මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නමැති පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වාසෙට්ඨ – භාරද්වාජ සාමණේර දෙදෙනා භික්ෂුභාවය බලාපොරොත්තුවෙන් භික්ෂූන් යටතේ වසති.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස්වරුවෙහි භාවනාවෙන් නැගිට ප්‍රාසාදයෙන් පහළට වැඩම කොට, ප්‍රාසාදය සෙවණැල්ලෙහි, එළිමහනෙහි සක්මන් කරන සේක. වාසෙට්ඨ තෙමේ සවස්වරුවෙහි භාවනාවෙන් නැගිට ප්‍රාසාදයෙන් පහළට වැඩම කොට, ප්‍රාසාදය සෙවණැල්ලෙහි, එළිමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ ය. දැක භාරද්වාජ ඇමතී ය.
“ඇවැත් භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස්වරුවෙහි භාවනාවෙන් නැගිට ප්‍රාසාදයෙන් පහළට වැඩම කොට, ප්‍රාසාදය සෙවණැල්ලෙහි, එළිමහනෙහි සක්මන් කරන සේක. එමු ඇවැත් භාරද්වාජයෙනි, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ධර්ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා මැනැවි.”
“එසේ ය, ඇවැත්නි” යි භාරද්වාජ තෙමේ වාසෙට්ඨයන්ට පිළිවදන් දුන්නේ ය. ඉක්බිති වාසෙට්ඨ – භාරද්වාජ දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට සක්මන් කරමින් සිටින භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහු ය.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨයන් ඇමතූ සේක.
“වාසෙට්ඨයෙනි, ඔබලා වනාහී බ්‍රාහ්මණවංශික ව සිට, කුලවත් බ්‍රාහ්මණයන් ව සිට, බ්‍රාහ්මණ කුලය හැර ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූවහු ය. කිම? වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයෝ ඔබලාට ආක්‍රෝශ නොකරත් ද? පරිභව නොකරත් ද?”
“ස්වාමීනී, සැබැවින් ම බ්‍රාහ්මණයෝ තමන්ට හුරුපුරුදු වූ පරිභවයෙන් අසම්පූර්ණ කොට නොව, පිරිපුන් කොට අපට අක්‍රෝශ කරත් ම ය. පරිභව කරත් ම ය.”
“වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයෝ තමන්ට හුරුපුරුදු වූ පරිභවයෙන් නොපිරිපුන් කොට නොව, පිරිපුන් කොට, කවර අයුරින් ඔබලාට ආක්‍රෝශ කරත් ද? පරිභව කරත් ද?”
“ස්වාමීනී, බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහු ය. ‘බ්‍රාහ්මණ වංශය ම ශ්‍රේෂ්ඨ ය. අන්‍ය වංශයෝ හීනයහ. බ්‍රාහ්මණ වංශය ම සුදු ය. අන්‍ය වංශයෝ කළු පැහැ ඇත්තාහ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධයහ. බ්‍රාහ්මණ නොවූවෝ අශුද්ධයහ. බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝ ය. බ්‍රහ්මයාගේ මුවින් උපන්හ. බ්‍රහ්මයාගෙන් උපන්හ. බ්‍රහ්මයා විසින් මවන ලදහ. බ්‍රහ්ම දායාදය වූ වේදයෙහි උරුමක්කාරයෝ ය. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වූ වංශය අත්හැර යම් මේ මහබඹුගේ පාදයෙන් උපන්, කළු වූ, දාස වූ, මුඩු මහණුන් කෙරෙහි වූ ලාමක වංශයකට බැසගත්තාහු ය. තෙපි ශ්‍රේෂ්ඨ වංශයක් අත්හැර දමා යම් මේ මහබඹුගේ පාදයෙන් උපන්, කළු වූ, දාස වූ, මුඩු මහණුන් කෙරෙහි වූ ලාමක වංශයකට බැසගත්තාහු ය යන යමක් ඇද්ද, මෙය හොඳ දෙයක් නොවෙයි. මෙය ගැලපෙන දෙයක් නොවෙයි’ යි යනුවෙනි. මෙසේ ස්වාමීනී, බ්‍රාහ්මණයෝ තමන්ට හුරුපුරුදු වූ පරිභවයෙන් නොපිරිපුන් කොට නොව, පිරිපුන් කොට අපට ආක්‍රෝශ කරත්. පරිභව කරත්.”
“වාසෙට්ඨයෙනි, සැබැවින් ම බ්‍රාහ්මණයෝ ඔබට පුරාණ කථාව සිහි නොකොට මෙසේ කීවාහු ය. එනම්; ‘බ්‍රාහ්මණ වංශය ම ශ්‍රේෂ්ඨ ය. අන්‍ය වංශයෝ හීනයහ. බ්‍රාහ්මණ වංශය ම සුදු ය. අන්‍ය වංශයෝ කළු පැහැ ඇත්තාහ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධයහ. බ්‍රාහ්මණ නොවූවෝ අශුද්ධයහ. බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝ ය. බ්‍රහ්මයාගේ මුවින් උපන්හ. බ්‍රහ්මයාගෙන් උපන්හ. බ්‍රහ්මයා විසින් මවන ලදහ. බ්‍රහ්ම දායාදය වූ වේදයෙහි උරුමක්කාරයෝ ය’ කියා ය. එහෙත් වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයන්ගේ මල්වර වන, ගර්භනී වන, දරුවන් බිහිකරන, කිරි පොවන බැමිණියෝ දකින්නට ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ ත් ස්ත්‍රී යෝනියෙන් ම උපන්නාහු, මෙසේ කියති. ‘බ්‍රාහ්මණ වංශය ම ශ්‍රේෂ්ඨ ය. අන්‍ය වංශයෝ හීනයහ. බ්‍රාහ්මණ වංශය ම සුදු ය. අන්‍ය වංශයෝ කළු පැහැ ඇත්තාහ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධයහ. බ්‍රාහ්මණ නොවූවෝ අශුද්ධයහ. බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝ ය. බ්‍රහ්මයාගේ මුවින් උපන්හ. බ්‍රහ්මයාගෙන් උපන්හ. බ්‍රහ්මයා විසින් මවන ලදහ. බ්‍රහ්ම දායාදය වූ වේදයෙහි උරුමක්කාරයෝ ය’ කියා ය. ඔවුහු බ්‍රහ්මයාට ම නින්දා කරති. බොරු ද කියති. බොහෝ පව් ද රැස් කරති.
වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රිය ය, බ්‍රාහ්මණ ය, වෛශ්‍ය ය, ශුද්‍ර ය වශයෙන් මේ වංශයෝ සතරෙකි.
වාසෙට්ඨයෙනි, මෙහි ඇතැම් ක්ෂත්‍රියයෙක් ද සතුන් මරයි. සොරකම් කරයි. කාමයෙහි වරදවා හැසිරෙයි. බොරු කියයි. කේලාම් කියයි. දරුණු වචනයෙන් බැණ වදියි. හිස් වචන කියයි. අන් සතු දෙය තමා සතු කරගන්නට ලෝභ කරයි. ද්වේෂ සිතින් යුතු වෙයි. මිථ්‍යා දෘෂ්ටික වෙයි. වාසෙට්ඨයෙනි, මෙසේ යම් මේ අකුසල් ගණනට අයත් අකුසල් දහම් ඇද්ද, වැරදි ගණනට අයත් වැරදි ඇද්ද, පුරුදු නොකළ යුතු ගණනට අයත් පුරුදු නොකළ යුතු දේ ඇද්ද, ආර්යභාවයට උදව් නොවන ගණනට අයත් ආර්ය භාවයට උදව් නොවන දේ ඇද්ද, කළු ද, කළු විපාක ඇද්ද, නුවණැතියන් විසින් ගරහන ලද්දේ ද, ඒ ලාමක ධර්මයෝ මෙහි ඇතැම් ක්ෂත්‍රියයෙකු තුළ ත් දකින්නට ලැබෙයි.
