ඛුද්දක නිකාය

ධම්මපදය

6. පණ්ඩිත වග්ගෝ

6. නුවණැති සත්පුරුෂයා ගැන වදාළ කොටස

76.1. නිධීනං’ව පවත්තාරං
යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෙය්‍යෝ හෝති න පාපියෝ

නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් ම යි සිදුවෙන්නෙ. අයහපතක් නම් නොවෙයි.

(ජේතවනාරාමයේදී රාධ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

77.2. ඕවදෙය්‍යනුසාසෙය්‍ය
අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති
අසතං හෝති අප්පියෝ

කල්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්ට අවවාද කරනවා. යහපතේ හැසිරෙන්ට අනුශාසනා කරනවා. පව්වලින් වළක්වාගන්නවා. එබඳු කල්‍යාණ මිත්‍රයන්ව නුවණැති සත්පුරුෂයන්ට හරි ප්‍රියයි. නමුත් අසත්පුරුෂයින්ට ඔවුන්ව අප්‍රියයි.

(ජේතවනාරාමයේදී අස්සජි පුනබ්බසුක දෙදෙනා අරභයා වදාළ ගාථාවකි.)

78.3. න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ

පාප මිත්‍රයන්ව ඇසුරු කරන්ට එපා! පහත් අදහස් ඇති පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා! කල්‍යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම් පුද්ගලයන්ව ඇසුරු කරන්න.

(ජේතවනාරාමයේදී ඡන්න තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

79.4. ධම්මපීතී සුඛං සේති
විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ
සදා රමති පණ්ඩිතෝ

ධර්මාවබෝධයෙන් සිත් සතන් පහන් කරගත් නුවණැති පින්වතුන්, ධර්ම ප්‍රීතියෙන් යුක්තව සැප සේ කල් ගෙවනවා. ඒ නුවණැති සත්පුරුෂයා, බුද්ධාදී ආර්යයන් වහන්සේලා වදාළ ශ්‍රී සද්ධර්මයට හැමදාම ඇළුම් කරනවා.

(ජේතවනාරාමයේදී මහාකප්පින තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

80.5. උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

කුඹුරුවලට වතුර ගෙනියන අය තමන් කැමති විදිහට ඇල වේලි කපාගෙන වතුර ගෙනියනවා. හී වඩුවො හී දඬු නවලා, සකස් කරන්නෙ තමන්ට ඕන විදිහටයි. වඩු බාසුන්නැහේලා ලී දඬු නවලා, ලී බඩු හදන්නෙ තමන්ට ඕනෙ විදිහටයි. නුවණැති උදවිය අන්න ඒ විදිහටයි තමන්ව දමනය කරගන්නේ.

(ජේතවනාරාමයේදී පණ්ඩිත සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි.)

81.6. සේලෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරති
ඒවං නින්දාපසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා

තනි කළුගල් පර්වතයක්, කොයිතරම් තදින් හුළං හැමුවත් සෙලවෙන්නෙ නෑ. නුවණැති සත්පුරුෂයොත් අන්න ඒ වගේ තමයි. නින්දා ප්‍රශංසා වලට සෙලවෙන්නෙ නෑ.

(ජේතවනාරාමයේදී ලකුණ්ටක භද්දිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

82.7. යථාපි රහදෝ ගම්භීරෝ
විප්පසන්නෝ අනාවිලෝ
ඒවං ධම්මානි සුත්වාන
විප්පසීදන්ති පණ්ඩිතා

මහා විලක් තියෙනවා. ඒක ගැඹුරුයි. වතුර පෑදිලා තියෙන්නෙ. කැළඹිලා නෑ. අන්න ඒ විදිහමයි. ශ්‍රී සද්ධර්මයට සවන් දෙන නුවණැති සත්පුරුෂයෝ ඒ ගැන ගොඩක් පහදිනවා.

(ජේතවනාරාමයේදී කාණමාතාව අරභයා වදාළ ගාථාවකි.)

