්ඤාවිමුත්ත සූත්‍රය නිමා විය.

9.1.5.4. උභතෝභාගවිමුත්ත සූත්‍රය

උභතෝභාගවිමුත්ත භික්ෂුව ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘උභතෝභාගවිමුත්ත, උභතෝභාගවිමුත්ත’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් උභතෝභාගවිමුත්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. යම් යම් අයුරින් ඒ ධ්‍යානය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙන් ද එය දැනගනියි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් උභතෝභාගවිමුත්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය. ….(පෙ)….

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. යම් යම් අයුරින් ඒ සමාපත්තිය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙන් ද එය දැනගනියි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් උභතෝභාගවිමුත්ත භික්ෂුව ගැන වදාරණ ලද්දේ ය.

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. යම් යම් අයුරින් ඒ අරහත්ඵල සමාපත්තිය ඇද්ද, ඒ ඒ අයුරින් එය කයෙන් ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙන් ද එය දැනගනියි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් උභතෝභාගවිමුත්ත භික්ෂුව ගැන ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

උභතෝභාගවිමුත්ත සූත්‍රය නිමා විය.

9.1.5.5. සන්දිට්ඨිකධම්ම සූත්‍රය

සන්දිට්ඨික ධර්මය ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘ධර්මය සන්දිට්ඨික යි, ධර්මය සන්දිට්ඨික යි’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය සන්දිට්ඨික යැයි වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ධර්මය සන්දිට්ඨික යැයි වදාරණ ලද්දේ ය. ….(පෙ)….

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් ධර්මය සන්දිට්ඨික යැයි ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

සන්දිට්ඨිකධම්ම සූත්‍රය නිමා විය.

9.1.5.6. සන්දිට්ඨිකනිබ්බාන සූත්‍රය

සන්දිට්ඨික නිවන ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘නිවන සන්දිට්ඨික යි, නිවන සන්දිට්ඨික යි’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන සන්දිට්ඨික යැයි වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් නිවන සන්දිට්ඨික යැයි වදාරණ ලද්දේ ය. ….(පෙ)….

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් නිවන සන්දිට්ඨික යැයි ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

සන්දිට්ඨිකනිබ්බාන සූත්‍රය නිමා විය.

9.1.5.7. නිබ්බාන සූත්‍රය

නිවන ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘නිවන, නිවන’ යැයි කියනු ලැබේ. ….(පෙ)….

9.1.5.8. පරිනිබ්බාන සූත්‍රය

පිරිනිවීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘පිරිනිවීම, පිරිනිවීම’ යැයි කියනු ලැබේ. ….(පෙ)….

9.1.5.9. තදංගනිබ්බාන සූත්‍රය

ඒ ඒ අංගයෙන් නිවීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘තදංගනිබ්බාන, තදංගනිබ්බාන’ යැයි කියනු ලැබේ. ….(පෙ)….

9.1.5.10. දිට්ඨධම්මනිබ්බාන සූත්‍රය

මෙලොවදී දකින නිවන ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘මෙලොව දී දකින නිවන, මෙලොව දී දකින නිවන’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙලොව දී දකින නිවන යැයි වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් මෙලොව දී දකින නිවන යැයි වදාරණ ලද්දේ ය. ….(පෙ)….

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් මෙලොව දී දකින නිවන යැයි ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

දිට්ඨධම්මනිබ්බාන සූත්‍රය නිමා විය.

පස්වෙනි සාමඤ්ඤ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සම්බාධ සූත්‍රය, කායසක්ඛී සූත්‍රය, පඤ්ඤාවිමුත්ත සූත්‍රය, උභතෝභාග සූත්‍රය, සන්දිට්ඨික සූත්‍ර දෙකය, නිබ්බාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, තදංග සූත්‍රය සහ දිට්ඨධම්මික සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

පළමුවෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M