ඛුද්දක නිකාය

ධම්මපදය

4. පුප්ඵ වග්ගෝ

4. මල් උපමා කොට වදාළ කොටස

44.1. කෝ ඉමං පඨවිං විජෙස්සති
යමලෝකඤ්ච ඉමං සදේවකං
කෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මේ පෘථිවිය ජයගන්නෙ කවුද? අපාය ජයගන්නෙ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය ජයගන්නෙ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙනම නෙලාගන්නවා වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙ කවුද?

45.2. සේඛෝ පඨවිං විජෙස්සති
යමලෝකඤ්ච ඉමං සදේවකං
සේඛෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති

ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දිනාගන්නෙ. අපාය දිනා ගන්නෙත් ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නෙත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා, නෙළාගන්නවා වගේ, මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙත් ඒ තැනැත්තාමයි.

(සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)

46.3. ඵේණූපමං කායමිමං විදිත්වා
මරීචිධම්මං අභිසම්බුධානෝ
ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

අසාර වූ පෙණ පිඬක් විලසටයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. ජීවිතේ තුළ තියෙන්නෙ මිරිඟුවක ස්වභාවයක් කියලයි අවබෝධ කරගන්ට ඕනෙ. මාරයා සතුව තියෙන කෙලෙස් බන්ධන කියන මල් මාලාවන් සිඳ බිඳ දමලා, මාරයාට කිසිසේත් දකින්ට බැරි නිවන කරාමයි යන්න ඕනෙ.

(සැවැත් නුවරදී මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

47.4. පුප්ඵානි හේව පචිනන්තං
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව
මච්චු ආදාය ගච්ඡති

මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමය ම හොය හොය යනවා. අන්තිමේදී ගමක මිනිස්සු නිදාගෙන සිටිද්දීම මහ ගංවතුරක් ඇවිත් ඔවුන්ව මුහුදට ගහගෙන යනවා වගේ, මාරයා විසින් ඒ පුද්ගලයාවත් අපා දුකට අරගෙන යනවා.

(සැවැත් නුවරදී විඩූඩභ රජු අරභයා වදාළ ගාථාවකි.)

48.5. පුප්ඵානි හේව පචිනන්තං
බ්‍යාසත්තමනසං නරං
අතිත්තං යේව කාමේසු
අන්තකෝ කුරුතේ වසං

මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමය ම හොය හොය යනවා. අන්තිමේදී ඔහු මාරයාගේ ග්‍රහණයට හසුවෙන්නෙ, ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි.

(සැවැත් නුවරදී පතිපූජිකාව අරභයා වදාළ ගාථාවකි.)

49.6. යථාපි භමරෝ පුප්ඵං
වණ්ණගන්ධං අහේඨයං
පළේති රසමාදාය
ඒවං ගාමේ මුනී චරේ

බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නෙ නැතිවයි. මුනිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නෙ අන්න ඒ විදිහටයි.

(සැවැත් නුවරදී මච්ඡරිය කෝසිය සිටුතුමා අරභයා වදාළ ගාථාවකි.)

50.7. න පරේසං විලෝමානි
පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච

අනුන්ගේ වචනවල ඇදකුද හොයන්ට ඕනෙ නෑ. අනුන් කළ – නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන බලාගත්තහම ඇති.

(සැවැත් නුවරදී පාඨික ආජීවකයා අරභයා වදාළ ගාථාවකි.)

51.8. යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා
අඵලා හෝති අකුබ්බතෝ

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වුණාට කිසි සුවඳක් කෑ. අන්න ඒ වගේමයි, බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.

52.9. යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං සගන්ධකං
ඒවං සුභාසිතා වාචා
සඵලා හෝති පකුබ්බතෝ

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්. ඒ වගේම හරිම සුවඳයි. අන්න ඒ වගේමයි. බුදු සමිඳුන් වදාළ ධර්මය අනුගමනය කළොත්, සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්.

(සැවැත් නුවරදී ඡත්තපාණී උපාසක අරභයා වදාළ ගාථාවන්ය.)

53.10. යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන
කත්තබ්බං කුසලං බහුං

දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ, මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල්මයි කරගන්න ඕනෙ.

(සැවැත් නුවරදී විශාඛා උපාසිකාව අරභයා වදාළ ගාථාවකි.)

54.11. න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති

මල් සුවඳ උඩු සුළඟෙ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟෙ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළඟෙ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා.

55.12. චන්දනං තගරං වාපි
උප්පලං අථ වස්සිකී
ඒතේසං ගන්ධජාතානං
සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන්, තුවරලා, මානෙල්, සමන් පිච්ච කියන ඔය මල්වල සුවඳට වඩා, ගුණවතුන්ගේ සිල් සුවඳ කොයිතරම් උතුම් ද.

(සැවැත් නුවරදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

56.13. අප්පමත්තෝ අයං ගන්ධෝ
යායං තගරචන්දනී
යෝ ච සීලවතං ගන්ධෝ
වාති දේවේසු උත්තමෝ

සඳුන්, තුවරලා වගේ මල්වල තියෙන්නෙ සුවඳ ටිකයි. ඒ වුණාට, සිල්වතුන්ගේ ගුණ සුවඳ ඊට වඩා උතුම්. දෙව්ලොවටත් හමාගෙන යනවා.

(වේළුවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

57.14. තේසං සම්පන්නසීලානං
අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං
මාරෝ මග්ගං න වින්දති

ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප්‍රමාදීව ම යි ධර්මයේ හැසිරෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. උන්වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්ට බෑ.

(වේළුවනයේදී ගෝධික තෙරුන්ගේ පිරිනිවන් පෑම අරභයා වදාළ ගාථාවකි.)

58.15. යථා සංකාරධානස්මිං
උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත්ථ ජායේථ
සුචිගන්ධං මනෝරමං

මහපාර අයිනෙ කුණු දාන ලොකු වතුර වළවල් තියෙනවා. ඔය මඩ වතුරෙ නෙළුමක් පිපෙනවා. ඒ නෙළුම් මල හරිම සුවඳයි. හරිම ලස්සනයි.

59.16. ඒවං සංකාරභූතේසු
අන්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය
සම්මාසම්බුද්ධසාවකෝ

මේ අන්ධබාල පෘථග්ජනයන්ගේ ලෝකෙත් ඔය විදිහමයි. කුණු දාන වතුර වළක් වගේ. නමුත් ඔය ලෝකෙමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බබලන්නේ. මඬේ පිපිච්ච සුවඳ නෙළුමක් වගේ.

(ජේතවනාරාමයේදී සිරිගුත්ත හා ගරහදින්න අරභයා වදාළ ගාථාවන්ය.)

සාදු! සාදු!! සාදු!!!

මල් උපමා කොට වදාළ කොටස නිමා විය.

(පුප්ඵ වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M