16.1.1.
සැවත් නුවරදී ……..
“පින්වත් මහණෙනි, එකම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් අවබෝධයෙන්ම කළකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වෙනවා. ඒ එකම එක දේ කුමක්ද? බුද්ධානුස්සතියයි. (බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණින් සිහි කිරීමයි.) පින්වත් මහණෙනි, මෙය වනාහී භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, ඒකාන්තයෙන් අවබෝධයෙන්ම කළකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වන එකම දෙය වේ.”
1.16.1.2-10.
“පින්වත් මහණෙනි, එකම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් අවබෝධයෙන්ම කළකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වෙනවා. ඒ එකම එක දේ කුමක්ද? ධම්මානුස්සතියයි. (බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නුවණින් සිහි කිරීමයි.) ….(පෙ)…. සංඝානුස්සතියයි ….(පෙ)…. සීලානුස්සතියයි ….(පෙ)…. චාගානුස්සතියයි ….(පෙ)…. දේවතානුස්සතියයි (සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන සේඛ බල පහකින් සමන්විතව මනුලොව දී ධර්මයේ හැසිරී චාතුම්මහාරාජිකාදී දෙව් ලොව ඉපිද සිටින පින්වත් දෙවිවරුන් ඇති බවත්, ඒ සේඛ බල තමා තුළ ඇති බවත්, නුවණින් සිහි කිරීම දේවතානුස්සතියයි.) ….(පෙ)…. ආනාපානසතියයි ….(පෙ)…. මරණසතියයි ….(පෙ)…. කායගතාසතියයි ….(පෙ)…. උපසමානුස්සතියයි (තමා තුළ සංසිඳී ගිය කෙලෙස් ගැන නුවණින් සිහි කිරීමයි.) පින්වත් මහණෙනි, මෙය වනාහී භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත්, ඒකාන්තයෙන් අවබෝධයෙන්ම කළකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වන එකම දෙය වේ.”
පළමුවෙනි වර්ගය යි.
1.16.2.1.
“පින්වත් මහණෙනි, යම් දෙයකින් නූපන් පාපී අකුසල් උපදිනවා නම්, උපන් පාපී අකුසල් පවා වැඩි වීමටත්, බොහෝ සේ වැඩි වීමටත් හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිකයාට නූපන් පාපී අකුසල් උපදිනවා. උපන් පාපී අකුසල් පවා වැඩි වීමටත්, බොහෝ සෙයින් වැඩි වීමටත් හේතු වෙනවා.”
1.16.2.2.
“පින්වත් මහණෙනි, යම් දෙයකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් කුසල් පවා වැඩි වීමටත්, බොහෝ සේ වැඩි වීමටත් හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ සම්‍යක් දෘෂ්ටිය තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට නූපන් කුසල් උපදිනවා. උපන් කුසල් පවා වැඩි වීමටත්, බොහෝ සෙයින් වැඩි වීමටත් හේතු වෙනවා.”
1.16.2.3.
“පින්වත් මහණෙනි, යම් දෙයකින් නූපන් කුසල් දහම් නූපදිනවා නම්, උපන් කුසල් දහම් පවා පිරිහීමටත් හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, එයට මේ මිත්‍යා දෘෂ්ටිය තරම් හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිකයාට නූපන් කුසල් දහම් උපදින්නේ නෑ. උපන් කුසල් පවා පිරිහී යනවා.”
1.16.2.4.
“පින්වත් මහණෙනි, යම් දෙයකින් නූපන් පාපී අකුසල් නූපදිනවා නම්, උපන් පාපී අකුසල් පවා පිරිහීමට හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, එයට මේ සම්‍යක් දෘෂ්ටිය තරම් හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට නූපන් පාපී අකුසල් දහම් උපදින්නේ නෑ. උපන් පාපී අකුසල් පවා පිරිහී යනවා.”
1.16.2.5.
