යම් විනිශ්චයකරුවෙක් අසාධාරණ විදිහට නඩු තීන්දු දෙනවා නම්, ඔහුගේ විනිශ්චය තියෙන්නෙ ධර්මයේ පිහිටලා නෙවෙයි. නමුත් නුවණැති කෙනා සාධාරණ පැත්ත අසාධාරණ පැත්ත හොඳ හැටි හඳුනාගෙනයි විනිශ්චයක් දෙන්නෙ.
සාධාරණ විදිහට ධර්මානුකූලව නඩු හබවලදී තීන්දු ගන්නවා නම්, ධර්මයෙන් සුරැකෙන ඒ ප්‍රඥාවන්ත කෙනා, විනිශ්චයේදී ද ධර්මයේ පිහිටන බවයි කියන්ට තියෙන්නෙ.
(ජේතවනාරාමයේදී විනිසුරුවෙකු අරභයා වදාළ ගාථාවන්ය.)
පිරිස් මැද ව්‍යක්ත විදිහට මුඛරිව කතා බස් කළ පමණින් ඔහු නුවණැත්තෙක් වෙන්නෙ නෑ. නමුත් යම් කෙනෙක් කාටවත් බිය ඇති නොකරයි නම්, වෛරය ඇතිවෙන පංච දුෂ්චරිතයෙන් තොර නම්, අකුසලයෙන් දුරුවෙලා, නිර්භයව ඉන්නවා නම්, ඔහු තමයි සැබෑම නැණවතා.
(ජේතවනාරාමයේදී ඡබ්බග්ගිය භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් හැම තැනම බණ කියාගෙන ගියත්, එපමණකින් ධර්මධරයෙක් වෙන්නෙ නෑ. නමුත් ධර්මය ටිකක් හරි අහගෙන, ඒ ධර්මය තමා තුළින් දකිනවා නම්, ඒ ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද නැත්නම් ඔහු ඒකාන්තයෙන්ම ධර්මධරයෙක්.
(ජේතවනාරාමයේදී ඒකෝදාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යම්කිසි භික්ෂුවක් වයසට ගිහින් කෙස් ඉදුණු පමණින් ඒ හේතුව නිසා, ඔහුට ස්ථවිර කියන්ට බෑ. ඔහුගේ වයස මෝරලා ගියා විතරයි. දිරාගිය හිස් පුද්ගලයා කියලයි කිවයුතු වන්නේ.
යමෙක් තුළ සත්‍යයත්, ධර්මයත් තියෙනවා නම්, අහිංසක බවත්, සංවරකමත්, ඉන්ද්‍රිය දමනයත් තියෙනවා නම් ඇත්තෙන්ම ඔහු රාගාදී අකුසල් වමාරලා දාපු ප්‍රඥාවන්ත කෙනෙක්. අන්න ඒ භික්ෂුවටයි ‘ස්ථවිර’ කියා කිව යුත්තේ.
(ජේතවනාරාමයේදී ලකුණ්ඨක භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
කටහඬ මිහිරට තිබුණා කියලා, රූපය ලස්සනට තිබුණා කියලා, යහපත් වෙන්නෙ නෑ. ඔහු තුළ ඉරිසියාව, මසුරුකම, කපටිකම තියෙනවා නම්, ඔහු හොඳ කෙනෙක් වෙන්නෙ නෑ.
යම් කෙනෙක් ඔය දුර්වලකම් මුලින්ම නැතිකරලා දාලා නම් තියෙන්නෙ, ඔහු ඒ දුර්වලකම් වමාරලා දාපු ප්‍රඥාවන්තයෙක්. ‘යහපත් කෙනා’ කියලා කිව යුත්තේ ඒ පුද්ගලයාටයි.
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)
හොඳට හිස රැවුල් බාලා හිටියා කියලා, ශ්‍රමණයෙක් වෙන්නෙ නෑ. ඔහු තුළ සීලයක් නැත්නම්, බොරුම නම් කියන්නෙ, පාපී ආශාවන්වලින් යුක්ත වෙලා, ලෝභකමින් ම නම් ඉන්නෙ, ඔහු ශ්‍රමණයෙක් වෙන්නෙ කොහොමද?
යම් කෙනෙක් පොඩි දෙයක් වේවා, ලොකු දෙයක් වේවා, හැම පාපී අකුසලයක් ම සංසිඳුවා දැම්මොත්, ඒ පාපී අකුසල් සංසිඳවා දැමීම නිසයි, ඔහුට ‘ශ්‍රමණයා’ කියල කියන්නෙ.
(ජේතවනාරාමයේදී හත්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
කොපමණ කලක් පිණ්ඩපාතෙ කරගෙන, අනුන්ගෙන් ලැබෙන දේ වැළඳුවත්, ඒ හේතුව නිසා ඔහු භික්ෂුවක් වෙන්නෙ නෑ. පාපී දේට පුරුදු වෙලා ඉන්න තාක්, කෙනෙක් භික්ෂුවක් වෙන්නෙ නෑ.
යමෙක් මේ ශාසනය තුළ ගුණදම් දියුණු කරලා, අවබෝධයෙන්ම පින් පව් බැහැර කරලා, බඹසර හැසිරෙනවා නම්, නුවණින් යුක්තව ලෝකයේ හැසිරෙනවා නම්, අන්න ඔහුට තමයි භික්ෂුව කියන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා පිරිවැජි බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවන්ය.)
ප්‍රඥා රහිත කෙනා මෝඩ ස්වරූපයෙන් කතා බස් නොකොට හිටියා කියලා ඒ විදිහට මුනිවත රැක්කා කියලා, මුනිවරයෙක් වෙන්නෙ නෑ. නුවණැත්තා උතුම් දේ අරගන්නෙ, තරාදියකින් මැනලා ගන්නවා වගේ.
පාපී අකුසල් දුරු කරගත්තොත්, අන්න ඔහු තමයි මුනිවරයා. ඒ කරුණින්මයි ඔහු මුනිවරයෙක් වුණේ. ආධ්‍යාත්මික, බාහිර ලෝකය නුවණින් බෙදා විමසා අවබෝධ කරන නිසා, ඒ කරුණිනුත් ඔහුට මුනිවරයා කියනවා.
(ජේතවනාරාමයේදී අන්‍යාගමික තවුසන් අරභයා වදාළ ගාථාවන්ය.)
යමෙක් ප්‍රාණීන්ට හිංසා කරනවා නම්, ඔහුට ‘ආර්ය’ කියල නම තිබූ පමණින් ‘ආර්ය’ වෙන්නෙ නෑ. සියලු ප්‍රාණීන් කෙරෙහි අහිංසාවෙන් යුතු කෙනාටයි ‘ආර්ය’ කියලා කියන්නෙ.
(ජේතවනාරාමයේදී ආර්ය නම් බිලී වැද්දෙක් අරභයා වදාළ ගාථාවකි.)
වත් පිළිවෙත් කරලා, සිල් රැක්ක පමණින්, බණ දහම් ඉගෙන ගෙන බහුශ්‍රැත වෙච්ච පමණින්, සමාධියක් ඇතිකරගත්තු පමණින්, දුර ඈත වන සෙනසුන්වල සිටිය පමණින් ජීවිතය සම්පූර්ණයි කියලා හිතන්න එපා!
පින්වත් භික්ෂුව, පෘථග්ජනයන්ට ලබාගන්ට බැරි, ආර්යයන් වහන්සේලා විතරක් ලබන නෙක්ඛම්ම සුවයක් තියෙනවා. ‘මමත් ඒක ලබනවා’ කියල හිතන්ට ඕනෙ. අරහත් ඵලයට පත්වන තෙක්ම මේ භවය ගැන විශ්වාස කරන්ට එපා!
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
ධර්මයේ පිහිටීම ගැන වදාළ කොටස නිමා විය.
(ධම්මට්ඨ වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-19/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M