2.3.12.1
සැවැත් නුවරදී …………
13. පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් මැනැවින් අයදිනවා නම්, මේ පින්වත් සාරිපුත්ත, මොග්ගල්ලාන යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් හට මිනුම් දණ්ඩ වන්නේද, පරමාදර්ශය වන්නේද, මේ පින්වත් සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනමයි.
2.3.12.2
14. පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත භික්ෂුණියක් මැනැවින් අයදිනවා නම්, මේ පින්වත් ඛේමාත්, උප්පලවණ්ණාත් යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂුණීන් හට මිනුම් දණ්ඩ වන්නේද, පරමාදර්ශය වන්නේද, මේ පින්වත් ඛේමාවත්, උප්පලවණ්ණාත් ය.
2.3.12.3
15. පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් මැනැවින් අයදිනවා නම්, මේ පින්වත් චිත්ත ගෘහපතිතුමාත්, හත්ථක ආලවකත් යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ උපාසකවරුන් හට මිනුම් දණ්ඩ වන්නේද, පරමාදර්ශය වන්නේද, මේ පින්වත් චිත්ත ගෘහපතිතුමාත්, හත්ථක ආලවකත් ය.
2.3.12.4
16. පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් මැනැවින් අයදිනවා නම්, මේ පින්වත් ඛුජ්ජුත්තරාවත්, වේළුකණ්ටකී නන්දමාතාවත් යම් බඳු වෙත්ද, එබඳු වූ කෙනෙක් වන්නෙමි’යි කියලයි ආයාචනා කළ යුත්තේ. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් හට මිනුම් දණ්ඩ වන්නේද, පරමාදර්ශය වන්නේද, මේ පින්වත් ඛුජ්ජුත්තරාව ත්, වේළුකණ්ටකී නන්දමාතාවත්ය.
2.3.12.5
17. පින්වත් මහණෙනි, කරුණු දෙකකින් යුතු මේ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා උදුරා දැමූ ගුණ ඇතිව, නැසුණු ගුණ ඇතිව ජීවිතය පරිහරණය කරනවා. වැරදි සහිතවත් ඉඳගෙන, ඤාණවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව් රැස් කරගන්නවා. ඒ කවර කරුණු දෙකකින්ද යත්? නොවිමසා බලමින්, ඇත්ත නැත්ත තේරුම් බේරුම් නොකරගෙන නුගුණ කිව යුතු කෙනාගේ ගුණ කියනවා. නොවිමසා බලමින්, ඇත්ත නැත්ත තේරුම් බේරුම් නොකරගෙන ගුණ කිව යුතු කෙනාගේ නුගුණ කියනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු දෙකෙන් සමන්විත ඒ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා උදුරා දැමූ ගුණ ඇතිව, නැසුනු ගුණ ඇතිව ජීවිතය පරිහරණය කරනවා. වැරදි සහිතවත් ඉඳගෙන, ඤාණවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව් රැස් කරගන්නවා.
2.3.12.6
18. පින්වත් මහණෙනි, කරුණු දෙකකින් යුතු මේ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා (කිසිවෙකුගේ) යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදිව ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙත් නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා. ඒ කවර කරුණු දෙකකින්ද යත්? නුගුණ කිව යුතු කෙනාගේ නුගුණ කියන්නේ හොඳින් දැනගෙන, හොඳින් සොයා බලලයි. එමෙන්ම ගුණ කිව යුතු කෙනාගේ ගුණ කියන්නේ හොඳින් දැනගෙන, හොඳින් සොයා බලලයි. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු දෙකෙන් සමන්විත ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා (කිසිවෙකුගේ) යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදිව ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙත් නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා.
2.3.12.6
19. පින්වත් මහණෙනි, කරුණු දෙකකින් යුතු මේ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා (අනුන්ගේ) යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව් රැස් කරගන්නවා. ඒ කවර කරුණු දෙකකින්ද? සළකා බලන්නේ නැතුව, සොයා බලන්නේ නැතුව අපැහැදිය යුතු තැන පැහැදීමට පත් වෙනවා. සළකා බලන්නෙ නැතුව, සොයා බලන්නෙ නැතුව පැහැදිය යුතු තැන අපැහැදීමට පත් වෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු දෙකෙන් සමන්විත ඒ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා (අනුන්ගේ) යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව් රැස් කරගන්නවා.
