ඛුද්දක නිකාය

ධම්මපදය

7. අරහන්ත වග්ගෝ

7. රහතන් වහන්සේ ගැන වදාළ කොටස

90.1. ගතද්ධිනෝ විසෝකස්ස
විප්පමුත්තස්ස සබ්බධි
සබ්බගන්ථප්පහීණස්ස
පරිළාහෝ න විජ්ජති

රහතන් වහන්සේ සසර ගමන අවසන් කරලයි ඉන්නෙ. ශෝක රහිතවයි ඉන්නෙ. හැම දේකින්ම මුළුමනින්ම නිදහස් වෙලයි ඉන්නෙ. හැම කෙලෙස් ගැටයක්ම නැති කරලයි ඉන්නෙ. ඒ නිසා උන්වහන්සේ තුළ කිසි කෙලෙස් දාහයක් නෑ.

(ජීවක අම්බවනයේදී ජීවක අරභයා වදාළ ගාථාවකි.)

91.2. උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ
න නිකේතේ රමන්ති තේ
හංසා’ව පල්ලලං හිත්වා
ඕකමෝකං ජහන්ති තේ

ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවාගෙනමයි ඉන්නෙ. සමථ – විදර්ශනාවේ ම යි නැවත නැවත යෙදෙන්නෙ. සිව්පසයට හිත ඇලෙන්නෙ නෑ. ඒ නිසා උන්වහන්සේලා වැඩසිටින හැම තැනක්ම අත්හැරලා බැඳීම් රහිත සිතින් පිටත්වෙලා යන්නෙ විල අත්හැරලා පියඹා යන හංසයන් වගේ.

(වේළුවනයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

92.3. යේසං සන්නිචයෝ නත්ථි
යේ පරිඤ්ඤාතභෝජනා
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච
විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේ’ව සකුන්තානං
ගති තේසං දුරන්නයා

ඒ රහතන් වහන්සේලා තුළ සිව්පසය රැස් කිරීමක් නෑ. වළඳන දානයේ යථාර්ථය උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට ශූන්‍යතා සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත් නිවනත් අරමුණු වෙලයි තියෙන්නෙ. අහසේ පියඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මග කාටවත් දකින්නට බෑ. ඒ වගේම ඒ රහතුන් වැඩිය මගත් කාටවත් දකින්නට බෑ.

(ජේතවනාරාමයේදී බේලට්ඨිසීස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

93.4. යස්සාසවා පරික්ඛීණා
ආහාරේ ච අනිස්සිතෝ
සුඤ්ඤතෝ අනිමිත්තෝ ච
විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේ’ව සකුන්තානං
පදං තස්ස දුරන්නයං

ඒ රහතන් වහන්සේලා සියලු කෙලෙස් නැතිකරලයි ඉන්නෙ. වළඳන දානෙ ගැන සිතේ ඇල්මක් නෑ. සුඤ්ඤත සමාපත්තියත්, අනිමිත්ත සමාපත්තියත්, නිවනත් අරමුණු වෙලයි ඉන්නෙ. අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ පා සටහන් කාටවත් දැකගන්නට බෑ. ඒ වගේම නිවනට වඩින රහතුන්ගේ පිය සටහන් කාටවත් දැකගන්ට බෑ.

(වේළුවනයේදී අනුරුද්ධ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

94.5. යස්සින්ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස
දේවා’පි තස්ස පිහයන්ති තාදිනෝ

දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳට හීලෑ කරපු අශ්වයන් වගේ, යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳට හීලෑ කරගත්තා නම්, මාන්නය නැතිකරපු, කෙලෙස් නැතිකරපු, අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.

(පූර්වාරාමයේදී මහා කච්චාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

95.6. පඨවිසමෝ නෝ විරුජ්ඣති
ඉන්දඛීලූපමෝ තාදි සුබ්බතෝ
රහදෝ’ව අපේතකද්දමෝ
සංසාරා න භවන්ති තාදිනෝ

රහතන් වහන්සේ කා එක්කවත් විරුද්ධ වෙන්නෙ නෑ. මහ පොළොව වගෙයි. අටලෝ දහමින් කම්පා වෙන්නෙ නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ. යහපත් සීලයකින් යුක්තයි. මඩ නැති විලක් වගේ. එබඳු රහතන් වහන්සේට සංසාර ගමනක් නෑ.

(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

96.7. සන්තං තස්ස මනං හෝති
සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස
උපසන්තස්ස තාදිනෝ

රහතන් වහන්සේට තියෙන්නෙ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපශාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි.

(ජේතවනාරාමයේදී තිස්ස තෙරුන්ගේ සාමණේර ශිෂ්‍යයා අරභයා වදාළ ගාථාවකි.)

97.8. අස්සද්ධෝ අකතඤ්ඤූ ච
සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ
ස වේ උත්තමපෝරිසෝ

යම් කෙනෙක් ඇදහීම ඉක්මවා ගිහින්, අකත නම් වූ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයට පැමිණුනා නම්, පටිච්ච සමුප්පාදයේ පුරුක් කඩලා දැම්මා නම්, උපදින්ට තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම්, කෙලෙස් වමනෙ දැම්මා නම්, ඇත්ත වශයෙන්ම ඔහු උතුම් මනුෂ්‍යයෙක්.

(ජේතවනාරාමයේදී සැරියුත් තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

98.9. ගාමේ වා යදි වා රඤ්ඤේ
නින්නේ වා යදි වා ථලේ
යත්ථාරහන්තෝ විහරන්ති
තං භූමිං රාමණෙය්‍යකං

ගමක වේවා, වනාන්තරයක වේවා, නිම්නයක වේවා, කඳු ගැටයක වේවා, රහතන් වහන්සේලා යම් තැනක වැඩඉන්නවා නම්, ඒ බිම ඇත්තෙන්ම සුන්දරයි.

(ජේතවනාරාමයේදී ඛදිරවනීය රේවත තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

99.10. රමණීයානි අරඤ්ඤානි
යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති
න තේ කාමගවේසිනෝ

මහා වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම් සැප හොයන ජනයා ඒ වනයට ඇලෙන්නෙ නෑ. වීතරාගී වූ රහතන් වහන්සේලා නම් මහ වනයට හරි කැමතියි. උන්වහන්සේලා කම් සැප හොයන්නෙ නැති නිසයි එහෙම වුණේ.

(ජේතවනාරාමයේදී එක්තරා ස්ත්‍රියක් අරභයා වදාළ ගාථාවකි.)

සාදු! සාදු!! සාදු!!!

රහතන් වහන්සේ ගැන වදාළ කොටස නිමා විය.

(අරහන්ත වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M