332. සැවැත් නුවර දී …………………
එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පා සිවුරු ගෙන සැවැත් නුවරට පිණ්ඩපාතේ වැඩම කළා. සැවැත් නුවර පිඬු සිඟා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දිවා විහරණය පිණිස අන්ධවනයට වැඩම කළා. අන්ධවනයේ ඇතුළට ම වැඩලා එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස වැඩසිටියා. ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට අනේපිඬු සිටුහුගේ ආරාමය වන ජේතවනයට වැඩම කළා.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දැකලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබේ ඉඳුරන් හරිම ප්‍රසන්නයි. මුහුණේ පැහැය පිරිසිදුයි. බබලනවා. අද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගත කළේ මොන වගේ විහරණයකින්ද?”
“ප්‍රිය ආයුෂ්මත, මෙහි මා කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක සහිතව, විචාර සහිතව, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා. එතකොට ප්‍රිය ආයුෂ්මත, මා හට ‘මං පළමු ධ්‍යානයට සමවදිනවා, මං පළමු ධ්‍යානයට සමවැදුණා, මං පළමු ධ්‍යානයෙන් නැගිට්ටා’ කියන මෙවැනි අදහසක් ඇතිවුණේ නෑ”
“ඒක එහෙමම නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බොහෝ කලක් මුළුල්ලෙහි ‘මම වෙමි’ ය, ‘මාගේ වේ’ ය යන ආදී මාන අනුසය මුලින් ම සිඳලා නෙව වැඩසිටින්නේ. ඒ නිසා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හට ‘මං පළමු ධ්‍යානයට සමවදිනවා, මං පළමු ධ්‍යානයට සමවැදුණා, මං පළමු ධ්‍යානයෙන් නැගිට්ටා’ කියන මෙවැනි අදහසක් ඇතිවෙන්නෙ නෑ නෙව.”
සාදු! සාදු!! සාදු!!!
විවේකජ සූත්‍රය නිමා විය.
333. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දැකලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබේ ඉඳුරන් හරිම ප්‍රසන්නයි. මුහුණේ පැහැය පිරිසිදුයි. බබලනවා. අද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගත කළේ මොන වගේ විහරණයකින්ද?”
“ප්‍රිය ආයුෂ්මත, මෙහි මා විතක්ක විචාරයන් සංසිඳවීමෙන් හිත ඇතුළේ ම බලවත් ප්‍රසාදයකින් යුතු සිතින් වඩාත් ඒකාග්‍ර සිතින් යුතුව, විතර්ක රහිතව, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණිලයි වාසය කළේ.
නමුත් ප්‍රිය ආයුෂ්මත, මා හට ‘මං දෙවෙනි ධ්‍යානයට සමවදිනවා, මං දෙවෙනි ධ්‍යානයට සමවැදුණා, මං දෙවෙනි ධ්‍යානයෙන් නැගිට්ටා’ කියන මෙවැනි අදහසක් ඇති වුණේ නෑ.”
“ඒක එහෙමම නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බොහෝ කලක් මුළුල්ලෙහි ‘මම වෙමි’ ය, ‘මාගේ වේ’ ය යන ආදී මාන අනුසය මුලින් ම සිඳලා නෙව වැඩසිටින්නේ. ඒ නිසා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හට ‘මං දෙවෙනි ධ්‍යානයට සමවදිනවා, මං දෙවෙනි ධ්‍යානයට සමවැදුණා, මං දෙවෙනි ධ්‍යානයෙන් නැගිට්ටා’ කියන මෙවැනි අදහසක් ඇතිවෙන්නෙ නෑ නෙව.”
සාදු! සාදු!! සාදු!!!
අවිතක්ක සූත්‍රය නිමා විය.
334. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ …. (පෙ) …. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබේ ඉඳුරන් හරිම ප්‍රසන්නයි. මුහුණේ පැහැය පිරිසිදුයි. බබලනවා. අද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගත කළේ මොන වගේ විහරණයකින්ද?”
