දීඝ නිකාය

පාථික වග්ගෝ

8. සිගාල සුත්තං

8. සිඟාලකට අවවාද වශයෙන් වදාළ දෙසුම

1. ඒවං මේ සුතං:

මා විසින් මෙසේ අසන ලදී.

ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන සිගාලකෝ ගහපතිපුත්තෝ කාලස්සේව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථෝ අල්ලකේසෝ පඤ්ජලිකෝ පුථුද්දිසා නමස්සති, පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං,

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ වේළුවනයෙහි වැඩවසන සේක.

එසමයෙහි සිඟාලක නම් ගෘහපති පුත්‍රයෙක් පාන්දරින් අවදි ව රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් හිසකෙස් ඇති ව, ඇඳිලි බැඳගෙන බොහෝ දිශාවන් වඳියි. එනම්; නැගෙනහිර දිශාව ය, දකුණු දිශාව ය, බටහිර දිශාව ය, උතුරු දිශාව ය, යට දිශාව ය, උඩ දිශාව ය වශයෙනි.

2. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛෝ භගවා සිගාලකං ගහපතිපුත්තං කාලස්සේව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථං අල්ලකේසං පඤ්ජලිකං පුථුද්දිසා නමස්සන්තං, පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං. දිස්වාන සිගාලකං ගහපතිපුත්තං ඒතදවෝච: “කින්නු ඛෝ ත්වං ගහපතිපුත්ත කාලස්සේව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථෝ අල්ලකේසෝ පඤ්ජලිකෝ පුථුද්දිසා නමස්සසි, පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසන්ති?”.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ඇති ව රජගහ නුවරට පිඬු පිණිස වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ සිඟාලක ගෘහපති පුත්‍රයා කලින් ම අවදි ව රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් හිසකෙස් ඇති ව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාව ය, දකුණු දිශාව ය, බටහිර දිශාව ය, උතුරු දිශාව ය, යට දිශාව ය, උඩ දිශාව ය වශයෙන් බොහෝ දිශාවන් වඳිනු දුටු සේක. දැක සිඟාලක ගෘහපති පුත්‍රයා ඇමතූ සේක.

“කිම? ගෘහපති පුත්‍රය, ඔබ කලින් ම අවදි ව රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් හිසකෙස් ඇති ව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාව ය, දකුණු දිශාව ය, බටහිර දිශාව ය, උතුරු දිශාව ය, යට දිශාව ය, උඩ දිශාව ය වශයෙන් බොහෝ දිශාවන් මක් නිසා වඳින්නෙහි ද?”

“පිතා මං භන්තේ කාලං කරොන්තෝ ඒවං අවච: ‘දිසා තාත නමස්සෙය්‍යාසී’ති. සෝ ඛෝ අහං භන්තේ පිතුවචනං සක්කරොන්තෝ ගරුකරොන්තෝ මානෙන්තෝ පූජෙන්තෝ කාලස්සේව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථෝ අල්ලකේසෝ පඤ්ජලිකෝ පුථුද්දිසා නමස්සාමි, පුරත්ථිමං දිසං ….(පෙ)…. උපරිමං දිසන්ති”.

“ස්වාමීනී, මපියාණන් කලුරිය කරද්දී මට මෙසේ කීවේ ය. ‘දරුව, දිශාවන් වන්දනා කරව’ යි. ස්වාමීනී, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නෙම්, ගෞරව කරන්නෙම්, බුහුමන් කරන්නෙම්, පුදන්නෙම්, හිමිදිරියෙන් නැගිට, රජගහ නුවරින් නික්ම තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් හිසකෙස් ඇති ව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාව ය, දකුණු දිශාව ය, බටහිර දිශාව ය, උතුරු දිශාව ය, යට දිශාව ය, උඩ දිශාව ය වශයෙන් බොහෝ දිශාවන්ට වන්දනා කරමි.”

“න ඛෝ ගහපතිපුත්ත අරියස්ස විනයේ ඒවං ඡද්දිසා නමස්සිතබ්බා”ති.

“ගෘහපති පුත්‍රය, ආර්ය විනයෙහි වනාහී මේ අයුරින් සය දිශාවෝ නොවැන්ද යුත්තාහ.”

“යථා කථං පන භන්තේ අරියස්ස විනයේ ඡද්දිසා නමස්සිතබ්බා? සාධු මේ භන්තේ භගවා තථා ධම්මං දේසේතු යථා අරියස්ස විනයේ ඡද්දිසා නමස්සිතබ්බා”ති.

“ස්වාමීනී, ආර්ය විනයෙහි වූ කලී සය දිශාවෝ කොයි අයුරින් වැන්ද යුත්තාහු ද? යහපති ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආර්ය විනයෙහි සදිසාවෝ යම් අයුරකින් වැඳිය යුත්තාහු ද, ඒ අයුරින් මට ධර්මය දේශනා කරන සේක්වා!”

[ ඡද්දිසා ]

3. තේන හි ගහපතිපුත්ත සුණාහි, සාධුකං මනසිකරෝහි, භාසිස්සාමී’ති.

“එසේ වී නම් ගෘහපති පුත්‍රය, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

‘ඒවං භන්තේ’ති ඛෝ සිගාලෝ ගහපතිපුත්තෝ භගවතෝ පච්චස්සෝසි.

“එසේ ය, ස්වාමීනී” යි සිඟාලක ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය.

භගවා ඒතදවෝච:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“යතෝ ඛෝ ගහපතිපුත්ත අරියසාවකස්ස චත්තාරෝ කම්මකිලේසා පහීණා හොන්ති, චතූහි ඨානේහි පාපකම්මං න කරෝති, ඡ ච භෝගානං අපායමුඛානි න සේවති, සෝ ඒවං චුද්දසපාපකාපගතෝ, ඡද්දිසාපටිච්ඡාදී, උභයලෝකවිජයාය පටිපන්නෝ හෝති, තස්ස අයං චේව ලෝකෝ ආරද්ධෝ හෝති පරෝ ච ලෝකෝ. සෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.

“ගෘහපති පුත්‍රය, යම් කලෙක ආර්ය ශ්‍රාවකයාට සතර කර්ම ක්ලේශයෝ ප්‍රහීණවූවාහු වෙත් ද, සිව් තැනෙක්හි පාප කර්මයක් නොකරයි ද, භෝග සම්පත් විනාශ වෙන දොරටු සය සේවනය නොකරයි ද, මෙසේ ඔහු දහහතරක් වූ පව් වලින් බැහැර වූයේ වෙයි ද, සය දිශාව වසා තැබුවේ වෙයි ද, දෙලොව ම ජය ගැනීම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොව ද සතුටු කරන ලද්දේ වෙයි. පරලොව ද සතුටු කරන ලද්දේ වෙයි. ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදින්නේ ය.

[ කම්මකිලේසා ]

4. කතමස්ස චත්තාරෝ කම්මකිලේසා පහීණා හොන්ති? පාණාතිපාතෝ ඛෝ ගහපතිපුත්ත කම්මකිලේසෝ, අදින්නාදානං කම්මකිලේසෝ, කාමේසු මිච්ඡාචාරෝ කම්මකිලේසෝ, මුසාවාදෝ කම්මකිලේසෝ. ඉමස්ස චත්තාරෝ කම්මකිලේසා පහීණා හොන්තී”ති. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ, අථාපරං ඒතදවෝච සත්ථා:

ඔහුට කවර කර්මක්ලේශයෝ සතරක් ප්‍රහීණ වූවාහු වෙත් ද? ගෘහපති පුත්‍රය, සත්ව ඝාතනය වනාහී කිලිටි ක්‍රියාවකි. සොරකම කිලිටි ක්‍රියාවකි. කාමයෙහි වරදවා හැසිරීම කිලිටි ක්‍රියාවකි. බොරුකීම කිලිටි ක්‍රියාවකි. මොහුට සතරක් වූ මේ කර්මක්ලේශයෝ ප්‍රහීණ වූවාහු වෙති.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

පාණාතිපාතං අදින්නාදානං මුසාවාදෝ ච වුච්චති
පරදාරගමනඤ්චේව නප්පසංසන්ති පණ්ඩිතා’ති.

සත්ව ඝාතනය, සොරකම, බොරු කීම යැයි කියනු ලැබේ නම්, එය ත් අනුන්ගේ අඹුවන් කරා යාම ත්, යන මේ කිලිටි ක්‍රියාවන් නුවණැත්තෝ ප්‍රශංසා නොකරති.

[ අගතිගමනානි ]

5. කතමේහි චතූහි ඨානේහි පාපකම්මං න කරෝති? ඡන්දාගතිං ගච්ඡන්තෝ පාපකම්මං කරෝති, දෝසාගතිං ගච්ඡන්තෝ පාපකම්මං කරෝති, මෝහාගතිං ගච්ඡන්තෝ පාපකම්මං කරෝති, භයාගතිං ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. යතෝ ඛෝ ගහපතිපුත්ත අරියසාවකෝ නේව ඡන්දාගතිං ගච්ඡති, න දෝසාගතිං ගච්ඡති, න මෝහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ඉමේහි චතූහි ඨානේහි පාපකම්මං න කරෝතී’ති. ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

“කවර නම් සිව් තැනක පාප ක්‍රියාවක් නොකරයි ද? පෘථග්ජන පුද්ගලයා කැමැත්ත නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. ද්වේෂය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. මෝහය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. භය නිසා අගතියට යෑමෙන් පාපී ක්‍රියාවන් කරයි. ගෘහපති පුත්‍රය, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයා කැමැත්ත නිසා අගතියට නොයයි ද, ද්වේෂය නිසා අගතියට නොයයි ද, මෝහය නිසා අගතියට නොයයි ද, භය නිසා අගතියට නොයයි ද, මේ සතර තැනෙහි පාපී ක්‍රියාවන් නොකරයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

ඡන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති,
නිහීයති තස්ස යසෝ කාළපක්ඛේ’ව චන්දිමා.

යමෙක් කැමැත්තෙන් වේවා, ද්වේෂයෙන් වේවා, මෝහයෙන් වේවා, භයෙන් වේවා සත්පුරුෂ ධර්මය ඉක්මවා යයි ද, කළුවර පක්ෂයෙහි ගෙවී ගෙන යන සඳක් සෙයින් ඔහුගේ යස පිරිවර පිරිහී යයි.

ඡන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං නාතිවත්තති,
ආපූරති තස්ස යසෝ සුක්කපක්ඛේ’ව චන්දිමා’ති.

යමෙක් කැමැත්තෙන් වේවා, ද්වේෂයෙන් වේවා, මෝහයෙන් වේවා, භයෙන් වේවා සත්පුරුෂ ධර්මය ඉක්මවා නොයයි ද, පුර පක්ෂයෙහි වැඩීගෙන යන සඳක් සෙයින් ඔහුගේ යස පිරිවර වැඩෙයි.

[ ඡ අපායමුඛානි ]

6. කතමානි ඡ භෝගානං අපායමුඛානි න සේවති? සුරාමේරයමජ්ජප්පමාදට්ඨානානුයෝගෝ ඛෝ ගහපතිපුත්ත භෝගානං අපායමුඛං. විකාලවිසිඛාචරියානුයෝගෝ භෝගානං අපායමුඛං. සමජ්ජාභිචරණං භෝගානං අපායමුඛං. ජූතප්පමාදට්ඨානානුයෝගෝ භෝගානං අපායමුඛං. පාපමිත්තානුයෝගෝ භෝගානං අපායමුඛං. ආලස්සානුයෝගෝ භෝගානං අපායමුඛං.

“භෝග සම්පත් විනාශ වන කවර දොරටු සයක් ඔහු සේවනය නොකරයි ද? ගෘහපති පුත්‍රය, මත්වීමට ත් ප්‍රමාදවීමට ත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වනාහී භෝග සම්පත් විනාශ වන දොරටුවකි. අවේලාවෙහි වීදිගානේ ඇවිදීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. නැටුම්, ගැයුම් ඇති තැන්, සමාජශාලා ආදියෙහි නිතර ගැවසීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. ප්‍රමාදය ඇති කරවන සූදුවෙහි යෙදීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. පවිටු මිතුරන් හා එක් ව කල් ගෙවීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි. කම්මැලිකමෙන් කල් ගෙවීම භෝග සම්පත් විනාශ වන දොරටුවකි.

[ මජ්ජපානාදීනවා ]

ඡ ඛෝ’මේ ගහපතිපුත්ත ආදීනවා සුරාමේරයමජ්ජප්පමාදට්ඨානානුයෝගේ: සන්දිට්ඨිකා ධනජානි, කලහප්පවඩ්ඪනී, රෝගානං ආයතනං, අකිත්තිසඤ්ජනනී, කෝපීනනිදංසනී, පඤ්ඤාය දුබ්බලිකරණීත්වේව ඡට්ඨං පදං භවති. ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා සුරාමේරයමජ්ජප්පමාදට්ඨානානුයෝගේ.

ගෘහපති පුත්‍රය, මත්වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි යෙදී සිටීමෙහි මේ දුර්විපාක සයකි. තමාගේ ඇස් පනාපිට ධනය වැනසී යයි. කලකෝලාහල වැඩෙයි. රෝගයන් හටගැනීමට මුල් වෙයි. අපකීර්තිය උපදවයි. කයෙහි වසාගත යුතු තැන් බාහිරට පෙන්වා හැසිරෙයි. නුවණ දුර්වල කරවීම සය වෙනි කරුණ යි. ගෘහපති පුත්‍රය, මේ වනාහී මත්වීමට ත්, ප්‍රමාදයට ත් හේතු වන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි ඇති සයක් වූ දුර්විපාකයෝ ය.

[ විකාලචරියාදීනවා ]

ඡ ඛෝ’මේ ගහපතිපුත්ත ආදීනවා විකාලවිසිඛාචරියානුයෝගේ: අත්තාපි’ස්ස අගුත්තෝ අරක්ඛිතෝ හෝති, පුත්තදාරෝපි’ස්ස අගුත්තෝ අරක්ඛිතෝ හෝති, සාපතෙය්‍යම්පි’ස්ස අගුත්තං අරක්ඛිතං හෝති, සංකියෝ ච හෝති පාපකේසු ඨානේසු, අභූතවචනං ච තස්මිං රූහති, බහූනඤ්ච දුක්ඛධම්මානං පුරක්ඛතෝ හෝති. ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා විකාලවිසිඛාචරියානුයෝගේ.

ගෘහපති පුත්‍රය, අවේලාවෙහි වීදිගානේ ඇවිදීමෙහි මේ දුර්විපාක සයකි. ඔහු විසින් තමා ව ද පරිස්සම් නොකරන ලද්දේ, නොරකින ලද්දේ වෙයි. ඔහු විසින් සිය අඹුදරුවෝ ත් පරිස්සම් නොකරන ලද්දාහු, නොරකින ලද්දාහු වෙති. ඔහු විසින් තමා ළඟ ඇති වටිනා දේ ද පරිස්සම් නොකරන ලද්දේ, නොරකින ලද්දේ වෙයි. අන්‍යයන් විසින් කරනු ලබන පාපී කටයුතුවලදී ‘මොහු ත් හවුල්කරුවෙක් දැ’ යි සැක කරන්නේ වෙයි. අභූත චෝදනාවන්වලට ද ලක්වෙයි. බොහෝ දුක් ඇති කරදෙන කරුණු පෙරටු කරගත්තේ වෙයි. ගෘහපති පුත්‍රයෙනි, මේවා වනාහී අවේලාවෙහි වීදිගානේ ඇවිදීමෙහි ඇති සයක් වූ දුර්විපාකයෝ ය.

