මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි නිග්‍රෝධ නම් පරිබ්‍රාජකයෙක් උදුම්බරිකා දේවිය විසින් කරවන ලද පරිබ්‍රාජකාරාමයෙහි තුන්දහසක් පමණ මහත් වූ පරිබ්‍රාජක පිරිසක් සමඟ වාසය කරයි. එකල්හී සන්ධාන ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේ බැහැදකිනු පිණිස හිරු මුදුන් දහවලෙහි රජගහ නුවරින් නික්මුණේ ය. ඉක්බිති සන්ධාන ගෘහපතියාට මේ අදහස ඇතිවූයේ ය.
‘තව ම වනාහී භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට කාලය නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩසිටින සේක. මනෝභාවනීය භික්ෂු සංඝයා ද බැහැදකින්නට කාලය නොවෙයි. මනෝභාවනීය භික්ෂූහු භාවනාවෙන් සිටිති. එහෙයින් මම උදුම්බරිකාවගේ පරිබ්‍රාජකාරාමය යම් තැනක ද, නිග්‍රෝධ පරිබ්‍රාජකයා යම් තැනක ද, එතැනට යන්නෙම් නම් මැනැවි’ යි.
ඉක්බිති සන්ධාන ගෘහපති තෙමේ උදුම්බරිකාවගේ පරිබ්‍රාජකාරාමය යම් තැනක ද, නිග්‍රෝධ පරිබ්‍රාජකයා යම් තැනක ද, එතැනට පැමිණියේ ය. එසමයෙහි නිග්‍රෝධ පරිබ්‍රාජකයා මහත් වූ පරිබ්‍රාජක පිරිස සමඟ මහත් සේ හඬ නගමින්, උස් හඬ නගමින්, මහා හඬ නගමින් නොයෙක් අයුරින් වූ තිරිසන් කථා කතා කරමින් හුන්නේ වෙයි. ඒ කවර තිරිසන් කථාවන් ද යත්; රජුන් පිළිබඳ කථා ය, සොරු පිළිබඳ කථා ය, මහා ආමාත්‍යයන් පිළිබඳ කථා ය, හමුදාව පිළිබඳ කථා ය, භය පිළිබඳ කථා ය, යුද්ධ පිළිබඳ කථා ය, ආහාර පිළිබඳ කථා ය, බීම වර්ග පිළිබඳ කථා ය, ඇඳුම් පිළිබඳ කථා ය, සයන කථා ය, මල් වර්ග පිළිබඳ කථා ය, සුවඳ වර්ග පිළිබඳ කථා ය, ඥාතීන් පිළිබඳ කථා ය, යානවාහන පිළිබඳ කථා ය, ගම් පිළිබඳ කථා ය, නියම්ගම් පිළිබඳ කථා ය, නගර කථා ය, ජනපද පිළිබඳ කථා ය, කාන්තාවන් පිළිබඳ කථා ය, පුරුෂයින් පිළිබඳ කථා ය, ශූරයින් පිළිබඳ කථා ය, මගතොට පිළිබඳ කථා ය, දියතොට පිළිබඳ කථා ය, මළවුන් පිළිබඳ කථා ය, නොයෙක් දේ පිළිබඳ කථා ය, ලෝකයේ අගමුල පිළිබඳ කථා ය, මහාසයුරේ අගමුල පිළිබඳ කථා ය, මෙසේ මෙසේ වූයේ ය යනාදිය පිළිබඳ කථා ය.
එකල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයා දුරින් ම පැමිණෙන්නා වූ සන්ධාන ගෘහපතියා දුටුවේ ය. දැක සිය පිරිස නිහඬ බවෙහි පිහිටෙව්වේ ය.
“භවත්හු නිශ්ශබ්ද වෙත්වා! භවත්හු ශබ්ද කරන්නට එපා! ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ සන්ධාන ගෘහපතියා එයි. ශ්‍රමණ ගෞතමයන්ගේ සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයෝ යම්තාක් රජගහ නුවර සිටිත් ද, ඔය සන්ධාන ගෘහපතියා ඔවුන් අතුරින් කෙනෙකි. මේ ආයුෂ්මත්වරු වනාහී නිහඬ බව කැමැත්තෝ ය. නිහඬ බවෙහි හික්මුණාහු ය. නිහඬ බවෙහි ගුණ කියන්නෝ ය. නිහඬ පිරිසක් බව දැන එළඹිය යුතු යැයි හඟින්නේ නම් යෙහෙකි” යි මෙසේ කී කල්හී ඒ පරිබ්‍රාජකයෝ නිහඬ වූවාහු ය.
ඉක්බිති සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා යම් තැනක හුන්නේ ද, එතැනට පැමිණියේ ය. පැමිණ, නිග්‍රෝධ පරිබ්‍රාජකයා සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සන්ධාන ගෘහපතියා නිග්‍රෝධ පරිබ්‍රාජකයාට මෙය පැවසුවේය.
“මේ භවත් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ස්වභාවය අනිකකි. මොවුහු එකට එකතු වී මහත් සේ හඬ නගමින්, උස් හඬ නගමින්, මහා හඬින් අනේක වූ තිරිසන් කථාවන්හි යෙදී වසති. එනම්; රජුන් පිළිබඳ කථා ය. ….(පෙ)…. මෙසේ මෙසේ වූයේ ය යනාදිය ගැන කථා ය. එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී වෙනස් වන සේක. උන්වහන්සේ නිශ්ශබ්ද වූ, අල්ප ඝෝෂා ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ, හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, අරණ්‍ය වනපෙත් ආදී දුර ඈත සෙනසුන් සේවනය කරන සේක.”
මෙසේ කී කල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයා සන්ධාන ගෘහපතියාට මෙය පැවසුවේ ය.
“එහෙනම් ගෘහපතිය, දැනගන්නෙහි ය. ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු හා දොඩයි ද? කවරෙකු හා සාකච්ඡාවට පැමිණෙයි ද? කවරෙකු හා ප්‍රඥාවෙන් ව්‍යක්තභාවයට නිසි කරුණකට පැමිණෙයි ද? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ශූන්‍යාගාරයෙහි ම නැසුණේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස් අතර නොහැසිරෙන්නෙකි. කථාබහට නොගැලපෙයි. ඔහු ඈත කෙළවර වන සෙනසුන් පමණක් සේවනය කරයි. යම් සේ එක් ඇසක් නොපෙනෙන ගව දෙනක් පිරිස් මගහැර යන්නී, හැමට කෙළවරින් ඇති තැන් සේවනය කරන්නී ද, එසෙයින් ම ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ශූන්‍යාගාරයෙහි ම නැසුණේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස් අතර නොහැසිරෙන්නෙකි. කථාබහට නොගැලපෙයි. ඔහු ඈත කෙළවර වන සෙනසුන් පමණක් සේවනය කරයි. එසේ නම් ගෘහපතිය, දනුව. ශ්‍රමණ ගෞතම තෙමේ මේ පිරිස වෙත එන්නේ නම්, එක් ප්‍රශ්නයකින් ම, ඔහු ව නවත්තන්නෙමු. හිස් කළයක් සෙළවෙන්නට නොදී බැඳ තබන සෙයින් සිර කොට තබන්නෙමු.”
භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා විසින් සන්ධාන ගෘහපතියා සමඟ කෙරෙන මේ කථා සල්ලාපය මිනිස් සවන්දීම ඉක්මවා ගිය පිරිසිදු දිව කනින් ඇසූ සේක් ම ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙන් බැස සුමාගධා පොකුණු තෙර මොණරුන්ගේ අභයභූමිය නැමැති මෝරනිවාපය යම් තැනක ද, එතැනට වැඩි සේක. වැඩම කොට සුමාගධා පොකුණු තෙර මෝර නිවාපයෙහි එළිමහනෙහි සක්මන් කළ සේක.
එකල්හි නිග්‍රෝධ පරිබ්‍රාජකයා සුමාගධා පොකුණු තෙර මෝරනිවාපයෙහි එළිමහනෙහි සක්මන් කරමින් වැඩසිටින භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ ය. දැක සිය පිරිස නිහඬ බවෙහි පිහිටෙව්වේ ය.
“භවත්හු නිහඬ වෙත්වා! භවත්හු ශබ්ද කරන්නට එපා! මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධා පොකුණු තෙර මෝරනිවාපයෙහි එළිමහනෙහි සක්මන් කරයි. ඒ ආයුෂ්මත් තෙමේ නිහඬ බව කැමැති ය. නිහඬ බවෙහි ගුණ කියයි. නිහඬ ව සිටින පිරිසක් බව දැන එළැඹිය යුතු යැයි හඟින්නේ නම් යෙහෙකි.