“පින්වත් මහණෙනි, යම් දෙයකින් මේ නූපන් මිත්‍යා දෘෂ්ටිය උපදිනවා නම්, උපන් මිත්‍යා දෘෂ්ටිය පවා වර්ධනය වෙනවා නම්, පින්වත් මහණෙනි, එයට මේ නුවණින් තොරව කල්පනා කිරීම (අයෝනිසෝ මනසිකාරය) තරම් හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ අයෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන පුද්ගලයාට නූපන් මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. උපන් මිත්‍යා දෘෂ්ටිය පවා වැඩි වෙනවා.”
1.16.2.6.
“පින්වත් මහණෙනි, යම් දෙයකින් මේ නූපන් සම්‍යක් දෘෂ්ටිය උපදිනවා නම්, උපන් සම්‍යක් දෘෂ්ටිය පවා වර්ධනය වෙනවා නම්, පින්වත් මහණෙනි, එයට මේ ධර්මයට අනුව නුවණින් කල්පනා කිරීම (යෝනිසෝ මනසිකාරය) තරම් හේතු වන වෙන එක ම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරයෙහි යෙදෙන කෙනාට නූපන් සම්‍යක් දෘෂ්ටිය උපදිනවා. උපන් සම්‍යක් දෘෂ්ටිය පවා වැඩි වෙනවා.”
1.16.2.7.
“පින්වත් මහණෙනි, යම් දෙයක් නිසා මේ සත්වයන් කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදිනවා නම්, පින්වත් මහණෙනි, එයට මේ මිත්‍යා දෘෂ්ටිය තරම් හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු සත්වයන් කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදිනවා.”
1.16.2.8.
“පින්වත් මහණෙනි, යම් දෙයක් නිසා මේ සත්වයන් කය බිඳී මරණයට පත් වූ පසු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා නම්, පින්වත් මහණෙනි, එයට මේ සම්‍යක් දෘෂ්ටිය තරම් හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සම්‍යක් දෘෂ්ටියෙන් යුතු සත්වයන් කය බිඳී මරණයට පත් වූ පසු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා.”
1.16.2.9-15.
“පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටික පුරුෂ පුද්ගලයා ගේ ඒ මිත්‍යා දෘෂ්ටියට අනුරූපව එයම සමාදන් ව, කයින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. ඒ මිත්‍යා දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව මනසින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. යම් චේතනාවක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් පැතුමක් ඇති කර ගනියි නම් ….(පෙ)…. සිතින් යම් අධිෂ්ඨානයක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් සංස්කාරත් වේ නම්, ඒ සෑම දෙයක්ම අනිෂ්ට බව පිණිසමයි, අකාන්ත බව පිණිසමයි, අමනාප බව පිණිසමයි, අහිත බව පිණිසමයි, දුක් බව පිණිසමයි පවතින්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, දෘෂ්ටිය පවිටු දෙයක් වීම මයි. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. කොහොඹ බීජයක් හෝ තිත්ත වැටකොළු බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටෙව්වොත් පොළොවෙහි යම් රසයක් ඇත්නම්, එයත් උරා ගන්නවා. ජලයෙහි යම් රසයක් ඇත්නම් එයත් උරා ගන්නවා. ඒ සියල්ලම පවතින්නේ තිත්ත බව පිණිසමයි. කටුක බව පිණිසමයි. අමිහිරි බව පිණිසමයි. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, එය පවිටු බීජයක් නිසාමයි. එමෙන්ම පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටික පුරුෂ පුද්ගලයාගේ ඒ මිත්‍යා දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව, කයින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. ඒ මිත්‍යා දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව මනසින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. යම් චේතනාවක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් පැතුමක් ඇති කර ගනියි නම් ….(පෙ)…. සිතින් යම් අධිෂ්ඨානයක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් සංස්කාරත් වේ නම්, ඒ සෑම දෙයක්ම අනිෂ්ට බව පිණිසමයි, අකාන්ත බව පිණිසමයි, අමනාප බව පිණිසමයි, අහිත බව පිණිසමයි, දුක් බව පිණිසමයි පවතින්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, එය පවිටු දෘෂ්ටියක් නිසාය.”