වාසෙට්ඨයෙනි, මෙහි ඇතැම් බ්‍රාහ්මණයෙක් ද, ….(පෙ)…. වාසෙට්ඨයෙනි, මෙහි ඇති වෛශ්‍යයෙක් ද, ….(පෙ)…. වාසෙට්ඨයෙනි, මෙහි ඇතැම් ශුද්‍රයෙක් ද, සතුන් මරයි. සොරකම් කරයි. ….(පෙ)…. මිථ්‍යා දෘෂ්ටික වෙයි. වාසෙට්ඨයෙනි, මෙසේ යම් මේ අකුසල් ගණනට අයත් අකුසල් දහම් ඇද්ද, ….(පෙ)…. කළු ද, කළු විපාක ඇද්ද, නුවණැතියන් විසින් ගරහන ලද්දේ ද, ඒ ලාමක ධර්මයෝ මෙහි ඇතැම් ශුද්‍රයෙකු තුළ ත් දකින්නට ලැබෙයි.
වාසෙට්ඨයෙනි, මෙහි ඇතැම් ක්ෂත්‍රියයෙක් ද සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. දරුණු වචනයෙන් බැණ වැදීමෙන් වැළකුණේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුණේ වෙයි. අන් සතු දෙය තමා සතු කරගන්නට ලෝභ නොකරයි. ද්වේෂ සිතින් යුතු නොවෙයි. සම්‍යක් දෘෂ්ටික වෙයි. වාසෙට්ඨයෙනි, මෙසේ යම් මේ කුසල් ගණනට අයත් කුසල් දහම් ඇද්ද, නිවැරදි ගණනට අයත් නිවැරදි දේ ඇද්ද, පුරුදු කළ යුතු ගණනට අයත් පුරුදු කළ යුතු දේ ඇද්ද, ආර්යභාවයට උදව් වන ගණනට අයත් ආර්ය භාවයට උදව් වන දේ ඇද්ද, සුදු ද, සුදු විපාක ඇද්ද, නුවණැතියන් විසින් පසසන ලද්දේ ද, ඒ ධර්මයෝ මෙහි ඇතැම් ක්ෂත්‍රියයෙකු තුළ ත් දකින්නට ලැබෙයි.
වාසෙට්ඨයෙනි, මෙහි ඇතැම් බ්‍රාහ්මණයෙක් ද, ….(පෙ)…. වාසෙට්ඨයෙනි, මෙහි ඇති වෛශ්‍යයෙක් ද, ….(පෙ)…. වාසෙට්ඨයෙනි, මෙහි ඇතැම් ශුද්‍රයෙක් ද, සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි ….(පෙ)…. සම්‍යක් දෘෂ්ටික වෙයි. වාසෙට්ඨයෙනි, මෙසේ යම් මේ කුසල් ගණනට අයත් කුසල් දහම් ඇද්ද, ….(පෙ)…. සුදු ද, සුදු විපාක ඇද්ද, නුවණැතියන් විසින් පසසන ලද්දේ ද, ඒ ධර්මයෝ මෙහි ඇතැම් ශුද්‍රයෙකු තුළ ත් දකින්නට ලැබෙයි.
වාසෙට්ඨයෙනි, මේ සතර වංශය ම නුවණැත්තන් විසින් ගරහන ලද්දා වූ ත්, නුවණැත්තන් විසින් පසසන ලද්දාවූ ත්, කළු – සුදු ධර්මයන් වශයෙන් මෙසේ දෙකෙන් ම මිශ්‍ර ව පවතින කල්හී එහිලා බ්‍රාහ්මණයෝ යමක් මෙසේ කීවාහු ද, එනම්; ‘බ්‍රාහ්මණ වංශය ම ශ්‍රේෂ්ඨ ය. අන්‍ය වංශයෝ හීනයහ. බ්‍රාහ්මණ වංශය ම සුදු ය. අන්‍ය වංශයෝ කළු පැහැ ඇත්තාහ. බ්‍රාහ්මණයෝ ම ශුද්ධයහ. බ්‍රාහ්මණ නොවූවෝ අශුද්ධයහ. බ්‍රාහ්මණයෝ ම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝ ය. බ්‍රහ්මයාගේ මුවින් උපන්හ. බ්‍රහ්මයාගෙන් උපන්හ. බ්‍රහ්මයා විසින් මවන ලදහ. බ්‍රහ්ම දායාදය වූ වේදයෙහි උරුමක්කාරයෝ ය’ වශයෙන් නුවණැත්තෝ ඔවුන්ගේ වචනය අනුමත නොකරති. එයට හේතුව කුමක් ද? වාසෙට්ඨයෙනි, මේ සතර වංශයෙන් කවර හෝ වංශයකට අයත් යම් භික්ෂුවක් රහත් ද, ක්ෂය වූ ආශ්‍රව ඇත්තේ ද, වසන ලද බඹසර ඇත්තේ ද, කළ යුතු දේ කරන ලද්දේ ද, කෙලෙස් බර බැහැර කරන ලද්දේ ද, පිළිවෙලින් පත් සම්පූර්ණ මගඵල ඇත්තේ ද, භව සංයෝජන ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් නිදහස් වූයේ ද, ඔහු ඒ හැම වංශිකයන් අතුරින් අග්‍ර යැයි කියනු ලැබේ. එය ද ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
වාසෙට්ඨයෙනි, යම් අයුරකින් මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් තේරුම් ගත යුත්තේ ය.
වාසෙට්ඨයෙනි, පසේනදී කොසොල් රජු ‘ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ අනුත්තරයහ’ යි දනියි. වාසෙට්ඨයෙනි, ශාක්‍යවරු වනාහී පසේනදී කොසොල් රජුට සමාන ව, ඔහුට අනුයුක්ත ව සිටිති. වාසෙට්ඨයෙනි, ශාක්‍යවරු පසේනදී කොසොල් රජුට ආදර දැක්වීම, වැඳීම, දැක නැගී සිටීම, ඇඳිලි බැඳ ප්‍රණාම කිරීම, වත් දැක්වීම ආදිය කරති. මෙසේ වාසෙට්ඨයෙනි, ශාක්‍යවරු පසේනදී කොසොල් රජුට ආදර දැක්වීම, වැඳීම, දැක නැගී සිටීම, ඇඳිලි බැඳ ප්‍රණාම කිරීම, වත් දැක්වීම් ආදී යමක් කරත් ද, පසේනදී කොසොල් රජු තථාගතයන් හට ඒ ආදර දැක්වීම, වැඳීම, දැක නැගී සිටීම, ඇඳිලි බැඳ ප්‍රණාම කිරීම, වත් දැක්වීම ආදිය කරයි. ඒ ‘ශ්‍රමණ ගෞතම තෙමේ මනාලෙස උපන්නෙකි. මම නොමනා ලෙස උපන්නෙක්මි’ කියා නොවෙයි. ‘ශ්‍රමණ ගෞතම තෙමේ බලවතෙකි. මම දුබලයෙක්මි’ කියා නොවෙයි. ‘ශ්‍රමණ ගෞතම තෙමේ දුටුවන් පහදවන්නෙකි. මම විරූපියෙක්මි’ කියා නොවෙයි. ‘ශ්‍රමණ ගෞතම තෙමේ මහේශාක්‍යයෙකි. මම අල්පේශාක්‍යයෙක්මි’ කියා නොවෙයි. එසේ නමුත් ධර්මයට ම සත්කාර කරන්නේ, ධර්මයට ම ගරු කරන්නේ, ධර්මයට ම බුහුමන් කරන්නේ, ධර්මය ම පුදන්නේ, ධර්මයට ම අවනත වන්නේ, මෙසේ පසේනදී කොසොල් රජු තථාගතයන් හට ආදර දැක්වීම, වැඳීම, දැක නැගී සිටීම, ඇඳිලි බැඳ ප්‍රණාම කිරීම, වත් දැක්වීම ආදිය කරයි. වාසෙට්ඨයෙනි, යම් සේ මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි ද, එය මේ ක්‍රමයෙනුත් තේරුම් ගත යුත්තේ ය.
