ඛුද්දක නිකාය

ථේරී ගාථා

14. තිංස නිපා​තෝ

14. තිස්වැනි නිපාතය

30.1. ජීවකම්බවනික සුභාථේරීගාථා

30.1. ජීවක අඹ වනයේ සුභා තෙරණියගේ ගාථා

365. ජීවකම්බවනං රම්මං ගච්ඡන්තිං භික්ඛුනිං සුභං,
ධුත්තකෝ සන්නිවාරේසි තමේනං අබ්‍රවී සුභා.

365. එදා සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය ඇතුලේ යමින් සිටියා. එතකොට සල්ලාල මිනිහෙක් ඇවිත් ඇගේ ගමන් මාර්ගය හරස් කරල හිටගත්ත. සුභා තෙරණිය ඔහුට මෙහෙම කිව්වා.

366. කිං තේ අපරාධිතං මයා යං මං ඕවරියාන තිට්ඨසි,
න හි පබ්බජිතාය ආවුසෝ පුරිසෝ සම්ඵුසනාය කප්පති.

366. ආයුෂ්මත, මං ඔබට මොකක්ද කරපු වැරැද්ද? මං යන ගමන් මාර්ගය අවුරාගෙන ඉන්නෙ ඇයි? මහණ වෙච්ච තැනැත්තියක් විසින් පිරිමියෙක් ස්පර්ශ කිරීම කැප දෙයක් නම් නොවේ.

367. ගරුකේ මම සත්ථුසාසනේ යා සික්ඛා සුගතේන දේසිතා,
පරිසුද්ධපදං අනංගණං කිං මං ඕවරියාන තිට්ඨසි.

367. මං ශාස්තෘ ශාසනය ගැන ඉතා ම ගෞරවයෙන් ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට සිල් පද කියා දීල තියෙන්නෙ. මං ඒ සිල්පද පිරිසිදු විදිහට ආරක්ෂා කරනවා. මං ගෙවන්නෙ නිකෙලෙස් ජීවිතයක්. ඉතින් මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?

368. ආවිලචිත්තෝ අනාවිලං සරජෝ වීතරජං අනංගණං,
සබ්බත්ථ විමුත්තමානසං කිං මං ඕවරියාන තිට්ඨසි.

368. ඔබට තියෙන්නෙ කැළඹුණු සිතක්. මට තියෙන්නෙ නොකැළඹුණු සිතක්. ඔබ කෙලෙස් සහිත කෙනෙක්. එහෙත් මං කෙලෙස් රහිත, කෙලෙස් තියෙන හැම දේකින්ම නිදහස් වුණ කෙනෙක්. ඉතින් එබඳු මං යන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?

369. දහරා ච අපාපිකා චසි කිං තේ පබ්බජ්ජා කරිස්සති,
නික්ඛිප කාසාය චීවරං ඒහි රමාමසේ පුප්ඵීතේ වනේ.

369. (සල්ලාලයා) නෑ. ඔයා තවමත් තරුණ යි. ලාමක නෑ. ඔය මහණ ජීවිතෙන් මොනවා කරන්ට ද? පැත්තකට දමන්න ඔය කසාවත. එන්න, මේ මල් පිපී ගිය වනාන්තරේ අපි කම් සැප විඳිමු.

370. මධුරඤ්ච පවන්ති සබ්බසෝ කුසුමරජේන සමුට්ඨිතා දුමා,
පඨමවසන්තෝ සුඛෝ උතු ඒහි රමාමසේ පුප්ඵීතේ වනේ.

370. හැම තැන ම හමා යන්නෙ මිහිරි සුවඳ තියෙන සුළඟ. මේ රුක් පඳුරු තියෙන්නෙ මල් රේණුවලින් හැදුණා වගේ. තව ම මේ වසන්ත සෘතුවේ මුල් කාලෙ. හරි ම සනීප දේශගුණයක්. ඉතින් එන්න, අපි මේ මල් පිපී ගිය වනාන්තරේ කම් සැප විඳිමු.