1.16.2.16-22
“පින්වත් මහණෙනි, සම්‍යක් දෘෂ්ටික පුරුෂ පුද්ගලයාගේ ඒ සම්‍යක් දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව, කයින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. ඒ සම්‍යක් දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව, මනසින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. යම් චේතනාවක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් පැතුමක් ඇති කර ගනියි නම් ….(පෙ)…. සිතින් යම් අධිෂ්ඨානයක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් සංස්කාරත් වේ නම්, ඒ සෑම දෙයක්ම ඉෂ්ට බව පිණිසමයි, කාන්ත බව පිණිසමයි, මනාප බව පිණිසමයි, හිත පිණිසමයි, සැප පිණිසමයි පවතින්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, දෘෂ්ටිය සොඳුරු දෙයක් වීම මයි. පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. උක් බීජයක් හෝ හැල් බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත පොළොවක සිටෙව්වොත් පොළොවෙහි යම් රසයක් ඇත්නම්, එයත් උරා ගන්නවා. ජලයෙහි යම් රසයක් ඇත්නම් එයත් උරා ගන්නවා. ඒ සියල්ලම පවතින්නේ මධුර බව පිණිසමයි. මිහිරි බව පිණිසමයි. අතිශයින්ම රසවත් බව පිණිසමයි. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, එය සොඳුරු බීජයක් නිසාමයි. එමෙන්ම පින්වත් මහණෙනි, සම්‍යක් දෘෂ්ටික පුරුෂ පුද්ගලයාගේ ඒ සම්‍යක් දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව, කයින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. වචනයෙන් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. ඒ සම්‍යක් දෘෂ්ටියට අනුරූපව එයම සමාදන්ව මනසින් යම් ක්‍රියාවක් කරයි නම් ….(පෙ)…. යම් චේතනාවක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් පැතුමක් ඇති කර ගනියි නම් ….(පෙ)…. සිතින් යම් අධිෂ්ඨානයක් ඇති කර ගනියි නම් ….(පෙ)…. යම් සංස්කාරත් වේ නම්, ඒ සෑම දෙයක්ම ඉෂ්ට බව පිණිසමයි, කාන්ත බව පිණිස මයි, මනාප බව පිණිසමයි, හිත පිණිසමයි, සැප පිණිසමයි පවතින්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, එය සොඳුරු දෘෂ්ටියක් නිසාය.”
දෙවෙනි වර්ගයයි.
1.16.3.1.
“පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි එක පුද්ගලයෙක් උපදිනවා. ඒ උපදින්නේ බොහෝ දෙනාගේ අයහපත පිණිසයි. බොහෝ දෙනාගේ දුක පිණිසයි. බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය, අහිත, දුක පිණිසමයි. ඒ එකම පුද්ගලයා කවුද? ඒ තමයි වැරදි ආකල්පවලින් යුතු මිත්‍යා දෘෂ්ටිකයා. ඔහු බොහෝ ජනයා සද්ධර්මයෙන් අයින් කරලා, අධර්මයේ පිහිටුවනවා. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ ජනයාගේ අහිත පිණිස, බොහෝ දෙනාගේ දුක පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය පිණිස, අහිත පිණිස, දුක පිණිස මේ ලෝකයේ උපදින එකම පුද්ගලයා.”
1.16.3.2.
“පින්වත් මහණෙනි, මේ බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ දෙනාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැප පිණිස මේ ලෝකයේ උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. කවුද ඒ එක ම එක පුද්ගලයා? ඒ තමයි නිවැරදි ආකල්ප ඇති සම්මා දිට්ඨියෙන් යුතු කෙනා. ඔහු බොහෝ දෙනාව අධර්මයෙන් අයින් කරලා, ධර්මයේ පිහිටුවනවා. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ ජනයාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ දෙනාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයේ උපදින එකම පුද්ගලයා.”
1.16.3.3.
“පින්වත් මහණෙනි, මේ මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල වැරදි සහගත එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සියලු වැරදි මේ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙනයි තියෙන්නේ.”
1.16.3.4.