වාසෙට්ඨයෙනි, ඔබලා වනාහී නා නා ජාතීන්ට අයත් ව, නා නා නම්වලට අයත් ව, නා නා ගෝත්‍රයන්ට අයත් ව, නා නා කුලයන්ට අයත් ව සිට, ගිහි ගෙයින් නික්ම මේ සසුනෙහි පැවිදි වූවහු ය. ‘ඔබලා කවරහු ද?’ යි අසන ලද්දාහු ‘ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ වෙමු’ යි පිළිතුරු දෙන්නාහු ය.
වාසෙට්ඨයෙනි, යමෙකු තුළ තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව මැනැවින් පිහිටියේ ද, මුල්බැස පිහිටියේ ද, බලවත් ව පිහිටියේ ද, ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි අන් කවරෙකු විසින් හෝ නොසෙල්විය හැක්කේ වෙයි ද, ඔහු විසින් නම් මේ වචනය පැවසීම සුදුසු ය. එනම්; ‘මම භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක්මි. භාග්‍යවතුන් වහන්සේගේ මුවින් උපන්, ධර්මයෙන් උපන්, ධර්මයෙන් මවන ලද, ධර්මයෙහි උරුමක්කාරයෙක්මි’ යනුවෙනි. එයට හේතුව කුමක් ද යත්; වාසෙට්ඨයෙනි, මෙසේ ‘ධර්මකාය’ යනුවෙනුත්, මෙසේ ‘බ්‍රහ්මකාය’ යනුවෙනුත්, මෙසේ ‘ධර්මයෙන් හටගත්තෙකි’ යි යනුවෙනුත්, මෙසේ ‘ශ්‍රේෂ්ඨත්වයෙන් හටගත්තෙකි’ යි යනුවෙනුත් තථාගතයන්ට නම් ඇත්තේ ය.
වාසෙට්ඨයෙනි, අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන්, කිසියම් කලෙක මේ ලෝකය නැසෙයි ද, එබඳු කාලයක් එන්නේ ය. ලෝකය නැසෙන කල්හී බොහෝ සෙයින් ම සත්වයෝ ආභස්සර බඹලොවෙහි උපදිති. ඔවුහු එහි සිතින් සකස් වූ ජීවිත ඇති ව, ප්‍රීතිය අනුභව කරමින්, තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින්, ඉතා දීර්ඝ කාලයක් සිටිති.
වාසෙට්ඨයෙනි, ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක මේ ලෝකය නැවත හැදෙයි ද, එබඳු කාලයක් එන්නේ ය. මේ ලෝකය නැවත හැදෙන කල්හී බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර ලොවින් චුත වී මෙලොවට පැමිණෙති. ඔවුහු මෙහි සිතින් සකස් වූ ජීවිත ඇති ව, ප්‍රීතිය අනුභව කරමින්, තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින්, ඉතා දීර්ඝ කාලයක් සිටිති.
වාසෙට්ඨයෙනි, එසමයෙහි මේ පෘථිවිය එක ම ජල කඳක් ව, අන්ධකාරයෙන් යුතුව, මහා ඝනාන්ධකාරයක් ම වෙයි. සඳ හිරු නොපෙනෙයි. නැකත් තරු නොපෙනෙයි. රෑ දහවල් නොපෙනෙයි. මාස, අඩමාස නොපෙනෙයි. කාලගුණය, අවුරුදු නොපෙනෙයි. ස්ත්‍රී, පුරුෂයෝ නොපෙනෙති. සත්වයෝ සත්ව යන ගණනට ම යති.
එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් හට බොහෝ දීර්ඝ කාලයක් ගත වූ පසු කිසියම් කලෙක, නිවෙන්නා වූ, උණුකළ කිරි මතුපිට යොදයක් තිබෙන්නේ යම් සේ ද, එසෙයින් ම දිය මතුපිට රස පොළොව පැතිර පහළ වූයේ ය. එය මනා පැහැයෙන් ද, මනා සුවඳින් ද, මනා රසයෙන් ද යුක්ත වූයේ ය. රසවත් ගිතෙලක් යම් සේ ද, රසවත් වෙඬරු යම් සේ ද, එබඳු පැහැයෙන් යුතු වූයේ ය. පිරිසිදු දඬුවැල් බෑ මී වදයක් යම් සේ ද, එසෙයින් ම රසවත් වූයේ ය.
එකල්හී වාසෙට්ඨයෙනි, ලොල් ගතියෙන් යුතු එක්තරා සත්වයෙක් ‘භවත්නි, මේ කෙබඳු දෙයක් වන්නේ ද?’ යි රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලුවේ ය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලූ ඔහු එයට කැමති වූයේ ය. ඔහු තුළ ඒ කෙරෙහි තෘෂ්ණාව බැසගත්තේ ය. වාසෙට්ඨයෙනි, අන්‍ය වූ සත්වයෝ ත් ඒ සත්වයාගේ ක්‍රියාව දැක එයට අනුව පැමිණෙමින් රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලූහ. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලූ ඔවුනුත් එයට කැමති වූහ. ඔවුන් තුළ ද ඒ කෙරෙහි තෘෂ්ණාව බැසගත්තේ ය.
ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ රස පොළොව වළඳන්නට අත්වලින් පිඬු කිරීමට වෙහෙසුනහ. වාසෙට්ඨයෙනි, යම් කලෙක ඒ සත්වයෝ රස පොළොව වළඳන්නට අත්වලින් පිඬු කිරීමට වෙහෙසුණාහු ද, එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයන්ගේ තම සිරුරුවලින් ආ එළිය අතුරුදන් වූයේ ය. තම සිරුර වලින් ආ එළිය නොපෙනී ගිය කල්හී සඳහිරු පහළ වූයේ ය. සඳ හිරු පහළ වූ කල්හී නැකැත් තරු පහළ වූයේ ය. නැකැත් තරු පහළ වූ කල්හී රෑ දහවල් පහළ වූයේ ය. රෑ දහවල් පහළ වූ කල්හී මාස, අඩමාස පහළ වූයේ ය. මාස, අඩමාස පහළ වූ කල්හී කාලගුණය හා වර්ෂ ක්‍රමය පහළ වූයේ ය. මෙපමණකින් වාසෙට්ඨයෙනි, මේ ලෝකය නැවත හැදුණේ වෙයි.
එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන ඉතා දීර්ඝ කාලයක් සිටියාහු ය. වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ යම් යම් අයුරින් රස පොළොව අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන ඉතා දිගු කලක් සිටියාහු ද, වාසෙට්ඨයෙනි, ඒ ඒ අයුරින් රස පොළොව අනුභව කරන්නා වූ ඒ සත්වයන්ගේ ශරීරයෙහි ගොරෝසු බව ම බැසගත්තේ ය. වර්ණ විවර්ණභාවය ද පැණවුණේ ය. ඔවුන් අතුරින් ඇතැම් සත්ව කෙනෙක් මනා පැහැයෙන් යුතු වෙති. ඇතැම් සත්වයෝ කිලිටි පැහැ ඇත්තෝ වෙති. එහි යම් ඒ සත්වයෝ මනාපැහැ ඇත්තාහු ද, ඔවුහු කිලිටි පැහැ සත්වයන් පහත් කොට සළකති. ‘මොවුන් අතුරින් අපි මනා පැහැ ඇත්තෝ වෙමු. මොවුහු අපට වඩා කිලිටි පැහැ ඇත්තෝ ය’ වශයෙනි. ඔවුන්ගේ මාන්නය ද, අතිමානය ද ඇති ව පැහැයෙන් හටගත් අධික මාන්නය හේතුවෙන් රස පොළොව අතුරුදහන් ව ගියේ ය.