[ සමජ්ජාභිචරණාදීනවා ]

ඡ ඛෝ’මේ ගහපතිපුත්ත ආදීනවා සමජ්ජාභිචරණේ: ක්ව නච්චං, ක්ව ගීතං, ක්ව වාදිතං, ක්ව අක්ඛානං, ක්ව පාණිස්සරං, ක්ව කුම්භථූණන්ති? ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා සමජ්ජාභිචරණේ.

ගෘහපති පුත්‍රය, නැටුම් ගැයුම් ඇති සමාජශාලා ආදියෙහි නිතර හැසිරීමෙහි මේ දුර්විපාක සයකි. ‘නැටුම් කොහි තිබේ ද? ගැයුම් කොහි තිබේ ද? වැයුම් කොහි තිබේ ද? නාට්‍ය සංදර්ශන කොහි තිබේ ද? අත්පොළසන් දෙමින් සතුටුවෙන ක්‍රීඩෝත්සව කොහි තිබේ ද? කළගෙඩියෙන් කරන සෙල්ලම් කොහි තිබේ ද?’ වශයෙන් එබඳු තැන් සොය සොයා කාලය ත්, ධනය ත් වනසා ගනියි. ගෘහපති පුත්‍රය, මේ වනාහී නැටුම් ගැයුම්, සමාජශාලා ආදියෙහි නිතර හැසිරීමෙහි ඇති සයක් වූ දුර්විපාකයෝ ය.

[ ජූතප්පමාදාදීනවා ]

ඡ ඛෝ’මේ ගහපතිපුත්ත ආදීනවා ජූතප්පමාදට්ඨානානුයෝගේ: ජයං වේරං පසවති, ජිතෝ විත්තමනුසෝචති, සන්දිට්ඨිකා ධනජානි, සභාගතස්ස වචනං න රූහති, මිත්තාමච්චානං පරිභූතෝ හෝති, ආවාහවිවාහකානං අපත්ථිතෝ හෝති, අක්ඛධුත්තෝ අයං පුරිසපුග්ගලෝ නාලං දාරභරණායා’ති. ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා ජූතප්පමාදට්ඨානානුයෝගේ.

ගෘහපති පුත්‍රය, ප්‍රමාදයට හේතුවන සූදුවට ලොල් ව සිටීමෙහි මේ දුර්විපාක සයකි. ජයගත් විට පැරදුණු තැනැත්තා තුළ වෛරය උපදවයි. පැරදී ගිය විට නැතිවුණු වස්තුව ගැන ශෝක කරයි. තමාගේ ඇස් පනාපිට තම ධනය නැසී යයි. සභාවකට ගිය විට ඔහුගේ වචනයට තැනක් නොලැබෙයි. යහළු මිතුරන් ඔහු හෙලා දැක කතා කරයි. ‘මේ පුරුෂ පුද්ගලයා සූදු අන්තුවෙකි. අඹු දරුවන් පෝෂණය කරන්නට නොහැක්කෙකි’ වශයෙන් ආවාහ විවාහ කටයුතුවලදී නොපතන ලද්දේ වෙයි. ගෘහපති පුත්‍රය, මේ වනාහී ප්‍රමාදයට හේතුවන සූදුවට ලොල් ව සිටීමෙහි සයක් වූ දුර්විපාකයෝ ය.

[ පාපමිත්තානුයෝගාදීනවා ]

ඡ ඛෝ’මේ ගහපතිපුත්ත ආදීනවා පාපමිත්තානුයෝගේ: යේ ධුත්තා, යේ සොණ්ඩා, යේ පිපාසා, යේ නේකතිකා යේ වඤ්චනිකා යේ සාහසිකා, ත්‍යාස්ස මිත්තා හොන්ති, තේ සහායා. ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා පාපමිත්තානුයෝගේ.

ගෘහපති පුත්‍රය, පවිටු මිතුරන් සමඟ එක් ව වාසය කිරීමෙහි මේ දුර්විපාක සයකි. යම් කෙනෙක් සූදු අන්තුවෝ වෙත් ද, ඔවුහු ඔහුගේ මිත්‍රයෝ ය; ඔහුගේ යහළුවෝ ය. යම් කෙනෙක් ස්ත්‍රී සල්ලාලයෝ ද, ඔවුහු ඔහුගේ මිත්‍රයෝ ය; ඔහුගේ යහළුවෝ ය. යම් කෙනෙක් බේබද්දෝ ද, ඔවුහු ඔහුගේ මිත්‍රයෝ ය; ඔහුගේ යහළුවෝ ය. යම් කෙනෙක් බොරුවෙන් රවටන්නෝ ද, ඔවුහු ඔහුගේ මිත්‍රයෝ ය; ඔහුගේ යහළුවෝ ය. යම් කෙනෙක් වංචාකාරයෝ ද, ඔවුහු ඔහුගේ මිත්‍රයෝ ය; ඔහුගේ යහළුවෝ ය. යම් කෙනෙක් සාහසික අපරාධකාරයෝ ද, ඔවුහු ඔහුගේ මිත්‍රයෝ ය; ඔහුගේ යහළුවෝ ය. ගෘහපති පුත්‍රය, මේ වනාහී පවිටු මිතුරන් සමඟ එක්වීමෙහි ඇති සයක් වූ දුර්විපාකයෝ ය.

[ ආලස්සාදීනවා ]

ඡ ඛෝ’මේ ගහපතිපුත්ත ආදීනවා ආලස්සානුයෝගේ: අතිසීතන්ති කම්මං න කරෝති, අතිඋණ්හන්ති කම්මං න කරෝති, අතිසායන්ති කම්මං න කරෝති, අතිපාතෝ’ති කම්මං න කරෝති, අතිඡාතෝ’ස්මීති කම්මං න කරෝති, අතිධාතෝ’ස්මීති කම්මං න කරෝති. තස්ස ඒවං කිච්චාපදේසබහුලස්ස විහරතෝ අනුප්පන්නා චේව භෝගා නූප්පජ්ජන්ති, උප්පන්නා ච භෝගා පරික්ඛයං ගච්ඡන්ති. ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා ආලස්සානුයෝගේ”ති.

ගෘහපතිපුත්‍රය, කම්මැලි ව වාසය කිරීමෙහි මේ දුර්විපාක සයකි. සීතල අධික ය කියා වැඩ නොකරයි. උණුසුම අධික ය කියා වැඩ නොකරයි. බොහෝ සවස් වී ඇත්තේ ය කියා වැඩ නොකරයි. තව ම ඉතා උදෑසන ය කියා වැඩ නොකරයි. ඉතා බඩගිනි ඇත්තෙමි යි කියා වැඩ නොකරයි. බොහෝ කොට අනුභව කළෙමි යි කියා වැඩ නොකරයි. මෙසේ ඔහු විසින් කළ යුතු වැඩකටයුතු බහුල වශයෙන් අතපසු කරමින් වාසය කරන විට ඔහුට නූපන් භෝගයෝ ද නූපදිති. උපන් භෝගයෝ ද පරිහරණයෙන් අවසන් වී යති. ගෘහපති පුත්‍රය, මේ වනාහී කම්මැලි ව වාසය කිරීමෙහි ඇති සයක් වූ දුර්විපාකයෝ ය.”

ඉදමවෝච භගවා, ඉදං වත්වාන සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ විසින් යළි මේ ගාථාවන් වදාළ සේක.

7.

“හෝති පානසඛා නාම හෝති සම්මියසම්මියෝ
යෝ ච අත්ථේසු ජාතේසු සහායෝ හෝති සෝ සඛා. (1)

හමු වූ හමු වූ තැනෙහි දී බොහෝ ලෙන්ගතු වන යහළුවෙක් සිටියි. බීමට පමණක් යහළු වන යහළුවෙක් සිටියි. වැඩක් ඇති කල්හී යමෙක් උදව් දෙයි ද, ඔහු ද යහළුවෙකි.

