ඛුද්දක නිකාය

ධම්මපදය

20. මග්ග වග්ගෝ

20. ඒ අමා නිවන් මග ගැන වදාළ කොටස

273.1. මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ
සච්චානං චතුරෝ පදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං
ද්විපදානං ච චක්ඛුමා

අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමිඳුයි.

274.2. ඒසෝ’ව මග්ගෝ නත්ථඤ්ඤෝ
දස්සනස්ස විසුද්ධියා
ඒතං හි තුම්හේ පටිපජ්ජථ
මාරස්සේතං පමෝහනං

ආර්ය සත්‍යාවබෝධය තුළින් පිරිසිදු වෙන්ට නම්, මේ මාර්ගය විතරමයි තියෙන්නෙ. වෙන මාර්ගයක් නෑ. ඔබත් මේ මාර්ගය ම පිළිපදින්න. මේ මාර්ගයෙන් තමයි මාරයාව රවට්ටන්න පුළුවන් වෙන්නෙ.

275.3. ඒතං හි තුම්හේ පටිපන්නා
දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතෝ වේ මයා මග්ගෝ
අඤ්ඤාය සල්ලසත්ථනං

ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම අනුගමනය කරලා, මේ සසර දුක අවසන් කරල දාන්න. රාගාදී කෙලෙස් හුල් උදුරලා දාන මේ මාර්ගය මං ඔබට කියා දෙන්නෙ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ම යි.

276.4. තුම්හේහි කිච්චං ආතප්පං
අක්ඛාතාරෝ තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති
ඣායිනෝ මාරබන්ධනා

පින්වත් මහණෙනි, දුකෙන් නිදහස් වෙන්ට වීරිය අරගෙන, නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින් ම යි. ඒ වෙනුවෙන් තථාගතයන් වහන්සේලා කරන්නෙ නිවන් මග කියාදෙන එක විතරයි. මේ නිවන් මග පිළිපැද්දොත්, ධ්‍යාන වැඩුවොත්, මේ මාර බන්ධනයෙන් ඔබ නිදහස් වෙලා යනවා.

(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)

277.5. සබ්බේ සංඛාරා අනිච්චා’ති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි.

(ජේතවනාරාමයේදී පන්සියයක් පමණ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

278.6. සබ්බේ සංඛාරා දුක්ඛා’ති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම දුකක් බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි.

(ජේතවනාරාමයේදී පන්සියයක් පමණ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

279.7. සබ්බේ ධම්මා අනත්තා’ති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

හැම දෙයක්ම අනාත්ම බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත්, අන්න එදාටයි මේ දුක ගැන කළකිරෙන්නෙ. නිවන් මග වෙන්නෙත් ඒක ම යි.

(ජේතවනාරාමයේදී පන්සියයක් පමණ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

280.8. උට්ඨානකාලම්හි අනුට්ඨහානෝ
යුවා බලී ආලසියං උපේතෝ
සංසන්නසංකප්පමනෝ කුසීතෝ
පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති

වීරිය කරන්ට ඕනෙ වෙලාවෙදි වීරිය කරන්නෙ නැත්නම්, ඇඟේ පතේ හයිය තියෙන වෙලාවෙ, කම්මැලිකමෙන් හිටියොත්, ලාමක දේවල් ගැන හිත හිත හිටියොත්, කුසීත වෙලා හිටියොත්, ඒ කම්මැලියාට ප්‍රඥාවෙන් දියුණු කරගත යුතු ආර්ය මාර්ගය නොලැබී යනවා.

(ජේතවනාරාමයේදී පධානකම්මිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

281.9. වාචානුරක්ඛී මනසා සුසංවුතෝ
කායේන ච අකුසලං න කයිරා
ඒතේ තයෝ කම්මපථේ විසෝධයේ
ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං

වචනය රැකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයෙනුත් අකුසල් කරන්නෙ නැත්නම්, ඔය විදිහට කර්ම රැස්වෙන මාර්ග තුනම පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට, අරහත් ඍෂිවරුන් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මග සම්පූර්ණ කරගන්ට පුළුවන්.

(වේළුවනාරාමයේදී සූකර ප්‍රේතයා අරභයා වදාළ ගාථාවකි.)

282.10. යෝගා වේ ජායති භූරි
අයෝගා භූරිසංඛයෝ
ඒතං ද්වේධා පථං ඤත්වා
භවාය විභවාය ච
තථත්තානං නිවේසෙය්‍ය
යථා භූරි පවඩ්ඪති

ඇත්තෙන්ම සමථ – විදර්ශනා භාවනාවෙන් ම යි ප්‍රඥාව වැඩෙන්නෙ. භාවනා නොකළොත්, ප්‍රඥාව විනාශ වෙනවා. ඒ නිසා දියුණුව පිණිසත්, පිරිහීම පිණිසත් පවතින ඔය මාර්ග දෙක තේරුම් ගන්ට ඕනෙ. ප්‍රඥාව වැඩෙන්නේ යම් මගකින් නම්, අන්න ඒ මාර්ගයේ තමයි ජීවිතය යොදවන්ට තියෙන්නෙ.