රස පොළොව අතුරුදහන් ව ගිය කල්හී ඔවුහු එක්රැස් වූහ. එක්රැස් ව ‘අහෝ! රසයි. අහෝ! රසයි’ වශයෙන් ශෝකාකූල වචන කීවාහු ය. මෙකල්හිත් මිනිස්සු කිසියම් මිහිරි රසක් ලැබ ‘අහෝ! රසයි. අහෝ! රසයි’ යනුවෙන් මෙසේ කියති. ඒ පැරණි වූ යළි ලෝකය සකස් වීමේ මුල් අවදිය පිළිබඳ නොගෙවුණු මතකය සිහි කරත්. එහෙත් එහි තේරුම නොදනිත්.
එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් හට රස පොළොව අතුරුදහන් ව ගිය කල්හී බිම්හතු පහළ වූයේ ය. නා හතු යම් සේ ද, එසෙයින් ම පහළ වූයේ ය. ඒ බිම්හතු මනා පැහැයෙන් ද, මනා සුවඳින් ද, මනා රසයෙන් ද යුක්ත වූයේ ය. රසවත් ගිතෙලක් යම් සේ ද, රසවත් වෙඬරු යම් සේ ද, එබඳු පැහැයෙන් යුතු වූයේ ය. පිරිසිදු දඬුවැල් බෑ මී වදයක් යම් සේ ද, එසෙයින් ම රසවත් වූයේ ය.
ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට උත්සාහ කළාහු ය. ඔවුහු එය අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන, ඉතා දීර්ඝ කාලයක් සිටියාහු ය. වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ යම් යම් අයුරින් බිම්හතු අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන ඉතා දිගු කලක් සිටියාහු ද, වාසෙට්ඨයෙනි, ඒ ඒ අයුරින් බිම්හතු අනුභව කරන්නා වූ ඒ සත්වයන්ගේ බොහෝ සෙයින් ම ශරීරයෙහි ගොරෝසු බව ම බැසගත්තේ ය. වර්ණ විවර්ණභාවය ද පැණවුණේ ය. ඔවුන් අතුරින් ඇතැම් සත්ව කෙනෙක් මනා පැහැයෙන් යුතු වෙති. ඇතැම් සත්වයෝ කිලිටි පැහැ ඇත්තෝ වෙති. එහි යම් ඒ සත්වයෝ මනාපැහැ ඇත්තාහු ද, ඔවුහු කිලිටි පැහැ සත්වයන් පහත් කොට සළකති. ‘මොවුන් අතුරින් අපි මනා පැහැ ඇත්තෝ වෙමු. මොවුහු අපට වඩා කිලිටි පැහැ ඇත්තෝ ය’ වශයෙනි. ඔවුන්ගේ මාන්නය ද, අතිමානය ද ඇති ව පැහැයෙන් හටගත් අධික මාන්නය හේතුවෙන් බිම්හතු අතුරුදහන් ව ගියේ ය.
බිම්හතු අතුරුදහන් ව ගිය කල්හී බදාලතා නම් වැල් වර්ගයක් පහළ වූයේ ය. විල් පලා යම් සේ ද, බදාලතා ද එසෙයින් ම පහළ වූයේ ය. එය ඉතා පැහැපත් වූයේ ත්, ඉතා සුවඳවත් වූයේ ත්, ඉතා රසවත් වූයේ ත් විය. රසවත් ගිතෙලක් යම් සේ ද, රසවත් වෙඬරු යම් සේ ද, එබඳු පැහැයෙන් යුතු වූයේ ය. පිරිසිදු දඬුවැල් බෑ මී වදයක් යම් සේ ද, එසෙයින් ම රසවත් වූයේ ය.
ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ බදාලතා අනුභව කරන්නට උත්සාහ කළාහු ය. ඔවුහු එය අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන, ඉතා දීර්ඝ කාලයක් සිටියාහු ය. වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ යම් යම් අයුරින් බදාලතා අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන ඉතා දිගු කලක් සිටියාහු ද, වාසෙට්ඨයෙනි, ඒ ඒ අයුරින් බදාලතා අනුභව කරන්නා වූ ඒ සත්වයන්ගේ බොහෝ සෙයින් ශරීරයෙහි ගොරෝසු බව ම බැසගත්තේ ය. වර්ණ විවර්ණභාවය ද පැණවුණේ ය. ඔවුන් අතුරින් ඇතැම් සත්ව කෙනෙක් මනා පැහැයෙන් යුතු වෙති. ඇතැම් සත්වයෝ කිලිටි පැහැ ඇත්තෝ වෙති. එහි යම් ඒ සත්වයෝ මනාපැහැ ඇත්තාහු ද, ඔවුහු කිලිටි පැහැ සත්වයන් පහත් කොට සළකති. ‘මොවුන් අතුරින් අපි මනා පැහැ ඇත්තෝ වෙමු. මොවුහු අපට වඩා කිලිටි පැහැ ඇත්තෝ ය’ වශයෙනි. ඔවුන්ගේ මාන්නය ද, අතිමානය ද ඇති ව පැහැයෙන් හටගත් අධික මාන්නය හේතුවෙන් බදාලතා අතුරුදහන් ව ගියේ ය.
බදාලතා අතුරුදහන් ව ගිය කල්හී ඔවුහු එක්රැස් වූහ. එක්රැස් ව ‘ඒකාන්තයෙන් අපට බදාලතා තිබුණි. ඒකාන්තයෙන් අපට එය නැතිවූයේ ය’ යි ශෝකාකූල වචන කීවාහු ය. මෙකල්හිත් මිනිස්සු කිසියම් දුක් සහගත කරුණකින් පහස ලද විට, ‘ඒකාන්තයෙන් අපට තිබුණේ ය. ඒකාන්තයෙන් අපට නැතිවූයේ ය’ යි මෙසේ කියති. ඒ පැරණි වූ යළි ලෝකය සකස් වීමේ මුල් අවදිය පිළිබඳ නොගෙවුණු මතකය සිහි කරත්. එහෙත් එහි තේරුම නොදනිත්.
ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් හට බදාලතා අතුරුදහන් වූ කල්හී සකස් නොකළ පොළොවෙහි කුඩු නැති, දහයියා නැති, පිරිසිදු, සුවඳවත් සහල් ම ඵලය කොට ගත් පැසී ගිය හැල් කරල් පහල වූයේ ය. යම් සහලක් සවස ආහාරය පිණිස සවසට එතැනින් රැගෙන එත් ද, පසුදින උදෑසන එහි පැසුණු සහල් නැවත පැළවී තිබෙයි. යම් සහලක් උදේ ආහාරය පිණිස උදෑසන ගෙන එත් ද, සවස එහි පැසුණු සහල් නැවත පැළ වී තිබෙයි. කපා නොගත් තැනක් ව පෙනෙයි. එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ සකස් නොකළ පොළොවෙහි පහළ වූ පැසී ගිය හැල් සහල් අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන, ඉතා දිගු කලක් සිටියාහු ය.
වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ යම් යම් අයුරින් සකස් නොකළ පොළොවෙහි පහළ වූ පැසී ගිය හැල් සහල් අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන ඉතා දිගු කලක් සිටියාහු ද, වාසෙට්ඨයෙනි, ඒ ඒ අයුරින් බොහෝ සෙයින් ඒ සත්වයන්ගේ ශරීරයෙහි ගොරෝසු බව ම බැසගත්තේ ය. වර්ණ විවර්ණභාවය ද පැණවුණේ ය. ස්ත්‍රියට ස්ත්‍රී ලිංගය ත්, පුරුෂයාට පුරුෂ ලිංගය ත් පහළ වූයේ ය. ස්ත්‍රිය වූ කලී පුරුෂයා දෙස බොහෝ වෙලාවක් නැවත නැවත බලයි. පුරුෂයා ද ස්ත්‍රිය දෙස බොහෝ වෙලාවක් නැවත නැවත බලයි. අධික වේලාවක් ඔවුනොවුන් දෙස නැවත නැවත බලා සිටින ඔවුන් හට රාග සහිත බව හටගත්තේ ය. කයෙහි පරිදාහය බැසගත්තේ ය. ඔවුහු ඒ රාග දාහය හේතුවෙන් අඹුසැමියන් සේ හැසිරුණාහ.