ඉදින් ශ්‍රමණ ගෞතමයෝ මේ පිරිස වෙත පැමිණෙත් නම්, ඔහු ගෙන් මේ ප්‍රශ්නය අසන්නෙමු. ‘ස්වාමීනී, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ මුළුමනින් ම සෑහීමට පත් ව, බඹසරට මුල් වූ මාර්ගය පිළිබඳ ව ප්‍රතිඥා දෙත් නම්, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කුමක් ද?’ යන ප්‍රශ්නය යි.” මෙසේ කී කල්හී ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූවාහු ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධ පරිබ්‍රාජකයා යම් තැනක සිටියේ ද, එතැනට වැඩි සේක. එකල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වඩිනා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට මනා වූ වැඩමවීමෙකි! ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ මෙහි යම් මේ වැඩමවීමක් ඇද්ද, එය බොහෝ කාලයකට පසු කළ සේක. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳින සේක්වා! මේ අසුන පණවන ලද්දේ ය.”
භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. නිග්‍රෝධ පරිබ්‍රාජකයා ද එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් නිග්‍රෝධ පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“නිග්‍රෝධයෙනි, මෙකල්හී කවර කථාවක් කරමින් හුන්නාහු ද? ඔබගේ කවර නම් වූ කථාවක් අඩාල වූයේ ද?”
මෙසේ වදාළ කල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය.
“ස්වාමීනී, මෙහි අපි සුමාගධා පොකුණු තෙර මෝර නිවාපයෙහි එළිමහනෙහි සක්මන් කරමින් සිටි භාග්‍යවතුන් වහන්සේ ව දැක්කෙමු. දැක මෙසේ කීවෙමු. ‘ඉදින් ශ්‍රමණ ගෞතමයෝ මේ පිරිස වෙත පැමිණෙත් නම්, ඔහුගෙන් මේ ප්‍රශ්නය අසන්නෙමු. ‘ස්වාමීනී, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ මුළුමනින් ම සෑහීමට පත් ව, බඹසරට මුල් වූ මාර්ගය පිළිබඳ ව ප්‍රතිඥා දෙත් නම්, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කුමක් ද?’ කියා ය. ස්වාමීනී, අපගේ මේ කථාව අඩාල වූයේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක.”
“නිග්‍රෝධයෙනි, යම් ධර්මයකින් මම ශ්‍රාවකයන් හික්මවම් ද, යම් ධර්මයකින් හික්මවන ලද මාගේ ශ්‍රාවකයෝ මුළුමනින් ම සෑහීමකට පත් ව, බඹසරට මුල් වූ මාර්ගය පිළිබඳ ව ප්‍රතිඥා දෙත් නම්, අන්‍ය දෘෂ්ටික වූ, අන්‍ය ලබ්ධික වූ, අන් මතයක් රුචි කරන, අන් වැඩපිළිවෙලක යෙදී සිටින, අන්‍ය තීර්ථක ආචාර්ය වූ ඔබට මෙය තේරුම් ගත නොහැක්කේ ය. එසේ නම් නිග්‍රෝධයෙනි, ඔබ තම ගුරුවරුන්ගේ මතය වූ අධික තපස් ක්‍රම වලින් පව් බැහැර කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මගෙන් අසව. ‘ස්වාමීනී, තපසින් පව් බැහැර කිරීම සම්පූර්ණ වන්නේ කෙසේ ඇති කල්හි ද? අසම්පූර්ණ වන්නේ කෙසේ ද?’ යනුවෙනි.”
මෙසේ වදාළ කල්හී ඒ පරිබ්‍රාජකයෝ මහත් සේ හඬ නගමින්, උස් හඬින්, මහා හඬින් යුක්ත වූවාහු ය. ‘යම් තැනක තමන්ගේ මතය පැවසීම බැහැර තබන්නේ ද, අනුන්ගේ මතයෙන් කරුණු කීමට පවරා ගන්නේ ද, යන මේ ශ්‍රමණ ගෞතමයන්ගේ මහත් ඉර්ධිමත් බව, මහානුභාව බව වනාහී භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි!” යි.
ඉක්බිති නිග්‍රෝධ පරිබ්‍රාජකයා ඒ පරිබ්‍රාජකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසී ය.
“ස්වාමීනී, අපි වනාහී තපසින් පව් දුරැලීම පවසන, තපසින් පව් දුරැලීම සාරය කොට සිටින, තපසින් පව් දුරැලීමට ඇලී වසන උදවිය වෙමු. ස්වාමීනි, කෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම සම්පූර්ණ වෙයි ද? කෙසේ අසම්පූර්ණ වෙයි ද?”
“නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා නිරුවත් ව සිටියි. යහපත් ආචාරයන්ගෙන් මිදෙයි. කෑම කා අත් නොසෝදා ලෙවකයි. ‘හිමියනි, එනු මැනැව’ යි කී කල්හී නොඑයි. ‘හිමියනි, සිටු මැනැව’ යි කී කල්හී නොසිටියි. තමා වෙත ගෙනවුත් දෙන දේ නොගනියි. තමා උදෙසා පිසූ දෙය නොගනියි. දන් සඳහා ඇරයුම් නොපිළිගනියි. බත් සැළියේ මුලින් දුන් කොටස නොපිළිගනියි. බත් සැළියේ යටින් දුන් කොටස නොපිළිගනියි. එළිපත්තෙහි සිට දුන් බත නොපිළිගනියි. දඬු අතරෙහි සිට දුන් බත නොපිළිගනියි. මොහොල් අතර සිට දුන් බත නොපිළිගනියි. දෙදෙනෙකු අනුභව කරද්දී එකෙකු නැගී සිට දෙන බත නොපිළිගනියි. ගැබිණිය දෙන බත නොපිළිගනියි. කිරි පොවන්නිය දෙන බත නොපිළිගනියි. පුරුෂයෙකු හා එක්වීමට ගිය ස්ත්‍රිය දෙන බත නොපිළිගනියි. සම්මාදන් කොට පිසූ බත නොපිළිගනියි. ළඟ හුන් සුනඛයාට නොදී දුන් බත නොපිළිගනියි. මැස්සන් රංචු ගැසී ඇති තැන සිට දෙන බත නොපිළිගනියි. මාළු නොපිළිගනියි. මස් නොපිළිගනියි. සුරාව නොබොයි. රා වර්ග නොබොයි. සෝවීරක නොබොයි. ඔහු එක් ගෙයකින් ලත් එක් බත් පිඬකින් හෝ යැපෙයි. ගෙවල් දෙකකින් ලත් දෙබත් පිඬකින් හෝ යැපෙයි. ගෙවල් සතකින් ලත් සත් බත් පිඬකින් හෝ යැපෙයි. එක් කුඩා බත් තලියකින් ද යැපෙයි. කුඩා බත් තලි දෙකකින් ද යැපෙයි. ….(පෙ)…. කුඩා බත් තලි සතකින් ද යැපෙයි. දවසක් හැර දවසකුත් ආහාර ගනියි. දෙදවසක් හැර දවසකුත් ආහාර ගනියි. තුන් දවසක් ….(පෙ)…. සිව් දවසක් ….(පෙ)…. පස් දවසක් ….(පෙ)…. සය දවසක් ….(පෙ)…. සත් දවසක් හැර දවසකුත් ආහාර ගනියි. මේ අයුරින් අඩ මසක් හැර දවසක් ද, වාර පිළිවෙලින් ලැබෙන බත් අනුභව කිරීමේ ව්‍රතයේ යෙදී වාසය කරයි.
ඔහු අමු කොළ වර්ග හෝ අනුභව කරයි. බොඩහමු හෝ අනුභව කරයි. ඌරුහැල් හෝ අනුභව කරයි. සම් පතුරුවල කසට හෝ අනුභව කරයි. ලාටු දිය සෙවෙල හෝ අනුභව කරයි. සහල් කුඩු හෝ අනුභව කරයි. දන්කුඩ හෝ අනුභව කරයි. පුන්නක්කු හෝ අනුභව කරයි. තණකොළ හෝ අනුභව කරයි. ගොම හෝ අනුභව කරයි. ගස්වලින් වැටෙන ගෙඩි ත්, වනමුල් ඵල ත් ආහාර කොට යැපෙයි.
