අංගුත්තර නිකාය

දසක නිපාතෝ

20. (5) අපරපුග්ගලවග්ගෝ

20. (5) අපරපුග්ගල වර්ගය

10.4.5.1.-12. සේවිතබ්බාදි ද්වාදස සුත්තානි

ඇසුරු කළ යුතු පුද්ගලයා ගැන වදාළ දෙසුම ආදී දොළොස් සූත්‍රයන්

1. “මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඇසුරු නොකළ යුත්තේ ය. ඒ කවර කරුණු දහයකින් ද යත්;

ප්‍රාණඝාතය කරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි, වැරදි කාම සේවනය කරන්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, කේලාම් කියන්නේ වෙයි, දරුණු වචන කියන්නේ වෙයි, නිසරු දේ කියන්නේ වෙයි, අන් සතු දේට ආසා කරන්නේ වෙයි, ද්වේෂ කරන්නේ වෙයි, වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා ඇසුරු නොකළ යුත්තේ ය.

මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඇසුරු කළ යුත්තේ ය. ඒ කවර කරුණු දහයකින් ද යත්;

ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, සොරකමෙන් වැළකුණේ වෙයි, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි, බොරු කීමෙන් වැළකුණේ වෙයි, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි, නිසරු දේ කීමෙන් වැළකුණේ වෙයි, අන් සතු දේට ආසා නොකරන්නේ වෙයි, අද්වේෂය ඇත්තේ වෙයි, නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා ඇසුරු කළ යුත්තේ ය.

2. මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඇසුරු නොකළ යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා ඇසුරු කළ යුත්තේ ය.

3. ඇසුරු කිරීම නොකළ යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා ඇසුරු කිරීම කළ යුත්තේ ය.

4. නොපිදිය යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා පිදිය යුත්තේ ය.

5. නොපැසසිය යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා පැසසිය යුත්තේ ය.

6. ගෞරව නැත්තේ වෙයි ….(පෙ)…. පුද්ගලයා ගෞරව ඇත්තේ වෙයි.

7. යටහත් පැවතුම් නැත්තේ වෙයි ….(පෙ)…. පුද්ගලයා යටහත් පැවතුම් ඇත්තේ වෙයි.

8. වැරදි ලෙස ගත්තේ වෙයි ….(පෙ)…. පුද්ගලයා හරි ලෙස ගත්තේ වෙයි.

9. පිරිසිදු නොවෙයි ….(පෙ)…. පුද්ගලයා පිරිසිදු වෙයි.

10. මාන්නයට යට වෙන්නේ වෙයි ….(පෙ)…. පුද්ගලයා මාන්නයට යට නොවෙයි.

11. ප්‍රඥාව නොවැඩෙයි ….(පෙ)…. පුද්ගලයා ප්‍රඥාවෙන් වැඩෙයි.

12. බොහෝ පව් උපදවයි ….(පෙ)…. පුද්ගලයා බොහෝ පින් උපදවයි. ඒ කවර කරුණු දහයකින් ද යත්;

ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, සොරකමෙන් වැළකුණේ වෙයි, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි, බොරු කීමෙන් වැළකුණේ වෙයි, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි, නිසරු දේ කීමෙන් වැළකුණේ වෙයි, අන් සතු දේට ආසා නොකරන්නේ වෙයි, අද්වේෂය ඇත්තේ වෙයි, නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.

මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා බොහෝ පින් උපදවයි.

සාදු! සාදු!! සාදු!!!

පස්වෙනි පුග්ගල වර්ගය අවසන් විය.

සිව්වෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M