“ප්‍රිය ආයුෂ්මත, මෙහි මා ප්‍රීතියට නොඇලිලා, උපේක්ෂාවෙන් ම යි වාසය කළේ. සිහියෙන් නුවණින් යුක්තවයි ධ්‍යාන සැපය කයින් වින්දේ. ආර්යයන් වහන්සේලා උපේක්ෂා සහගතව සිහි ඇතිව සැප සේ වාසය කරනවා කියා යම් ධ්‍යානයක් ගැන පවසනවා නම්, අන්න ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා …. (පෙ) …. නැගිට්ටා කියලා හරි.”
සාදු! සාදු!! සාදු!!!
පීති සූත්‍රය නිමා විය.
335. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ …. (පෙ) …. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබේ ඉඳුරන් හරිම ප්‍රසන්නයි. මුහුණේ පැහැය පිරිසිදුයි. බබලනවා. අද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගත කළේ මොන වගේ විහරණයකින්ද?”
“ප්‍රිය ආයුෂ්මත, මෙහි මා සැපයේ ද ප්‍රහාණයෙන්, දුකේ ද ප්‍රහාණයෙන්, කලින් ම සොම්නස් දොම්නස් දෙක නැතිකරලා, දුක් සැප රහිතව උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ සිහිය ඇති හතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කළා …. (පෙ) …. නැගිට්ටා කියලා හරි.”
සාදු! සාදු!! සාදු!!!
උපෙක්ඛා සූත්‍රය නිමා විය.
336. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ …. (පෙ) …. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙහෙම කිව්වා …. (පෙ) …. ප්‍රිය ආයුෂ්මත, මෙහි මා සෑම අයුරින් ම රූප සඤ්ඤාවන් ඉක්මවා ගිහින්, ගොරෝසු සඤ්ඤාවන් නැති වීමෙන් නොයෙක් සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ අහස’ යයි ආකාසානඤ්චායතනට පැමිණ වාසය කළා …. (පෙ) …. නැගිට්ටා කියලා හරි.
සාදු! සාදු!! සාදු!!!
ආකාසානඤ්චායතන සූත්‍රය නිමා විය.
337. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ …. (පෙ) …. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙහෙම කිව්වා …. (පෙ) …. ප්‍රිය ආයුෂ්මත, මෙහි මා සෑම අයුරින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ගිහින්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කළා …. (පෙ) …. නැගිට්ටා කියලා හරි.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය නිමා විය.
338. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ …. (පෙ) …. ප්‍රිය ආයුෂ්මත, මෙහි මා සෑම අයුරින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගිහින්, ‘කිසිවක් නැත’ යයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කළා …. (පෙ) …. නැගිට්ටා කියලා හරි.
සාදු! සාදු!! සාදු!!!
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය නිමා විය.
339. සැවැත් නුවර දී …………………
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ …. (පෙ) …. ප්‍රිය ආයුෂ්මත, මෙහි මා සෑම අයුරින් ම ආකිඤ්චඤ්චායතනය ඉක්මවා ගිහින්, නේවසඤ්ඤානා-සඤ්ඤායතනයට පැමිණ වාසය කළා …. (පෙ) …. නැගිට්ටා කියලා හරි.
සාදු! සාදු!! සාදු!!!
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය නිමා විය.
340. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පා සිවුරු ගෙන සැවැත් නුවරට පිණ්ඩපාතේ වැඩම කළා. සැවැත් නුවර පිඬු සිඟා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දිවා විහරණය පිණිස අන්ධවනයට වැඩම කළා. අන්ධවනයේ ඇතුළට ම වැඩලා එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස වැඩසිටියා. ඊට පස්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට අනේපිඬු සිටුහුගේ ආරාමය වන ජේතවනයට වැඩම කළා.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුරින් ම වඩින්නා වූ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව දැකලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔබේ ඉඳුරන් හරිම ප්‍රසන්නයි. මුහුණේ පැහැය පිරිසිදුයි. බබලනවා. අද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගත කළේ මොන වගේ විහරණයකින්ද?”
“ප්‍රිය ආයුෂ්මත, මෙහි මා සෑම අයුරින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගිහින් සඤ්ඤා විඳීම්වල නිරෝධයට පැමිණිලා වාසය කළා. එතකොට ප්‍රිය ආයුෂ්මත, මා හට ‘මං සඤ්ඤා විඳීම්වල නිරෝධයට සමවදිනවා. සඤ්ඤා විඳීම්වල නිරෝධයට සමවැදුණා, මං සඤ්ඤා විඳීම්වල නිරෝධයෙන් නැගිට්ටා’ කියන මෙවැනි අදහසක් ඇතිවුණේ නෑ.”
“ඒක එහෙමම නේ. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බොහෝ කලක් මුළුල්ලෙහි ‘මම වෙමි’ ය, ‘මාගේ වේ’ ය යන ආදී මාන අනුසය මුලින් ම සිඳලා නෙව වැඩසිටින්නේ. ඒ නිසා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හට ‘මං සඤ්ඤා විඳීම්වල නිරෝධයට සමවදිනවා, මං සඤ්ඤා විඳීම්වල නිරෝධයට සමවැදුණා, මං සඤ්ඤා විඳීම්වල නිරෝධයෙන් නැගිට්ටා’ කියන මෙවැනි අදහසක් ඇතිවෙන්නෙ නෑ නෙව.”
සාදු! සාදු!! සාදු!!!
නිරෝධ සමාපත්ති සූත්‍රය නිමා විය.
341. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන, පා සිවුරු ගෙන පිණ්ඩපාතේ වැඩියා. රජගහ නුවර ගෙපිළිවෙළින් පිණ්ඩපාතයේ වැඩම කරලා ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තියක් අසල වාඩිවෙලා වළඳනවා. එතකොට සූචිමුඛී තවුසිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටිය තැනට ආවා. ඇවිදින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇසුවා. “එම්බා ශ්‍රමණය, මොකද ඔය යට මුඛය ඇතිව නේද වළඳන්නේ?”
“නැඟණියෙනි, මං යටිමුඛය ඇතිව වළඳන කෙනෙක් නොවෙයි.” “එසේ නම් එම්බා ශ්‍රමණය, උඩුමුඛය ඇතිව වෙන්න ඇති වළඳන්නේ?”
“නැඟණියෙනි, මං උඩු මුඛය ඇතිව වළඳන කෙනෙක් නොවෙයි.”
“එසේ නම් එම්බා ශ්‍රමණය, දිශාවන් නමැති මුඛය ඇතිව වෙන්න ඇති වළඳන්නේ.”
“නැඟණියෙනි, මං දිශාවන් නමැති මුඛය ඇතිව වළඳන කෙනෙකුත් නොවෙයි.”
“එසේ නම් එම්බා ශ්‍රමණය, අනු දිශාවන් නමැති මුඛය ඇතිව වෙන්න ඇති වළඳන්නේ.”
“නැඟණියෙනි, මං අනු දිශාවන් නමැති මුඛය ඇතිව වළඳන කෙනෙකුත් නොවෙයි.”
“ඇයි ශ්‍රමණයෙනි, ‘එම්බා ශ්‍රමණය, මොකද ඔය යට මුඛය ඇතිව නේද වළඳන්නේ?’ කියා ඇසූ විට ‘නැඟණියෙනි, මං යටිමුඛය ඇතිව වළඳන කෙනෙක් නොවෙයි’ කියලා කියනවා. ‘එසේ නම් එම්බා ශ්‍රමණය, උඩුමුඛය ඇතිව වෙන්න ඇති නේද වළඳන්නේ?’ කියා ඇසූ විට ‘නැඟණියෙනි, මං උඩුමුඛය ඇතිව වළඳන කෙනෙකුත් නොවෙයි’ කියලා කියනවා. ‘එසේ නම් එම්බා ශ්‍රමණය, දිශාවන් නමැති මුඛය ඇතිව වෙන්න ඇති නේද වළඳන්නේ?’ කියා ඇසූ විට ‘නැඟණියෙනි, මං දිශාවන් නමැති මුඛය ඇතිව වළඳන කෙනෙකුත් නොවෙයි’ කියලා කියනවා. ‘එසේ නම් එම්බා ශ්‍රමණය, අනු දිශාවන් නමැති මුඛය ඇතිව වෙන්න ඇති නේද වළඳන්නේ?’ කියා ඇසූ විට ‘නැඟණියෙනි, මං අනුදිශාවන් නමැති මුඛය ඇතිව වළඳන කෙනෙකුත් නොවෙයි’ කියලා කියනවා. එසේ වී නම්, එම්බා ශ්‍රමණය ඔබ වළඳන්නේ කොහොමද?”