371. කුසුමිතසිඛරාව පාදපා අභිගජ්ජන්තිව මාලුතේරිතා,
කා තුය්හං රති භවිස්සති යදි ඒකා වනමෝතරිස්සසි.

371. අතු අග ලස්සනට මල් පිපිලා. සුළඟින් තාලෙට සෙලවි සෙලවි තියෙන්නෙ සිංදු කියනවා වගේ. ඉතින් තනිපංගලමේ වනාන්තරයට ආපු ඔයා ආස කරන්නෙ මොනවට ද?

372. වාළමිගසංඝසේවිතං කුඤ්ජරමත්තකරේණුලෝලිතං,
අසහායිකා ගන්තුමිච්ඡසි රහිතං භිංසනකං මහාවනං.

372. මෙහෙ වන සතුන් ඉන්නව. මද කිපුන ඇත්තු ඉන්නවා. ඇතින්නියො ඉන්නවා. මිනිස්සු කවුරුත් නෑ. ඉතින් මේ භයානක වනාන්තරේ තනිපංගලමේ යන්න ද ඔයා කැමැති?

373. තපනීයකතාව ධීතිකා විචරසි චිත්තරථේව අච්ඡරා,
කාසිකසුඛුමේහි වග්ගුභි සෝභසි වසනේහි නූපමේ.

373. ඔයා ගැන උපමා කියන්ටත් බෑ. සිනිඳු කසී සළුවෙන් සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ ඉන්න දිව්‍ය අප්සරාවක් වගේ.

374. අහං තව වසානුගෝ සියං යදි විහරේමසේ කානනන්තරේ,
න හි චත්ථි තයා පියතරෝ පාණෝ කින්නරිමන්දලෝචනේ.

374. ඇත්තෙන් ම මං ඔයාට වශී වුණා. අපි මේ වනාන්තරේ එකතු වෙලා ඉඳිමු. ඔයාට තියෙන්නෙ ලස්සන කිඳුරියක ගේ මඳලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිල ගිය වෙන කෙනෙක් මට නෑ.

375. යදි මේ වචනං කරිස්සසි සුඛිතා ඒහි අගාරමාවස,
පාසාදනිවාතවාසිනී පරිකම්මං තේ කරොන්ති නාරියෝ.

375. ඉතින් ඔයා මං කියන දේ කරනවා නම්, අපේ ගෙදර යමු. අපි සතුටින් ඉඳිමු. හොඳට ජනේල තියෙන සුන්දර ගෙයක් ලැබෙනවා ඔයාට. ඔයාට උපස්ථාන කරන්න කාන්තාවෝ ත් ඉන්නවා.

376. කාසිකසුඛුමානි ධාරය අභිරෝහේහි ච මාලවණ්ණකං,
කඤ්චනමණිමුත්තකං බහුං විවිධං ආභරණං කරෝමි තේ.

376. එතකොට ඔයාට පුළුවන් සිනිඳු කසී සළු පොරවන්ට. මල් සුවඳ විලවුන්වලින් සිරුර සරසන්ට. රන් මුතු මැණික්වලින් කරපු ආභරණවලින් සැරසෙන්ට.

377. සුධෝතරජපච්ඡදං සුභං ගෝණකතූලිත සන්ථතං නවං,
අභිරුහ සයනං මහාරහං චන්දනමණ්ඩිත සාරගන්ධිකං.

377. ඒ නිවසෙ තියෙනව හොඳට සෝදල දූවිලි ඉවත් කරපු උඩු වියන් තියෙන, අලුත් ලොම්වලින් කරපු ඇඳ ඇතිරිලි දාලා, හරිම සනීප මෙට්ටයක් දාල සඳුන් ලීයෙන් කරවපු ඇඳක්. ඔයාට පුළුවන් ඒ ඇඳේ සනීපෙට නිදාගන්ට.

378. උප්පලඤ්ච උදකතෝ උග්ගතං යථා තං අමනුස්ස සේවිතං,
ඒවං තුවං බ්‍රහ්මචාරිනී සකේසු අංගේසු ජරං ගමිස්සසි.

378. දැන් මේ මොකක් ද? දැන් ඔයා ගේ ජීවිතේ රාස්සයෙක් අරක් ගත්ත, මහනෙල් මල් පිපිච්ච විලක් වගේ. ඔයා ගේ ඔය බ්‍රහ්මචාරී සීලෙ නිසා ඔය ශරීරය කවුරුවත් පරිභෝග නොකර ම ජරාවට පත්වෙලා යාවි.

379. කිං තේ ඉධ සාරසම්මතං කුණපපූරම්හි සුසානවඩ්ඪනේ,
භේදනධම්මේ කලේබරේ යං දිස්වා විමනෝ උදික්ඛසි.

379. (සුභා) කුණු ගොඩවල් පිරිල තියෙන මේ ශරීරය ගැන, අමු සොහොන ම පුරවන මේ ශරීරය ගැන, ඔබ ඔය විදියට සාර වශයෙන් දකින්නෙ කොහොම ද? බිඳී යන ස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකින කොට මට නම් ඇතිවෙන්නෙ කලකිරීමමයි.

380. අක්ඛීනි ච තුරියාරිව කින්නරියාරිව පබ්බතන්තරේ,
තව මේ නයනානුදික්ඛිය භිය්‍යෝ කාමරතී පවඞ්ඪති.

380. (සල්ලාලයා) ඔයා ගෙ ඇස් දෙක මුව අඟනක ගේ වගේ ලස්සනයි. කඳු අතරේ ඉන්න කිඳුරියකගේ වගේ ලස්සනයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාව ම යි.

381. උප්පලසිඛරෝපමානි තේ විමලේ හාටකසන්නිභේ මුඛේ,
තව මේ නයනානුදික්ඛිය භිය්‍යෝ කාමගුණෝ පවඞ්ඪති.

381. ඔයා රත්තරනින් කරපු රූපයක් වගෙයි. ඔය මුහුණේ තිබෙන ලස්සන ඇස් දෙක රතු මහනෙල් පෙති වගෙයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට, මගේ හිතේ ඇතිවෙන්නෙ ආශාව ම යි.

382. අපි දූරගතා සරම්හසේ ආයතපම්හේ විසුද්ධදස්සනේ,
න හි චත්ථි තයා පියතරෝ නයනා කින්නරිමන්දලෝචනේ.

382. දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියක ගේ වගේ මඳක් පිබිදුණු ඇස් ඇති ඔයා, කොයිතරම් දුර ගිය ත් මට ඔය ඇස් දෙක මතක් වෙනවා. මං ඔය ඇස් දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ.

383. අපථේන පයාතුමිච්ඡසි චන්දං කීළනකං ගවේස්සසි,
මේරුං ලංඝේතුමිච්ඡසි යෝ ත්වං බුද්ධසුතං මග්ගයසේ.

383. ආයුෂ්මත, ඔබ වැරදි පාරකයි යන්ට හදන්නෙ. ඔබ සඳමඬල යි කෙළි බඩුවක් කරගන්ට හදන්නෙ. ඔබ මහමේරු පර්වතේ උඩින් පැනල යන්ට යි හදන්නෙ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදුරජාණන් වහන්සේ ගේ දියණියක්.

384. නත්ථි ලෝකේ සදේවකේ රාගෝ යත්ථපි’දානි මේ සියා,
නපි නං ජානාමි කීරිසෝ අථ මග්ගේන හතෝ සමූලකෝ.

384. මං තුළ රාගයක් ඇති කරවන්ට පුළුවන් කිසි ම අරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගය කියන්නෙ මොන වගේ දෙයක් ද කියලවත් මං දැන් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්මා.

