සංයුත්ත නිකාය

මහා වග්ගෝ

9. ඣාන සංයුත්තං

9. ඣාන සංයුත්තය

1. ගංගා පෙය්‍යාල වර්ගය

9.1.1.-12. පාචීනනින්නාදි සූත්‍රයෝ

පෙරදිගට නැමී තිබීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ධ්‍යාන සතරකි. ඒ කවර සතරක් ද යත්; මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමින් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සුවය ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇතිවන අයුරින් සිතේ එකඟ බවින් යුතු ව විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සුවය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ප්‍රීතියට ද නොඇලීමෙන්, උපේක්ෂාවෙන් ද වාසය කරයි. සිහියෙන් යුතුව, නුවණින් යුතුව කයෙන් සැපයක් ද විඳියි. ආර්යයෝ යම් සමාධියකට ‘උපේක්ෂාවෙන් සිහියෙන් යුතු ව සුවසේ විසීම යැයි’ පවසත් ද ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් නැති වීමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂාවෙන් යුතු සිහිය ඇති සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මහණෙනි, මේ වනාහී සතරක් වූ ධ්‍යානයෝ ය.

මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, සතරක් වූ ධ්‍යානයන් වඩන්නා වූ, සතරක් වූ ධ්‍යානයන් බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් සතරක් වූ ධ්‍යාන දියුණු කරන විට ද? කුමන අයුරින් සතරක් වූ ධ්‍යාන බහුල ව ප්‍රගුණ කරන විට ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව, කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් සතරක් වූ ධ්‍යානයන් දියුණු කරන විට ය. මේ අයුරින් සතරක් වූ ධ්‍යානයන් බහුල ව ප්‍රගුණ කරන විට නිවනට නැමී සිටින්නේ ය, නිවනට නැඹුරු වන්නේ ය, නිවනට බර වන්නේ ය. ….(පෙ)…. නිවනට බර වන්නේ ය.

පළමු වෙනි ගංගා පෙය්‍යාල වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාචීනනින්න සූත්‍ර සයකි. සමුද්දනින්න සූත්‍ර සූත්‍ර සයකි. මෙසේ සය බැගින් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

2. අප්පමාද වර්ගය

9.2.1.-10 තථාගතාදී සූත්‍රයෝ

තථාගතයන් වහන්සේ ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම්තාක් පා රහිත වූ ද, දෙපා ඇත්තා වූ ද, ….(පෙ)… බහුල ව ප්‍රගුණ කරයි.

දෙවෙනි අප්පමාද වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ වශයෙන් සූත්‍ර දසයකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

3. බලකරණීය වර්ගය

9.3.1.-12 බලාදී සූත්‍රයෝ

බලය ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්තාදිය කරත් නම්, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.

(පවසන ලද ආකාරයට විස්තර කළ යුත්තේය.)

තුන්වෙනි බලකරණීය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස වශයෙන් සූත්‍ර සතකි. මේඝ සූත්‍ර දෙකකි. නාවා, ආගන්තුක, නදී වශයෙන් සූත්‍ර තුනකි. මුළු සූත්‍ර ගණන දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

4. ඒසනා වර්ගය

9.4.1.-40 ඒසනාදී සූත්‍රයෝ

සෙවීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

(විස්තර කළ යුත්තේ ය.)

සිව් වෙනි ඒසනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිහකි.

5. ඕඝ වර්ගය

9.5.1.-39 ඕඝාදී සූත්‍රයෝ

සැඩපහර ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සැඩපහර සතරකි. ඒ කවර සතරක් ද යත්, ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

9.5.40. උද්ධම්භාගිය සූත්‍රය

උද්ධම්භාගිය සංයෝජන ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය.

මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කිරීම පිණිස සතරක් වූ ධ්‍යානයන් වැඩිය යුත්තේ ය. කවර සතරක් ද යත්,

මහණෙනි, මෙහිලා භික්ෂුව, කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු ධ්‍යානය ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කිරීම පිණිස මේ සතරක් වූ ධ්‍යානයන් වැඩිය යුත්තේ ය.

පස්වෙනි ඕඝ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර සතර බැගින් වූ කොටස් දසයකි. මුළු සූත්‍ර ගණන සතළිසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ඣාන සංයුත්තය අවසන් විය.

එහි වර්ග නාමාවලිය :

ගංගාපෙය්‍යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, ඒසනා වර්ගය සහ ඕඝ වර්ගය ද වශයෙන් ඣාන සංයුත්තයෙහි වර්ග පසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M