“නැඟණියෙනි, යම්කිසි ශ්‍රමණ බමුණන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ ගෙවල්දොරවල් තැනීම්වලදී කරන වාස්තු විද්‍යාව නම් වූ තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙනුයි. නැඟණියෙනි, මෙන්න මේ මහණ බමුණන් තමයි ‘අධෝමුඛය ඇතිව අනුභව කරනවා’ කියලා කියන්නේ.
නැඟණියෙනි, යම්කිසි ශ්‍රමණ බමුණන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ කේන්දර, නැකැත්, නිමිති බැලීම් ආදී නක්ෂත්‍ර විද්‍යාව නම් වූ තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙනුයි. නැඟණියෙනි, මෙන්න මේ මහණ බමුණන් තමයි ‘උඩුමුඛය ඇතිව අනුභව කරනවා’ කියලා කියන්නේ.
නැඟණියෙනි, යම්කිසි ශ්‍රමණ බමුණන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ නියෝජිතකම් කරමින් ගිහියන්ගේ නොයෙක් පණිවිඩ පණත් ගෙනයමින් කල් ගෙවීම නම් මිත්‍යා ආජීවයෙනුයි. නැඟණියෙනි, මෙන්න මේ මහණ බමුණන් තමයි ‘දිශාවන් නැමැති මුඛය ඇතිව අනුභව කරනවා’ කියලා කියන්නේ.
නැඟණියෙනි, යම්කිසි ශ්‍රමණ බමුණන් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ අත් බැලීම්, ඉරියව් බැලීම් ආදී අංග විද්‍යාව නම් වූ තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙනුයි. නැඟණියෙනි, මෙන්න මේ මහණ බමුණන් තමයි ‘අනුදිශාවන් නැමැති මුඛය ඇතිව අනුභව කරනවා’ කියලා කියන්නේ.
නමුත් නැඟණියෙනි, ඒ මා නම් ගෙවල්දොරවල් තැනීම්වලදී කරන වාස්තු විද්‍යාව නම් වූ තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙන් ජීවිතය ගෙවන කෙනෙක් නොවෙයි. කේන්දර, නැකැත්, නිමිති බැලීම් ආදී නක්ෂත්‍ර විද්‍යාව නම් වූ තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙන් ජීවිතය ගෙවන කෙනෙක් නොවෙයි. නියෝජිතකම් කරමින් ගිහියන්ගේ නොයෙක් පණිවිඩ පණත් ගෙන යමන් කල් ගෙවීම නම් මිත්‍යා ආජීවයෙන් ජීවිතය ගෙවන කෙනෙකුත් නොවෙයි. අත්බැලීම්, ඉරියව් බැලීම් ආදී අංග විද්‍යාව නම් වූ තිරිසන් විද්‍යාවෙන් යුතු මිත්‍යා ආජීවයෙන් ජීවිතය ගෙවන කෙනෙකුත් නොවෙයි. මා භික්ෂාව (දානය) සොයාගන්නේ ධාර්මිකවයි. ධාර්මිකව ම භික්ෂාව සොයාගෙන තමයි මා වළඳන්නේ.”
එතකොට සූචිමුඛී තවුසිය රජගහ නුවර වීදියෙන් වීදියට හතරමං හන්දියෙන් හතරමං හන්දියට ගිහින් මේ විදිහට කියා හිටියා. “ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා ධාර්මික ආහාරයයි වළඳන්නේ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා නිවැරදි ලෙස ලද ආහාරයයි වළඳන්නේ. ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලාට දන් දීපල්ලා” කියලා.
සාදු! සාදු!! සාදු!!!
සූචිමුඛී සූත්‍රය නිමා විය.
පළමු වෙනි සාරිපුත්ත වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
විවේකජ සූත්‍රය, අවිතක්ක සූත්‍රය, පීති සූත්‍රය, උපෙක්ඛා සූත්‍රය, ආකාසානඤ්චායතන සූත්‍රය, විඤ්ඤාණඤ්චායතන සූත්‍රය, ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය, නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය, නිරෝධ සමාපත්ති සූත්‍රය, සූචිමුඛී සූත්‍රය යන දෙසුම් දහයෙන් සමන්විත වර්ගයයි.
සාරිපුත්ත සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M