මේ කෙලෙස් සටන ඔහු දිනාගෙන ඉවරයි. ඒක කවදාවත් පැරදුමක් වෙන්නෙ නෑ. ඒ ජයග්‍රහණය පරදවන්ට පුළුවන් දෙයක් ඔහුගෙ පස්සෙන් එන්නෙත් නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඤාණ විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්ටන්න හදන්නෙ?
තෘෂ්ණාව කියන්නෙ දැලක්. සත්වයාව භවයේ ඔතලා දාන නිසා ඒකට ‘විසත්තිකාව’ කියනවා. ඔහු තුළ තෘෂ්ණාව නැති නිසා, ඒ තැනැත්තාව කිසිම විදිහකින් භවයක් කරා ගෙනයන්ට බෑ. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඤාණ විෂය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මග කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්ටන්ට හදන්නේ?
(බෝධි මූලයේදී මාර දූවරුන්ට සහ කුරු රට මාගන්දියාගේ පියා අරභයා වදාළ ගාථාවන්ය.)
උන්වහන්සේලා ප්‍රඥාවන්තයි. ධ්‍යානයට ම යි ඇලී වසන්නේ. ලෝකයෙන් නික්මිලා, සිත සංසිඳවාගෙන, ඒ අමා නිවනටමයි ඇලී ඉන්නේ. ඉතා හොඳින් සිහි නුවණ පවත්වන සම්බුදුරජාණන් වහන්සේලාට දෙවියන් පවා කැමතියි.
(ගන්ඩබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහර අරභයා වදාළ ගාථාවකි.)
මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.
(බරණැස් නුවරදී ඒරකපත්ත නා රජුන් අරභයා වදාළ ගාථාවකි.)
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.
ඉවසීම කියන ක්‍ෂාන්තියයි උතුම් තපස කියලා කියන්නෙ. බුදුවරයන් වහන්සේලා පවසන්නේ ඒ අමා නිවන ම උතුම් කියලයි. අනුන් නසන කෙනෙක් පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන්ට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් වෙන්නෙ නෑ.
කාටවත් නින්දා අපහාස කරන්ට හොඳ නෑ. කාගෙවත් ජීවිතයක් හානිකරන්ට හොඳ නෑ. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ වළඳලා, දුර ඈත වන සෙනසුන්වල තමයි කල් ගෙවන්ට ඕනෙ. චිත්ත සමාධිය හොඳට පුරුදුවෙන්ට ඕනෙ. බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථාවන්ය)
රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියකට නම් පත්වෙන්නෙ නෑ. මේ කාමයන්ගේ ආශ්වාදය හරිම චුට්ටයි. නමුත් දුක් නම් ගොඩක් තියෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.
ඔහු දිව්‍ය කාම සම්පත්වලටවත් ඇලීමක් නම් ඇති කරගන්නෙ නෑ. සම්මා සම්බුදුරජුන්ගෙ ශ්‍රාවකයා තණ්හාව නැති කිරීමෙන් ලබන ඒ අමා නිවනටමයි ඇලෙන්නෙ.
(ජේතවනාරාමයේදී සාසනයෙහි උකටලී වූ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවන්ය.)
භයේ ගැහි ගැහී ඉන්න බොහෝ මිනිස්සු පිහිටක් හොයා ගෙන පර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස් කොළන් සරණ යනවා.
ඔය ගස් ගල් සරණ යන එකෙන් කිසිම ආරක්ෂාවක් නම් ඇතිවෙන්නෙ නෑ. අනික ඔය සරණ කිසිසේත් උතුම් නෑ. ඔය සරණට පැමිණිලා නම්, කවදාවත් සියලු දුකින් නිදහස් වෙන්ට පුළුවන් කමක් නෑ.
යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව බුදු සමිඳුන් සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් සරණ ගියා නම්, ඔහු ප්‍රඥාව දියුණු කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා.
දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා ගිහින් නිවන අවබෝධවීමත් ආර්ය සත්‍යයක්. දුක් සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.
ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනා ම යි සියලු දුකෙන් නිදහස් වෙන්නේ.
(කොසොල් රජුගේ පුරෝහිත වූ අග්ගිදත්ත බ්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවන්ය.)
පරම ශ්‍රේෂ්ඨ වූ පුරුෂෝත්තමයකුගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ඒ ආජානේය පුරුෂයා හැම තන්හි ම පහළ වෙන්නේ නෑ. යම් තැනක ඒ මහා ප්‍රාඥ වූ පුරුෂෝත්තමයා ඉපදුණොත්, ඒ පරම්පරාව ම සුවපත් වෙනවා.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලොවට මහා සැපයකි. පිරිසිදු ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමත් සැපයක්. බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයාගේ සමගිය ද සැපයක්. ඒ සමගි සම්පන්න වූ සංඝයාගේ බණ භාවනාව ද සැපයක්.
(ජේතවනාරාමයේදී බොහෝ භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)
කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම් වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් දන් පැන් පුදනවා නම්,
කිසි ලෙසකිනුත් බිය – තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා – සත්කාර කරන කෙනාගේ ඒ පින් මෙච්චරයි කියලා, මැනලා කියන්ට කාටවත් පුළුවන්කමක් නෑ.
(තෝදෙය්‍ය ගමේදී එක්තරා බමුණෙකු අරභයා වදාළ ගාථාවන්ය.)
සාදු! සාදු!! සාදු!!!
බුදුරජාණන් වහන්සේ ගැන වදාළ කොටස නිමා විය.
(බුද්ධ වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M