උස්සූරසෙය්‍යා පරදාරසේවනා
වේරප්පසංගෝ ච අනත්ථතා ච
පාපා ච මිත්තා සුකදරියතා ච
ඒතේ ඡ ඨානා පුරිසං ධංසයන්ති. (2)

හිරු උදාවන තෙක් නිදාගැනීම ද, අනුන්ගේ අඹුවන් ඇසුරු කිරීම ද, වෛර බහුල ව සිටීම ද, අනුන්ට අයහපත කිරීම ද, පවිටු මිතුරන් ඇති බව ද, තද මසුරු බව ද යන මේ සය කරුණ පුරුෂයා විනාශයට පත් කරයි.

පාපමිත්තෝ පාපසඛෝ පාපආචාරගෝචරෝ
අස්මා ලෝකා පරම්හා ච උභයා ධංසතේ නරෝ. (3)

පවිටු මිතුරන් සිටින, පවිටු යහළුවන් සිටින, පාපී ඇවැතුම් පැවැතුම් ඇති මිනිසා මෙලොව ත් වැනසෙයි. පරලොව ත් වැනසෙයි.

අක්ඛිත්ථියෝ වාරුණී නච්චගීතං
දිවාසොප්පං පාරිචරියා අකාලේ
පාපා ච මිත්තා සුකදරියතා ච
ඒතේ ඡ ඨානා පුරිසං ධංසයන්ති. (4)

සූදුවෙහි යෙදීම, අනුන්ගේ අඹුවන් ඇසුරු කිරීම, මත්පැන් බීම, නැටුම් සංගීත ක්‍රීඩා ආදිය සොය සොයා යෑම, දහවල් නිදා ගැනීම, අවේලාවෙහි වීදි ගානේ ඇවිදීම, පවිටු මිතුරන් සිටීම, තද මසුරු බව යන මේ සය කරුණ පුරුෂයා විනාශයට පත් කරයි.

අක්ඛේහි දිබ්බන්ති සුරං පිවන්ති
යන්තිත්ථියෝ පාණසමා පරේසං
නිහීනසේවී න ච වුද්ධසේවී
නිහීයරේ කාළපක්ඛේ’ව චන්දෝ. (5)

සූදු ක්‍රීඩාවෙහි යෙදෙති. සුරා බොති. තම පණ හා සමකොට රකින අනුන්ගේ අඹුවන් කරා යති. නිහීන පුද්ගලයන් ඇසුරු කරන ඔවුහු ගුණයෙන් වැඩුනවුන් ඇසුරට නොගනිති. ඔවුහු කලුවර පක්ෂයෙහි ගෙවී යන සඳක් සෙයින් පිරිහී යති.

යෝ වාරුණී අධනෝ අකිඤ්චනෝ
පිපාසෝ පිවං පාපං ගතෝ
උදකමිව ඉණං විගාහති
අකුලං කාහිති ඛිප්පමත්තනෝ. (6)

යමෙක් ධනය කිසිවක් නැති ව, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ලොල් ව සිටියි ද, පිපාසිතයෙක් පොකුණක් වෙත ගොස් පැන් බොන සෙයින් බේබදු ව සිටියි ද, ණය ගනියි ද, ඔහු වහා ම සිය පවුල පරිහානියට පත් වූ පවුලක් බවට පත් කරයි.

න දිවා සොප්පසීලේන රත්තිමුට්ඨානදෙස්සිනා,
නිච්චං මත්තේන සොණ්ඩේන සක්කා ආවසිතුං ඝරං. (7)

දහවල් නිදන්නා වූ, රෑ පිබිද සිටීම නොකැමැති වූ, නිතර මත් වී සිටින, නරකට ඇබ්බැහි වූ තැනැත්තා හට ගිහිගෙයි වසන්නට නොහැක්කේ ය.

අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු,
ඉති විස්සට්ඨකම්මන්තේ අත්ථා අච්චෙන්ති මාණවේ. (8)

දැන් සීතල අධික ය, උණුසුම අධික ය, ඉතා සවස් වූයේ ය ආදී වශයෙන් සිය වැඩකටයුතු අත්හැර දැමූ මිනිසුන් පසුකොට ධන සම්පත් යයි.

යෝ’ධ සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්‍යෝ න මඤ්ඤති
කරං පුරිසකිච්චානි සෝ සුඛා න විහායතී”ති. (9)

යමෙක් මෙහිලා සීතල ත්, දැඩි උණුසුම ත් තණපතකට වත් වැඩි තරමකට ගණන් නොගෙන, වීර්යවන්ත පුරුෂයෙකු කටයුතු කරන ලෙසින් වැඩකරයි නම්, ඔහු සැපයෙන් බැහැරට නොයයි.

[ මිත්තපතිරූපකා ]

8. චත්තාරෝ’මේ ගහපතිපුත්ත අමිත්තා මිත්තපතිරූපකා වේදිතබ්බා. අඤ්ඤදත්ථුහරෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ, වචීපරමෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ, අනුප්පියභාණී අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ, අපායසහායෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ.

“ගෘහපති පුත්‍රය, මිතුරන්ගේ වේශයෙන් සිටින, මිතුරන් නොවන මොවුන් සතර දෙනා දත යුත්තාහු ය. අඤ්ඤදත්ථුහර නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේ ය. වචීපරම නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේ ය. අනුප්පියභාණී නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේ ය. අපායසහාය නමින් මිතුරෙකුගේ වෙසින් සිටින මිතුරෙකු නොවන්නා දත යුත්තේ ය.

චතූහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි අඤ්ඤදත්ථුහරෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, මිතුරෙකුගේ වෙසින් සිටින අඤ්ඤදත්ථුහර අමිත්‍රයා සිව් කරුණකින් දැනගත යුත්තේ ය.

අඤ්ඤදත්ථුහරෝ හෝති අප්පේන බහුමිච්ඡති,
භයස්ස කිච්චං කරෝති සේවති අත්ථකාරණා.

සිය මිතුරාගෙන් ඒකාන්තයෙන් ම කිසිවක් ඩැහැගෙන ම යයි. ස්වල්ප දෙයක් දී සිය මිතුරාගෙන් බොහෝ දෙයක් ගන්නට කැමැති ය. තමාට භයක්, කරදරයක් වූ විට පමණක් මිතුරාට උදව් පිණිස එයි. තමාගේ ම ලාභ ප්‍රයෝජන උදෙසා මිතුරුකම පවත්වයි.

ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි අඤ්ඤදත්ථුහරෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් මිතුරු වෙසින් සිටින අඤ්ඤදත්ථුහර අමිත්‍රයා දැනගත යුත්තේ ය.

චතූහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි වචීපරමෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ. අතීතේන පටිසන්ථරති අනාගතේන පටිසන්ථරති, නිරත්ථකේන සංගණ්හාති, පච්චුප්පන්නේසු කිච්චේසු බ්‍යසනං දස්සේති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි වචීපරමෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, මිතුරෙකුගේ වෙසින් සිටින වචීපරම අමිත්‍රයා සිව් කරුණකින් දැනගත යුත්තේ ය.

(කලින් කිව්වා නම් මේ උදව්ව කළ හැකි ව තිබුණේ ය ආදී වශයෙන්) අතීතයෙන් සංග්‍රහ කරයි. (ඉදිරියෙහි දී ඔබ වෙනුවෙන් මෙබඳු දේ කරන්නෙමි ආදී වශයෙන්) අනාගතයෙන් සංග්‍රහ කරයි. නිරර්ථක වචන වලින් බොරු සංග්‍රහ කරයි. වර්තමානයෙහි උදව්වක් අවශ්‍ය වූ විට උදව් දෙනු වෙනුවට තමාට සිදු වූ විපත් කරදර කියා පායි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් මිතුරු වෙසින් සිටින වචීපරම අමිත්‍රයා දැනගත යුත්තේ ය.

චතූහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි අනුප්පියභාණී අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ. පාපකම්පි’ස්ස අනුජානාති, කල්‍යාණම්පි’ස්ස අනුජානාති, සම්මුඛා’ස්ස වණ්ණං භාසති, පරම්මුඛා’ස්ස අවණ්ණං භාසති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි අනුප්පියභාණී අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, සිව් කරුණකින් මිතුරෙකුගේ වෙසින් සිටින අනුප්පියභාණී අමිත්‍රයා දැනගත යුත්තේ ය. තම යහළුවා කරන පාපී ක්‍රියාවන් මැනැවැ යි අනුමත කරයි. ඔහුගේ යහපත් ක්‍රියාවන් ද මැනැවැ යි අනුමත කරයි. යහළුවා ඉදිරියෙහි ප්‍රශංසා මුඛයෙන් කථා කරයි. ඔහු නැති විට ඔහුගේ නුගුණ කියයි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් මිතුරෙකුගේ වෙසින් සිටින අනුප්පියභාණී අමිත්‍රයා දැනගත යුත්තේ ය.

චතූහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි අපායසහායෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ. සුරාමේරයමජ්ජප්පමාදට්ඨානානුයෝගේ සහායෝ හෝති, විකාලවිසිඛාචරියානුයෝගේ සහායෝ හෝති, සමජ්ජාභිචරණේ සහායෝ හෝති, ජූතප්පමාදට්ඨානානුයෝගේ සහායෝ හෝති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි අපායසහායෝ අමිත්තෝ මිත්තපතිරූපකෝ වේදිතබ්බෝ’ති.

ගෘහපති පුත්‍රය, සිව් කරුණකින් මිතුරෙකුගේ වෙසින් සිටින අපායසහාය අමිත්‍රයා දත යුත්තේ ය. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් හිතවත් වෙයි. අවේලාවෙහි වීදි ගානේ ඇවිදින්නට හිතවත් වෙයි. සංගීත නාටක ක්‍රීඩා සමාජශාලා ආදියෙහි ගැවසෙන්නට හිතවත් වෙයි. ප්‍රමාදයට හේතුවෙන සූදු ක්‍රීඩාවෙහි යෙදෙන්නට හිතවත් වෙයි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් මිතුරෙකුගේ වෙසින් සිටින අපායසහාය අමිත්‍රයා දැනගත යුත්තේ ය.

ඉදමවෝච භගවා. ඉදං වත්වාන සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

“අඤ්ඤදත්ථුහරෝ මිත්තෝ යෝ ච මිත්තෝ වචීපරෝ,
අනුප්පියඤ්ච යෝ ආහ අපායේසු ච යෝ සඛා.
ඒතේ අමිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ,
ආරකා පරිවජ්ජෙය්‍ය මග්ගං පටිභයං යථා”ති.

අඤ්ඤදත්ථුහර නම් යම් මිතුරෙක් වෙයි ද, වචීපරම නම් යම් මිතුරෙක් වෙයි ද, අනුප්පියභාණී නම් යම් මිතුරෙක් වෙයි ද, ධන විනාශයට උදව් දෙන අපාය සහාය නම් යම් මිතුරෙක් වෙයි ද, නුවණැත්තා මේ සිව් දෙනා මිතුරන් නොවන බව තේරුම් ගෙන භය සහිත මාර්ගයක් දුරු කරන කෙනෙකු සෙයින් දුරින් ම දුරු කරන්නේ ය.

[ සුහදමිත්තා ]

9. චත්තාරෝ’මේ ගහපතිපුත්ත මිත්තා සුහදා වේදිතබ්බා: උපකාරෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ, සමානසුඛදුක්ඛෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ, අත්ථක්ඛායී මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ, අනුකම්පකෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, මේ සුහද මිතුරෝ සිව් දෙනා දත යුත්තාහු ය. උපකාරී නම් සුහද මිතුරා දත යුත්තේ ය. සමානසුඛදුක්ඛ නම් සුහද මිතුරා දත යුත්තේ ය. අත්ථක්ඛායී නම් සුහද මිතුරා දත යුත්තේ ය. ආනුකම්පක නම් සුහද මිතුරා දත යුත්තේ ය.

චතූහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි උපකාරෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ: පමත්තං රක්ඛති, පමත්තස්ස සාපතෙය්‍යං රක්ඛති, භීතස්ස සරණං හෝති, උප්පන්නේ කිච්චකරණීයේ තද්දිගුණං භෝගං අනුප්පදේති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි උපකාරෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, සිව් කරුණකින් උපකාරී නම් සුහද මිතුරා දැනගත යුත්තේ ය. ප්‍රමාදයට පත් වූ මිතුරා ව රකියි. පමා වූ මිතුරා සතු වටිනා දේ ත් රකියි. බියක් පැමිණි විට මිතුරාට පිහිට වෙයි. මිතුරාට කළ යුතු දෙයක් ඇති කල්හී ඊට අවශ්‍ය පමණට ත් වඩා දෙගුණයක් සම්පත් දෙයි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් උපකාරී සුහද මිතුරා දැනගත යුත්තේ ය.

චතූහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි සමානසුඛදුක්ඛෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ: ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගූහති, ආපදාසු න විජහති, ජීවිතම්පි’ස්ස අත්ථාය පරිච්චත්තං හෝති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි සමානසුඛදුක්ඛෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, සිව් කරුණකින් සමානසුඛදුක්ඛ නම් සුහද මිතුරා දත යුත්තේ ය. හේ තමාගේ පෞද්ගලික දේ සිය මිතුරාට නොසඟවා කියයි. මිතුරාගේ පෞද්ගලික කරුණු පිටතට නොදී සුරකියි. මිතුරා විපතට පත් වූ විට අත්නොහරියි. මිතුරාගේ යහපත පිණිස සිය ජීවිතය වුවත් පුදන්නට කැමැති වෙයි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් සමානසුඛදුක්ඛ සුහද මිතුරා දැනගත යුත්තේ ය.

චතූහි ඛෝ පන ගහපතිපුත්ත ඨානේහි අත්ථක්ඛායී මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ: පාපා නිවාරේති, කල්‍යාණේ නිවේසේති, අස්සුතං සාවේති, සග්ගස්ස මග්ගං ආචික්ඛති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි අත්ථක්ඛායී මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ.

ගෘහපති පුත්‍රය, සිව් කරුණකින් අත්ථක්ඛායී නම් සුහද මිතුරා දත යුත්තේ ය. හේ සිය මිතුරා ව පවින් වළක්වයි. පිනෙහි යොදවයි. නොඇසූ ධර්මය අසන්නට සළස්වයි. දෙව්ලොවට මග කියා දෙයි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් අත්ථක්ඛායී සුහද මිතුරා දැනගත යුත්තේ ය.

චතූහි ඛෝ පන ගහපතිපුත්ත ඨානේහි අනුකම්පකෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ: අභවේනස්ස න නන්දති, භවේනස්ස නන්දති, අවණ්ණං භණමානං නිවාරේති, වණ්ණං භණමානං පසංසති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත චතූහි ඨානේහි අනුකම්පකෝ මිත්තෝ සුහදෝ වේදිතබ්බෝ”ති.

ගෘහපති පුත්‍රය, සිව් කරුණකින් ආනුකම්පක නම් සුහද මිතුරා දත යුත්තේ ය. හේ සිය මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. දියුණු ව ගැන සතුටු වෙයි. අන්‍යයන් විසින් සිය මිතුරාගේ නුගුණ කියන විට එය වළක්වයි. මිතුරාගේ ගුණ කියන්නාට පසසයි. ගෘහපති පුත්‍රය, මේ සිව් කරුණෙන් ආනුකම්පක සුහද මිතුරා දැනගත යුත්තේ ය.

ඉදමවෝච භගවා. ඉදං වත්වාන සුගතෝ, අථාපරං ඒතදවෝච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

10.

“උපකාරෝ ච යෝ මිත්තෝ සුඛේ දුඛේ
අත්ථක්ඛායී ච යෝ මිත්තෝ යෝ ච මිත්තෝ’නුකම්පකෝ.

