ප්‍රමාදයෙන් කල් ගෙවන පුද්ගලයාගේ තෘෂ්ණාව වැඩෙන්නේ ගහ වටකරගෙන එතෙන මාළුවා වැලක් වගේ. වනයේ ගස්වල ගෙඩි කන්ට කැමැති වඳුරෙක්, ගහෙන් ගහට පැන පැන යනවා වගේ, ඒ තැනැත්තා භවයෙන් භවයට මාරුවෙනවා.
ලෝකයේ අරමුණුවලට ඇලී යන ස්වභාවය නිසා, විසත්තිකා යැයි කියන ලද ලාමක තෘෂ්ණාව විසින්, කාව හරි යටකරලා දැම්මොත්, ඒ පුද්ගලයා තුළ ශෝකය වැඩෙන්නෙ මහ වැස්සට තෙමිල, පඳුරු දාන සැවැන්දරා වගේ.
මේ ලෝකයෙහි ඉක්මවා යන්ට දුෂ්කර වූ මේ ලාමක තෘෂ්ණාව යම් කෙනෙක් විසින් මර්දනය කළොත්, නෙළුම් කොළයකින් වතුර බිංදු ගිලිහී යනවා වගේ, ඔහු තුළින් ශෝකය පහවෙලා යනවා.
දැන් මෙතනට රැස්වෙලා ඉන්න හැමදෙනාටම යහපතක් වේවා! මං ඔබට අවවාදයක් දෙන්නම්. සැවැන්දරා මුල්වලින් ප්‍රයෝජන ඇති උදවිය, සැවැන්දරා පඳුරු මුලින් උදුරලා දානවා වගේ, මේ තෘෂ්ණාවත් මුලින්ම උදුරලා දාන්න. ගං ඉවුරේ හැදිච්ච උණ පඳුරක් සැඩ වතුර පහරකින් ගැලවිලා ගහගෙන යනවා වගේ, මාරයා විසින් ඔබව ආයෙ ආයෙමත් විනාශ කරන්ට එපා!
(ජේතවනාරාමයේදී කපිල මත්ස්‍යයා අරභයා වදාළ ගාථාවන්ය)
මුල හයියට තියෙන, හොඳට වැඩුණු ගහක්, කොච්චර වතාවක් කැපුවත්, ආයෙ ආයෙමත් දළු දාල වැඩෙනවා. ඒ වගේ මේ සිත ඇතුලේ තියෙන තණ්හාව උදුරා නොදමනතාක් කල්, මේ සසර දුක ආයෙ ආයෙමත් හටගන්නවා.
ප්‍රිය මනාප වූ අරමුණු ඔස්සේ මේ ආයතනයන්ගෙන්, තිස් හය ආකාරයකින් තණ්හා ගඟ ගලනවා. ඒ තණ්හාවට අහුවෙලා, සරාගී කල්පනාවටම බැඳිලා ඉන්න අඥාන පුද්ගලයා අපායට ගිහිල්ලයි නවතින්නේ.
මේ ඇස්, කන්, නාසාදී හැම තැනකින්ම තණ්හා ගඟ ගලා බසිනවා. ඊට පස්සේ මේ තණ්හාව ජීවිතය පුරා එතිලා තියෙන්නෙ වැලක් වගේ. තමන් තුළ හටගත්තු මේ තණ්හා වැල හඳුනාගෙන, ප්‍රඥාව නමැති ආයුධයෙන්, මුලින්ම සිඳින්ට ඕනෙ.
මේ සත්වයාට තෘෂ්ණාව නිසා තමන් ගන්නා අරමුණු ඔස්සේ යම්කිසි සතුටක් ඇතිවෙනවා තමයි. ඔවුන් ඒ මිහිරට බැඳෙනවා. ඒ සැපයම හොයන්ට පටන් ගන්නවා. එබඳු සත්වයන් ඒකාන්තයෙන්ම ඉපදෙන දිරන සංසාරය කරාම යනවා.
මේ සත්ව ප්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී භයේ ගැහි ගැහී ඉන්නෙ, තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. කෙලෙස් බන්ධනයෙන් බැඳුණු සත්වයන් අනන්ත කාලයක් තිස්සෙ ජරා මරණ දුකට ම යි ආයෙ ආයෙමත් වැටෙන්නෙ.
මේ සත්ව ප්‍රජාව තණ්හාව මුල්කරගෙන යන ගමනේදී භයේ ගැහි ගැහී ඉන්නෙ, තොණ්ඩුවකට අහුවෙච්ච හාවෙක් වගේ. ඒ නිසා තෘෂ්ණා රහිත වූ නිවන කැමති භික්ෂුව ඒ තණ්හාවමයි දුරුකරන්ට ඕනෙ.
(රජගහ නුවරදී ඊරිපැටියෙක් අරභයා වදාළ ගාථාවන්ය.)
යමෙක් ගිහි ජීවිතය නමැති කෙලෙස් වනයෙන් නිදහස් වෙලා, අරණ්‍ය වාසයට ඇලෙනවා. ගිහි බන්ධනයෙන් නිදහස් වෙලා ඉන්න ඔහු, ආයෙමත් කෙලෙස් වනයක් වූ ගිහිගෙදරටම දුවනවා. බන්ධනයෙන් මිදිලා, ආයෙමත් බන්ධන වෙතම දුවන මේ පුද්ගලයා දිහා බලන්න.
