ඉතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනාට, ඒ වෙනුවෙන් සුළු සැපය අත්හරින්ට පුළුවන් වෙන්ට ඕනෙ. ප්‍රඥාවන්ත කෙනා ඉතා විශාල සැපයක් වන ඒ අමා නිවන් සැප කැමතිව, ඉතා සුළු වූ කම්සැපය අත්හරිනවා.
(වේළුවනයේදී බුදු සමිඳුන්ගේ අතීත ජීවිතය අරභයා වදාළ ගාථාවකි.)
අනුන්ට දුක් දීලා, තමන් විතරක් සැප විඳින්ට හිතුවොත් ඔහුට එකතු වෙන්ට වෙන්නෙ වෛරයත් සමඟයි. වෛරයෙන් නිදහස් වෙන්ට නම් ලැබෙන්නෙ නෑ.
(සැවැත් නුවරදී කිකිළි බිජු කෑ ස්ත්‍රියක අරභයා වදාළ ගාථාවකි.)
යම් කෙනෙක් ධර්මයේ හැසිරීම ආදී කළ යුතු උතුම් දේ අත්හරිනවා නම්, නොකළ යුතු දේවල් කරනවා නම්, මාන්නයෙන් ඉදිමී, ප්‍රමාදයෙන් ඉන්නවා නම්, ඔහු තුළ වැඩෙන්නෙ කෙලෙස් විතරයි.
නමුත් යම් කෙනෙක් කායානුපස්සනාවේ නිතරම ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම්, ඔවුන් නොකළ යුතු දේවල් කරන්ට යන්නෙ නෑ. කළ යුතු දේ තමයි හැම තිස්සෙම කරන්නෙ. ඉතා හොඳ සිහි නුවණින් යුක්තව කල් ගෙවන කොට, ඔවුන්ගෙ කෙලෙස් විනාශ වෙලා යනවා.
(භද්දිය නුවරදී භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
සසර දුක උපදවන මේ තෘෂ්ණාව නමැති අම්මාත්, අහංකාරකම නමැති පියාත් වනසන්ට ඕනෙ. ශාස්වත, උච්ඡේද දෘෂ්ටි නමැති රජවරු දෙන්නාත්, වනසන්ට ඕනෙ. ආධ්‍යාත්මික බාහිර ආයතන නමැති රටත්, එහි හැසිරෙන ප්‍රධානියා නමැති නන්දිරාගයත් වනසන්ට ඕනෙ. අන්න ඒ සියල්ල ප්‍රඥාවෙන් වනසලා, දුකෙන් තොරව සිටින අරහත් බ්‍රාහ්මණයා නිවන කරා ම යනවා.
සසර දුක උපදවන මේ තෘෂ්ණාව නමැති අම්මාත්, අස්මිමානය නමැති පියාවත් නසන්ට ඕනෙ. ශාස්වත, උච්ඡේද දෘෂ්ටි නමැති බ්‍රාහ්මණ රජවරු දෙන්නවත් නසන්ට ඕනෙ. විචිකිච්ඡාව පස්වෙනුවට තියෙන පංච නීවරණ නමැති ව්‍යාඝ්‍රයන්ගේ මාර්ගයත් නසන්ට ඕනෙ. අන්න ඒ දේවල් නසා දමා දුක් නැතිකරගෙන අරහත් බ්‍රාහ්මණයා නිවන කරා ම යනවා.
(ජේතවනාරාමයේදී ලකුණ්ටක භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම ධම්මානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම සංඝානුස්සති භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම අහිංසාවේ ඇලුණු සිතින් ඉන්නවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
යමෙක් දවාලටත් රාත්‍රියටත් නිතරම සමථ විදර්ශනා භාවනාවේ ඇලී වාසය කරනවා නම්, ගෞතම බුදු සමිඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිබිදෙන්නෙ.
(වේළුවනාරාමයේදී දාරුසාකටික කුඩා දරුවා අරභයා වදාළ ගාථාවන්ය.)
බුදු සසුනක උතුම් පැවිදි බව ලැබීම ඉතා දුෂ්කර දෙයක්. පැවිදි වුණ කෙනෙකුට ඒ පැවිද්දෙහි (සතර සතිපට්ඨානයේ) සිත් අලවා වාසය කිරීමත් දුෂ්කර දෙයක්. ගිහි ගෙවල්වල වාසය කිරීමත් මහා දුකක්. අසමාන අදහස් ඇති උදවියත් සමඟ එකට ඉන්ට ලැබීමත් දුකක්. සසර නමැති දුරු කතරට ඇද වැටීමත් දුකක්. ඒ නිසා සසර නමැති දුරු කතරට ඇද නොවැටෙන කෙනෙක් වෙන්ට ඕනෙ. සසර දුකට නොවැටෙන කෙනෙක් වෙන්ට ඕනෙ.
(විසාලා මහනුවරදී වජ්ජිපුත්තක තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත්, සීලවන්ත, ගිහි ශ්‍රාවකයා යසසිනුත්, භෝග සම්පත් වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පළාතකට ගියත්, ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.
(ජේතවනාරාමයේදී චිත්ත ගෘහපතියා අරභයා වදාළ ගාථාවකි.)
ශාන්ත පුද්ගලයන් කොයිතරම් දුරක සිටියත්, සම්බුදු නුවණට ඔවුන්ව පෙනෙන්නෙ ඈතට පෙනෙන හිමාල පර්වතය වගේ. නමුත් අඥාන පුද්ගලයෙක්ව ඒ විදිහට පේන්නේ නෑ. රාත්‍රී කාලෙ විදපු ඊතලයක් වගේ.
(ජේතවනාරාමයේදී චූළ සුභද්‍රා කුමරිය අරභයා වදාළ ගාථාවකි.)
හුදෙකලාවේ ම යි ඉන්ට ඕනෙ. හුදෙකලාවේ ම යි නිදන්ටත් ඕනෙ. කිසි කම්මැලිකමක් නැතුව, හුදෙකලාවේම තමන්ව දමනය කරගෙන, වනාන්තරයක වාසය කරමින් එහි ම යි ඇලී ඉන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී ඒකවිහාරීය තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
ධර්ම කරුණු මිශ්‍රව ඇතුළත් කොටස නිමා විය.
(පකිණ්ණක වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-21/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M