යම් මිතුරෙක් උපකාරී නම් වෙයි ද, යම් මිතුරෙක් සැප දුකෙහි සම වෙයි ද, යම් මිතුරෙක් දෙලොව යහපත සළසයි ද, යම් මිතුරෙක් අනුකම්පා කරයි ද,

ඒතේ පි මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
සක්කච්චං පයිරුපාසෙය්‍ය මාතා පුත්තං’ව ඕරසං.

නුවණැත්තා මෙසේ මේ මිතුරන් සිව් දෙනා හඳුනාගෙන තම කුසෙහි උපන් පුතුට සළකන මවක සෙයින් සකස් කොට ඇසුරු කළ යුත්තේ ය.

පණ්ඩිතෝ සීලසම්පන්නෝ ජලං අග්ගී ව භාසති
භෝගේ සංහරමානස්ස භමරස්සේව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති වම්මිකෝ’වුපචීයති.

සිල්වත් නුවණැති තැනැත්තා දිලෙන ගින්නක් සෙයින් බබලයි. මල් පැණි රැස් කරනා බඹරෙකු සෙයින් ධාර්මික ව භෝග සම්පත් රැස් කරන්නාගේ වස්තුව තුඹසක් බඳින පරිද්දෙන් භෝග සම්පත් වඩ වඩා රැස් වී යයි.

ඒවං භෝගේ සමාහත්වා අලමත්තෝ කුලේ ගිහී
චතුධා විභජේ භෝගේ ස වේ මිත්තානි ගන්ථති.

මෙසේ භෝග සම්පත් රැස් කොට, ගිහි ගෙයි වසන්නට දක්ෂ වූ ගිහි තැනැත්තා ඒ භෝග සම්පත් සිව් කොටසකට බෙදයි. ඔහු ඒකාන්තයෙන් සුහද මිතුරන් බැඳ ගනියි.

ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සතී”ති.

එක් භෝග සම්පත් කොටසක් තමාගේ පරිහරණයට යොදවයි. දෙකොටසක් සිය ව්‍යාපාරයන්ට යොදවයි. විපත්වලදී පිහිටවන්නේ යැයි ඒ වෙනුවෙන් සිව්වෙනි කොටස තැන්පත් කරන්නේ ය.

[ ඡද්දිසාපටිච්ඡාදනං ]

11. කථඤ්ච ගහපතිපුත්ත අරියසාවකෝ ඡද්දිසාපටිච්ඡාදී හෝති? ඡයිමා ගහපතිපුත්ත දිසා වේදිතබ්බා: පුරත්ථිමා දිසා මාතාපිතරෝ වේදිතබ්බා. දක්ඛිණා දිසා ආචරියා වේදිතබ්බා. පච්ඡිමා දිසා පුත්තදාරා වේදිතබ්බා. උත්තරා දිසා මිත්තාමච්චා වේදිතබ්බා. හෙට්ඨිමා දිසා දාසකම්මකරා වේදිතබ්බා. උපරිමා දිසා සමණබ්‍රාහ්මණා වේදිතබ්බා.

ගෘහපති පුත්‍රය, ආර්ය ශ්‍රාවකයා සය දිශාව වසා තබන්නේ කෙසේ ද? ගෘහපති පුත්‍රය, මේ සදිසාවෝ දත යුත්තාහු ය. පූර්ව දිශාව යනු මව්පියෝ යැයි දතයුත්තාහු ය. දකුණු දිශාව යනු ගුරුවරු යැයි දත යුත්තාහු ය. බටහිර දිශාව යනු අඹුදරුවෝ යැයි දතයුත්තාහු ය. උතුරු දිශාව යනු යහළු මිත්‍රයෝ යැයි දත යුත්තාහු ය. යට දිශාව දාස කම්කරුවෝ යැයි දත යුත්තාහු ය. උඩ දිශාව ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යැයි දත යුත්තාහු ය.

පඤ්චහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි පුත්තේන පුරත්ථිමා දිසා මාතාපිතරෝ පච්චුපට්ඨාතබ්බා: භතෝ නේ සම්භරිස්සාමි, කිච්චං නේසං කරිස්සාමි, කුලවංසං ඨපෙස්සාමි, දායජ්ජං පටිපජ්ජාමි, අථ වා පන පේතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සාමී”ති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි පුත්තේන පුරත්ථිමා දිසා මාතාපිතරෝ පච්චුපට්ඨිතා පඤ්චහි ඨානේහි පුත්තං අනුකම්පන්ති: පාපා නිවාරෙන්ති, කළ්‍යාණේ නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපේන දාරේන සංයෝජෙන්ති, සමයේ දායජ්ජං නිය්‍යාතෙන්ති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි පුත්තේන පුරත්ථිමා දිසා මාතාපිතරෝ පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි පුත්තං අනුකම්පන්ති. ඒවමස්ස ඒසා පුරත්ථිමා දිසා පටිච්ඡන්නා හෝති ඛේමා අප්පටිභයා.

ගෘහපති පුත්‍රය, පුත්‍රයෙකු විසින් පූර්ව දිශාව වූ මව්පියෝ පස් කරුණකින් උපස්ථාන කළ යුත්තාහු ය. මව්පියන් විසින් හැදූ වැඩූ මම මහළු වූ කල ඔවුන් ව රැකබලා ගන්නෙමි යි. මව්පියන්ට කළ යුතු දෙයක් ඇති කල්හී කරදෙන්නෙමි යි. මව්පියන්ගේ කුලපරපුර ඒ අයුරින් තබා ගන්නෙමි යි. මව්පියන්ගෙන් ලද දායාදය නිසි අයුරින් පරිහරණය කරන්නෙමි යි. එමෙන් ම මව්පියන් මියගිය පසු දන්පැන් පුදා ඔවුන්ට පින්පෙත් දෙන්නෙමි යි.

ගෘහපති පුත්‍රය, පුත්‍රයෙකු විසින් පූර්ව දිශාව වූ මව්පියෝ මේ පස් කරුණෙන් උවැටන් කරනු ලබන්නාහු පස් කරුණකින් සිය පුත්‍රයාට ඔවුහු අනුකම්පා කරති. පවින් වළක්වති. පිනෙහි යොදවති. ශිල්ප ශාස්ත්‍රාදියෙහි පුහුණු කරවති. ගැලපෙන ස්ත්‍රියක හා සම්බන්ධ කරවති. සුදුසු අවස්ථාවෙහි දායාදය පවරති. ගෘහපති පුත්‍රය, පුත්‍රයා විසින් පූර්ව දිශාව වූ මව්පියෝ මේ පස් කරුණින් උවටැන් කරන ලද්දාහු යථෝක්ත පස් කරුණෙන් සිය පුතුට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ පූර්ව දිශාව අනතුරු නොවන අයුරින් රැකවරණයෙන් යුක්ත ව, භය රහිත ව වසා තබන ලද්දේ වෙයි.

12. පඤ්චහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි අන්තේවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨාතබ්බා: උට්ඨානේන, උපට්ඨානේන, සුස්සුසාය, පාරිචරියාය, සක්කච්චං සිප්පපටිග්ගහණේන.

ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයෝ පස් කරුණකින් උවටැන් කළ යුත්තාහු ය. ගුරුවරු දැක හුනස්නෙන් නැගිටීමෙන් ද, ගුරුවරුන්ට උපස්ථාන කිරීමෙන් ද, ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඇසීමෙන් ද, ගුරුවරුන්ට වතාවත් කිරීමෙන් ද, ගුරුවරුන් උගන්වන ශිල්පාදිය සකස් කොට ඉගෙන ගැනීමෙන් ද වශයෙනි.

ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි අන්තේවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා, පඤ්චහි ඨානේහි අන්තේවාසිං අනුකම්පන්ති: සුවිනීතං විනෙන්ති, සුග්ගහිතං ගාහාපෙන්ති, සබ්බසිප්පසුතං සමක්ඛායිනෝ භවන්ති, මිත්තාමච්චේසු පටියාදෙන්ති, දිසාසු පරිත්තානං කරොන්ති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි අන්තේවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා, ඉමේහි පඤ්චහි ඨානේහි අන්තේවාසිං අනුකම්පන්ති. ඒවමස්ස ඒසා දක්ඛිණා දිසා පටිච්ඡන්නා හෝති ඛේමා අප්පටිභයා.

ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවයෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලද්දාහු පස් කරුණකින් සිය ශිෂ්‍යයාට අනුකම්පා කරති. මනා හික්මවීමකට හික්මවති. මනාකොට ගනු ලැබූවක් සෙයින් ශිල්ප උගන්වති. ගුරුවරුන් අසා ඇති සියළු ශිල්ප මැනැවින් කියා දෙති. ගුරුවරුන්ගේ විශේෂ යහළු මිතුරන්ට හඳුන්වා දෙති. දිශාවන්හි රැකවරණය සළස්වති. ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයා විසින් දකුණු දිශාව නම් වූ ගුරුවරයෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලද්දාහු මේ පස් කරුණෙන් සිය සිසුවාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ දකුණු දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්ත ව, භය රහිත ව වසා තබන ලද්දේ වෙයි.

13. පඤ්චහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි සාමිකේන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨාතබ්බා: සම්මානනාය, අනවමානනාය, අනතිචරියාය, ඉස්සරියවොස්සග්ගේන, අලංකාරානුප්පදානේන. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි සාමිකේන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා, පඤ්චහි ඨානේහි සාමිකං අනුකම්පති: සුසංවිහිතකම්මන්තා ච හෝති, සුසංගහිතපරිජනා ච ,අනතිචාරිනී ච, සම්භතං අනුරක්ඛති, දක්ඛා ච හෝති අනලසා සබ්බකිච්චේසු. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි සාමිකේන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි සාමිකං අනුකම්පති. ඒවමස්ස ඒසා පච්ඡිමා දිසා පටිච්ඡන්නා හෝති ඛේමා අප්පටිභයා.

ගෘහපති පුත්‍රය, සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳ පස් කරුණකින් උපස්ථාන කළ යුත්තී ය. ගරුසරු දක්වා කථා කිරීමෙන් ද, අවමන් කොට කථා නොකිරීමෙන් ද, සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයාමෙන් ද, නිවසෙහි වැඩකටයුතු වලදී සිය බිරිඳට ප්‍රධානත්වය දීමෙන් ද, තමාට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තම් ආදිය මිලට ගෙන ඇයට තෑගි කිරීමෙන් ද, ගෘහපති පුත්‍රය, මේ පස් කරුණෙන් සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳ උවටැන් කරන ලද්දේ ඕ තොමෝ සැමියාට ද පස් කරුණකින් අනුකම්පා කරයි. කලට වේලාවට ආහාරපාන සකස් කරදීම් ආදිය කරදෙයි. සේවකකාරකාදීන්ට යහපත් ව සලකයි. සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයයි. සිය සැමියා රැස් කළ ධනය රකියි. සියළු කටයුතුවලදී කම්මැලි නැති ව දක්ෂ වෙයි. ගෘහපති පුත්‍රය, සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳ මේ පස් කරුණෙන් උවටැන් කරන ලද්දී, යථෝක්ත පස් කරුණෙන් සිය සැමියාට ඕ තොමෝ අනුකම්පා කරයි. මෙසේ ඔහු විසින් මේ බටහිර දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්ත ව, භය රහිත ව වසා තබන ලද්දේ වෙයි.

14. පඤ්චහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි කුලපුත්තේන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨාතබ්බා: දානේන, පෙය්‍යවජ්ජේන, අත්ථචරියාය, සමානත්තතාය, අවිසංවාදනතාය. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි කුලපුත්තේන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානේහි කුලපුත්තං අනුකම්පන්ති: පමත්තං රක්ඛන්ති, පමත්තස්ස සාපතෙය්‍යං රක්ඛන්ති, භීතස්ස සරණං හොන්ති, ආපදාසු න විජහන්ති, අපරපජා චස්ස පටිපූජෙන්ති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි කුලපුත්තේන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි කුලපුත්තං අනුකම්පන්ති. ඒවමස්ස ඒසා උත්තරා දිසා පටිච්ඡන්නා හෝති ඛේමා අප්පටිභයා.

ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයා විසින් උතුරු දිශාව වූ යහළු මිතුරෝ පස් කරුණකින් උවටැන් කළ යුත්තාහු ය. දානයෙන් ය. ප්‍රිය වචනයෙන් ය. ධනෝපායන මාර්ගයන්ට උදව් කිරීමෙන් ය. සමාන සැලකීමෙන් ය. නොරැවටීමෙන් ය. ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයෙකු විසින් උතුරු දිශාව වූ යහළු මිතුරෝ මෙකී පස් කරුණෙන් උවටැන් කරනු ලබන්නාහු, පස් කරුණෙකින් ඔවුහු එම කුලපුත්‍රයාට අනුකම්පා කරති. පමා වූ විට රකිති. පමා වූ මිතුරාගේ වටිනා දේ රකිති. බියක් හටගත් විට පිහිට වෙති. විපතකදී අත් නොහරිති. මිතුරාගේ පවුලේ දූ දරුවන් ආදීන්ට ද සලකති. ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයා විසින් උතුරු දිශාව වූ යහළු මිත්‍රයෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලදු ව ඔවුහු යථෝක්ත පස් කරුණෙන් එම කුලපුත්‍රයාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ උතුරු දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්ත ව, භය රහිත ව වසා තබන ලද්දේ වෙයි.

15. පඤ්චහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි අයිරකේන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨාතබ්බා: යථාබලං කම්මන්තසංවිධානේන, භත්තවේතනානුප්පදානේන, ගිලානුපට්ඨානේන, අච්ඡරියානං රසානං සංවිභාගේන, සමයේ වොස්සග්ගේන. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි අයිරකේන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානේහි අයිරකං අනුකම්පන්ති. පුබ්බුට්ඨායිනෝ ච හොන්ති, පච්ඡානිපාතිනෝ ච දින්නාදායිනෝ ච, සුකතකම්මකරා ච, කිත්තිවණ්ණහරා ච. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි අයිරකේන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි අයිරකං අනුකම්පන්ති. ඒවමස්ස ඒසා හෙට්ඨිමා දිසා පටිච්ඡන්නා හෝති ඛේමා අප්පටිභයා.

ගෘහපති පුත්‍රය, ස්වාමියා විසින් යට දිශාව වූ දාස කම්කරුවෝ පස් කරුණකින් උපස්ථාන කළ යුත්තාහු ය. ඔවුන්ගේ හැකියාවන්ට ඔරොත්තු දෙන ලෙස වැඩකටයුතු පැවරීමෙන් ද, ආහාරපාන වැටුප් ආදිය යහපත් ලෙස දීමෙන් ද, ඔවුන් අසනීප වූ විට විශේෂ උපකාර ලබාදීමෙන් ද, විශේෂ රසවත් දේවල් ඔවුන් සමඟ බෙදා හදා ගැනීමෙන් ද, අවශ්‍ය අවස්ථාවන් හිදී සේවකයින්ට නිවාඩු ලබා දීමෙන් ද වශයෙනි.