83.8. සබ්බත්ථ වේ සප්පුරිසා චජන්ති
න කාමකාමා ලපයන්ති සන්තෝ
සුඛේන ඵුට්ඨා අථ වා දුඛේන
නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති

සත්පුරුෂ උතුමන් හැම දෙයක් ගැනම ඇති ආශාව දුරුකර ගන්නවා. තමන් කැමති දේවල් ලබාගන්න ආසාවෙන්, ඒ ශාන්ත මුනිවරු චාටු බස් දොඩන්නෙ නෑ. ඒ නිසා සැපක් ලැබුණත්, දුකක් ලැබුණත් නුවණැති උතුමන් ඒ සැප දුකට අනුව උස් පහත් වෙන්නෙ නෑ.

(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් වහන්සේලා අරභයා වදාළ ගාථාවකි.)

84.9. න අත්තහේතු න පරස්ස හේතු
න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ
ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා

නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නෙ නෑ. අනුන් නිසාවත් පව් කරන්නෙ නෑ. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවො ඕනෙත් නෑ. ධනයක් ඕනෙත් නෑ. රටක් ඕනෙත් නෑ. කොටින්ම අධාර්මිකව ලැබෙන කිසි දියුණුවකට ඔහු කැමති නෑ. ඇත්තෙන්ම ඔහු සිල්වතෙක්. ප්‍රඥාවන්තයෙක් වගේම ධාර්මික කෙනෙක් වෙනවා.

(ජේතවනාරාමයේදී ධම්මික තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

85.10. අප්පකා තේ මනුස්සේසු
යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා
තීරමේවානුධාවති

මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට ම යි. මෙතෙරට ම යි දුවගෙන එන්නෙ.

86.11. යේ ච ඛෝ සම්මදක්ඛාතේ
ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්‍යං සුදුත්තරං

තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.

(ජේතවනාරාමයේදී බණ ඇසූ පිරිසක් අරභයා වදාළ ගාථාවන්ය.)

87.12. කණ්හං ධම්මං විප්පහාය
සුක්කං භාවේථ පණ්ඩිතෝ
ඕකා අනෝකං ආගම්ම
විවේකේ යත්ථ දූරමං

නුවණැති පුද්ගලයා අකුසල් දුරුකරනවා. ඒ වගේම ඔහු කුසලුත් වඩන්ට ඕනෙ. ඊට පස්සේ ගිහි ජීවිතේ අත්හැරලා අනගාරික සාසනයටත් ඇතුළු වෙනවා. සාමාන්‍ය ජනතාවට අමාරු හුදෙකලා විවේකය තියෙනවා.

88.13. තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය
හිත්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපෙය්‍ය අත්තානං
චිත්තක්ලේසේහි පණ්ඩිතෝ

අන්න ඒ විවේකයට ඇලී සිටීමටයි ඔහු කැමති වෙන්නෙ. කාමයන් අත්හැරලා, නිකෙලෙස් ජීවිතයක් කරා යන ඒ නුවණැත්තා තමන්ගේ සිත කෙලෙස් වලින් ඉවත් කරගෙන පිරිසිදු කරගන්නවා.

89.14. යේසං සම්බෝධිඅංගේසු
සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගේ
අනුපාදාය යේ රතා
ඛීණාසවා ජුතීමන්තෝ
තේ ලෝකේ පරිනිබ්බුතා

යම් කෙනෙකුගේ සිත බොජ්ඣංග ධර්ම තුළ ඉතා හොඳින් දියුණු වෙලා තියෙනවා නම්, සියලු බැඳීම් දුරුකරලා, උපාදාන රහිත වූ අමා නිවනේම ඇලී තියෙනවා නම්, ආශ්‍රවයන් ක්ෂය කරපු ඒ රහතන් වහන්සේලා නුවණින් බබළනවා. උන්වහන්සේලා තමයි මේ ලෝකෙ පිරිනිවන් පාන්නේ.

(ජේතවනාරාමයේදී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවන්ය.)

සාදු! සාදු!! සාදු!!!

නුවණැති සත්පුරුෂයා ගැන වදාළ කොටස නිමා විය.

(පණ්ඩිත වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M