සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණක පහළ වීම ලෝකයෙහි දුර්ලභ වෙයි. ඒ කවර සය කරුණක ද යත්;
තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභ වෙයි. තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනය දෙසන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභ වෙයි. රහතුන්ගේ ගමනාගමනය ඇති ආර්යායතනය වන මධ්‍ය දේශයෙහි ඉපදීම ලෝකයෙහි දුර්ලභ වෙයි. ඉන්ද්‍රියයන්ගේ අඩුපාඩු නැති බව ලෝකයෙහි දුර්ලභ වෙයි. ජඩ නැති බව, කෙළතොළු නැති බව ලෝකයෙහි දුර්ලභ වෙයි. කුසල ධර්මයන් දියුණු කිරීමෙහි කැමැත්ත ලෝකයෙහි දුර්ලභ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙහි පහළ වීම ලෝකයෙහි දුර්ලභ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පාතුභාව සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමෙහි මේ අනුසස් හයකි. ඒ කවර සයක් ද යත්;
සද්ධර්මයෙහි ස්ථිර වූයේ වෙයි. නොපිරිහෙන ස්වභාව ඇත්තේ වෙයි. නැති කළ දුක් යළි නොහටගන්නේ වෙයි. පෘථග්ජනයන් හා සාධාරණ නොවූ අවබෝධයකින් යුක්ත වූයේ වෙයි. හේතුප්‍රත්‍ය ධර්මයන් මැනැවින් දකින ලද්දේ වෙයි. හේතූන්ගෙන් හටගත් ධර්මයන් ද මැනැවින් දකින ලද්දේ වෙයි.
මහණෙනි, මේ වනාහී සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමෙහි අනුසස් හය යි.
සාදු! සාදු!! සාදු!!!
ආනිසංස සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව සියළු සංස්කාරයන් නිත්‍ය වශයෙන් බලන්නේ, ධර්මයට අනුකූල වූ ඉවසීමෙන් යුක්ත වන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවෙයි. ධර්මයට අනුකූල ඉවසීමෙන් යුක්ත නොවූයේ, නිවැරදි ධර්ම මාර්ගයට බැසගන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවෙයි. නිවැරදි ධර්ම මාර්ගයට බැස නොගන්නේ, සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත්වය හෝ සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවෙයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව කිසි සංස්කාරයක් අනිත්‍ය වශයෙන් බලන්නේ, ධර්මයට අනුකූල වූ ඉවසීමෙන් යුක්ත වන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. ධර්මයට අනුකූල ඉවසීමෙන් යුක්ත වූයේ, නිවැරදි ධර්ම මාර්ගයට බැසගන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. නිවැරදි ධර්ම මාර්ගයට බැසගන්නේ, සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත්වය හෝ සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
අනිච්ච සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව සියළු සංස්කාරයන් සැප වශයෙන් බලන්නේ, ….(පෙ)…. යන කරුණ විය හැකි දෙයක් නොවෙයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව කිසි සංස්කාරයක් දුක් වශයෙන් බලන්නේ, ….(පෙ)…. යන කරුණ විය හැකි දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
දුක්ඛ සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව සියළු සංස්කාරයන් ආත්ම වශයෙන් බලන්නේ, ….(පෙ)…. යන කරුණ විය හැකි දෙයක් නොවෙයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව කිසි සංස්කාරයක් අනාත්ම වශයෙන් බලන්නේ, ….(පෙ)…. යන කරුණ විය හැකි දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
අනත්ත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව නිවන දුක් වශයෙන් බලන්නේ, ධර්මයට අනුකූල වූ ඉවසීමෙන් යුක්ත වන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවෙයි. ධර්මයට අනුකූල ඉවසීමෙන් යුක්ත නොවූයේ, නිවැරදි ධර්ම මාර්ගයට බැසගන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවෙයි. නිවැරදි ධර්ම මාර්ගයට බැස නොගන්නේ, සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත්වය හෝ සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයක් නොවෙයි.
මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව නිවන සැප වශයෙන් බලන්නේ, ධර්මයට අනුකූල වූ ඉවසීමෙන් යුක්ත වන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. ධර්මයට අනුකූල ඉවසීමෙන් යුක්ත වූයේ, නිවැරදි ධර්ම මාර්ගයට බැසගන්නේ ය යන කරුණ විය හැකි දෙයකි. නිවැරදි ධර්ම මාර්ගයට බැසගන්නේ, සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත්වය හෝ සාක්ෂාත් කරන්නේ ය යන කරුණ විය හැකි දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
නිබ්බාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, අනුසස් සයක් දකින්නා වූ භික්ෂුව විසින් සියළු සංස්කාරයන් පිළිබඳ ව සීමා රහිත කොට අනිත්‍ය සංඥාව සිතෙහි පිහිටුවා ගන්නට සුදුසු ය. ඒ කවර අනුසස් හයක් ද යත්;
මා හට සියළු සංස්කාරයන් ද ස්ථිර ව නොපිහිටි බිඳී යන දේ ලෙස වැටහෙයි. මාගේ සිත කිසි ලොවක ද නොඇලෙන්නේ ය. මාගේ සිත සියළු ලොවෙන් ද බැහැරට නැගී සිටින්නේ ය. මාගේ සිත නිවනට ද නැඹුරු වන්නේ ය. මාගේ සංයෝජනයෝ ද ප්‍රහාණයට යන්නාහු ය. උතුම් ශ්‍රමණ භාවයෙන් ද යුක්ත වන්නේ ය.
මහණෙනි, මේ අනුසස් සය දකින්නා වූ භික්ෂුව විසින් සියළු සංස්කාරයන් පිළිබඳ ව සීමා රහිත කොට අනිත්‍ය සංඥාව සිතෙහි පිහිටුවා ගන්නට සුදුසු ය.
සාදු! සාදු!! සාදු!!!
අනවත්ථිත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, අනුසස් සයක් දකින්නා වූ භික්ෂුව විසින් සියළු සංස්කාරයන් පිළිබඳ ව සීමා රහිත කොට දුක්ඛ සංඥාව සිතෙහි පිහිටුවා ගන්නට සුදුසු ය. ඒ කවර අනුසස් හයක් ද යත්;
මා හට සියළු සංස්කාරයන් පිළිබඳ ව කඩුවක් ඔසොවා ගත් වධකයෙකු සෙයින් එපාවීමේ සංඥාව ද වැටහීම පිහිටා සිටියේ වන්නේ ය. මාගේ සිත සියළු ලොවින් ද බැහැරට නැගී සිටින්නේ ය. නිර්වාණයෙහි ද ශාන්ත ස්වභාවය දකින්නෙක් වන්නෙමි. මාගේ අනුසයෝ ද මුලින් ම වැනසී යන්නාහු ය. නිවන් පිණිස කළ යුතු දෙය ද කරනසුළු වන්නෙමි. මා විසින් මෛත්‍රී සහගත වතින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලද්දේ ය.
මහණෙනි, මේ අනුසස් සය දකින්නා වූ භික්ෂුව විසින් සියළු සංස්කාරයන් පිළිබඳ ව සීමා රහිත කොට දුක්ඛ සංඥාව සිතෙහි පිහිටුවා ගන්නට සුදුසු ය.
සාදු! සාදු!! සාදු!!!