“පින්වත් මහණෙනි, මේ මක්ඛලී ගෝසාල කියන හිස් පුරුෂයා තරම් බොහෝ දෙනාගේ අහිත පිණිස, බොහෝ දෙනාගේ දුක පිණිස, බොහෝ දෙනාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය පිණිස, අහිත පිණිස, දුක පිණිසම පැමිණි වෙනත් එකම පුද්ගලයෙක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. ගඟක මෝය කටක කෙමනක් අටවලා තියෙනවා. එය බොහෝ මත්ස්‍යයින්ගේ අහිත පිණිසත්, දුක පිණිසත්, අනර්ථය පිණිසත්, විනාශය පිණිසත් හේතු වෙනවා. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, ඔය මක්ඛලී කියන හිස් පුරුෂයා බොහෝ සත්වයන්ගේ අහිත පිණිසත්, දුක පිණිසත්, අනර්ථය පිණිසත්, විනාශය පිණිසත් මේ ලෝකෙ ඉපදිච්ච මිනිස් කෙමනක් කියලයි හිතෙන්නේ.”
1.16.3.5.
“පින්වත් මහණෙනි, යමෙක් වැරදි විදිහට කරුණු පවසන ලද ධර්ම විනයක තවත් අයව සමාදන් කරවයි නම්, ඒ අය ලවා වෙනත් අයවත් එහි සමාදන් කරවයි නම්, එසේ සමාදන් කරවපු කෙනාත් ඒ වැරදි මාර්ගය ම පිළිපදිනවා නම්, ඒ සියලු දෙනාම බොහෝ පව් රැස් කරගන්නවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ වැරදි විදිහට කරුණු දක්වන ලද ධර්මයක් නිසයි.”
1.16.3.6.
“පින්වත් මහණෙනි, යමෙක් ඉතා යහපත් ලෙස කරුණු පවසන ලද ධර්ම විනයක තවත් අයව සමාදන් කරවයි නම්, ඒ අය ලවා වෙනත් අයවත් එහි සමාදන් කරවයි නම්, එසේ සමාදන් කරවපු කෙනාත් ඒ යහපත් මාර්ගය පිළිපදිනවා නම්, ඒ සියලු දෙනාම බොහෝ පින් රැස් කරගන්නවා. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ඉතා යහපත් ලෙස කරුණු දක්වන ලද ධර්මයක් නිසයි.”
1.16.3.7.
“පින්වත් මහණෙනි, වැරදි විදිහට දෙසන ලද ධර්ම විනය තුළ පුද පූජා කළ යුතු දේවල්වල ප්‍රමාණය දැන ගත යුත්තේ දායකයා විසිනුයි. පිළිගන්න කෙනා විසින් නොවෙයි. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වැරදියට දෙසන ලද ධර්මයක් ඇති නිසයි.”
1.16.3.8.
“පින්වත් මහණෙනි, ඉතා යහපත් ලෙස දෙසන ලද ධර්ම විනය තුළ නම් පිළිගන්න කෙනා විසින් තමයි ප්‍රමාණය දැන ගත යුත්තේ. දායකයා විසින් නොවෙයි. ඒකට හේතුව කුමක් ද? පින්වත් මහණෙනි, ඉතා යහපත් ලෙස දෙසන ලද ධර්මයක් ඇති නිසයි.”
1.16.3.9.
“පින්වත් මහණෙනි, වැරදි විදිහට දෙසන ලද ධර්ම විනය තුළ යම් කෙනෙක් පටන් ගත් වීරියෙන් යුක්ත නම්, ඔහු වාසය කරන්නේ දුකිනුයි. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වැරදි විදිහට දෙසන ලද ධර්මයක් ඇති නිසයි.”
1.16.3.10.
“පින්වත් මහණෙනි, ඉතා යහපත් ලෙස දෙසන ලද ධර්ම විනය තුළ යම් කෙනෙක් අලසකමින් වාසය කරනවා නම්, ඔහු දුක සේ තමයි වාසය කරන්නේ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඉතා යහපත් ලෙස දෙසන ලද ධර්මයක් තිබීම නිසයි.”
1.16.3.11.
“පින්වත් මහණෙනි, වැරදි විදිහට දෙසන ලද ධර්ම විනය තුළ යම් කෙනෙක් කුසීතව වාසය කරනවා නම්, ඔහු සැපයෙන් යුක්තවයි වාසය කරන්නේ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, වැරදි විදිහට දෙසන ලද ධර්මයක් ඇති නිසයි.”
1.16.3.12.