(ජේතවනාරාමයේදී පෝඨිල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

283.11. වනං ඡින්දථ මා රුක්ඛං
වනතෝ ජායතී භයං
ඡෙත්වා වනඤ්ච වනථඤ්ච
නිබ්බනා හෝථ භික්ඛවෝ

පින්වත් මහණෙනි, ඔය කෙලෙස් වනය කපලා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් කපන්ට එපා! කෙලෙස් වනයෙන් තමයි බිය හටගන්නෙ. මහ කෙලෙස් වනයත්, පොඩි කෙලෙස් වනයත් දෙකම කපලා දාලා, කෙලෙස් වනයකින් තොර අය වෙන්න.

284.12. යාවං වනථෝ න ඡිජ්ජති
අනුමත්තෝ’පි නරස්ස නාරිසු
පටිබද්ධමනෝ’ව තාව සෝ
වච්ඡෝ ඛීරපකෝ’ව මාතරි

කාන්තාවක් පිළිබඳව පුරුෂයාගේ හිතේ, අල්පමාත්‍ර වූ තෘෂ්ණාවක් පවා නොසිඳී තිබුණොත්, ඒකටම හිත දුවනවා. මව් වැස්සී පස්සේ දුවන කිරි බොන වහුපැටියා වගේ.

(ජේතවනාරාමයේදී මහලු භික්ෂූන් පිරිසක් අරභයා වදාළ ගාථාවන්ය.)

285.13. උච්ඡින්ද සිනේහමත්තනෝ
කුමුදං සාරදිකං’ව පාණිනා
සන්තිමග්ගමේව බ්‍රෑහය
නිබ්බාණං සුගතේන දේසිතං

සරත් කාලෙ කුමුදු මලක් අතින් කඩලා දානවා වගේ, තමන් තුළ තියෙන තෘෂ්ණාව ප්‍රඥාවෙන් කඩලා දාන්ට ඕනෙ. සුගතයන් වහන්සේ විසින් ඒ අමා නිවන ගැන කියා දීලයි තියෙන්නෙ. ඒ නිසා නිවනට පමුණුවන ආර්ය මාර්ගයේ ම යි ගමන් කරන්ට ඕනෙ.

(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

286.14. ඉධ වස්සං වසිස්සාමි
ඉධ හේමන්ත ගිම්හිසු
ඉති බාලෝ විචින්තේති
අන්තරායං න බුජ්ඣති

‘මං මේ පාර වස් කාලෙ මෙහෙ තමයි ඉන්නෙ. සීත කාලෙත් මෙහෙම ඉන්නවා. පායන කාලෙටත් මෙහෙ තමයි ඉන්ට වෙන්නෙ.’ ජීවිතය ගැන අවබෝධයක් නැති කෙනා ඔය විදිහට හිත හිතා ඉන්නවා. ඔය අතරෙ තමන්ට සිදුවෙන ජීවිත අනතුරු ගැන කිසිම අවබෝධයක් නෑ.

(ජේතවනාරාමයේදී වෙළඳ නායකයෙකු අරභයා වදාළ ගාථාවකි.)

287.15. තං පුත්තපසුසම්මත්තං
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව
මච්චු ආදාය ගච්ඡති

සමහර උදවිය තමන්ගේ දූ දරුවන් ගැන, සතා සිව්පාවා ගැන, හිතින් බැඳිලා, එයින් මත්වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මරණය කරා ගෙනියන්නෙ, සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ.

(ජේතවනාරාමයේදී කිසාගෝතමිය අරභයා වදාළ ගාථාවකි.)

288.16. න සන්ති පුත්තා තාණාය
න පිතා නපි බන්ධවා
අන්තකේනාධිපන්නස්ස
නත්ථි ඤාතිසු තාණතා

මාරයා විසින් යටකරගත්තු සත්වයාට ආරක්ෂා ස්ථානයක් දූදරුවන්ගෙන් ලැබෙන්නෙ නෑ. පියාගෙන් ලැබෙන්නෙත් නෑ. නෑදෑයන්ගෙන් ලැබෙන්නෙත් නෑ. ඒ ඤාතීන් තුළ ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නෙ නෑ.

289.17. ඒතමත්ථවසං ඤත්වා
පණ්ඩිතෝ සීලසංවුතෝ
නිබ්බාණගමනං මග්ගං
ඛිප්පමේව විසෝධයේ

ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්ට ඕනෙ. වහ වහාම නිවන් මග පිරිසිදු කරගන්ට ඕනෙ.

(ජේතවනාරාමයේදී පටාචාරාව අරභයා වදාළ ගාථාවන්ය.)

සාදු! සාදු!! සාදු!!!

ඒ අමා නිවන් මග ගැන වදාළ කොටස නිමා විය.

(මග්ග වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-20/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M