වාසෙට්ඨයෙනි, එසමයෙහි යම් ඒ සත්වයෝ අඹුසැමියන් සේ හැසිරෙන සත්වයන් දකිත් ද, අනෙක් අය ඔවුන් වෙත පස් දමා ගසති. තව කෙනෙක් අළු දමා ගසති. තව කෙනෙක් ගොම දමා ගසති. ‘නැසී යා වසලිය! නැසී යා වසලිය! කෙසේ නම් සත්වයෙක් සත්වයෙකු හට මෙබඳු දෙයක් කරන්නේ ද!’ කියා ය. මෙකල්හී පවා ඇතැම් ජනපදවල මිනිස්සු ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හී අන් කෙනෙක් පස් දමා ගසති. තව කෙනෙක් අළු දමා ගසති. තව කෙනෙක් ගොම දමා ගසති. ඒ පැරණි වූ යළි ලෝකය සකස් වීමේ මුල් අවදිය පිළිබඳ නොගෙවුණු මතකය සිහි කරත්. එහෙත් එහි තේරුම නොදනිත්.
වාසෙට්ඨයෙනි, එසමයෙහි යමක් අධර්මය යැයි සම්මත වූයේ ද, එය මෙකල්හී ධර්මය යැයි සම්මත ය. වාසෙට්ඨයෙනි, එසමයෙහි යම් ඒ සත්වයෝ අඹුසැමියන් ලෙස හැසිරෙත් ද, ඔවුහු මසක් හෝ දෙමසක් හෝ ගමකට හෝ නියම්ගමකට හෝ පිවිසෙන්නට අවසර නොලබති. යම් කලෙක වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ එසමයෙහි අධික වේලාවක් අසද්ධර්මයෙහි යෙදී සිටින බවට පැමිණියාහු ද, එකල්හී ඒ අසද්ධර්ම කටයුත්ත අන්‍යයන්ගෙන් වසාලීම පිණිස ම ගෙවල් තනන්නට උත්සාහවත් වූහ.
එකල්හී වාසෙට්ඨයෙනි, එක්තරා කම්මැලි ගති ඇති සත්වයෙකුට මේ අදහස ඇති වූයේ ය. ‘භවත්නි, සවසට ආහාර පිණිස සවස ත්, උදය ආහාර පිණිස උදෑසන ත් හැල් ගෙන එන්නේ මම කුමකට නම් මහන්සි වෙම් ද? එහෙයින් මම සවසට ත්, උදයට ත් ආහාර පිණිස එක්වරට ම හැල් ගෙන එන්නෙම් නම් මැනැවි’ යි.
ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයා සවසට ත්, උදයට ත් ආහාර පිණිස එක්වර ම හැල් ගෙන ආවේ ය. එවිට වාසෙට්ඨයෙනි, එක්තරා සත්වයෙක් ඒ සත්වයා වෙත එළැඹියේ ය. එළැඹ ඒ සත්වයාට මෙය කිව්වේ ය. ‘භවත් සත්වය, එව. හැල් රැගෙන එනු පිණිස යන්නෙමු’ යි. ‘වැඩක් නැහැ භවත් සත්වය, මා විසින් සවසට ත්, උදයට ත් ආහාර පිණිස එක්වරට ම හැල් ගෙන එන ලද්දේ ය.’ ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයා අර සත්වයාගේ ක්‍රියාව දැක ඒ අනුව කිරීමට පැමිණියේ, ‘භවත, මෙසේ කිරීම යහපත් නොවැ’ යි එක්වර ම දෙදිනකට සෑහෙන හැල් ගෙන ආවේ ය.
ඉක්බිති වාසෙට්ඨයෙනි, තව සත්වයෙක් ඒ සත්වයා වෙත පැමිණියේ ය. පැමිණ ඒ සත්වයාට මෙය කිව්වේ ය. ‘භවත් සත්වය, එව. හැල් රැගෙන එනු පිණිස යන්නෙමු’ යි. ‘වැඩක් නැහැ භවත් සත්වය, මා විසින් දෙදිනකට සෑහෙන හැල් එක්වරට ම ගෙන එන ලද්දේ ය.’ ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයා අර සත්වයාගේ ක්‍රියාව දැක ඒ අනුව කිරීමට පැමිණියේ, ‘භවත, මෙසේ කිරීම යහපත් නොවැ’ යි එක්වර ම සිව්දිනකට සෑහෙන හැල් ගෙන ආවේ ය.
ඉක්බිති වාසෙට්ඨයෙනි, තව සත්වයෙක් ඒ සත්වයා වෙත පැමිණියේ ය. පැමිණ ඒ සත්වයාට මෙය කිව්වේ ය. ‘භවත් සත්වය, එව. හැල් රැගෙන එනු පිණිස යන්නෙමු’ යි. ‘වැඩක් නැහැ භවත් සත්වය, මා විසින් සිව්දිනකට සෑහෙන හැල් එක්වරට ම ගෙන එන ලද්දේ ය.’ ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයා අර සත්වයාගේ ක්‍රියාව දැක ඒ අනුව කිරීමට පැමිණියේ, ‘භවත, මෙසේ කිරීම යහපත් නොවැ’ යි එක්වර ම අටදිනකට සෑහෙන හැල් ගෙන ආවේ ය.
යම් කලෙක වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ හැල් එක්රැස් කොට තබාගෙන අනුභව කරන්නට උත්සාහවත් වූවාහු ද, එකල්හී කුඩු ත්, සහල වසාගත්තේ ය. දහයියා ත් සහල වසා ගත්තේ ය. හැල් කපා ගත් තැන යළි නොවැඩුණේ ය. හැල් නැති තැන අඩු ව පෙනුනේ ය. හැල් පඳුරු පඳුරු සිටියේ ය.
එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ එක්රැස් වූහ. එක්රැස් ව ශෝකාකූල වචන කීහ. ‘භවත්නි, ඒකාන්තයෙන් ම සත්වයන් අතර ලාමක ගතිගුණ පහළ වූයේ ය. පූර්වයෙහි අපි සිතින් සකස් වූ සිරුරු ඇති ව, ප්‍රීතිය අනුභව කරමින්, තම සිරුරුවල එළිය ඇති ව, අහසේ හැසිරෙමින් සොඳුරු ව සිට බොහෝ දිගු කලක් සිටියෙමු. ඒ අපට ඉතා දිගු කලක් ගෙවී ගිය පසු කිසියම් කාලයක ජලය මතුපිට රස පොළොව පැතිරී තිබුණේ ය. එය ඉතා පැහැපත් ව, ඉතා සුවඳවත් ව, ඉතා රසවත් ව තිබුණේ ය. ඒ අපි රස පොළොව අත්වලින් පිඬු කොට අනුභව කරන්නට උත්සාහවත් වුණෙමු. රස පොළොව අත්වලින් පිඬු කොට අනුභව කරන්නට උත්සාහවත් වන ඒ අපගේ සිරුරින් නිකුත් වූ එළිය අතුරුදහන් වූයේ ය.
එසේ අතුරුදහන් වූ කල්හි සඳ හිරු පහළ වූයේ ය. සඳ හිරු පහළ වූ කල්හී නැකැත් තරු පහළ වූයේ ය. නැකැත් තරු පහළ වූ කල්හී රෑ දහවල් පහළ වූයේ ය. රෑ දහවල් පහළ වූ කල්හී මාස, අඩමාස පහළ වූයේ ය. මාස, අඩමාස පහළ වූ කල්හී කාලගුණය හා වර්ෂ ක්‍රමය පහළ වූයේ ය.
