ඛුද්දක නිකාය

ඛුද්දකපාඨ පාළි

8. නිධිකණ්ඩසුත්තං

8. පුණ්‍ය නිධානය ගැන වදාළ දෙසුම

1. නිධිං නිධේති පුරිසෝ ගම්භීරේ ඕදකන්තිකේ
අත්ථේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය මේ භවිස්සති

01. ‘මට අවශ්‍යතාවයක් ඇති වුනොත් මගේ ප්‍රයෝජනයට මේක හේතුවෙනවා’ කියල හිතලා කෙනෙක් වතුර එනකල් ගැඹුරට හාරලා, නිධාන තැන්පත් කරනවා.

2. රාජතෝ වා දුරුත්තස්ස චෝරතෝ පීළිතස්ස වා
ඉණස්ස වා පමොක්ඛාය දුබ්භික්ඛේ ආපදාසු වා
ඒතදත්ථාය ලෝකස්මිං නිධි නාම නිධීයති

02. රජවරුන්ට යම් යම් වස්තුව ගෙවා රැකවරණය ලැබීමටත්, හොරුන්ගෙන් වන පීඩාවලදී ඔවුන්ට වස්තුව දීලා නිදහස් වීමටත්, ණයකාරයන්ගෙන් නිදහස් වීමටත්, දුර්භික්ෂ කාලයකදී ගැනීම පිණිසත්, මේ ලෝකයේ ‘නිධාන’ කියලා දෙයක් තැන්පත් කරනවා.

3. තාව සුනිහිතෝ සන්තෝ ගම්භීරේ ඕදකන්තිකේ
න සබ්බෝ සබ්බදා ඒව තස්ස තං උපකප්පති

03. ඉතින් වතුරට යනකල් ගැඹුරට හාරලා වඩාත් සුරක්ෂිත විදිහට ඒ නිධාන තැන්පත් කළත් ඒ හැම නිධානයක්ම හැමදාම ඔහුට ප්‍රයෝජනයට ගන්නට ලැබෙන්නේ නෑ.

4. නිධි වා ඨානා චවති සඤ්ඤා වාස්ස විමුය්හති
නාගා වා අපනාමෙන්ති යක්ඛා වාපි හරන්ති නං

04. එක්කෝ ඒ නිධානය තිබුන තැනින් වෙනස් වෙනවා. එක්කෝ ඔහුට නිධන් කළ තැන අමතක වෙනවා. එක්කෝ නාගයෝ ඒ නිධානය තිබුණු තැනින් වෙනස් කරනවා. එක්කෝ යක්ෂයෝ ඒ නිධානය අරගෙන යනවා.

5. අප්පියා වාපි දායාදා උද්ධරන්ති අපස්සතෝ
යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බමේතං විනස්සති

05. එක්කෝ ඔහුට නොපෙනෙන්නට ඔහු අකැමති උරුමක්කාරයෙක් නිධානය ගොඩ ගන්නවා. යම් දවසක පින ගෙවිලා ගියොත් එතකොට ඒ ඔක්කොම වැනසිලා යනවා.

6. යස්ස දානේන සීලේන සංයමේන දමේන ච
නිධී සුනිහිතෝ හෝති ඉත්ථියා පුරිසස්ස වා

06. යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, අන්න ඒක තමයි ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නෙ.

7. චේතියම්හි ච සංඝේ වා පුග්ගලේ අතිථීසු වා
මාතරි පිතරි වාපි අථෝ ජෙට්ඨම්හි භාතරි

07. දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව් පියන්ටත්, වැඩිමහළු සහෝදර සහෝදරියන්ටත්,

8. ඒසෝ නිධි සුනිහිතෝ අජෙය්‍යෝ අනුගාමිකෝ
පහාය ගමනීයේසු ඒතං ආදාය ගච්ඡති

08. දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.

9. අසාධාරණමඤ්ඤේසං අචෝරහරණෝ නිධි
කයිරාථ ධීරෝ පුඤ්ඤානි යෝ නිධි අනුගාමිකෝ

09. මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම බෙදා ගන්න බෑ. හොරුන්ට පැහැර ගන්නත් බෑ. තමා පස්සෙන් එන අන්න ඒ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ.

10. ඒස දේවමනුස්සානං සබ්බකාමදදෝ නිධි
යං යදේවාභිපත්ථෙන්ති සබ්බමේතේන ලබ්භති

10. දෙවි මිනිසුන්ට තමන් කැමැති හැම සැප සම්පතක්ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ලම මේ පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි.

11. සුවණ්ණතා සුස්සරතා සුසණ්ඨාන සුරූපතා
ආධිපච්චපරිවාරං සබ්බමේතේන ලබ්භති

11. ලස්සන රූපයක් ලැබෙන්නත්, මිහිරි ස්වරයක් ලැබෙන්නත්, මනා අඟ පසඟෙන් යුතු සුන්දර සිරුරක් ලැබෙන්නත්, ඉහළ සමාජ තත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නත් මේ පුණ්‍ය නිධානය හේතුවෙනවා.

12. පදේසරජ්ජං ඉස්සරියං චක්කවත්තිසුඛං පියං
දේවරජ්ජම්පි දිබ්බේසු සබ්බමේතේන ලබ්භති

12. ප්‍රාදේශීය රජකම් ලැබෙන්නත්, අධිපති බව ලැබෙන්නත්, ප්‍රිය මනාප වූ සක්විති සැප ලැබෙන්නත්, දෙව්ලොව දිව්‍ය රාජ සම්පත් ලැබෙන්නත්, මේ හැමදේකටම මේ පුණ්‍ය නිධානය හේතුවෙනවා.

13. මානුස්සිකා ච සම්පත්ති දේවලෝකේ ච යා රති
යා ච නිබ්බාණසම්පත්ති සබ්බමේතේන ලබ්භති

13. මිනිස් ලොව සැපත්, දිව්‍ය ලෝක සැපත්, තව සැප සම්පත් ඇත්නම් ඒවාත්, ඒ අමා නිවන් සුවයත් යන මේ හැමදෙයක්ම (දාන, ශීල, භාවනා තුළින් ලබාගන්නා) පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි.

14. මිත්තසම්පදමාගම්ම යෝනිසෝ ච පයුඤ්ජතෝ
විජ්ජා විමුත්ති වසීභාවෝ සබ්බමේතේන ලබ්භති

14. කල්‍යාණමිත්‍ර සම්පත්තියට පැමිණ, යෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා, විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරායන්නත්, ඒ ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත්, මේ හැමදේකටම පුණ්‍ය නිධානය හේතුවෙනවා.

15. පටිසම්භිදා විමොක්ඛා ච යා ච සාවකපාරමී
පච්චේකබෝධි බුද්ධභූමි සබ්බමේතේන ලබ්භති

15. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන පටිසම්භිදාවන්, අෂ්ට විමෝක්ෂයන්, ශ්‍රාවක බෝධියත්, පසේ බුදු බවත්, සම්මා සම්බුදු බවත් යන මේ හැම දේකටම පුණ්‍ය නිධානය හේතුවෙනවා.

16. ඒවං මහත්ථිකා ඒසා යදිදං පුඤ්ඤසම්පදා
තස්මා ධීරා පසංසන්ති පණ්ඩිතා කතපුඤ්ඤතං

16. ඔය විදිහට යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද, එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කළ පින් ඇති බව ගැන ප්‍රශංසා කරන්නේ.

නිධිකණ්ඩසුත්තං.

මේ වනාහී නිධිකණ්ඩ සූත්‍රයයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M