උක්ඛිත්තාසික සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, අනුසස් සයක් දකින්නා වූ භික්ෂුව විසින් සියළු සංස්කාරයන් පිළිබඳ ව සීමා රහිත කොට අනාත්ම සංඥාව සිතෙහි පිහිටුවා ගන්නට සුදුසු ය. ඒ කවර අනුසස් හයක් ද යත්;
සියළු ලෝකයෙහි ද තෘෂ්ණා දෘෂ්ටි නැතියෙක් වන්නෙමි. මාගේ මම වෙමි යි ආදී දෘෂ්ටීහු ද නොපෙනී යන්නාහු ය. මාගේ ය යනාදී තෘෂ්ණාවන් මා කෙරෙන් නොපෙනී යන්නේ ය. පෘථග්ජනයන් හා සාධාරණ නොවූ අවබෝධ ඥානයකින ද යුක්ත වන්නෙමි. මවිසින් හේතූන් ද මැනැවින් දක්නා ලද්දේ ය. හේතූන්ගෙන් හටගත් ධර්මයන් ද මැනැවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මේ අනුසස් සය දකින්නා වූ භික්ෂුව විසින් සියළු සංස්කාරයන් පිළිබඳ ව සීමා රහිත කොට අනාත්ම සංඥාව සිතෙහි පිහිටුවා ගන්නට සුදුසු ය.
සාදු! සාදු!! සාදු!!!
අතම්මය සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ භව තුන ප්‍රහාණය කළ යුත්තේ ය. ශික්ෂා තුනක හික්මිය යුත්තේ ය. ප්‍රහාණය කළ යුත්තේ කවර භව තුනක් ද?
කාම භවය, රූප භවය හා අරූප භවය යි. මේ ප්‍රහාණය කළ යුතු භව තුන යි.
හික්මිය යුත්තේ කවර ශික්ෂා තුනක ද?
අධිශීල ශික්ෂාවෙහි ය, අධිචිත්ත ශික්ෂාවෙහි ය, අධිප්‍රඥා ශික්ෂාවෙහි ය. මේ ශික්ෂා තුනෙහි හික්මිය යුත්තේ ය.
මහණෙනි, යම් විටක භික්ෂුව හට මේ තුන් භවයන් ප්‍රහීණ වූයේ වෙයි ද, මේ ත්‍රිවිධ ශික්ෂාවන්හි මැනැවින් හික්මුණේ වෙයි ද, මහණෙනි, මේ භික්ෂුව තණ්හාව සිඳ දැම්මේ ය, සංයෝජන උදුරා දැම්මේ ය, මනාකොට මානය ප්‍රහාණයෙන් දුක් කෙළවර කළේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
භව සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ තෘෂ්ණා තුන ද, මේ මාන තුන ද ප්‍රහාණය කළ යුත්තේ ය.
ප්‍රහාණය කළ යුතු තෘෂ්ණා තුන මොනවා ද?
කාම තණ්හාව, භාව තණ්හාව සහ විභව තණ්හාව ය. මේ ප්‍රහාණය කළ යුතු තෘෂ්ණා තුන යි.
ප්‍රහාණය කළ යුතු මාන තුන මොනවා ද?
ජාති ගෝත්‍ර ආදියෙන් හටගත් මානය ත්, අන්‍යයන්ට වඩා පහත් වෙමි යි හටගත් මානය ත්, අන්‍යයන්ට වඩා උසස් වෙමි යි හටගත් මානය ත් ය. මේ මාන තුන ප්‍රහාණය කළ යුත්තේ ය.
මහණෙනි, යම් විටක භික්ෂුව හට මේ ත්‍රිවිධ තෘෂ්ණාව ද, මේ ත්‍රිවිධ මාන්නය ද ප්‍රහීණ වූයේ වෙයි ද, මහණෙනි, මේ භික්ෂුව තණ්හාව සිඳ දැම්මේ ය, සංයෝජන උදුරා දැම්මේ ය, මනාකොට මානය ප්‍රහාණයෙන් දුක් කෙළවර කළේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
තණ්හා සූත්‍රය නිමා විය.
පස්වෙනි ආනිසංස වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාතුභාව සූත්‍රය, ආනිසංස සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, නිබ්බාන සූත්‍රය, අනවත්ථිත සූත්‍රය, උක්ඛිත්තාසික සූත්‍රය, අතම්මය සූත්‍රය, භව සූත්‍රය සහ තණ්හා සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර එකොළසකි.
දෙවෙනි පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M