ඒ අපි රස පොළොව අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට, ඉතා දිගු කලක් සිටියෙමු. ඒ අප තුළ පවිටු අකුසල ධර්මයන්ගේ පහළ වීමෙන් ම රස පොළොව අතුරුදහන් ව ගියේ ය. රස පොළොව අතුරුදහන් වී ගිය කල්හී බිම්හතු පහළ වූයේ ය. එය ඉතා පැහැපත් ව, ඉතා සුවඳවත් ව, ඉතා රසවත් ව තිබුණේ ය. ඒ අපි බිම්හතු අනුභව කිරීමට උත්සාහවත් වුණෙමු. ඒ අපි ඒ බිම් හතු අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ඉතා දිගු කලක් සිටියෙමු.
ඒ අප තුළ පවිටු අකුසල ධර්මයන්ගේ පහළ වීමෙන් ම බිම්හතු අතුරුදහන් ව ගියේ ය. බිම්හතු අතුරුදහන් වී ගිය කල්හී බදාලතා පහළ වූයේ ය. එය ඉතා පැහැපත් ව, ඉතා සුවඳවත් ව, ඉතා රසවත් ව තිබුණේ ය. ඒ අපි බදාලතා අනුභව කිරීමට උත්සාහවත් වුණෙමු. ඒ අපි ඒ බදාලතා අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ඉතා දිගු කලක් සිටියෙමු.
ඒ අප තුළ පවිටු අකුසල ධර්මයන්ගේ පහළ වීමෙන් ම බදාලතා අතුරුදහන් ව ගියේ ය. බදාලතා අතුරුදහන් වී ගිය කල්හී සකස් නොකළ පොළොවෙහි කුඩු නැති, දහයියා නැති, පිරිසිදු, සුවඳවත්, සහල් ම ඵලය කොටගත් පැසී ගිය ඇල් සහල් කරල් පහළ වූයේ ය. යම් සහලක් සවස ආහාරය පිණිස සවසට එතැනින් රැගෙන ආවෙමු ද, පසුදින උදෑසන එහි පැසුණු සහල් නැවත පැළවී තිබුණේ ය. යම් සහලක් උදේ ආහාරය පිණිස උදෑසන ගෙන ආවෙමු ද, සවස එහි පැසුණු සහල් නැවත පැළ වී තිබුණේ ය. කපා නොගත් තැනක් ව පෙනුනේ ය. ඒ අපි සකස් නොකළ පොළොවෙහි පහළ වූ පැසී ගිය හැල් සහල් අනුභව කරමින්, එය වළඳමින්, එය ආහාර කොට ගෙන, ඉතා දිගු කලක් සිටියෙමු.
ඒ අප තුළ පවිටු අකුසල ධර්මයන්ගේ පහළ වීමෙන් ම කුඩු ත්, සහල වසාගත්තේ ය. දහයියා ත් සහල වසා ගත්තේ ය. හැල් කපා ගත් තැන යළි නොවැඩුණේ ය. හැල් නැති තැන අඩු ව පෙනුනේ ය. හැල් පඳුරු පඳුරු සිටියේ ය. එහෙයින් අපි හැල් කෙත් බෙදන්නෙමු නම්, සීමාවන් තබන්නෙමු නම් මැනැව’ යි ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ හැල් කෙත් බෙදූහ. සීමා වෙන් කොට තැබූහ.
එකල්හී වාසෙට්ඨයෙනි, එක්තරා ලොල් ගති ඇති සත්වයෙක් තමන්ගේ කොටස රකිමින්, තමාට නොදුන් වෙනත් කොටසක් පැහැරගෙන අනුභව කළේ ය. අන් සත්වයෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මෙය කීහ. ‘භවත් සත්වය, ඒකාන්තයෙන් පවිටු දෙයක් කළෙහි ය. යම් තැනක තම කොටස රැකගනිමින්, තමාට නොදුන් වෙනත් කොටසක් පැහැරගෙන බුදින්නෙහි ද? භවත් සත්වය, නැවත ත් මෙබඳු වූ දෙයක් නොකරව’ යි. ‘එසේ ය, භවත්නි’ යි වාසෙට්ඨයෙනි, ඒ සත්ව තෙමේ ඒ සත්වයන්ට පිළිතුරු දුන්නේ ය.
වාසෙට්ඨයෙනි, ඒ සත්වයා දෙවෙනි වතාවට ත් ….(පෙ)…. ඒ සත්වයා තුන්වෙනි වතාවට ත් තමන්ගේ කොටස රකිමින්, තමාට නොදුන් වෙනත් කොටසක් පැහැරගෙන අනුභව කළේ ය. අන් සත්වයෝ ඔහු අල්ලා ගත්හ. අල්ලා ගෙන මෙය කීහ. ‘භවත් සත්වය, ඒකාන්තයෙන් පවිටු දෙයක් කළෙහි ය. යම් තැනක තම කොටස රැකගනිමින්, තමාට නොදුන් වෙනත් කොටසක් පැහැරගෙන බුදින්නෙහි ද? භවත් සත්වය, නැවත ත් මෙබඳු වූ දෙයක් නොකරව’ යි කෙනෙක් අතින් පහර දුන්හ. කෙනෙක් ගලින් පහර දුන්හ. කෙනෙක් දණ්ඩෙන් පහර දුන්හ. වාසෙට්ඨයෙනි, එතැන් පටන් සොරකම පැණවුණේ ය. ගැරහීම පැණවුණේ ය. බොරුකීම පැණවුණේ ය. දඬුමුගුරු ගැනීම පැණවුණේ ය.
එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ එක්රැස් වූහ. එක්රැස් ව ශෝකාකූල වචන කීහ.
‘භවත්නි, යම් තැනක නම් සොරකම දකින්නට ලැබෙන්නේ ද, ගැරහීම දකින්නට ලැබෙන්නේ ද, බොරුකීම දකින්නට ලැබෙන්නේ ද, දඬු මුගුරු ගැනීම දකින්නට ලැබෙන්නේ ද, ඒකාන්තයෙන් සත්වයන් කෙරෙහි පවිටු ගතිගුණ පහළ වූයේ ය. එහෙයින් භවත්නි, යමෙක් අප අතර දොස් නැගිය යුත්තෙකු සිටියි නම්, ඔහුට මැනැවින් දොස් නගයි ද, ගැරහිය යුත්තෙකු සිටියි නම්, ඔහුට මැනැවින් ගරහයි ද, නෙරපිය යුත්තෙකු සිටියි නම්, ඔහු මැනැවින් නෙරපයි ද, අපි එසේ වූ එක් සත්වයෙකු සම්මත කරගන්නෙමු නම් ඉතා මැනැවි. අපි ඔහුට හැල් වලින් කොටසක් දෙන්නෙමු’ යි.
ඉක්බිති වාසෙට්ඨයෙනි, ඒ සත්වයෝ ඔවුන් අතර යම් සත්වයෙක් වඩා ත් රූප සම්පන්න වූයේ ද, වඩා ත් දැකුම්කළු වූයේ ද, වඩා ත් දුටුවන් පහදිනසුළු වූයේ ද, වඩාත් මහේශාක්‍ය වූයේ ද, ඒ සත්වයා වෙත එළැඹ මෙසේ කීවාහු ය. ‘භවත් සත්වය, එව. අප අතර දොස් නැගිය යුත්තෙකු සිටියි නම්, ඔහුට මැනැවින් දොස් නගව. ගැරහිය යුත්තෙකු සිටියි නම්, ඔහුට මැනැවින් ගරහව. නෙරපිය යුත්තෙකු සිටියි නම්, ඔහු මැනැවින් නෙරපව. අපි වනාහී ඔබට හැල් වලින් කොටසක් දෙන්නෙමු’ යි. වාසෙට්ඨයෙනි, ඒ සත්ව තෙමේ ‘එසේ ය, භවත්නි’ යි ඒ සත්වයන්ට පිළිතුරු දී දොස් නැගිය යුත්තාට මැනැවින් දොස් නැගුවේ ය. ගැරහිය යුත්තාට මැනැවින් ගැරහුවේ ය. නෙරපිය යුත්තා මැනැවින් නෙරපුවේ ය. ඔවුහු වනාහී ඔහුට හැල් වලින් කොටසක් දුන්හ.