2.3.12.7
20. පින්වත් මහණෙනි, කරුණු දෙකකින් යුතු මේ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා (කිසිවෙකුගේ) යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදිව ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා. ඒ කවර කරුණු දෙකකින්ද යත්? සළකා බලා, සොයා බලා අපැහැදිය යුතු තැන අපැහැදීමට පත් වෙනවා. සළකා බලා, සොයා බලා පැහැදිය යුතු තැන පැහැදීමට පත් වෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ කරුණු දෙකෙන් සමන්විත ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා (කිසිවෙකුගේ) යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදිව ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා.
2.3.12.8
21. පින්වත් මහණෙනි, දෙදෙනෙක් කෙරෙහි වැරදි විදිහට පිළිපදිනා ඒ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කර ගන්නවා. ඒ කවර දෙදෙනෙක් කෙරෙහිද? මව කෙරෙහිත්, පියා කෙරෙහිත් ය. පින්වත් මහණෙනි, මෙන්න මේ දෙදෙනා ගැන වැරදි විදිහට පිළිපදිනා ඒ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කර ගන්නවා.
2.3.12.9
22. පින්වත් මහණෙනි, දෙදෙනෙක් කෙරෙහි නිවැරදි විදිහට පිළිපදිනා ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා. ඒ කවර දෙදෙනෙක් කෙරෙහිද? මව කෙරෙහිත්, පියා කෙරෙහිත් ය. පින්වත් මහණෙනි, මෙන්න මේ දෙදෙනා ගැන නිවැරදි විදිහට පිළිපදිනා ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදිව ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා.
2.3.12.10
23. පින්වත් මහණෙනි, දෙදෙනෙක් කෙරෙහි වැරදි විදිහට පිළිපදිනා ඒ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කර ගන්නවා. ඒ කවර දෙදෙනෙක් කෙරෙහිද? තථාගතයන් වහන්සේ කෙරෙහිත්, තථාගත ශ්‍රාවකයා කෙරෙහිත් ය. පින්වත් මහණෙනි, මෙන්න මේ දෙදෙනා ගැන වැරදි විදිහට පිළිපදිනා ඒ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා යහපත් ගුණ උදුරා දමා, එමෙන්ම යහපත් ගුණ නසා තමයි තම ජීවිතය පරිහරණය කරන්නෙ. වැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවටත් ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කර ගන්නවා.
2.3.12.11
24. පින්වත් මහණෙනි, දෙදෙනෙක් කෙරෙහි නිවැරදි විදිහට පිළිපදිනා ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදි ලෙස ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා. ඒ කවර දෙදෙනෙක් කෙරෙහිද? තථාගතයන් වහන්සේ කෙරෙහිත්, තථාගත ශ්‍රාවකයා කෙරෙහිත් ය. පින්වත් මහණෙනි, මෙන්න මේ දෙදෙනා ගැන නිවැරදි විදිහට පිළිපදිනා ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා යහපත් ගුණ උදුරා නොදමා, එමෙන්ම යහපත් ගුණ නොනසා තමයි ජීවිතය පරිහරණය කරන්නේ. නිවැරදිව ජීවත් වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ ගර්හාවට ලක්වෙන්නෙ නෑ. බොහෝ පිනුත් රැස් කරගන්නවා.
2.3.12.12
25. පින්වත් මහණෙනි, මේ ධර්ම දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? තමන්ගේ සිත පිරිසිදු වීමත්, ලෝකයෙහි කිසිම දෙයකට නොබැඳී සිටීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ධර්ම දෙක.
2.3.12.13
26. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ක්‍රෝධයත්, බද්ධ වෛරයත්. පින්වත් මහණෙනි, මේ තමයි ඒ කරුණු දෙක.
2.3.12.14
27. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ක්‍රෝධය දුරු කිරීමත්, බද්ධ වෛරය දුරු කිරීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඒ කරුණු දෙක.
දොළොස්වෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-3-12-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M