ලාමක කාම සම්පත් හොය හොයා යන්ට ඕන නෑ. ප්‍රමාදයත් එක්ක එකතු වෙන්ට ඕනෙ නෑ. මිථ්‍යා දෘෂ්ටියක් ළං කරගන්ට ඕනෙ නෑ. සසර ගමන දික් කරගැනීම කිසිසේත්ම ඕනෙ නෑ.
(ජේතවනාරාමයේදී කුඩා සාමණේර නමක් අරභයා වදාළ ගාථාවකි.)
අලසකමින් නැගී සිටින්ට ඕනෙ. අප්‍රමාදීව කටයුතු කරන්ට ඕනෙ. සුචරිත ධර්මයෙහි හැසිරෙන්ට ඕනෙ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව – පරලොව දෙකේම සුවසේ ඉන්නවා.
සුචරිත ධර්මයේමයි හැසිරෙන්ට ඕනෙ. කිසිසේත්ම දුෂ්චරිතයේ හැසිරෙන්ට ඕනෙ නෑ. ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව, පරලොව දෙකේ ම සුවසේ ඉන්නවා.
(නිග්‍රෝධාරාමයේදී සුද්ධෝදන මහරජු අරභයා වදාළ ගාථාවන්ය.)
සිඳී බිඳී යන දිය බුබුලක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලනකොට, සැණෙකින් මැකී යන මිරිඟුවක් දිහා බලනවා වගේ ලෝකය දිහා බලන කොට, ඔය විදිහට ලෝකය දිහා බලන කොට, ඒ කෙනාව මාරයාට පේන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)
එන්න! ඇවිත් බලන්න මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා. විචිත්‍ර විදිහට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවට සම්පූර්ණයෙන්ම අහුවෙනවා. නමුත්, මේකේ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම්, මේ ලෝකෙත් එක්ක කිසි ගණුදෙනුවක් කරන්නෙ නෑ.
(වේළුවනාරාමයේදී අභයරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉඳලා, බණ භාවනා කිරීම ප්‍රමාද කරමින් ඉඳලා, පස්සෙ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප්‍රමාදී වෙනවා. ඒ තැනැත්තා තමයි වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ මේ ලෝකෙ එළිය කරන්නෙ.
(ජේතවනාරාමයේදී සම්මුඤ්ජනී තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්, ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ.
(ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
මේ ලෝක සත්වයා මෝඩකම නැමැති අන්ධභාවයෙන් අඳුරු වෙලයි ඉන්නෙ. ඉතාම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නෙ. කුරුලු වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නෙ කුරුල්ලො ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියේ උපදින්නෙ ටික දෙනයි.
(අග්ගාලව ආරාමයේදී පේසකාර දුව අරභයා වදාළ ගාථාවකි.)
හංසයෝ අහසේ පියාඹා යනවා. ඉර්ධිමත් රහතන් වහන්සේලාත් අහසින් වඩිනවා. ඒ නුවණැති මුනිවරු, සේනා සහිත මාරයාව පරදවලා, මේ ලෝකෙනුත් නිදහස් වෙලා, නිවනට වඩිනවා.
(ජේතවනාරාමයේදී භික්ෂූන් තිස් නමක් අරභයා වදාළ ගාථාවකි.)
සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය පවා ඉක්මවා ගිහින්, බොරු දොඩවන කෙනෙකුට පරලොව ගැන කිසිම හැඟීමක් නෑ. ඒ නිසා ඔහුට කරන්ට බැරි පාපයකුත් නෑ.
(ජේතවනාරාමයේදී චිංචිමාණවිකාව අරභයා වදාළ ගාථාවකි.)
මසුරුකම් කරන අය කවදාවත් දෙව්ලොව යන්නෙ නෑ. අසත්පුරුෂයෝ කවදාවත් දන් දීම ප්‍රශංසා කරන්නෙ නෑ. දන් දීමක් අනුමෝදන් වීම වුණත් කරන්නෙ ප්‍රඥාවන්තයෙක් තමයි. පරලොවදී සැප ලබන්ට ඔහුට ඒකමයි හේතු වෙන්නේ.
(ජේතවනාරාමයේදී කොසොල් රජුගේ අසදෘශ මහා දානය අරභයා වදාළ ගාථාවකි.)
මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්තී රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත්වීම ම උතුම්.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ කාළ නම් පුතා අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
ලෝකය ගැන වදාළ කොටස නිමා විය.
(ලෝක වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M