වාසෙට්ඨයෙනි, මහාජනයා විසින් සම්මත කරන ලද්දේ ය යනුවෙන් ‘මහා සම්මත, මහා සම්මත’ යි යන වචනය පළමුවෙන් ව්‍යවහාරයට උපන්නේ ය.
වාසෙට්ඨයෙනි, කුඹුරුවලට අධිපති ය යනුවෙන් ‘ක්ෂත්‍රිය ය, ක්ෂත්‍රිය ය’ යන වචනය දෙවනු ව ව්‍යවහාරයට උපන්නේ ය. වාසෙට්ඨයෙනි, ධර්මයෙන් ජනයා සුවපත් කොට ප්‍රීතිමත් කරවයි යනුවෙන් ‘රාජා, රාජා’ යන වචනය තුන්වෙනු ව ව්‍යවහාරයට උපන්නේ ය.
මෙසේ වාසෙට්ඨයෙනි, මේ ක්ෂත්‍රිය මණ්ඩලයේ පටන් ගැනීම පැරණි වූ, මුල් අවදියෙහි වූ වචන ව්‍යවහාරයෙන් වූවේ ය. එය ත් මේ සත්වයන් අතර ම ය. අන් සත්වයන් අතර නොවෙයි. සමාන සත්වයන් අතර ම ය. අසමාන සත්වයන් අතර නොවෙයි. ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
එකල්හී වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් අතර ම ඇතැම් සත්වයන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, යම් තැනක සොරකම දකින්නට ලැබෙන්නේ ද, ගැරහීම දකින්නට ලැබෙන්නේ ද, දඬු මුගුරු ගැනීම දකින්නට ලැබෙන්නේ ද, නෙරපීම දකින්නට ලැබෙන්නේ ද, බොරු කීම දකින්නට ලැබෙන්නේ ද, ඒකාන්තයෙන් සත්වයන් තුළ පවිටු ගතිගුණ පහළ වූයේ ය. එහෙයින් අපි පවිටු අකුසල් දහම් බැහැර ලන්නෙමු නම් ඉතා මැනැවි’ යි ඔවුහු පවිටු අකුසල් දහම් බැහැර කළහ. වාසෙට්ඨයෙනි, පවිටු අකුසල් දහම් බැහැර කරත් යනුවෙන් ‘බ්‍රාහ්මණ, බ්‍රාහ්මණ’ යන වචනය පළමු ව ව්‍යවහාරයට උපන්නේ ය.
ඔවුහු වනාන්තරවල, පන්සල් කුටි තනා පන්සල් කුටිවල ධ්‍යාන කරති. (තමන් ම ආහාර පිස අනුභව කිරීම අත්හළ බැවින්) බැහැර කළ අඟුරු ඇති ව, බැහැර කළ දුම් ඇති ව, බැහැර කළ මොහොල් ගස් ඇති ව, සවස ආහාරය පිණිස සවසට ත්, හීල පිණිස උදයට ත් ගම් නියම්ගම්වලට රාජධානිවලට ආහාර සෙවීම පිණිස පිවිසෙත්. ඔවුහු ආහාර ලැබ නැවත ත් වනයට ගොස් පන්සල් කුටිවල ධ්‍යාන කරත්. මිනිස්සු ඔවුන් දැක මෙසේ කීවාහු ය. ‘භවත්නි, මේ සත්වයෝ වනාහී වනයෙහි පන්සල් කුටි තනා පන්සල් කුටිවල ධ්‍යාන කරති. බැහැර කළ අඟුරු ඇති ව, බැහැර කළ දුම් ඇති ව, බැහැර කළ මොහොල් ගස් ඇති ව, සවස ආහාරය පිණිස සවසට ත්, හීල පිණිස උදයට ත් ගම් නියම්ගම්වලට රාජධානිවලට ආහාර සෙවීම පිණිස පිවිසෙත්. ඔවුහු ආහාර ලැබ නැවත ත් වනයට ගොස් පන්සල් කුටිවල ධ්‍යාන කරති’ යි මෙසේ වාසෙට්ඨයෙනි, ධ්‍යාන කරති යනුවෙන් ‘ඣායකයෝ හෙවත් ධ්‍යාන කරන්නෝ ය, ධ්‍යාන කරන්නෝ ය’ යන වචනය දෙවනු ව ව්‍යවහාරයට උපන්නේ ය.
වාසෙට්ඨයෙනි, ඒ ධ්‍යාන කරන සත්වයන් අතර ම සිටි ඇතැම් සත්වයෝ වනයෙහි පන්සල් කුටිවල ඒ ධ්‍යානය කරගන්නට නොහැකි වීමෙන් ගම් ආසන්නයට, නියම් ගම් ආසන්නයට පැමිණ ග්‍රන්ථ කරමින් වාසය කරති. මිනිස්සු ඔවුන් දැක මෙසේ කීවාහු ය. ‘භවත්නි, මේ සත්වයෝ වනාහී වනගත පෙදෙස්වල, පන්සල් කුටිවල ඒ ධ්‍යානය කරගන්නට බැරි ව ගම් ආසන්නයට, නියම්ගම් ආසන්නයට පැමිණ ග්‍රන්ථ කරමින් වාසය කරති. දැන් මොවුහු ධ්‍යාන නොකරති’ යි. වාසෙට්ඨයෙනි, දැන් මොවුහු ධ්‍යාන නොකරති යනුවෙන් ‘අජ්ඣායකයෝ හෙවත් ධ්‍යාන නොකරන්නෝ ය, ධ්‍යාන නොකරන්නෝ ය’ යන තුන්වෙනි වචනය ව්‍යවහාරයට උපන්නේ ය.
වාසෙට්ඨයෙනි, එසමයෙහි යමක් හීන යැයි සම්මත වූයේ ද, මෙකල්හී එය ශ්‍රේෂ්ඨ යැයි සම්මත වෙයි. මෙසේ වාසෙට්ඨයෙනි, මේ බ්‍රාහ්මණ මණ්ඩලයේ පටන් ගැනීම පැරණි වූ, මුල් අවදියෙහි වූ වචන ව්‍යවහාරයෙන් වූවේ ය. එය ත් මේ සත්වයන් අතර ම ය. අන් සත්වයන් අතර නොවෙයි. සමාන සත්වයන් අතර ම ය. අසමාන සත්වයන් අතර නොවෙයි. ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් අතර ම ඇතැම් සත්වයෝ අඹු සැමියන් වශයෙන් ජීවත් වී ප්‍රකට ව දකින්නට ලැබෙන රැකියාවන්හි නියැලුණාහු ය. වාසෙට්ඨයෙනි, අඹුසැමියන් වශයෙන් ජීවත් වෙමින්, ප්‍රකට ව දකින්නට ලැබෙන රැකියාවන්හි යෙදෙති යනුවෙන් ‘වෛශ්‍යයෝ ය, වෛශ්‍යයෝ ය’ යන වචනය ව්‍යවහාරයට උපන්නේ ය.
මෙසේ වාසෙට්ඨයෙනි, මේ වෛශ්‍ය මණ්ඩලයේ පටන් ගැනීම පැරණි වූ, මුල් අවදියෙහි වූ වචන ව්‍යවහාරයෙන් වූවේ ය. එය ත් මේ සත්වයන් අතර ම ය. අන් සත්වයන් අතර නොවෙයි. සමාන සත්වයන් අතර ම ය. අසමාන සත්වයන් අතර නොවෙයි. ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් අතර ම යම් ඒ ඉතිරි සත්වයෝ වෙත් ද, ඔවුහු රෞද්‍ර ගතිගුණ ඇත්තෝ වූහ. පටු ගතිගුණ ඇත්තෝ වූහ. වාසෙට්ඨයෙනි, රෞද්‍ර ගතිගුණ ඇත්තෝ ය, කුඩා ගතිගුණ ඇත්තෝ ය යනුවෙන් ‘ශුද්‍රයෝ ය, ශුද්‍රයෝ ය’ යන වචනය ව්‍යවහාරයට උපන්නේ ය.
මෙසේ වාසෙට්ඨයෙනි, මේ ශුද්‍ර මණ්ඩලයේ පටන් ගැනීම පැරණි වූ, මුල් අවදියෙහි වූ වචන ව්‍යවහාරයෙන් වූවේ ය. එය ත් මේ සත්වයන් අතර ම ය. අන් සත්වයන් අතර නොවෙයි. සමාන සත්වයන් අතර ම ය. අසමාන සත්වයන් අතර නොවෙයි. ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා ත් සිය ක්ෂත්‍රිය ධර්මයට ගරහමින් ගිහි ගෙයින් නික්ම අනගාරික ව ‘ශ්‍රමණයෙක් වන්නෙමි’ යි පැවිදි වෙයි ද, බ්‍රාහ්මණයා ත් සිය බ්‍රාහ්මණ ධර්මයට ගරහමින් ගිහි ගෙයින් නික්ම අනගාරික ව ‘ශ්‍රමණයෙක් වන්නෙමි’ යි පැවිදි වෙයි ද, වෛශ්‍යයා ත් සිය වෛශ්‍ය ධර්මයට ගරහමින් ගිහි ගෙයින් නික්ම අනගාරික ව ‘ශ්‍රමණයෙක් වන්නෙමි’ යි පැවිදි වෙයි ද, ශුද්‍රයා ත් සිය ශුද්‍ර ධර්මයට ගරහමින් ගිහි ගෙයින් නික්ම අනගාරික ව ‘ශ්‍රමණයෙක් වන්නෙමි’ යි පැවිදි වෙයි ද, එබඳු වූ කාලයක් තිබුණේ ය. වාසෙට්ඨයෙනි, මේ මණ්ඩල සතරින් ම ශ්‍රමණ මණ්ඩලයෙහි ආරම්භය වූයේ ය. එය ත් මේ සත්වයන් අතර ම ය. අන් සත්වයන් අතර නොවෙයි. සමාන සත්වයන් අතර ම ය. අසමාන සත්වයන් අතර නොවෙයි. ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා ත් කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, මිසදිටු ව සිට, මිසදිටු ක්‍රියා සමාදන් ව සිට, මිසදිටු ක්‍රියා සමාදන් වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදියි. වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, වෛශ්‍යයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි ශුද්‍රයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, ශ්‍රමණයා ත් කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, මිසදිටු ව සිට, මිසදිටු ක්‍රියා සමාදන් ව සිට, මිසදිටු ක්‍රියා සමාදන් වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදියි.
වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා ත් කයින් සුසිරිත් කොට, වචනයෙන් සුසිරිත් කොට, මනසින් සුසිරිත් කොට, සම්දිටු ව සිට, සම්දිටු ක්‍රියා සමාදන් ව සිට, සම්දිටු ක්‍රියා සමාදන් වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදියි. වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, වෛශ්‍යයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි ශුද්‍රයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, ශ්‍රමණයා ත් කයින් සුසිරිත් කොට, වචනයෙන් සුසිරිත් කොට, මනසින් සුසිරිත් කොට, සම්දිටු ව සිට, සම්දිටු ක්‍රියා සමාදන් ව සිට, සම්දිටු ක්‍රියා සමාදන් වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදියි.
වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා ත් කයෙන් හොඳ නරක දෙක ම කරන්නේ, වචනයෙන් හොඳ නරක දෙක ම කරන්නේ, සිතෙන් හොඳ නරක දෙකම කරන්නේ, හොඳ නරක මිශ්‍ර වූ දෘෂ්ටියෙන් සිට, හොඳ නරක මිශ්‍ර වූ දෘෂ්ටියෙන් ගත් ක්‍රියාව සමාදන් ව සිට, හොඳ නරක මිශ්‍ර වූ දෘෂ්ටියෙන් ගත් ක්‍රියාව සමාදන් වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු සැපදුක් අත්විඳින්නේ වෙයි. වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, වෛශ්‍යයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි ශුද්‍රයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, ශ්‍රමණයා ත් කයෙන් හොඳ නරක දෙක ම කරන්නේ, වචනයෙන් හොඳ නරක දෙක ම කරන්නේ, සිතෙන් හොඳ නරක දෙකම කරන්නේ, හොඳ නරක මිශ්‍ර වූ දෘෂ්ටියෙන් සිට, හොඳ නරක මිශ්‍ර වූ දෘෂ්ටියෙන් ගත් ක්‍රියාව සමාදන් ව සිට, හොඳ නරක මිශ්‍ර වූ දෘෂ්ටියෙන් ගත් ක්‍රියාව සමාදන් වීම හේතුවෙන් කය බිඳී මරණින් මතු සැපදුක් අත්විඳින්නේ වෙයි.
වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා ත් කයෙන් සංවර වූයේ, වචනයෙන් සංවර වූයේ, සිතෙන් සංවර වූයේ කොටස් සතකින් යුක්ත වූ බෝධිපාක්ෂික ධර්මයන් තමා තුළ දියුණු කොට මෙලොව දී ම පිරිනිවන් පාන්නේ වෙයි.
වාසෙට්ඨයෙනි, බ්‍රාහ්මණයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, වෛශ්‍යයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි ශුද්‍රයා ත් ….(පෙ)…. වාසෙට්ඨයෙනි, ශ්‍රමණයා ත් කයෙන් සංවර වූයේ, වචනයෙන් සංවර වූයේ, සිතෙන් සංවර වූයේ කොටස් සතකින් යුක්ත වූ බෝධිපාක්ෂික ධර්මයන් තමා තුළ දියුණු කොට මෙලොව දී ම පිරිනිවන් පාන්නේ වෙයි.
වාසෙට්ඨයෙනි, මේ වංශ සතරින් ම පැමිණි යම් භික්ෂුවක් රහත් ද, ක්ෂය වූ ආශ්‍රව ඇත්තේ ද, වසන ලද බඹසර ඇත්තේ ද, කළ යුතු දේ කරන ලද්දේ ද, කෙලෙස් බර බැහැර කරන ලද්දේ ද, පිළිවෙලින් පත් සම්පූර්ණ මගඵල ඇත්තේ ද, භව සංයෝජන ක්ෂය කරන ලද්දේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් නිදහස් වූයේ ද, ඔහු ඒ හැම වංශිකයන් අතුරින් අග්‍ර යැයි කියනු ලැබේ. එය ද ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨයෙනි, මෙලොවෙහි ත්, පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.
වාසෙට්ඨයෙනි, සනංකුමාර බ්‍රහ්මයා විසිනුත් මේ ගාථාව පවසන ලද්දේය.
‘යම් කෙනෙක් ගෝත්‍ර පිළිවෙල සිහි කරන්නාහු ද, ඒ ජනයා අතරෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රියයා ය. යමෙක් විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත වෙයි ද, ඒ බුදුරජ දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි.’
වාසෙට්ඨයෙනි, මේ ගාථාව වනාහී සනංකුමාර බ්‍රහ්මයා විසින් මැනැවින් ගයන ලද්දේ ය. නොමනා කොට නොගයන ලද්දේ ය. මැනැවින් පවසන ලද්දේ ය. නොමැනැවින් පවසන ලද්දක් නොවෙයි. අර්ථයෙන් යුක්ත ය. අනර්ථයෙන් යුක්ත නොවෙයි. මා විසින් අනුමත කරන ලද්දේ ය. වාසෙට්ඨයෙනි, මම ත් මෙසේ කියමි.
‘යම් කෙනෙක් ගෝත්‍ර පිළිවෙල සිහි කරන්නාහු ද, ඒ ජනයා අතරෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ක්ෂත්‍රියයා ය. යමෙක් විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත වෙයි ද, ඒ බුදුරජ දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙයි.’
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති වාසෙට්ඨ – භාරද්වාජ දෙදෙනා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.
සාදු! සාදු!! සාදු!!!
අග්ගඤ්ඤ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M