ඔහු හණවැහැරි ත් දරයි. හණ රෙදි ත් දරයි. මිනී එතූ වස්ත්‍ර ත් දරයි. රෙදි කඩමාලු ත් දරයි. සුඹුලු වස්ත්‍ර ත් දරයි. අඳුන් මුවසම් ද දරයි. කුර සහිත අඳුන් මුව සම් ද දරයි. කුසතණයෙන් ගෙතූ වස්ත්‍ර ත් දරයි. පට්ටා කෙඳිවලින් ගෙතූ වස්ත්‍ර ත් දරයි. නියඳ වැහැරි ත් දරයි. කෙස් වලින් කළ කම්බිලි ත් දරයි. අස් ලොමින් කළ කම්බිලි ත් දරයි. බකමූණු පිහාටුවෙන් කළ කම්බිලි ත් දරයි.
කෙස් රැවුල් උදුරා දමන පිළිවෙතෙහි යෙදුණේ, කෙස් රැවුල් උදුරන්නේ ද වෙයි. ආසන ප්‍රතික්ෂේප කොට සිටිගෙන සිටියේ ද වෙයි. ඇන තබාගෙන හිඳීම හෙවත් උක්කුටියෙන් සිටීමෙහි ද යෙදුණේ, උක්කුටියෙන් පැන පැන යයි. කටුයහනෙහි සැතැපෙන ව්‍රතයෙහි යෙදුණේ, කටු ගැසූ ලෑල්ලෙහි ද සයනය කරයි. සාමාන්‍ය ලෑල්ලෙහි ද සයනය කරයි. බිම ද සයනය කරයි. එක් ඇලයකිනුත් නිදයි. දුහුවිලි ආදිය බැඳී ගිය කුණු තට්ටු ඇති සිරුරෙන් සිටියි. එළිමහනෙහි ද සිටියි. ආසන අතුරන ලද තැන්වල ද හිඳියි. අශූචි අනුභව කරන විකට භෝජනය නම් ව්‍රතයෙහි ද යෙදුණේ වෙයි. සිහිල් දිය ද නොබොන ව්‍රතයෙහි ද යෙදුණේ වෙයි. සවස් වරුව තුන්වෙනි කොට වරු තුනක් පව් සේදීම පිණිස දියට බැසීමෙහි ව්‍රතයෙහි ද යෙදුණේ වෙයි.
නිග්‍රෝධයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම සම්පූර්ණ වෙයි ද? අසම්පූර්ණ වෙයි ද?”
“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම සම්පූර්ණ වෙයි. අසම්පූර්ණ නොවෙයි.”
“නිග්‍රෝධයෙනි, මම මෙසේ සම්පූර්ණ වූ තපසින් පව් දුරැලීමෙහි පවා නොයෙක් අයුරින් උපක්ලේශයන් ඇති බව කියමි.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මෙසේ සම්පූර්ණ වූ තපසින් පව් දුරැලීමෙහි නොයෙක් අයුරින් ඇති උපක්ලේශයන් ගැන කෙසේ පවසන සේක්ද?”
“නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් සතුටු වෙයි. පිරිපුන් තෘප්තියකට පත්වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් තපසක් සමාදන් වෙයි නම්, ඔහු ඒ තපසින් ‘සතුටු වෙයි, පිරිපුන් තෘප්තියකට පත්වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් තමා ව හුවා දක්වයි. අනුන් හෙළා දකියි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් තමා ව හුවා දක්වයි, අනුන් ව හෙළා දකියි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් මත් වෙයි. මුසපත් වෙයි. ප්‍රමාදයට පත්වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ඔහු මත් වෙයි, මුසපත් වෙයි, ප්‍රමාදයට පත්වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් සතුටු සිත් ඇත්තේ වෙයි. පිරිපුන් තෘප්තියකට පත්වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි, ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් සතුටු සිත් ඇත්තේ වෙයි, පිරිපුන් තෘප්තියකට පත්වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් තමා හුවාදක්වයි. අනුන් හෙලාදකියි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි, ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් තමා හුවාදක්වයි, අනුන් හෙලාදකියි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මත් වෙයි. මුසපත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි, ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මත් වෙයි, මුසපත් වෙයි, ප්‍රමාදයට පැමිණෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. තමාට ලැබෙන බොජුනෙහි ‘මෙය මට රුචි ය. මෙය මට රුචි නැතැ’ යි හොඳ හොඳ දේ තෝරන බවට පත්වෙයි. ඔහු යම් බොජුනකට නොකැමැති වෙයි ද, එය අපේක්ෂාවෙන් යුතුව අත්හරියි. යම් බොජුනකට කැමැති වෙයි ද, එයට ගිජු වී, මුසපත් වී, ආශාවෙන් බැසගෙන, ආදීනව නොදකිමින්, එයින් නිදහස් වීම නුවණින් නොදකිමින් අනුභව කරයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු තමාට ලැබෙන බොජුනෙහි ‘මෙය මට රුචි ය. මෙය මට රුචි නැතැ’ යි හොඳ හොඳ දේ තෝරන බවට පත්වෙයි. ඔහු යම් බොජුනකට නොකැමැති වෙයි ද, එය අපේක්ෂාවෙන් යුතුව අත්හරියි. යම් බොජුනකට කැමැති වෙයි ද, එයට ගිජු වී, මුසපත් වී, ආශාවෙන් බැසගෙන, ආදීනව නොදකිමින්, එයින් නිදහස් වීම නුවණින් නොදකිමින් අනුභව කරයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා ‘මට රජවරු, රාජමහාමාත්‍යවරු, ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, තීර්ථකයෝ සත්කාර කරන්නාහ’ යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අපේක්ෂාවෙන් තපසක් සමාදන් වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘මට රජවරු, රාජමහාමාත්‍යවරු, ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, තීර්ථකයෝ සත්කාර කරන්නාහ’ යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අපේක්ෂාවෙන් තපසක් සමාදන් වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා අන්‍ය වූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වේවා නින්දා අපහාස කරයි. ‘කිම? මෙතෙමේ ප්‍රත්‍ය බහුල ව ජීවත් වෙයි. හැම දෙයක් ම කයි. එනම්, මුලින් පැළවෙන දේ, කඳින් පැළවෙන දේ, පුරුකින් පැළවෙන දේ, දල්ලෙන් පැළවෙන දේ, පස්වෙනුව බීජයෙන් පැළවෙන දේ ය. මොහුගේ දත් සියල්ල ඇඹරෙන හෙණචක්‍රයක් බඳු නොවැ. එනමුදු ශ්‍රමණ නමින් හඳුන්වති’ වශයෙනි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘අන්‍ය වූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වේවා ‘කිම? මෙතෙමේ ප්‍රත්‍ය බහුල ව ජීවත් වෙයි. හැම දෙයක් ම කයි. එනම්, මුලින් පැළවෙන දේ, කඳින් පැළවෙන දේ, පුරුකින් පැළවෙන දේ, දල්ලෙන් පැළවෙන දේ, බීජයෙන් පැළවෙන දේ ය. මොහුගේ දත් සියල්ල ඇඹරෙන හෙණචක්‍රයක් බඳු නොවැ. එනමුදු ශ්‍රමණ නමින් හඳුන්වති යි නින්දා අපහාස කරයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා දායක පවුල් අතර සත්කාර ලබන, ගෞරව ලබන, බුහුමන් ලබන, පිදුම් ලබන, අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දකියි. දැක ඔහු මෙසේ සිතයි. ‘ප්‍රත්‍ය බහුල ව දිවි ගෙවන මොහුට දායක පවුල්වල උදවිය සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් කරති. පුදති. එහෙත් රළු ජීවිතයක් ගෙවන, තපස් රකින මට දායක පවුල්වල උදවිය සත්කාර නොකරති. ගෞරව නොකරති. බුහුමන් නොකරති. නොපුදති’ යි මෙසේ ඔහු දායක පවුල් කෙරෙහි ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් උපදවන්නේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් දායක පවුල් අතර සත්කාර ලබන, ගෞරව ලබන, බුහුමන් ලබන, පිදුම් ලබන, අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දකියි. දැක ඔහු මෙසේ සිතයි. ‘ප්‍රත්‍ය බහුල ව ජීවත් වන මොහුට දායක පවුල්වල උදවිය සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් කරති. පුදති. එහෙත් රළු ජීවිතයක් ගෙවන, තපස් රකින මට දායක පවුල්වල උදවිය සත්කාර නොකරති. ගෞරව නොකරති. බුහුමන් නොකරති. නොපුදති’ යි මෙසේ ඔහු දායක පවුල් කෙරෙහි ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් උපදවන්නේ වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා මිනිසුන්ට පෙනෙන තැන්වල වාඩිවී තපස් කරයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘මිනිසුන්ට පෙනෙන තැන්වල වාඩිවී තපස් කරයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා ‘මෙය ත් මාගේ තපසකි. මෙය ත් මාගේ තපසකි’ යි දායක පිරිස් අතර තමාගේ ගුණ කියමින් හැසිරෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘මෙය ත් මාගේ තපසකි. මෙය ත් මාගේ තපසකි’ යි දායක පිරිස් අතර තමාගේ ගුණ කියමින් හැසිරෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තමාගේ කිසියම් දෙයක් සඟවාගෙන සේවනය කරයි. ‘ඔහු ඔබට මෙය රුචි දැ’යි ඇසූ විට එය කැමති නැතත් ‘රුචි යැ’ යි කියයි. කැමති දේ ගැන ‘රුචි නැතැ’ යි කියයි. මෙසේ ඔහු දැන දැන බොරු කියන්නේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘තමාගේ කිසියම් දෙයක් සඟවාගෙන සේවනය කරයි. ‘ඔහු ඔබට මෙය රුචි දැ’යි ඇසූ විට එය කැමති නැතත් ‘රුචි යැ’ යි කියයි. කැමති දේ ගැන ‘රුචි නැතැ’ යි කියයි. මෙසේ ඔහු දැන දැන බොරු කියන්නේ වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා දහම් දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ අනුමත කළ යුතු වූ සත්‍ය වූ ම ධර්ම කථාව අනුමත නොකරයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘දහම් දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ අනුමත කළ යුතු වූ සත්‍ය වූ ම ධර්ම කථාව අනුමත නොකරයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා ක්‍රෝධ කරන්නේ වෙයි. බද්ධ වෛර ඇත්තේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘ක්‍රෝධ කරන්නේ වෙයි. බද්ධ වෛර ඇත්තේ වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා අනුන්ගේ ගුණ මකා කතා කරයි. තරඟයට වැඩ කරයි ….(පෙ)…. ඊර්ෂ්‍යා කරයි. මසුරුකම් කරයි. ….(පෙ)…. කපටි වෙයි. නැතිගුණ පෙන්වයි ….(පෙ)…. දැඩි වෙයි. අධික මාන්නයෙන් යුතු වෙයි ….(පෙ)…. පවිටු ආශාවෙන් යුතු වෙයි. පවිටු ආශාවෙහි වසඟයට ගියේ වෙයි. ….(පෙ)…. මිසදිටු ගත්තේ වෙයි. තමා ගත් මිසදිටු ව දැඩි ලෙස ගත්තේ වෙයි. ….(පෙ)…. තමා ගත් දෘෂ්ටියට දැඩි ව ග්‍රහණය වූයේ වෙයි. එය අත්හැර ගත නොහැක්කේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘තමා ගත් දෘෂ්ටියට දැඩි ව ග්‍රහණය වූයේ වෙයි. එය අත්හැර ගත නොහැක්කේ වෙයි’ යන යමක් ඇද්ද, නිග්‍රෝධයෙනි, තපස් කරන්නාට මෙය ත් උපක්ලේශයකි.
නිග්‍රෝධයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඉදින් මේ තපසින් පව් දුරැලීම් උපක්ලේශ සහිත වෙත් ද? උපක්ලේශ රහිත වෙත් ද?”
“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මේ තපසින් පව් දුරැලීම් වනාහී උපක්ලේශ සහිතයෝ වෙති. උපක්ලේශ රහිතයෝ නොවෙති. ස්වාමීනී, මෙහිලා තපස් රකින්නෙක් මේ සියළුම උපක්ලේශයන්ගෙන් යුක්ත ව සිටියි යන යමක් ඇද්ද, එය පැහැදිලි ව දකින්නට ලැබෙන දෙයකි. මේ උපක්ලේශයන්ගෙන් ඇතැම් උපක්ලේශයෙන් යුක්ත ව සිටියි යන කරුණ ගැන කියන්නට දෙයක් නැත්තේ ම ය.”
“නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් සතුටු නොවෙයි. පිරිපුන් තෘප්තියකට පත් නොවෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් තපසක් සමාදන් වෙයි නම්, ඒ තපසින් ‘සතුටු නොවෙයි, පිරිපුන් තෘප්තියකට පත් නොවෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් තමා ව හුවා නොදක්වයි. අනුන් හෙළා නොදකියි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් තමා ව හුවා නොදක්වයි, අනුන් ව හෙළා නොදකියි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් මත් නොවෙයි. මුසපත් නොවෙයි. ප්‍රමාදයට පත් නොවෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ඔහු මත් නොවෙයි, මුසපත් නොවෙයි, ප්‍රමාදයට පත් නොවෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් සතුටු සිත් ඇත්තේ නොවෙයි. පිරිපුන් තෘප්තියකට පත් නොවෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි, ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් සතුටු සිත් ඇත්තේ නොවෙයි, පිරිපුන් තෘප්තියකට පත් නොවෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් තමා හුවා නොදක්වයි. අනුන් හෙලා නොදකියි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි, ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් තමා හුවා නොදක්වයි, අනුන් හෙලා නොදකියි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මත් නොවෙයි. මුසපත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවයි, ඔහු ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මත් නොවෙයි, මුසපත් නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තපසක් සමාදන් වෙයි. තමාට ලැබෙන බොජුනෙහි ‘මෙය මට රුචි ය. මෙය මට රුචි නැතැ’ යි හොඳ හොඳ දේ තෝරන බවට පත් නොවෙයි. ඔහු යම් බොජුනකට නොකැමැති වෙයි ද, එය අපේක්ෂා රහිත ව අත්හරියි. යම් බොජුනකට කැමැති වෙයි ද, එයට ගිජු නොවී, මුසපත් නොවී, ආශාවෙන් නොබැසගෙන, ආදීනව දකිමින්, එයින් නිදහස් වීම නුවණින් දකිමින් අනුභව කරයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් යම් තපසක් සමාදන් වෙයි නම්, ‘ඔහු ඒ තපසින් තමාට ලැබෙන බොජුනෙහි ‘මෙය මට රුචි ය. මෙය මට රුචි නැතැ’ යි හොඳ හොඳ දේ තෝරන බවට පත් නොවෙයි. ඔහු යම් බොජුනකට නොකැමැති වෙයි ද, එය අපේක්ෂාවෙන් තොර ව අත්හරියි. යම් බොජුනකට කැමැති වෙයි ද, එයට ගිජු නොවී, මුසපත් නොවී, ආශාවෙන් නොබැසගෙන, ආදීනව දකිමින්, එයින් නිදහස් වීම නුවණින් දකිමින් අනුභව කරයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා ‘මට රජවරු, රාජමහාමාත්‍යවරු, ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, තීර්ථකයෝ සත්කාර කරන්නාහ’ යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අපේක්ෂාවෙන් තපසක් සමාදන් නොවෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘මට රජවරු, රාජමහාමාත්‍යවරු, ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, ගෘහපතිවරු, තීර්ථකයෝ සත්කාර කරන්නාහ’ යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අපේක්ෂාවෙන් තපසක් සමාදන් නොවෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා අන්‍ය වූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වේවා නින්දා අපහාස නොකරයි. ‘කිම? මෙතෙමේ ප්‍රත්‍ය බහුල ව ජීවත් වෙයි. හැම දෙයක් ම කයි. එනම්, මුලින් පැළවෙන දේ, කඳින් පැළවෙන දේ, පුරුකින් පැළවෙන දේ, දල්ලෙන් පැළවෙන දේ, පස්වෙනුව බීජයෙන් පැළවෙන දේ ය. මොහුගේ දත් සියල්ල ඇඹරෙන හෙණචක්‍රයක් බඳු නොවැ. එනමුදු ශ්‍රමණ නමින් හඳුන්වති’ වශයෙනි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘අන්‍ය වූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වේවා ‘කිම? මෙතෙමේ ප්‍රත්‍ය