“පින්වත් මහණෙනි, ඉතා යහපත් ලෙස දෙසන ලද ධර්ම විනය තුළ යම් කෙනෙක් පටන් ගත් වීරියෙන් යුක්තව වාසය කරනවා නම්, ඔහු සැප සේ තමයි වාසය කරන්නේ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඉතා යහපත් ලෙස දෙසන ලද ධර්මයක් තිබීම නිසයි.”
1.16.3.13.
“පින්වත් මහණෙනි, යම් අයුරකින් ඉතාමත් ස්වල්ප වූ හෝ අසුචි දුගඳින් යුක්ත වෙයිද, පින්වත් මහණෙනි, අන්න ඒ වගේමයි, ඉතා ස්වල්ප කාලයක් වූ භවයක් වුනත් මා වර්ණනා කරන්නේ නෑ. අඩු ගණනේ අසුරු සැණක් ගහන මොහොතක් තරම්වත් (මා වර්ණනා කරන්නේ නෑ.)”
1.16.3.14.
“පින්වත් මහණෙනි, යම් අයුරකින් ඉතාමත් ස්වල්ප වූ හෝ මුත්‍රා දුගඳින් යුක්ත වෙයිද, ….(පෙ)…. ඉතාමත් ස්වල්ප වූ හෝ කෙළ දුගඳින් යුක්ත වෙයිද, ….(පෙ)…. ඉතාමත් ස්වල්ප වූ හෝ සැරව දුගඳින් යුක්ත වෙයිද, ….(පෙ)…. ඉතාමත් ස්වල්ප වූ හෝ ලේ දුගඳින් යුක්ත වෙයිද, පින්වත් මහණෙනි, අන්න ඒ වගේමයි, ඉතා ස්වල්ප කාලයක් වූ භවයක් වුනත් මා වර්ණනා කරන්නේ නෑ. අඩු ගණනේ අසුරු සැණක් ගහන මොහොතක් තරම්වත් (මා වර්ණනා කරන්නේ නෑ.)”
තුන්වෙනි වර්ගයයි.
ජම්බුදීප පෙය්‍යාලය
1.16.4.1.
“පින්වත් මහණෙනි, මේ දඹදිව රමණීය ආරාම, රමණීය වනාන්තර, රමණීය භූමි, රමණීය පැන් පොකුණු තිබෙන්නේ ස්වල්පයයි. එනමුත් පින්වත් මහණෙනි, මේ බෑවුම්, පල්ලම්, ගංගා දුර්ග, කාණු, කටු තියෙන තැන් විසම කඳු ගැට ආදියම තමයි බහුලව තියෙන්නෙ. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි, මේ ගොඩබිම උපදින සත්වයන් ඉන්නේ ස්වල්පයයි. නමුත් යම් සත්වයෝ ජලයේ උපදිනවා නම්, ඒ සත්වයන් තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.2.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මිනිසුන් අතර උපදිනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. එහෙත් යම් කෙනෙක් මේ මනුෂ්‍ය ජීවිතයෙන් බැහැර වෙනත් තැන්වල උපදිනවා නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.3.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ මධ්‍යම ජනපදයෙහි (බුදුවරු පහළ වෙන, සද්ධර්මය පැතිරී ඇති ප්‍රදේශයෙහි) උපදිනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. එහෙත් යම් කෙනෙක් අඥාන, මිලේච්ඡ උදවිය ඉන්න ප්‍රත්‍යන්ත (සද්ධර්මය අසන්නට නොලැබෙන) ජනපදවල උපදිනවා නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.4.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් ප්‍රඥාවන්ත නම්, මෝඩ නැත්නම්, බුද්ධිමත් ව කතා කරනවා නම්, සුභාෂිත වූ බුද්ධ වචනයත් දුර්භාෂිත වූ මිසදිටු වචනත් වෙන්ව හඳුනා ගැනීමට තරම් සමත් නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් ප්‍රඥාව නැති, මෝඩ, කට වාචාල, සුභාෂිත වූ බුද්ධ වචනයත්, දුර්භාෂිත වූ මිසදිටු වචනත් වෙන්ව හඳුනා ගැනීමට තරම් අසමත් අය ඉන්නවා නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.5.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙකුට ආර්ය වූ ප්‍රඥා ