පින්වත් බ්‍රාහ්මණය, හිතට වීරිය අරගෙන මේ තණ්හා ගඟ වියළවා දමන්න. මේ කාමාශාව දුරු කරන්න. පින්වත් බ්‍රාහ්මණය, මේ සංස්කාරයන්ගේ ක්‍ෂයවීම නුවණින් අවබෝධ කරගෙන, අකත නම් වූ නිර්වාණය අවබෝධ කළ තැනැත්තෙක් වෙන්න.
(ජේතවනාරාමයේදී ශ්‍රද්ධා බහුල බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි.)
නිවන් මග වඩන බ්‍රාහ්මණයා සමථ විදර්ශනා දෙකේ කෙළවරටම ගිය දවසට මේ හැම බන්ධනයක්ම නැතිවෙලා යනවා. යථාර්ථය අවබෝධ වීම නිසා අරහත්වයට පත්වෙනවා.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තිස් නමක් අරභයා වදාළ ගාථාවකි.)
යම් භික්ෂුවකට මෙතෙර නම් වූ ආධ්‍යාත්මික ආයතනත්, එතෙර නම් වූ බාහිර ආයතනත් යන මේ එතෙර මෙතෙර දෙකටම බැඳී ගිය කිසිවක් නැත්නම්, ඔහු කෙලෙස් පීඩා දුරු කළ කෙනෙක්. කෙලෙසුන්ගෙන් වෙන්වෙච්ච කෙනෙක්. ඔහුටයි මම කියන්නෙ සැබෑම බ්‍රාහ්මණයා කියලා.
(ජේතවනාරාමයේදී වසවත් මරු අරභයා වදාළ ගාථාවකි.)
ඔහු ධ්‍යාන වඩනවා නම්, කෙලෙස් දූවිලිවලින් තොර නම්, වැඩිය යුතු නිවන් මග සම්පූර්ණ කරලා නම්, ආශ්‍රව රහිත නම්, උත්තම අර්ථය වූ ඒ අමා නිවනට පත්වෙලා නම්, ඔහුටයි මම කියන්නෙ සැබෑම බ්‍රාහ්මණයා කියලා.
(ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි.)
දවාලටයි හිරු බබලන්නේ. රාත්‍රියටයි සඳු බබලන්නේ. සේනාවෙන් සන්නද්ධ වෙලා, ආභරණවලින් සැරසුණාමයි රජු බබලන්නේ. ධ්‍යාන වඩනකොටයි සැබෑම බ්‍රාහ්මණයා බබලන්නේ. නමුත් දිවා රාත්‍රී හැමතිස්සෙම බුදු සමිඳුන් තමයි තේජසින් බබලන්නේ.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
තම සිතින් පව් බැහැර කරපු නිසයි බ්‍රාහ්මණයා කියන්නේ. ධර්මයේ හැසිරිලා, යහපතේ යෙදෙන නිසයි, ශ්‍රමණයා කියන්නෙ. තමන් තුළ තිබුන කෙලෙස් දුරුකරන නිසයි පැවිද්දා කියන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා පැවිද්දෙකු අරභයා වදාළ ගාථාවකි.)
අරහත් මුනිවරයා නම් වූ සැබෑම බ්‍රාහ්මණයාට පහර දෙන්ට හොඳ නෑ. අරහත් බ්‍රාහ්මණයා කෝපය පිටකරන ස්වභාවයෙන් තොර කෙනෙක්. අරහත් බ්‍රාහ්මණයාට පහර දෙන කෙනාට නින්දා වේවා! අරහත් බ්‍රාහ්මණයා ගැන කෝපය මතුකරන කෙනාටත් නින්දා වේවා!
අරහත් බ්‍රාහ්මණයා තුළ ඇති ඉවසීමේ ගුණය පොඩි දෙයක් නොවෙයි. කෝප වන පුද්ගලයා කෝප සිත් ඇතිකර ගැනීමෙනුයි ප්‍රීති වෙන්නෙ. අරහත් භික්ෂුව ඔහුගේ ඒ හිංසාකාරී සිත වළක්වනවා. යම් යම් කරුණකින් ඒ ක්‍රෝධ සිත් ඇති පුද්ගලයාගේ, ඒ ක්‍රෝධ සිත වළක්වනවා නම්, ඒ කාරණයෙන් ඔහුට ලැබෙන්න තියෙන දුකත් වැළකෙනවා.
(ජේතවනාරාමයේදී සැරියුත් මහ තෙරණුවන් අරභයා වදාළ ගාථාවන්ය.)
යම් කෙනෙකුට කය, වචනය, මනස යන තිදොරින් අකුසල් කිරීමක් නැත්නම්, ඔය තැන් තුනෙන්ම සංවර වෙලා නම් ඉන්නෙ, ඔහුට තමයි මම කියන්නේ සැබෑම බ්‍රාහ්මණයා කියලා.
(ජේතවනාරාමයේදී මහා ප්‍රජාපතී ගෞතමී භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි.)
සම්මා සම්බුදු රජුන් විසින් මනාකොට වදාළ ධර්මය තමන් ඉගෙන ගත්තෙ යම් කෙනෙකුගෙන් නම්, තමන්ට ධර්මය ඉැගන්වූ ඒ ගුරුවරයාට ඔහු ඉතා හොඳින් වඳිනවා. බ්‍රාහ්මණයෙක් ගින්නට වඳිනවා වගේ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
ජටා බැන්දා කියලවත්, ගෝත්‍රය නිසාවත්, ඉපදුණ ජාතිය නිසාවත්, බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ. යමෙක් තුළ ආර්ය සත්‍යයත්, ධර්මයත්, පිරිසිදු ජීවිතයත් තියෙනවා නම්, ඔහු තමයි සැබෑම බ්‍රාහ්මණයා.
(ජේතවනාරාමයේදී ජටිල බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි.)
අඥාන තැනැත්ත, ඔය ජටා බැඳගෙන ඇති පලේ මොකක්ද? ඔය අඳුන් දිවි සමෙන් ඇති පලේ කුමක්ද? තමන්ගේ ජීවිතේ ඇතුළේ කෙලෙස් පිරිලා තියෙද්දී බාහිර දේමයි ඔපදමන්නෙ.
(විසාලා මහනුවරදී කුහක බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි.)
සොහොනින් ගත්තු රෙදිවලින් මහපු සිවුරු තමයි පොරවාගෙන ඉන්නෙ. ශරීරයත් හරිම කෙට්ටුයි. නහර වැල් ඉලිප්පිලා තියෙනවා. හුදෙකලාවම වනයේ ඇතුළට ගිහින් භාවනා කරනවා. මං බ්‍රාහ්මණයා කියල කියන්නෙ අන්න ඒ පුද්ගලයාටයි.
(ගිජුකුළු පව්වේදී කිසාගෝතමී භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි.)
බැමිණියකගේ කුසේ වැඩිලා, ඒ මව් කුසින් බිහි වූ පමණින් ඔහුට මම බ්‍රාහ්මණයා කියන්නේ නෑ. ‘භවත’ ‘භවත’ කිය කියා ගියාට ඔහු කෙලෙස් සහිත කෙනෙක්. ‘භවත’ කියන්නේ නමට විතරයි. යමෙක් තුළ කෙලෙස් නැත්නම්, උපාදාන නැත්නම්, මං බ්‍රාහ්මණයා කියල කියන්නෙ අන්න ඒ පුද්ගලයාටයි.
(සැවැත් නුවරදී එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් සියලු බන්ධන සිඳලා, තැති ගැනීමක් නැතුව ඉන්නවා නම්, කෙලෙස් ඉක්මවා ගිය, කෙලෙස් සමඟ එක් නොවුණ ඒ නිකෙලෙස් තැනැත්තාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී උග්ගසේන සිටුවරයා අරභයා වදාළ ගාථාවකි.)
ක්‍රෝධය නම් වූ ලණුව කපලා දාලා තෘෂ්ණාව නම් වූ දැඩි රැහැණත් කපලා දාලා, මිථ්‍යා දෘෂ්ටි නම් වූ මහා දම්වැලත් සිඳලා දාලා, අවිද්‍යාව නම් වූ දොර අගුළුත් කඩලා දාලා ආර්ය සත්‍ය අවබෝධ කළ මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී බමුණන් දෙදෙනෙකු අරභයා වදාළ ගාථාවකි.)
බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දීත්, කායික වධබන්ධන කරද්දීත් ඒ කිසි දේකට කිපෙන්නෙ නැතුව ඉවසනවා නම්, ඉවසීම ම බලය කරගෙන ඉන්න අරහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි.)
ඔහුට කේන්ති යන්නෙ නෑ. වත පිළිවෙතිනුත් යුක්තයි. සීල සම්පන්නයි. තණ්හාවෙනුත් තොරයි. ඉන්ද්‍රිය දමනයෙන් යුක්තයි. අන්තිම සිරුර තමයි දරාගෙන ඉන්නේ. අන්න ඒ රහත් මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
නෙළුම් කොළයක නොරැඳෙන වතුර බිංදුවක් වගේ, ඉඳිකටු තුඬේ කෙළවර නොපිහිටන අබ ඇටයක් වගේ, යම් කෙනෙක් කාමයන් තුළ පිහිටන්නෙ නැත්නම්, ඒ තැනැත්තාටයි මම සැබෑම බ්‍රාහ්මණයා කියන්නෙ.
(ජේතවනාරාමයේදී උප්පලවණ්ණා භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් තමන්ගේ මේ සසර දුක, මේ ජීවිතය තුළදීම අවසන් වන බව දන්නවා නම්, කෙලෙස් බර වීසි කරපු, කෙලෙසුන් හා එක් නොවුණ අන්න ඒ අරහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නෙ.
(සැවැත් නුවරදී එක්තරා බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවකි.)
ඒ කෙනාට ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. හරිම බුද්ධිමත්. මග නොමග තෝරාගන්ටත් හරිම දක්ෂයි. ජීවිතයක ලැබිය යුතු උතුම්ම අර්ථය වන අරහත්වයටත් පත්වෙලයි ඉන්නෙ. අන්න ඒ පුද්ගලයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ගිජුකුලු පව්වේදී ඛේමා භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි.)
ගිහි පැවිදි කා සමඟවත් ඔහු තුළ කිසි බැඳීමක් නෑ. ඔහු තෘෂ්ණා රහිතවයි ඉන්නෙ. අල්පේච්ඡයි. අන්න ඒ පුද්ගලයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී පබ්භාරතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
තැති ගන්න, තැති නොගන්න, සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් දඬු මුගුරු අත්හැරපු, තමනුත් සතුන් නොමරණ, අනුන් ලවාත් නොමරවන, ඒ තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
විරුද්ධ වෙන ස්වභාවයෙන් යුතු මහජනයා අතර කා සමඟවත් විරුද්ධ නොවී, දඬු මුගුරු ගත් මහජනයා අතර, නිවී ගිය සිත් ඇති, බැඳුණු සිත් ඇති මහජනයා අතර නොබැඳුණු සිතින් යුතු ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී සාමණේර හතර නමක් අරභයා වදාළ ගාථාවකි.)
රාගයත්, ද්වේෂයත්, මානයත්, ගුණමකුකමත්, හිඳිකටු තුඩ අග නොරැඳී වැටෙන අබ ඇටයක් වගේ, යම් කෙනෙකුගේ සිතින් බැහැර වුණා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී මහාපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
කර්කශ වචන කියන්නෙ නැත්නම්, දෙලොව දියුණුව සළසන, මිහිරි වූ යහපත් වූ සත්‍ය වචන කියනවා නම්, කිසි කෙනෙකුව කෝප ගන්වන්නෙ නැත්නම්, අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නෙ.
(ජේතවනාරාමයේදී පිළින්දිවච්ඡ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් ලෝකයේ ඇති දිග හෝ කෙටි හෝ කුඩා හෝ ලොකු හෝ ලස්සන හෝ කැත හෝ නුදුන් දෙයක් නොගනී නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මං බ්‍රාහ්මණයා කියන්නෙ.
(ජේතවනාරාමයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
යමෙක් තුළ මෙලොව ගැනවත්, පරලොව ගැනවත් ආසාවක් නැත්නම්, ආශා රහිත නම්, කෙලෙසුන්ගෙන් තොර නම්, ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යමෙක් තුළ තෘෂ්ණාව නැත්නම්, අවබෝධයට පැමිණීම නිසා සැකයෙන් තොර නම්, ඒ අමා නිවනටත් පත්වෙලා නම් ඉන්නෙ, අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී මුගලන් තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යමෙක් මේ ජීවිතය තුළදීම පිනත් පවත් කියන දෙකම ප්‍රහාණය කළා නම්, ඔහු ශෝක රහිත කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. පිරිසිදු කෙනෙක්. ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
ඔහු පුන්සඳක් වගේ නිර්මලයි. පිරිසිදුයි. අතිශයින්ම ප්‍රසන්නයි. කැළඹිලි නෑ. භව තෘෂ්ණාව නැතිකරලයි ඉන්නෙ. අන්න ඒ රහත් භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී චන්දාභ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යමෙක් මේ කෙලෙස් මඩවගුරෙන් යුක්ත දුෂ්කර ගමනින් එතෙර වුණා නම්, මායා – මෝහ ඇති සංසාරය ඉක්මවා ගියා නම්, ඔහු එතෙර වුණ කෙනෙක්. පරතෙරට ගිය කෙනෙක්. ධ්‍යාන වඩන කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. සැක රහිත කෙනෙක්. කිසිවකට නොබැඳී නිවී ගිය කෙනෙක්. අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(කුණ්ඩධාන වනයේදී සීවලී තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් මෙහි කාමයන් අත්හැරලා, අනගාරික ශාසනේ පැවිදි වෙලා, කාම තණ්හා, භව තණ්හා ආදිය නැති කළා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී සුන්දර සමුද්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් මෙහි කාමයන් කෙරෙහි ඇති තණ්හාව අත්හැරලා දාලා, අනගාරික ශාසනේ පැවිදි වෙලා, භව තෘෂ්ණාව ප්‍රහාණය කළා නම්, ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී ජෝතිය තෙරුන් හා ජටිල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යමෙක් මිනිස් ලොව බැඳීම අත්හැරලා, දෙව්ලොවට ඇති බැඳීමත් ඉක්මවා ගියා නම්, හැම කෙලෙස් බැඳීමෙන්ම වෙන් වුණා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
කාමයට ඇති ඇල්මත් අත්හැරලා, භාවනාවේ නොඇලෙන ගතියත් අත්හැරලා, සිසිල් වෙලා, නිකෙලෙස් වුණා නම්, හැම ලෝකයක්ම මර්ධනය කරපු ඒ වීරියවන්ත රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් සත්වයන්ගේ චුතියත් උපතත් සියලු ආකාරයෙන්ම අවබෝධ කලා නම්, කිසි භවයක සිත ඇලෙන්නෙ නැත්නම්, සුන්දර නිවන් මග ගමන් කළා නම්, ආර්ය සත්‍ය අවබෝධ කළා නම්, අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
යම් කෙනෙක් ගිය මග දෙවියන්ටවත්, මිනිසුන්ටවත්, ගාන්ධර්වයන්ටවත්, දැනගන්නට බැරි නම්, ආශ්‍රව රහිත වූ ඒ රහතන් වහන්සේටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී වංගීස තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
යමෙකුට අතීතය ගැන හෝ, අනාගතය ගැන හෝ වර්තමානය ගැන හෝ කිසි ක්ලේශයක් නැත්නම්, ඒ තැනැත්තා නිකෙලෙස් කෙනෙක්. උපාදාන රහිත කෙනෙක්. මම ඒ රහතන් වහන්සේටයි බ්‍රාහ්මණයා කියන්නේ.
(වේළුවනයේ දී ධම්මදින්නා භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි.)
ඔහු ආජානීය වෘෂභයෙක් වගේ උතුම් කෙනෙක්. වීරියවන්ත කෙනෙක්. මහා ඉසිවරයෙක්. මර සෙනඟ පරදවා ජයගත් කෙනෙක්. නිකෙලෙස් කෙනෙක්. කෙලෙස් සෝදාහළ කෙනෙක්. ආර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්. අන්න ඒ රහත් මුනිඳුටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් තමන් ගත කළ පෙර ජීවිත ගැන අවබෝධ කළා නම්, ස්වර්ගයත් අපායත් දිවැසින් දකිනවා නම්, ඒ වගේම ඉපදීම නැති කරලා අරහත්වයටත් පත්වුණා නම්, ඒ සුවිශේෂ ඤාණ ලබාගත්තු ඔහු මුනිවරයෙක්. සියලු කෙලෙස් නසා, නිවන් මග සම්පූර්ණ කරගත්තු කෙනෙක්. අන්න ඒ රහත් මුනිවරයාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.
(සැවැත් නුවරදී දේවංගික බ්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
බ්‍රාහ්මණයා ගැන වදාළ කොටස නිමා විය.
(බ්‍රාහ්මණ වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-26/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M