යුධ බිමට බැසගත්ත හස්ති රාජයෙකුට, තමන්ට වදින ඊතල පහරවල් හොඳට ඉවසගෙන ඉන්ට පුළුවනි. මමත් අන්න ඒ වගේ කෙනෙක්. අනුන්ගෙන් ලැබෙන කර්කශ වචන මං ඉවසනවා. මේ ලෝකයේ බොහෝ දෙනෙක් දුස්සීලයි.
බොහෝ දෙනෙක් රැස්වෙන තැනට, හොඳට දමනය වුණ සතෙකුව ගෙනියන්ට පුළුවනි. රජ්ජුරුවො නගින්නෙත් දමනය වුණ සතෙකුගේ පිටේ ම යි. යමෙක් අනුන්ගේ කර්කශ වචන ඉවසයි නම්, ඔහු මිනිසුන් අතර දමනයට පත් වූ ශ්‍රේෂ්ඨ කෙනෙක්.
අශ්වතරයොත්, ආජානීය අශ්වයොත්, සෛන්ධව අශ්වයොත්, ඇත්තු, මහා හස්තිරාජයො, දමනය වුණාම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. නමුත් තමන්ව දමනය කරගැනීම ඒ හැමදේකටම වඩා ශ්‍රේෂ්ඨයි.
(කොසඹෑ නුවරදී මාගන්දියාගේ නින්දා අපහාස අරභයා වදාළ ගාථාවන්ය)
තමන් නොගිය දිශාව වූ ඒ අමා නිවන වෙත ඔය වාහනවලින් යන්ට බෑ. තමාව මනාකොට දමනය කරගෙන දමනය වූ සිතින් ම තමයි යන්ට තියෙන්නෙ.
(සැවැත් නුවරදී හස්ති ශිල්ප දත් තෙරනමක් අරභයා වදාළ ගාථාවකි)
ධනපාල කියල ඇතෙක් හිටියා. මේ මද වැගිරෙන හස්තිරාජයාව කිසිම දේකින් පාලනය කරගන්ට බෑ. තමන්ගේ මව් ඇතින්න සිටින වනාන්තරයමයි සිහි කර කර ඉන්නෙ. රාජ භෝජන කිසිවක් අනුභව කරන්නෙ නෑ. මව් ගුණම සිහිකරමින් මවට උපස්ථාන කිරීමට කල්පනා කර කර හිටියා.
(සැවැත් නුවරදී එක්තරා මහලු බමුණෙකුගේ දරුවන් අරභයා වදාළ ගාථාවකි)
යම් කෙනෙක් හොඳට කාලා බීලා, නින්දටම ඇලී ඉන්නවා නම්, ඒ මේ අත පෙරලි පෙරලී නිදනවා නම්, ඔහු ඌරුබත් කාලා තරවෙච්ච මහ ඌරෙක් වගේ. ඒ අඥාන තැනැත්තා ආයෙ ආයෙමත් ගර්භාෂයකට එනවා.
(ජේතවනාරාමයේදී කොසොල් රජු අරභයා වදාළ ගාථාවකි)
ඉස්සර මේ හිත හිතු මනාපයට අරමුණුවලට කැරකි කැරකි ගියා. කැමති පරිද්දෙන් සැප සේ ඇවිද ඇවිද ගියා. නමුත් අද මං යෝනිසෝ මනසිකාරය නමැති හෙණ්ඩුව අතට අරගෙන, මද කිපුණු හස්තිරාජයෙක්ව දමනය කරනව වගේ, මේ සිත පවින් වළක්වනවා.
(ජේතවනාරාමයේදී සානු සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි)
අප්‍රමාදයටමයි ඇලෙන්ට ඕනෙ. තමන්ගේ හිතමයි හොඳට රැකගන්ට ඕනෙ. මඩ ගොඬේ එරුණ ඇතෙක් මහත් වීරියකින්, මහත් උත්සාහයකින් ගොඩ එනවා වගේ මේ කෙලෙස් මඩ ගොහොරුවෙන් ගොඩට එන්ට ඕන.
(සැවැත් නුවරදී බද්ධේරක හස්තිරාජයා අරභයා වදාළ ගාථාවකි)
ඉදින් තැනට සුදුසු නුවණ ඇති, ප්‍රඥාවන්ත, යහපත් හැසිරීම් ඇති මිත්‍රයෙකුව ඇසුරට ලැබෙනවා නම්, හැම කරදරයක්ම මැඩගෙන, සිහි නුවණින් යුක්තව ඔහු සමඟ සතුටින් කල් ගෙවන්ට ඕනෙ.
යම් හෙයකින් තැනට සුදුසු ප්‍රඥා ඇති, යහපත් හැසිරීම් ඇති තමා සමඟ වාසය කරන්ට සුදුසු බුද්ධිමත් මිත්‍රයෙක්ව මුණගැහෙන්නෙ නැත්නම්, ජයගත්තු රට අත්හැරලා යන රජෙක් වගේ, රැලෙන් වෙන් වෙලා, වනයේ තනියම ජීවත්වෙන මාතංග හස්තිරාජයා වගේ තනියමයි ඉන්ට ඕනෙ.
තනියම ඉන්න එකමයි ශ්‍රේෂ්ඨ. පින් පව් විශ්වාසයක් නැති අඥානයින් සමඟ ආශ්‍රයක් ඕනෙ නෑ. තනියම ඉන්න කොට පව් කෙරෙන්නෙ නෑ. රැලෙන් වෙන්වෙච්ච මාතංග හස්තියා රැලත් සමඟ ඉන්ට උත්සාහයක් නැතුව, වනාන්තරේ තනියම ඉන්නවා වගේ තනියමයි ඉන්ට ඕනෙ.
(කොසඹෑ නුවර දී පන්සියයක් තෙරවරුන් අරභයා වදාළ ගාථාවන්ය)
උපකාරයක් ඕන වෙලාවට ඉදිරිපත් වන යාළුවො තමයි සැපය. ලද දෙයින් සතුටුවීමත් සැපයක්. ජීවිතය අවසන් වන විට පින තමයි සැපයට තියෙන්නෙ. සියලු සංසාර දුක් නැතිකර දැමීමත් සැපයකි.
මේ ලෝකයේ මවට සැලකීම සැපයකි. පියාට සැලකීම සැපයකි. ශ්‍රමණයන්ට සැලකීමත් සැපයකි. රහතුන්ට සැලකීමත් සැපයකි.
වයසට යනකල්ම සිල් රැකීම තමයි සැපය. තිසරණය තුළ ශ්‍රද්ධාව ස්ථිරව පිහිටීම තමයි සැපය. ආර්ය සත්‍ය අවබෝධය ඇතිවීම ම යි සැපය. පව් නොකිරීම ම යි සැපය.
(හිමාල වනයේදී වසවත් මරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
හස්තිරාජයා ගැන වදාළ කොටස නිමා විය.
(නාග වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-23/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M