ගෘහපති පුත්‍රය, ස්වාමියෙකු විසින් යට දිශාව වූ දාස කම්කරුවෝ මේ පස් කරුණෙන් උවටැන් කරනු ලබන්නාහු, පස් කරුණකින් ඔවුහු සිය ස්වාමියාට අනුකම්පා කරති. නියමිත වේලාවට ත් කලින් ම නැගිට වැඩ කටයුතු සඳහා සූදානම් වෙති. හැමට පසු ව නින්දට යන තෙක් ම වැඩෙහි යෙදී සිටිති. දුන් දේ පමණක් ගනිති (සොරකම් නොකරති). ඉතා හොඳින් සිය සේවා කටයුතු කරති. ස්වාමියාගේ හොඳ නම සිය කැමැත්තෙන් පතුරුවති. ගෘහපති පුත්‍රය, ස්වාමියා විසින් යට දිශාව වූ දාස කම්කරුවෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලදු ව ඔවුහු යථෝක්ත පස් කරුණෙන් සිය ස්වාමියාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ යට දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්ත ව, භය රහිත ව වසා තබන ලද්දේ වෙයි.

16. පඤ්චහි ඛෝ ගහපතිපුත්ත ඨානේහි කුලපුත්තේන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨාතබ්බා: මෙත්තේන කායකම්මේන, මෙත්තේන වචීකම්මේන, මෙත්තේන මනෝකම්මේන, අනාවටද්වාරතාය, ආමිසානුප්පදානේන. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි කුලපුත්තේන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨිතා ඡහි ඨානේහි කුලපුත්තං අනුකම්පන්ති. පාපා නිවාරෙන්ති, කල්‍යාණේ නිවේසෙන්ති, කල්‍යාණේන මනසා අනුකම්පන්ති, අස්සුතං සාවෙන්ති, සුතං පරියෝදපෙන්ති, සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති. ඉමේහි ඛෝ ගහපතිපුත්ත පඤ්චහි ඨානේහි කුලපුත්තේන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨිතා ඉමේහි ඡහි ඨානේහි කුලපුත්තං අනුකම්පන්ති. ඒවමස්ස ඒසා උපරිමා දිසා පටිච්ඡන්නා හෝති ඛේමා අප්පටිභයා”ති.

ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයා විසින් උඩ දිශාව වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පස් කරුණකින් උවටැන් කළ යුත්තාහු ය. මෛත්‍රී කාය කර්මයෙන් ය. මෛත්‍රී වචී කර්මයෙන් ය. මෛත්‍රී මනෝ කර්මයෙන් ය. සිය නිවෙස්හි දොරටු නොවසා තැබීමෙන් ද, සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් ද වශයෙනි.

ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයෙකු විසින් උඩ දිශාව වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ පස් කරුණෙන් උවැටන් කරනු ලබන්නාහු ඔවුහු සය කරුණකින් කුලපුත්‍රයාට අනුකම්පා කරති. පවින් වළක්වති. පිනෙහි යොදවති. යහපත් සිතින් අනුග්‍රහ කරති. නොඇසූ ධර්මයන් අසන්නට සළස්වති. ඇසූ ධර්මයන් පිරිසිදු කරදෙති. දෙව්ලොවට මාර්ගය පවසති. ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයා විසින් උඩ දිශාව වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලදු ව ඔවුහු යථෝක්ත සය කරුණෙන් කුලපුත්‍රයාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ උඩ දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්ත ව, භය රහිත ව, වසා දමන ලද්දේ වෙයි.

ඉදමවෝච භගවා. ඉදං වත්වාන සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

17.

“මාතාපිතා දිසා පුබ්බා ආචරියා දක්ඛිණා දිසා,
පුත්තදාරා දිසා පච්ඡා මිත්තාමච්චා ච උත්තරා.

පෙරදිග යනු මව්පියෝ ය. දකුණු දිග යනු ගුරුවරු ය. අවරදිග යනු අඹුදරුවෝ ය. උතුරුදිග යනු යහළු මිතුරෝ ය.

දාසකම්මකරා හෙට්ඨා උද්ධං සමණබ්‍රාහ්මණා,
ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහී.

යටදිග යනු දාස කම්කරුවෝ ය. උඩ දිශාව යනු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ය. ගිහි ගෙදර වසන්නට දක්ෂ වූ ගිහියා මේ දිශාවන් නමදින්නේ ය.

පණ්ඩිතෝ සීලසම්පන්නෝ සණ්හෝ ච පටිභානවා,
නිවාතවුත්ති අත්ථද්ධෝ තාදිසෝ ලභතේ යසං.

නුවණැති, සිල්වත්, සියුම් අරුත් දන්නා, වැටහෙන නුවණැති, යටහත් පැවැතුම් ඇති, ඕලාරික ගතිගුණ නැති, එබඳු තැනැත්තා යස පිරිවර ලබයි.

උට්ඨානකෝ අනලසෝ ආපදාසු න වේධති,
අච්ඡින්නවුත්ති මේධාවී තාදිසෝ ලභතේ යසං.

නැගී සිටිනා වීර්යය ඇති, කම්මැලි නැති, විපත්වලදී නොසැලෙන, නොකඩ කොට යහපත් පිළිවෙත් පවත්වන, සොඳුරු නුවණැති එබඳු තැනැත්තා යස පිරිවර ලබයි.

සංගාහකෝ මිත්තකරෝ වදඤ්ඤූ වීතමච්ඡරෝ,
නේතා විනේතා අනුනේතා තාදිසෝ ලභතේ යසං.

සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන, මිතුරන්ට යහපත සලසන, අනුන් විසින් උදව් ඉල්ලන්නට සුදුසු වූ, මසුරුමල දුරුකළ, අන් අයට යහපත පෙන්වන, යහපතෙහි හික්මවන, නැවත නැවත යහපත පෙන්වන එබඳු තැනැත්තා යස පිරිවර ලබයි.

දානඤ්ච පෙය්‍යවජ්ජඤ්ච අත්ථචරියා ච යා ඉධ,
සමානත්තතා ච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං.

මෙහි දානය ත්, ප්‍රිය වචනය ත්, අර්ථ චර්යාව ත් යන යමක් ඇද්ද, එය ත් ඒ ඒ පුද්ගලයා කෙරෙහි ධර්මානුකූල ව සුදුසු පරිදි සමාන බව පවත්වත් ද,

ඒතේ ඛෝ සංගහා ලෝකේ රථස්සාණී’ව යායතෝ,
ඒතේ ච සංගහා නාස්සු න මාතා පුත්තකාරණා,
ලභේථ මානං පූජං වා පිතා වා පුත්තකාරණා.

යන මෙයින් යුක්ත වූ කල්හී ගමන් කරන රථයෙහි ඇණය මෙන් මේවා ලොවෙහි සංග්‍රහයෝ ය. මේ සංග්‍රහයයෝ ලොව නොතිබෙත් නම් පුතුගේ ක්‍රියාවෙන් මව් හෝ පුතුගේ ක්‍රියාවෙන් පියා හෝ බුහුමනක් හෝ පූජාවක් හෝ නොලබන්නේ ය.

යස්මා ච සංගහේ ඒතේ සමවෙක්ඛන්ති පණ්ඩිතා,
තස්මා මහත්තං පප්පොන්ති පාසංසා ච භවන්ති තේ”ති.

යම් හෙයකින් නැණවත්හු මේ සංග්‍රහ කළ යුතු කරුණු මැනැවින් දැනගත්තාහු ද, එහෙයින් උදාර බවට පත්වෙති. ඔවුහු ලොව පැසසුමට ලක්වෙති.”

18. ඒවං වුත්තේ සිගාලකෝ ගහපතිපුත්තෝ භගවන්තං ඒතදවෝච: අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ කල්හී සිඟාලක ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසී ය.

“ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, යටට හරවා තැබූ දෙයක් උඩු අතට හරවන්නේ යම් සේ ද, වසා තැබූ දෙයක් විවෘත කොට පෙන්වන්නේ යම් සේ ද, මංමුලා වූවෙකුට නිසි මග පවසන්නේ යම් සේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය වදාරණ ලද්දේ ය. ඒ මම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ව සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරු තෙරුවන් සරණ ගිය උපාසකයෙකු සේ මා පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

සිගාලසුත්තං නිට්ඨිතං අට්ඨමං.

සිඟාලෝවාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M