385. ඉංගාලකුයාව උජ්ඣිතෝ විසපත්තෝරිව අග්ගිතෝ කතෝ,
නපි නං පස්සාමි කීරිසෝ අථ මග්ගේන හතෝ සමූලකෝ.

385. ගිනි අඟුරු වලක් සුළඟින් නිවිල යනවා වගේ, විෂ භාජනයක් වනසල දමනවා වගේ, රාගය නැති කරපු මං දැන් ඒ රාගය මොන වගේ දෙයක් ද කියලවත් දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැති කරල දැම්මා.

386. යස්සා සියා අපච්චවෙක්ඛිතං සත්ථා වා අනුපාසිතෝ සියා,
ත්වං තාදිසිකං පලෝභය ජානන්තිං සෝ ඉමං විහඤ්ඤසි.

386. නුවණින් කල්පනා නොකරන ගැහැණියක් ව නම්, ශාස්තෘන් වහන්සේව ධර්මය තුළින් නොදැකපු ගැහැණියක්ව නම්, අන්න එබඳු ගැහැණියක්ව නම් පොළොඹවා ගන්ට පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරපු මාවයි ඔබ වෙහෙසවන්නෙ.

387. මය්හං හි අක්කුට්ඨවන්දිතේ සුඛදුක්ඛේ ච සතී උපට්ඨිතා,
සංඛතමසුභන්ති ජානිය සබ්බත්ථේව මනෝ න ලිප්පති.

387. මට නින්දා අපහාස කළත්, මට වන්දනා කළත්, ඒ සැප දුක් දෙක අභියස මං සිහියෙන් ඉන්නෙ. මේ හේතූන්ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුභ වශයෙන් අවබෝධ කරගෙන යි ඉන්නෙ. ඔය කිසි තැනක මගේ සිත ඇලෙන්නෙ නෑ.

388. සාහං සුගතස්ස සාවිකා මග්ගට්ඨංගිකයානයායිනී,
උද්ධටසල්ලා අනාසවා සුඤ්ඤාගාරගතා රමාමහං.

388. මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. මං ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්. මං රාග හුල් උදුරල දැම්මා. ආශ්‍රව නැති කරල දැම්මා. මගේ හිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියෙ විතරයි.

389. දිට්ඨා හි මයා සුචිත්තිතා සොම්භා දාරුකපිල්ලකානි වා,
තන්තීහි ච ඛීලකේහි ච විනිබද්ධා විවිධං පනච්චකා.

389. මං දැකල තියෙනවා දර ලීවලින් හදපු ලස්සනට කැටයම් කරපු රූකඩ. නූල් වලින් බැඳපු ඒ රූකඩ එක එක විදිහට නටනවා.

390. තම්හුද්ධටේ තන්තිඛීලකේ විස්සට්ඨේ විකලේ පරිපක්ඛිතේ,
අවින්දේ ඛණ්ඩසෝ කතේ කිම්හි තත්ථ මනං නිවේසයේ.

390. ඒ නූල්, දර කැබලි ඔක්කොම කෑලි වලට කඩල දාල තැනින් තැන විසිරුවල දැම්මට පස්සෙ, ආයෙමත් ඒ රූකඩ දකින්ට ලැබෙන්නෙ නෑ. ඒ රූකඩවල කොයි කෑල්ලට ද සිත පිහිටුව ගන්නෙ.

391. තථූපමා දේහකානි මං තේහි ධම්මේහි විනා න වත්තන්ති,
ධම්මේහි විනා න වත්තති කිම්හි තත්ථ මනං නිවේසයේ.

391. මේ ශරීරයත් රූකඩයක් වගේ තමයි. උපකාරක ධර්මයන් ගෙන් තොර ව පවතින්නෙ නෑ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකට සිත පිහිටුවා ගන්ට ද?

392. යථා හරිතාලේන මක්ඛිතං අද්දස චිත්තිකං භිත්තියා කතං,
තම්හි තේ විපරීත දස්සනං සඤ්ඤා මානුසිකා නිරත්ථිකා.

392. කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගෙයි. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳල තියෙනවා. ඉතින් ඒක, ඇත්ත මිනිස් ස්ත්‍රියක් හැටියට පිළිගන්නෙ වැරදි විදිහට හඳුනගන්න නිස යි.

393. මායං විය අග්ගතෝ කතං සුපිනන්තේව සුවණ්ණපාදපං,
උපගච්ඡසි අන්ධරිත්තකං ජනමජ්ඣේරිව රුප්පරූපකං.

393. ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරයෙකු ගේ මායාවට හසු වුණා වගේ, සිහිනෙකින් රන් රුවක් දැක ගත්ත වගේ, ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්නපු කැඩෙන බිඳෙන රුපයක් දැක්ක වගේ හිස් දෙයකට යි අහුවෙලා ඉන්නෙ.

394. වට්ටනිරිව කෝටරෝහිතා මජ්ඣේ බුබ්බුලකා සඅස්සුකා,
පිළකෝළිකා එත්ථ ජායති විවිධා චක්ඛුවිධා ච පිණ්ඩිතා.

394. ගහක බෙනයක තියෙන ලාටු වගේ, මේ ඇස්වල තියෙන්නෙ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු ත් එක්ක එකට මිශ්‍ර වෙලයි තියෙන්නෙ.

395. උප්පාටිය චාරුදස්සනා න ච පජ්ජිත්ථ අසංගමානසා,
හන්ද තේ චක්ඛුං හරස්සු තං තස්ස නරස්ස අදාසි තාවදේ.

395. ලස්සනට පෙනෙන ඒ සුභා තෙරණිය කිසි ම දෙයකට ඇලුණෙ නෑ. නිකෙලෙස් සිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්ත, “මෙන්න ඔබේ ඇස, අර ගෙන යන්න!” යි ඒ මිනිහට දුන්නා.

396. තස්ස ච විරමාසි තාවදේ රාගෝ තත්ථ ඛමාපයී ච නං,
සොත්ථි සියා බ්‍රහ්මචාරිණී න පුනෝ ඒදිසකං භවිස්සසි.

396. ඒ ක්ෂණයෙහි ම ඔහුගේ රාගය දුරුවෙලා ගියා. එතැන ම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්ත. “බ්‍රහ්මචාරී පින්වතිය, ඔබ සුවපත් වේවා! ආයෙත් නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.”

397. ආසාදිය ඒදිසං ජනං අග්ගිං පජ්ජලිතං ව ලිංගිය,
ගණ්හිය ආසිවිසං විය අපි නු සොත්ථි සියා ඛමේහි නෝ.

397. මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්ට ගියොත් ඒක දැල්වෙන ගින්න වැළඳගන්නව වගේ වැඩක්. විෂ ඝෝර සර්පයෙක් අතින් අල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇති වෙන්නෙ නෑ. අනේ අපට සමාව දෙන්න.

398. මුත්තා ච තතෝ සා භික්ඛුණී අගමී බුද්ධවරස්ස සන්තිකං,
පස්සිය වරපුඤ්ඤලක්ඛණං චක්ඛු ආසි යථා පුරාණකන්ති.

398. ඒ භික්ෂුණිය ඒ සල්ලාලයා ගෙන් නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් සමීපයට පැමිණුනා. උත්තම පුණ්‍ය ලක්ෂණ වලින් යුක්ත බුදු සමිඳුන් දකින විට ම ඇගේ ඇස කලින් වගේ ම ප්‍රකෘතිමත් වෙලා සුවපත් වුණා.

ඉත්ථං සුදං සුභා ජීවකම්බවනිකා ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී ජීවක අඹ වනයෙහි වාසය කළ සුභා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

තිංසති නිපාතෝ නිට්ඨිතෝ.

තිස්වෙනි නිපාතය නිමා විය.

(ගාථා තිහ බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M