බහුල ව ජීවත් වෙයි. හැම දෙයක් ම කයි. එනම්, මුලින් පැළවෙන දේ, කඳින් පැළවෙන දේ, පුරුකින් පැළවෙන දේ, දල්ලෙන් පැළවෙන දේ, පස්වෙනුව බීජයෙන් පැළවෙන දේ ය. මොහුගේ දත් සියල්ල ඇඹරෙන හෙණචක්‍රයක් බඳු නොවැ. එනමුදු ශ්‍රමණ නමින් හඳුන්වති යි නින්දා අපහාස නොකරයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා දායක පවුල් අතර සත්කාර ලබන, ගෞරව ලබන, බුහුමන් ලබන, පිදුම් ලබන, අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දකියි. දැක ඔහු මෙසේ නොසිතයි. ‘ප්‍රත්‍ය බහුල ව දිවි ගෙවන මොහුට දායක පවුල්වල උදවිය සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් කරති. පුදති. එහෙත් රළු ජීවිතයක් ගෙවන, තපස් රකින මට දායක පවුල්වල උදවිය සත්කාර නොකරති. ගෞරව නොකරති. බුහුමන් නොකරති. නොපුදති’ යි මෙසේ ඔහු දායක පවුල් කෙරෙහි ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් නූපදවන්නේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් දායක පවුල් අතර සත්කාර ලබන, ගෞරව ලබන, බුහුමන් ලබන, පිදුම් ලබන, අන්‍ය වූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දකියි. දැක ඔහු මෙසේ නොසිතයි. ‘ප්‍රත්‍ය බහුල ව දිවි ගෙවන මොහුට දායක පවුල්වල උදවිය සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් කරති. පුදති. එහෙත් රළු ජීවිතයක් ගෙවන, තපස් රකින මට දායක පවුල්වල උදවිය සත්කාර නොකරති. ගෞරව නොකරති. බුහුමන් නොකරති. නොපුදති’ යි මෙසේ ඔහු දායකයන් කෙරෙහි ඊර්ෂ්‍යාව ත්, මසුරුකම ත් නූපදවන්නේ වෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා මිනිසුන්ට පෙනෙන තැන්වල වාඩිවී තපස් නොකරයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘මිනිසුන්ට පෙනෙන තැන්වල වාඩිවී තපස් නොකරයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා ‘මෙය ත් මාගේ තපසකි. මෙය ත් මාගේ තපසකි’ යි දායක පිරිස් අතර තමාගේ ගුණ කියමින් නොහැසිරෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘මෙය ත් මාගේ තපසකි. මෙය ත් මාගේ තපසකි’ යි දායක පිරිස් අතර තමාගේ ගුණ කියමින් නොහැසිරෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා තමාගේ කිසියම් දෙයක් සඟවාගෙන සේවනය නොකරයි. ‘ඔහු ඔබට මෙය රුචි දැ’යි ඇසූ විට කැමති නොවන දෙය ‘රුචි නැතැ’ යි කියයි ද, කැමති දේ ගැන ‘රුචි යැ’ යි කියයි ද, මෙබඳු ලෙස ඔහු දැන දැන බොරු නොකියන්නේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘තමාගේ කිසියම් දෙයක් සඟවාගෙන සේවනය නොකරයි. ‘ඔබට මෙය රුචි දැ’යි ඇසූ විට එය කැමති නැතත් ‘රුචි යැ’ යි කියයි ද, කැමති දේ ගැන ‘රුචි නැතැ’ යි කියයි ද, මෙබඳු ලෙස ඔහු දැන දැන බොරු නොකියන්නේ වෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා දහම් දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ අනුමත කළ යුතු වූ සත්‍ය වූ ම ධර්ම කථාව අනුමත කරයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘දහම් දෙසන්නා වූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ අනුමත කළ යුතු වූ සත්‍ය වූ ම ධර්ම කථාව අනුමත කරයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා ක්‍රෝධ නොකරන්නේ වෙයි. බද්ධ වෛර නැත්තේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘ක්‍රෝධ නොකරන්නේ වෙයි. බද්ධ වෛර නැත්තේ වෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණින් පිරිසිදු වෙයි.
තව ද නිග්‍රෝධයෙනි, තපස් රකින්නා අනුන්ගේ ගුණ මකා කතා නොකරයි. තරඟයට වැඩ නොකරයි ….(පෙ)…. ඊර්ෂ්‍යා නොකරයි. මසුරුකම් නොකරයි. ….(පෙ)…. කපටි නොවෙයි. නැතිගුණ නොපෙන්වයි ….(පෙ)…. දැඩි නොවෙයි. අධික මාන්නයෙන් යුතු නොවෙයි ….(පෙ)…. පවිටු ආශාවෙන් යුතු නොවෙයි. පවිටු ආශාවෙහි වසඟයට නොගියේ වෙයි. ….(පෙ)…. මිසදිටු නොගත්තේ වෙයි. තමා ගත් මිසදිටු ව දැඩි ලෙස නොගත්තේ වෙයි. ….(පෙ)…. තමා ගත් දෘෂ්ටියට දැඩි ව ග්‍රහණය නොවූයේ වෙයි. එය පහසුවෙන් අත්හැර ගත හැක්කේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් ‘තමා ගත් දෘෂ්ටියට දැඩි ව ග්‍රහණය නොවූයේ වෙයි. එය පහසුවෙන් අත්හැර ගත හැක්කේ වෙයි’ යන යමක් ඇද්ද, මෙසේ ඔහු එම කරුණ තුළ පිරිසිදු වෙයි.
නිග්‍රෝධයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු ද? නැත්නම් අපිරිසිදු ද?”
“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වූයේ වෙයි. අපිරිසිදු නොවෙයි. මුදුන් පැමිණියේ ත් වෙයි. සාරයට පැමිණියේ ත් වෙයි.”
“නැත, නිග්‍රෝධයෙනි, මෙපමණකින් තපසින් පව් දුරැලීම මුදුන් පැමිණියේ නොවෙයි. සාරයට පැමිණියේ ත් නොවෙයි. හුදෙක් පිටපොත්තට පැමිණියේ ම වෙයි.”
“ස්වාමීනී, කොපමණකින් තපසින් පව් දුරැලීම මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි ද? යහපති, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා තපසින් පව් දුරැලීම පිළිබඳ ව මුදුනට ම පමුණුවන සේක්වා! සාරයට ම පමුණුවන සේක්වා!”
“නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වන්නේ කෙසේ ද?
නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා සතුන් නොමරයි. අනුන් ලවා ත් සතුන් නොමරවයි. සතුන් මරන්නෙකුට අනුමත නොකරයි. සොරකම් නොකරයි. අනුන් ලවා ත් සොරකම් නොකරවයි. සොරකම් කරන්නෙකුට අනුමත නොකරයි. බොරු නොකියයි. අනුන් ලවා ත් බොරු නොකියවයි. බොරු කියන්නෙකුට අනුමත නොකරයි. පුරුදු කරන ලද දොස් සහිත දෙයට සෙත් නොපතයි. පුරුදු කරන ලද දොස් සහිත දෙයට අනුන් ලවා ත් සෙත් නොපතවයි. පුරුදු කරන ලද දොස් සහිත දෙයට සෙත් පතන්නාට අනුමත නොකරයි. මෙසේ නිග්‍රෝධයෙනි, තපස් රකින්නා සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි.
නිග්‍රෝධයෙනි, යම් කලෙක තපස් රකින්නා සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි ද, මෙය ඔහුගේ තපස් බව වෙයි. ඔහු එය ඉදිරියට දියුණු කරයි. නැවත කැරකී ගිහි ජීවිතයට නොවැටෙයි.
ඔහු අරණ්‍ය, රුක් සෙවණ, පර්වත, කඳුරැලි, ගිරිගුහා, සොහොන්, වනපෙත්, එළිමහන, පිදුරු කිළි ආදී හුදෙකලා සෙනසුනක් ඇසුරු කරයි. ඔහු පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි කය ඍජු කොට පළඟක් බැඳ, මුව ඉදිරියෙහි සිහිය පිහිටුවා වාඩිවෙයි. ඔහු ලෝකයෙහි ඇලීම දුරු කොට, පහව ගිය ඇලීමෙන් යුතු සිතින් වාසය කරයි. ඇලීම කෙරෙන් සිත පිරිසිදු කරයි.
ව්‍යාපාදය නම් වූ ක්‍රෝධය දුරු කොට, තරහ නැති සිතින් යුතු ව, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ව්‍යාපාදය නම් වූ ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කරයි.
නිදිමත හා අලසබව දුරුකොට පහ ව ගිය ථීනමිද්ධයෙන් යුතු සිතින්, සිහියෙන් හා නුවණින් යුතුව, ආලෝක සංඥාව ඇති ව වාසය කරයි. ථීනමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කරයි.
සිතේ විසිරීම ත්, කුකුස ත් දුරු කොට, තමා තුළ සංසිඳී ගිය සිතින් සංසුන් ව වාසය කරයි. සිතේ විසිරීම ත්, පසුතැවිල්ලත් කෙරෙන් සිත පිරිසිදු කරයි.
