ඛුද්දක නිකාය

ථේරී ගාථා

8. අට්ඨක නිපාතෝ

8. අටවැනි නිපාතය

8.1. සිසූපචාලා ථේරීගාථා

8.1. සිසූපචාලා තෙරණියගේ ගාථා

196. භික්ඛුනී සීලසම්පන්නා ඉන්ද්‍රියේසු සුසංවුතා,
අධිගච්ඡේ පදං සන්තං අසේචනකමෝජවං.

196. ඒ භික්ෂුණිය හරිම සිල්වත්. ඉඳුරන් සංවර කරගෙන ඉන්නෙ. ස්වභාවයෙන්ම මිහිරි වූ නිවන් රස ඇය සාක්ෂාත් කළා.

197. තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දේවතා,
නිම්මාණරතිනෝ දේවා යේ දේවා වසවත්තිනෝ,
තත්ථ චිත්තං පණිධේහි යත්ථ තේ වුසිතං පුරේ.

197. (මාරයා) තව්තිසා, යාමය, තුසිතය, නිම්මාණරතී, පරනිම්මිත වසවත්තී ආදී දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නවා. ඔයා ඉස්සර හිටියෙත් ඒ ලෝකවල නෙ. ඉතින් ඔයාට පුළුවන් නෙ ඒ ලෝකවල හිත පිහිටුවාගන්න.

198. තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දේවතා,
නිම්මාණරතිනෝ දේවා යේ දේවා වසවත්තිනෝ.

198. (ඒයි මාරය) තව්තිසා, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසවත්ති ආදී ලෝකවල ඉන්න දෙවිවරු,

199. කාලං කාලං භවාභවං සක්කායස්මිං පුරක්ඛතා,
අවීතිවත්තා සක්කායං ජාතිමරණසාරිනෝ.

199. කලින් කලට භවයෙන් භවයට යන්නෙ මේ පංච උපාදානස්කන්ධයම පෙරටු කරගෙනයි. ඔවුන්ට පංච උපාදානස්කන්ධය ඉක්මවා යන්ට බෑ. ඔවුන් ගමන් කරන්නේ ඉපදෙන මැරෙන සංසාරේ.

200. සබ්බෝ ආදීපිතෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පදීපිතෝ,
සබ්බෝ පජ්ජලිතෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පකම්පිතෝ.

200. හැම ලෝකයක් ම කෙලෙස්වලින් ගිනි ඇවිලෙනවා. හැම ලෝකයක් ම කෙලෙස්වලින් ගිනි ඇවිලි ඇවිලි තමයි තියෙන්නෙ. හැම ලෝකයක් වටේ ම විහිදෙන්නෙ කෙලෙස් ගිනි දැල්. හැම ලෝකයක් ම කම්පා වෙන්නෙ කෙලෙස් වලින්.

201. අකම්පියං අතුලියං අපුථුජ්ජනසේවිතං,
බුද්ධෝ ච ධම්මං දේසේසි තත්ථ මේ නිරතෝ මනෝ.

201. එහෙත් බුදු සමිඳුන් අකම්පිතයි. අසහාය කෙනෙක්. උන්වන්සේව ඇසුරු කරන්නෙ පෘථග්ජන නොවන සත්පුරුෂයින් විසිනුයි. උන්වහන්සේ තමයි ධර්මය දේශනා කළේ. මගේ මනසේ නිතර පවතින්නෙ ඒ ධර්මයයි.

202. තස්සාහං වචනං සුත්වා විහරිං සාසනේ රතා,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.

202. උන්වහන්සේගෙන් උතුම් වචන අසා දැනගත්තා. මං බුදු සසුනෙ ඇලී වාසය කළා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්ත.

203. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධෝ පදාලිතෝ,
ඒවං ජානාහි පාපිම නිහතෝ ත්වමසි අන්තකාති.

203. හැමදෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරල දැම්මා. මෝහාන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි ඔය කරුණ දැනගන්ට ඕන. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබයි.

ඉත්ථං සුදං සීසූපචාලා ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී සීසූපචාලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

අට්ඨකනිපාතෝ නිට්ඨිතෝ.

අටවෙනි නිපාතය නිමා විය.

(ගාථා අට බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M