(වේළුවනයේදී සිවුරු හැරි භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක්ව යකඩ දම්වැල්වලින් බැඳලා තිබ්බත්, දඬු කඳේ ගහලා තිබ්බත්, බබුස් තණවලින් කරපු ලණුවලින් බැඳලා තිබ්බත්, ප්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නෙ ඒකට නොවෙයි. කනකර ආභරණවලට, අඹු දරුවන්ට බැඳී ගිය සිතින් යුක්තව, ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද,
ප්‍රඥාවන්තයෝ අන්න ඒකට තමයි බලවත් බන්ධනය කියලා කියන්නෙ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් වූත් මිදෙන්ට දුෂ්කර වූත් බන්ධනය ඒකමයි. කාම සැපය සිතින් අත්හැරලා, ඒ කෙරෙහි අපේක්ෂා රහිත වන නුවණැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.
(සැවැත් නුවරදී සිරකරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවන්ය.)
මේ රාගයට ඇලිලා, තෘෂ්ණා සැඩපහරට වැටිලා ඉන්නෙ තමා විසින්ම දැල වියාගෙන, ඒක මැද්දටම වෙලා ඉන්න මකුළුවෙක් වගේ. නමුත්, නුවණැති උදවිය සියලු දුක් නැතිකර දැමීමට කාමයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙලා, කෙලෙස් බන්ධන සිඳගෙන නිවන කරාම යනවා.
(වේළුවනයේදී ඛේමා බිසව අරභයා වදාළ ගාථාවකි.)
අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එක අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින්ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නොඑන කෙනෙක් වෙන්න.
(රජගහ නුවරදී උග්ගසේන සිටුපුත්‍රයා අරභයා වදාළ ගාථාවකි.)
සමහර උදවිය ඉන්නවා, කාම විතර්කමයි හිත හිත ඉන්නේ. තියුණු රාග සිතකින් යුක්තව සුභ විදිහටමයි බල බලා ඉන්නෙ. එතකොට ඔහු තුළ බොහෝ සෙයින් තණ්හාව ම යි වැඩෙන්නෙ. අන්තිමේදී ඒ තණ්හා බන්ධනය හොඳටම දැඩි වෙලා යනවා.
රාග සිතුවිලි සංසිඳවා ගැනීමෙහි සිත අලවාගෙන හැමවිටම සිහි ඇතිව අසුභ භාවනාව වඩනවා නම්, අන්න ඒ තැනැත්තා මේ තණ්හාව ප්‍රහාණය කරනවා. මාර බන්ධනය සිඳලා දානවා.
(ජේතවනාරාමයේදී තරුණ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවන්ය.)
යම් භික්ෂුවක් නිවන් මගේ කෙළවරට ගියා නම්, කිසි තැතිගැනීමක් නැත්නම්, තණ්හාව දුරු කළා නම්, නිකෙලෙස් නම්, භවය නමැති උල් උදුරලා දැම්මා නම්, ඔහුට තිබෙන්නෙ මේ අන්තිම ශරීරය විතරයි.
යම් භික්ෂුවක් තෘෂ්ණාව දුරුකරලා නම්, උපාදාන රහිත නම්, නිවන් මග පවසන්ට දක්ෂ නම්, පෙර පසු පද ගලපාගෙන, අකුරුත් ගලපාගෙන, මනාකොට ධර්මයත් පවසයි නම්, ඇත්තෙන්ම ඔහුට තියෙන්නේ අන්තිම ශරීරයක්. මහා ප්‍රඥාවන්තයා, මහා පුරුෂයා කියලා ඔහුටයි කිවයුත්තේ.
(ජේතවනාරාමයේදී වසවත් මරු අරභයා වදාළ ගාථාවන්ය.)
මං හැම අකුසලයක්ම මර්ධනය කළා. හැම දෙයක්ම අවබෝධ කළා. මං කිසි දේකට ඇලෙන්නෙ නෑ. හැමදේම අතහැරියා. තෘෂ්ණාව ක්‍ෂය වුණා. සසර දුකින් නිදහස් වුණා. ස්වයංභූ ඥානයෙන් යථාර්ථය අවබෝධ කළ මං කාව නම් ගුරුකොට ගන්ටද?
(ගයාවත් බරණැසත් අතර උපක ආජීවකයා අරභයා වදාළ ගාථාවකි.)
හැම දන් පරදවා ධර්ම දානයයි ජයගන්නෙ. හැම රස පරදවා ජය ගන්නේ දහම් රසයයි. හැම ඇල්ම පරදවා දහමට ඇළුම් කිරීමමයි ජයගන්නෙ. සියලු දුක් පරදවා තණ්හාව නැති කිරීම ම යි ජයගන්නේ.
(ජේතවනාරාමයේදී සක්දෙවිඳු අරභයා වදාළ ගාථාවකි.)
සැප සම්පත් විසින් අඥාන පුද්ගලයාව විනාශ කරල දානවා. නමුත් සසරින් එතෙර වීමට නිවන සොයාගෙන යන කෙනා ව ඒ විදිහට වනසන්ට බෑ. අඥාන පුද්ගලයා සැප සම්පත්වලට තියෙන ආශාව නිසා වැනසෙන්නෙ අනුන් ලවා තමන්වම වනසා ගන්නවා වගේ.
(ජේතවනාරාමයේදී අපුත්තක සිටාණන් අරභයා වදාළ ගාථාවකි.)
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද රාගය නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා වීතරාගී උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද ද්වේෂය නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා ද්වේෂ රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද මෝහය නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා මෝහ රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නෙ.
කුඹුරේ ගොයමට රෝග හටගන්නවා වගේ, මේ සත්ව ප්‍රජාව ද ලාමක ආශාවන් නමැති රෝගයෙන් යුක්තයි. ඒ නිසා ලාමක ආශා රහිත උතුමන්ට දෙන දානයෙන් තමයි මහත් ඵල ලැබෙන්නේ.
(තව්තිසා දෙව්ලොවදී අංකුර දිව්‍ය පුත්‍රයා අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
තණ්හාව ගැන වදාළ කොටස නිමා විය.
(තණ්හා වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-24/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M