සැකය දුරුකොට, සැකයෙන් එතෙර ව වාසය කරයි. කුසල ධර්මයන්හි ‘කෙසේ ද? කෙසේ ද?’ යන්නෙන් තොර ව වාසය කරයි. සැකය කෙරෙන් සිත පිරිසිදු කරයි.
ඔහු ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ මේ පංච නීවරණ දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව, එසේ ම සිව්වෙනි දිශාව ද පතුරුවා වාසය කරයි. මෙසේ උඩ – යට – සරස යන හැම තන්හි තමා හා සමකොට සියළු සත්ව ලෝකයට මෛත්‍රී සහගත, විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, වෛර නැති, තරහ නැති සිතින් පතුරුවා වාසය කරයි. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව, එසේ ම සිව්වෙනි දිශාව ද පතුරුවා වාසය කරයි. මෙසේ උඩ – යට – සරස යන හැම තන්හි තමා හා සමකොට සියළු සත්ව ලෝකයට උපේක්ෂා සහගත, විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, වෛර නැති, තරහ නැති සිතින් පතුරුවා වාසය කරයි.
නිග්‍රෝධයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වෙයි ද? නැතිනම් අපිරිසිදු වෙයි ද?”
“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි.”
“නැත, නිග්‍රෝධයෙනි. මෙපමණකින් තපසින් පව් දුරැලීම මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් නොවෙයි. එනමුදු පොත්තට පැමිණියේ වෙයි.”
“ස්වාමීනී, තපසින් පව් දුරැලීම කොපමණකින් මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි ද? යහපති, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තපසින් පව් දුරැලීමෙහිලා මා මුදුන් පමුණුවන සේක්වා! සාරයට පමුණුවන සේක්වා!”
“නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් කෙසේ නම් සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි ද? ….(පෙ)…. නිග්‍රෝධයෙනි, යම් කලෙක තපස් රකින්නා මෙසේ සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි නම්, මෙය ඔහුගේ තපස් බව ය. ඔහු එය ඉදිරියට දියුණු කරයි. පෙරලා ගිහි බවට නොයයි. ඔහු හුදෙකලා සෙනසුනක් ඇසුරු කරයි ….(පෙ)…. මෙසේ ඔහු ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ, මේ පංච නීවරණ දුරු කොට මෛත්‍රී සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, තරහ නැති සිතෙන් පතුරුවා වාසය කරයි.
ඔහු නොයෙක් අයුරින් පෙර භවයන්හි ජීවිතය ගත කළ අයුරු සිහි කරයි. එනම්; එක් උපතක් ද, උපත් දෙකක් ද, උපත් තුනක් ද, උපත් සතරක් ද, උපතක් පහක් ද, උපත් දහයක් ද, උපත් විස්සක් ද, උපත් තිහක් ද, උපත් හතළිහක් ද, උපත් පනහක් ද, උපත් සියයක් ද, උපත් දහසක් ද, උපත් සිය දහසක් ද, නොයෙක් උපත් සිය ගණන් ද, නොයෙක් උපත් දහස් ගණන් ද, නොයෙක් උපත් සියදහස් ගණන් ද, නොයෙක් විනාශවන කල්පයන් ද, නොයෙක් හැදෙන කල්පයන් ද, නොයෙක් සංවට්ට – විවට්ට කල්පයන් ද සිහි කරයි. ‘අසවල් තැන මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින්, මෙබඳු පැහැයෙන්, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැප දුක් විඳිමින්, මෙබඳු ආයුෂයක් ඇති ව සිටියෙමි. ඒ මම් එයින් චුත ව අසවල් තැන උපන්නෙමි. එහි ද මම මෙබඳු නම් ඇති ව සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නම් ඇති ව සිටියෙමි. මෙබඳු පැහැයෙන්, මෙබඳු ආහාරයෙන්, මෙබඳු සැප දුක් විඳිමින්, මෙබඳු ආයුෂයෙන් සිටියෙමි. ඒ මම් එයින් චුත ව මෙහි උපන්නෙමි’ යි මෙසේ ආකාර සහිත ව, විස්තර සහිත ව, නොයෙක් අයුරින් පෙර භවයන්හි ජීවිතය ගත කළ අයුරු සිහි කරයි.
නිග්‍රෝධයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වෙයි ද? නැතිනම් අපිරිසිදු වෙයි ද?”
“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි.”
“නැත, නිග්‍රෝධයෙනි. මෙපමණකින් තපසින් පව් දුරැලීම මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් නොවෙයි. එනමුදු එහි එළයට පැමිණයේ වෙයි.”
“ස්වාමීනී, තපසින් පව් දුරැලීම කොපමණකින් මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි ද? යහපති, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තපසින් පව් දුරැලීමෙහිලා මා මුදුන් පමුණුවන සේක්වා! සාරයට පමුණුවන සේක්වා!”
“නිග්‍රෝධයෙනි, මෙහිලා තපස් රකින්නා සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රෝධයෙනි, තපස් රකින්නෙක් කෙසේ නම් සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි ද? ….(පෙ)…. නිග්‍රෝධයෙනි, යම් කලෙක තපස් රකින්නා මෙසේ සිව් වැදෑරුම් සංවරයෙන් සංවර වූයේ වෙයි නම්, මෙය ඔහුගේ තපස් බව ය. ඔහු එය ඉදිරියට දියුණු කරයි. පෙරලා ගිහි බවට නොයයි. ඔහු හුදෙකලා සෙනසුනක් ඇසුරු කරයි ….(පෙ)…. මෙසේ ඔහු ප්‍රඥාව දුර්වල කරන, සිතට උපක්ලේශ වූ, මේ පංච නීවරණ දුරු කොට මෛත්‍රී සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, තරහ නැති සිතෙන් පතුරුවා වාසය කරයි.
ඔහු නොයෙක් අයුරින් පෙර භවයන්හි ජීවිතය ගත කළ අයුරු සිහි කරයි. එනම්; එක් උපතක් ද, උපත් දෙකක් ද, ….(පෙ)…. මෙසේ ආකාර සහිත ව, විස්තර සහිත ව, නොයෙක් අයුරින් පෙර භවයන්හි ජීවිතය ගත කළ අයුරු සිහි කරයි.
ඔහු සාමාන්‍ය මිනිස් පෙනීම ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් චුත වෙන – උපදින සත්වයන් දකියි. පහත්, උසස්, පැහැපත්, දුර්වර්ණ, සුගති, දුගති, කර්මානුරූප ව උපදින සත්වයන් දැනගනියි. ‘ඒකාන්තයෙන් ම මේ භවත් සත්වයෝ කායික දුසිරිතෙන් යුක්ත ව සිට, වාචසික දුසිරිතෙන් යුක්ත ව සිට, මනෝ දුසිරිතෙන් යුක්ත ව සිට, ආර්යෝපවාද කරමින් සිට, මිසදිටු ගෙන, මිසදිටු ක්‍රියාවන්හි යෙදී සිටියාහු ද, ඔවුහු කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපන්නාහු ය. මේ භවත් සත්වයෝ වනාහී කායික සුසිරිතෙන් යුක්ත ව සිට, වාචසික සුසිරිතෙන් යුක්ත ව සිට, මනෝ සුසිරිතෙන් යුක්ත ව සිට, ආර්යෝපවාද නොකරමින් සිට, සම්දිටු ගෙන, සම්දිටු ක්‍රියාවන්හි යෙදී සිටියාහු ද, ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපන්නාහු ය’ යනුවෙන් දිවැසින් දකියි. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.
නිග්‍රෝධයෙනි, ඒ ගැන කුමක් සිතන්නෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වෙයි ද? නැතිනම් අපිරිසිදු වෙයි ද?”
“ඒකාන්තයෙන් ම ස්වාමීනී, මෙසේ ඇති කල්හී තපසින් පව් දුරැලීම පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි.”
“නිග්‍රෝධයෙනි, මෙපමණකින් තපසින් පව් දුරැලීම මුදුන් පැමිණියේ ත්, සාරයට පැමිණියේ ත් වෙයි.
නිග්‍රෝධයෙනි, ඔබ මට යමක් මෙසේ පැවසුවෙහි ද, ‘ස්වාමීනී, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ මුළුමනින් ම සෑහීමට පත් ව, බඹසරට මුල් වූ මාර්ගය පිළිබඳ ව ප්‍රතිඥා දෙත් නම්, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කුමක් ද?’ යි, නිග්‍රෝධයෙනි, මෙසේ යම් ධර්මයකින් මම ශ්‍රාවකයන් හික්මවම් ද, යම් ධර්මයකින් මා විසින් හික්මවන ලද ශ්‍රාවකයෝ මුළුමනින් ම සෑහීමකට පත් ව, බඹසරට මුල් වූ මාර්ගය පිළිබඳ ව ප්‍රතිඥා දෙත් ද, එකරුණ මෙයට ත් උත්තරීතර ද, ප්‍රණීතතර ද වෙයි.”
