01. මෙතන අහසේ හරි, පොළොවේ හරි, යම් භූත පිරිසක් රැස්වෙලා ඉන්නවා නම්, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා! ඒ වාගේම මං මේ කියන දෙය හොඳින් අසාගෙන ද සිටිත්වා!
02. එම්බා භූතයිනි, දැන් හැම කෙනෙක්ම මේක හොඳට අහන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරන්න. සමහර උදවිය දිවා රාත්‍රී දෙකේම ඔබට පින් පෙත් දෙනවා නෙව. එම නිසා ඒ මිනිසුන්ව අප්‍රමාදීව රැකගන්න.
03. මේ ලෝකයේ වේවා, වෙනත් ලෝකයක වේවා, යම්කිසි ධනයක් ඇත්නම්, ස්වර්ගවල වේවා යම්කිසි මහානීය මාණික්‍ය රත්නයක් ඇත්නම්, ඒ කිසි දෙයක් තථාගත වූ බුදු සමිඳුන්ට සමාන කරන්න බැහැ. මෙය ද බුදු සමිඳුන් තුළ ඇති මහානීය වූ මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
04. සමාහිත වූ සිත් ඇති ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ නිකෙලෙස් වූ, විරාගී වූ, ප්‍රණීත වූ, ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසිදෙයක් ලෝකයේ නෑ. මෙය ද ශ්‍රී සද්ධර්මයෙහි ඇති මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
05. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පරම පාරිශුද්ධ වූ සමාධියක් වර්ණනා කොට වදාළා. ඒ අරහත් ඵල සමාධියට කියන්නේ ආනන්තරික සමාධිය කියලයි. ඒ අරහත් ඵල සමාධියට සමාන කරන්න පුළුවන් කිසිම සමාධියක් ලෝකයේ නැහැ. මෙය ද ශ්‍රී සද්ධර්මයෙහි ඇති මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
06. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් අට දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා. ඒ උතුමන් යුගල වශයෙන් ගත් විට යුගල හතරකි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන උන්වහන්සේලා දන් පැන් ලැබීමට සුදුසුයි. ඒ ශ්‍රාවක පිරිසට දෙන දානයෙන් මහත්ඵල ලැබෙනවා. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
07. ගෞතම බුදු සමිඳුන්ගේ සසුන තුළ දැඩි සිතින් යුක්තව ප්‍රතිපත්තියේ යෙදිලා කෙලෙසුන්ගෙන් නිදහස් වුන යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, උන්වහන්සේලා තමයි ඒ අමා නිවනට බැසගත්තේ. උන්වහන්සේලාට තමන් ලැබූ ඒ අමා නිවන් සුවය හිතුමනාපයට විඳගන්න පුළුවනි. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
08. පොළොවේ ගැඹුරටම සාරා සිටවපු ඉන්ද්‍රඛීලයක් තියෙනවා. සිව් දිශාවෙන් කොතරම් සැඩ සුළං හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සෙළවෙන්නේ නෑ. චතුරාර්ය සත්‍යාවබෝධයට පැමිණුන සත්පුරුෂයාත් එබඳු කෙනෙක් කියලයි මම කියන්නේ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
09. ගාම්භීර ප්‍රඥාවෙන් යුක්ත වූ බුදු සමිඳුන් මැනැවින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන් යම් ශ්‍රාවකයෙකුට අවබෝධ වුනොත් ඔහු කොතරම් ප්‍රමාද වුනත් අට වෙනි උපතක් කරා යන්නෙ නෑ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
10. ඒ ශ්‍රාවකයා තුළ චතුරාර්ය සත්‍යය පිළිබඳව සත්‍ය ඤාණයට පැමිණීමත් සමඟම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා යම්කිසි මිත්‍යා සීල ව්‍රත කියන මේ සංයෝජන තුන දුරුවෙලා යනවා. ඔහු සතර අපායෙන් මැනැවින්ම නිදහස් වෙනවා. (ආනන්තරීය පාප කර්ම පහත්, නියත මිත්‍යා දෘෂ්ටියත් යන) මේ පව් හය ඔහුගේ අතින් කෙරෙන්නේ නෑ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
11. ඒ ආර්ය ශ්‍රාවකයා කයින් වේවා, වචනයෙන් වේවා, චේතනාවකින් වේවා යම්කිසි වරදක් කරනවා නම්, ඔහුට ඒ වැරැද්ද සඟවාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. වරද සඟවනවා කියන එක ධර්මය දැකපු කෙනෙකුට කරන්න බැරි දෙයක් බවයි මා විසින් පවසන්නේ. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
12. ග්‍රීස්ම ඍතුවේ මුල්ම ගිම්හානය වූ වසන්ත කාලයේ වනගොමුවල ලස්සනට මල් පිපෙනවා. ඒ විදිහටමයි ලෝක සත්වයාට පරම සෙත සලසන ඒ අමා නිවන කරා රැගෙන යන උතුම් ධර්මය වදාළේ. මෙය ද බුදු සමිඳුන් තුළ ඇති මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
13. උතුම් නිවන අවබෝධ කළ, උතුම් නිවන දන් දෙන, උතුම් නිවන මතු කොට පෙන්වන, අනුත්තර වූ බුදු සමිඳාණන් උතුම් ධර්මයකුයි වදාළේ. මෙය ද බුදු සමිඳුන් තුළ ඇති මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
14. යම් රහතන් වහන්සේ නමක් තුළ පැරණි කර්ම ප්‍රහාණය වුනා නම්, අලුතින් කර්ම රැස්වෙන්නෙ නැත්නම්, අනාගත භවයක හිත ඇලෙන්නේ නැත්නම්, උන්වහන්සේලා තුළ විඤ්ඤාණය නැමැති බීජය (කවදාවත් පැළවෙන්නෙ නැති විදිහට) නැතිවෙලයි තියෙන්නෙ. තෘෂ්ණාව වැඩෙන්නෙ නෑ. මෙන්න මේ පහන නිවිල යනවා වාගේ ඒ ප්‍රඥාවන්ත මුනිවරු නිවිලා යනවා. මෙය ද ආර්ය මහා සඟරුවනේ තිබෙන මහානීය මාණික්‍ය රත්නයකි. මේ සත්‍ය වචනයෙන් සෙත් වේවා!
15. මෙතන අහසේ හරි, පොළොවේ හරි, යම් භූත පිරිසක් රැස්වෙලා ඉන්නවා නම්, අපි කවුරුත් දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදු සමිඳාණන්ට නමස්කාර කරමු. හැම දෙනාටම සෙත් වේවා!
16. මෙතන අහසේ හරි, පොළොවේ හරි, යම් භූත පිරිසක් රැස්වෙලා ඉන්නවා නම්, අපි කවුරුත් දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමු. හැම දෙනාටම සෙත් වේවා!
17. මෙතන අහසේ හරි, පොළොවේ හරි, යම් භූත පිරිසක් රැස්වෙලා ඉන්නවා නම්, අපි කවුරුත් දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක සඟරුවනට නමස්කාර කරමු. හැම දෙනාටම සෙත් වේවා!
මේ වනාහී රතන සූත්‍රයයි.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M