මෙසේ වදාළ කල්හී ඒ පරිබ්‍රාජකයෝ මහත් සේ හඬ නගමින්, උස් හඬ නගමින්, මහා හඬ නගමින් ‘මෙහිලා අපි ආචාර්යයා සහිත ව නැසුනම්හ. මෙහිලා අපි ආචාර්යයා සහිත ව වැනසුනම්හ. මෙයට වඩා උත්තරීතර වූ කරුණක් අපි නොදනිමු’ යි ඝෝෂා කළහ.
යම් කලෙක සන්ධාන ගෘහපති තෙමේ ‘දැන් මේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසනු කැමති වෙත්. සවන් යොමත්. තේරුම් ගැනීමට සිත පිහිටුවත්’ යැයි දැනගත්තේ ද, එකල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයාට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, නිග්‍රෝධයෙනි, ඔබ මට මෙසේ යමක් කිව්වෙහි ද, ‘එහෙනම් ගෘහපතිය, දැනගන්නෙහි ය. ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු හා දොඩයි ද? කවරෙකු හා සාකච්ඡාවට පැමිණෙයි ද? කවරෙකු හා ප්‍රඥාවෙන් ව්‍යක්තභාවයට නිසි කරුණකට පැමිණෙයි ද? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ශූන්‍යාගාරයෙහි ම නැසුණේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස් අතර නොහැසිරෙන්නෙකි. කථාබහට නොගැලපෙයි. ඔහු ඈත කෙළවර වන සෙනසුන් පමණක් සේවනය කරයි. යම් සේ එක් ඇසක් නොපෙනෙන ගව දෙනක් පිරිස් මගහැර යන්නී, හැමට කෙළවරින් ඇති තැන් සේවනය කරන්නී ද, එසෙයින් ම ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ශූන්‍යාගාරයෙහි ම නැසුණේ ය. ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස් අතර නොහැසිරෙන්නෙකි. කථාබහට නොගැලපෙයි. ඔහු ඈත කෙළවර වන සෙනසුන් පමණක් සේවනය කරයි. එසේ නම් ගෘහපතිය, දනුව. ශ්‍රමණ ගෞතම තෙමේ මේ පිරිස වෙත එන්නේ නම්, එක් ප්‍රශ්නයකින් ම, ඔහු ව නවත්තන්නෙමු. හිස් කළයක් සෙළවෙන්නට නොදී බැඳ තබන සෙයින් සිර කොට තබන්නෙමු’ යි. මේ වනාහී මෙහි වැඩම කොට සිටින සේක් ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ව පිරිස් අතර නොහැසිරෙන්නෙකු කරව්. උන්වහන්සේ මාවතෙහි අයින් වෙවී යන එකැස් කණ ගවදෙනක කරව්. එක් ප්‍රශ්නයෙන් ම නවත්වා දමව්. උන්වහන්සේ ව හිස් කළයක් සෙයින් පෙරළා බැඳ දමව්.”
මෙසේ කී කල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයා නිශ්ශබ්ද ව, මුහුණ හකුළාගෙන, කරබාගෙන, මුහුණ යටට හරවාගෙන, කල්පනා කරමින්, වැටහීම් රහිත ව, හිඳගෙන හුන්නේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද ව, මුහුණ හකුළාගෙන, කරබාගෙන, මුහුණ යටට හරවාගෙන, කල්පනා කරමින්, වැටහීම් රහිත ව, හිඳගෙන හුන් නිග්‍රෝධ පරිබ්‍රාජකයාගෙන් මෙය ඇසූ සේක.
“සැබෑවක් ද නිග්‍රෝධයෙනි? ඔබ විසින් මේ වචනය කියන ලද්දේ ද?”
“සැබෑවකි ස්වාමීනී. බාලයෙකු පරිද්දෙන්, මෝඩයෙකු පරිද්දෙන්, අදක්ෂයෙකු පරිද්දෙන් මා විසින් මේ වචනය කියන ලද්දේ ය.”
“නිග්‍රෝධයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? කිම? වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන් විසින් කියනු ලබන වචනය ඔබ කෙසේ අසන ලද්දේ ද? අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවත්වරු මෙසේ එකතු වූ, එක්රැස් වූ කල්හී මෙකල්හී ආචාර්යයා සහිත ඔබ සෙයින් මහත් සේ හඬ ඇති ව, උස් හඬ ඇති ව, මහත් ශබ්ද ඇති ව, නොයෙක් අයුරින් තිරිසන් කථාවෙන් යුක්ත ව, එනම් රජුන් පිළිබඳ කථා ය, සොරුන් පිළිබඳ කථා ය, ….(පෙ)…. මෙසේ මෙසේ වූයේ ය යන කථායෙන් යුක්ත ව සිටියාහු ද? නැතිනම් මෙසේ ඒ භාග්‍යවත්වරු මෙකල්හී මා මෙන් අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කළාහු ද?”
“ස්වාමීනී, වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන් විසින් කියනු ලබන වචනය මම මෙසේ අසන ලද්දේ ය. අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවත්වරු මෙසේ එකතු වූ, එක්රැස් වූ කල්හී මෙකල්හී ආචාර්යයා සහිත මා සෙයින් මහත් සේ හඬ ඇති ව, උස් හඬ ඇති ව, මහත් ශබ්ද ඇති ව, නොයෙක් අයුරින් තිරිසන් කථාවෙන් යුක්ත ව, එනම් රජුන් පිළිබඳ කථා ය, සොරුන් පිළිබඳ කථා ය, ….(පෙ)…. මෙසේ මෙසේ වූයේ ය යන කථායෙන් යුක්ත ව නොසිටියාහු ය. මෙසේ ඒ භාග්‍යවත්වරු මෙකල්හී භාග්‍යවතුන් වහන්සේ සෙයින් අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කළාහු ය.”
“නිග්‍රෝධයෙනි, නුවණැති මහළු වූ ඔබට මේ අදහස ඇති නොවූයේ ද? ‘ඒ භාග්‍යවත් තෙමේ සත්‍යාවබෝධ කොට, අන්‍යයන්ට ද සත්‍යාවබෝධය පිණිස දහම් දෙසයි. ඒ භාග්‍යවත් තෙමේ දමනය වී, අන්‍යයන්ට ද දමනය වීම පිණිස දහම් දෙසයි. ඒ භාග්‍යවත් තෙමේ සංසිඳී, අන්‍යයන්ට ද සංසිඳීම පිණිස දහම් දෙසයි. ඒ භාග්‍යවත් තෙමේ එතෙර වී, අන්‍යයන්ට ද එතෙර වීම පිණිස දහම් දෙසයි. ඒ භාග්‍යවත් තෙමේ මුළුමනින් ම නිවීගොස්, අන්‍යයන්ට ද මුළුමනින් ම නිවී යාම පිණිස දහම් දෙසයි’ යනුවෙනි.”
මෙසේ වදාළ කල්හී නිග්‍රෝධ පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, බාලයෙකුට පරිදි, මෝඩයෙකුට පරිදි, අදක්ෂයෙකුට පරිදි, දෝෂය මාව යටකොට ගියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට එසේ පැවසූවෙමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද, මතුවට සංවර වීම පිණිස වරදක් වශයෙන් පිළිගන්නා සේක්වා!”
“සැබැවින් ම නිග්‍රෝධයෙනි, යම්බඳු ඔබ මට එසේ කීවෙහි ද, බාලයෙකුට පරිදි, මෝඩයෙකුට පරිදි, අදක්ෂයෙකුට පරිදි, දෝෂය ඔබව යටකොට ගියේය. නිග්‍රෝධයෙනි, යම්කලෙක ඔබ වරද, වරද වශයෙන් දැක ධර්මානුකූල ව පිළියම් කරයි නම්, ඔබගේ ඒ වරද අපි පිළිගනිමු. නිග්‍රෝධයෙනි, යමෙක් වරද, වරද වශයෙන් දැක ධර්මානුකූල ව පිළියම් කරයි නම්, මතුවට සංවරය පිණිස පැමිණෙයි නම්, එය ආර්ය විනයෙහි දියුණුවකි.
නිග්‍රෝධයෙනි, මම වනාහී මෙසේ පවසමි. ‘වංචනික නොවූ, නැතිගුණ පෙන්වා මායා නොදක්වන, කෙලින් කටයුතු කරන, නුවණැති පුරුෂයෙක් පැමිණේවා! මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. යම් අයුරකින් අනුශාසනාව ලබයි ද, ඒ අයුරින් පිළිපදින විට, යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් ද, සත් වසක් ඇතුළත ඒ අනුත්තර වූ බඹසරෙහි අවසානය වන අරහත්වය මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නාහ.
නිග්‍රෝධයෙනි, සත් වසක් තිබේවා! වංචනික නොවූ, නැතිගුණ පෙන්වා මායා නොදක්වන, කෙලින් කටයුතු කරන, නුවණැති පුරුෂයෙක් පැමිණේවා! මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. යම් අයුරකින් අනුශාසනාව ලබයි ද, ඒ අයුරින් පිළිපදින විට, යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් ද, සය වසක් ඇතුළත ඒ අනුත්තර වූ බඹසරෙහි අවසානය වන අරහත්වය මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නාහ.
සය වසක් තිබේවා! ….(පෙ)…. පස් වසක් තිබේවා! ….(පෙ)…. සිව් වසක් තිබේවා! ….(පෙ)…. තුන් වසක් තිබේවා! ….(පෙ)…. දෙවසක් තිබේවා! ….(පෙ)….
එක් වසක් තිබේවා! වංචනික නොවූ, නැතිගුණ පෙන්වා මායා නොදක්වන, කෙලින් කටයුතු කරන, නුවණැති පුරුෂයෙක් පැමිණේවා! මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. යම් අයුරකින් අනුශාසනාව ලබයි ද, ඒ අයුරින් පිළිපදින විට, යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් ද, සත් මසක් ඇතුළත ඒ අනුත්තර වූ බඹසරෙහි අවසානය වන අරහත්වය මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නාහ.
නිග්‍රෝධයෙනි, සත් මසක් තිබේවා! ….(පෙ)…. සය මසක් තිබේවා! ….(පෙ)…. පස් මසක් තිබේවා! ….(පෙ)…. සිව් මසක් තිබේවා! ….(පෙ)…. තුන් මසක් තිබේවා! ….(පෙ)…. දෙමසක් තිබේවා! ….(පෙ)…. එක් මසක් තිබේවා! ….(පෙ)….
අඩ මසක් තිබේවා! වංචනික නොවූ, නැතිගුණ පෙන්වා මායා නොදක්වන, කෙලින් කටයුතු කරන, නුවණැති පුරුෂයෙක් පැමිණේවා! මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. යම් අයුරකින් අනුශාසනාව ලබයි ද, ඒ අයුරින් පිළිපදින විට, යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් ද, සතියක් ඇතුළත ඒ අනුත්තර වූ බඹසරෙහි අවසානය වන අරහත්වය මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නාහ.
නිග්‍රෝධයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ශ්‍රමණ ගෞතමයෝ තමන්ගේ අතවැසියෙක් කරගනු කැමැති ව මෙසේ පවසති’ යි. නිග්‍රෝධයෙනි, එය එසේ නොදැක්ක යුතුය. යමෙක් ඔබගේ ආචාර්යවරයා වෙයි ද, ඔහු ම ඔබගේ ආචාර්යවරයා වේවා!
නිග්‍රෝධයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ශ්‍රමණ ගෞතමයෝ අපගේ තීර්ථක මතවාදයන්ගෙන් අප බැහැර කරනු කැමති ව මෙසේ පවසති’ යි. නිග්‍රෝධයෙනි, එය එසේ නොදැක්ක යුතුය. ඔබගේ යම් තීර්ථක මතවාදයක් ඇද්ද, එය ම ඔබගේ තීර්ථක මතවාදය වේවා!
නිග්‍රෝධයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ශ්‍රමණ ගෞතමයෝ අපගේ තීර්ථක ජීවිකාවෙන් අප බැහැර කරනු කැමති ව මෙසේ පවසති’ යි. නිග්‍රෝධයෙනි, එය එසේ නොදැක්ක යුතුය. ඔබගේ යම් තීර්ථක ජීවිකාවක් ඇද්ද, එය ම ඔබගේ තීර්ථක ජීවිකාව වේවා!
නිග්‍රෝධයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ආචාර්යයා සහිත වූ අපගේ අකුසල් සංඛ්‍යාවට අයත්, යම් අකුසල් දහම් ඇද්ද, ඒවා තුළ අප ව පිහිටවනු කැමැති ව ශ්‍රමණ ගෞතමයෝ මෙසේ පවසති’ යි. නිග්‍රෝධයෙනි, එය එසේ නොදැක්ක යුතුය. ආචාර්යයා සහිත වූ ඔබගේ අකුසල් සංඛ්‍යාවට අයත්, යම් අකුසල ධර්මයෝ ඇද්ද, එසේ ම වෙත්වා!
නිග්‍රෝධයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘ආචාර්යයා සහිත වූ අපගේ කුසල් සංඛ්‍යාවට අයත්, යම් කුසල් දහම් ඇද්ද, ඒවායින් අප ව බැහැර කරනු කැමැති ව ශ්‍රමණ ගෞතමයෝ මෙසේ පවසති’ යි. නිග්‍රෝධයෙනි, එය එසේ නොදැක්ක යුතුය. ආචාර්යයා සහිත වූ ඔබගේ කුසල් සංඛ්‍යාවට අයත්, යම් කුසල ධර්මයෝ ඇද්ද, එසේ ම වෙත්වා!
මෙසේ නිග්‍රෝධයෙනි, අතවැසියෙකු කරගනු කැමැති ව මම මෙසේ නොකියමි. තීර්ථක මතවාදයෙන් ඉවත් කරනු කැමැති ව මෙසේ නොකියමි. තීර්ථක ජීවිකාවෙන් ඉවත් කරනු කැමැති ව මෙසේ නොකියමි. ආචාර්යයා සහිත ඔබගේ අකුසල් සංඛ්‍යාවට අයත් යම් අකුසල් දහම් ඇද්ද, ඒවා තුළ පිහිටවනු කැමති ව මෙසේ නොකියමි. ආචාර්යයා සහිත ඔබගේ කුසල් සංඛ්‍යාවට අයත් යම් කුසල් දහම් ඇද්ද, ඒවායින් තොර කරනු කැමති ව මෙසේ නොකියමි.
නිග්‍රෝධයෙනි, පුනර්භවය සකසා දෙන, පීඩා සහිත දුක් විපාක සහිත මතු මතු ත් ඉපදීම් – දිරීම් – මැරීම් ලබාදෙන, කිළුටු සහිත, ප්‍රහීණ නොවූ අකුසල ධර්මයෝ තිබෙත් ම ය. මම ඒ අකුසල්වල ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරමි. ඒ අයුරින් පිළිපදින්නා වූ ඔබගේ කිලිටි සහිත අකුසල ධර්මයෝ නැති වී යන්නාහ. සිත පිරිසිදු කරන ධර්මයෝ වඩා ත් දියුණු වන්නාහ. ප්‍රඥාවෙන් සම්පූර්ණ වීමක්, විපුලත්වයත් මෙලොවෙහි දී ම තමන්ගේ විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වසන්නාහ.”
මෙසේ වදාළ කල්හී ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද ව, මුහුණ හකුළාගෙන, කරබාගෙන, මුහුණ යටිකුරු කරගෙන කල්පනා කරමින්, වැටහීම් රහිත ව හුන්නාහු ය. මාරයා විසින් යටපත් කරගන්නා ලද සිත් ඇත්තෝ බඳු වූවාහු ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.
‘මේ හිස් පුරුෂයෝ සියල්ලෝ ම පවිටු මාරයා විසින් ස්පර්ශ කරන ලද්දාහු ය. යම් කරුණෙක්හිලා එක් අයෙකුට වත් මේ අදහස ඇති නොවන්නේ ය. එසේ නම් අපි ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි දැනගැනීම පිණිසවත් බඹසර හැසිරෙමු. සත් දවසක් යනු මහාලොකු දවසක් ද?’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පරිබ්‍රාජකාරාමයෙහි සිංහනාද පවත්වා අහසට පැන නැඟී ගිජුකුළු පව්වෙහි පහළ වූ සේක. සන්ධාන ගෘහපති තෙමේ ද එකල්හී රජගහ නුවරට පිවිසියේ ය.
සාදු! සාදු!! සාදු!!!
උදුම්බරික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M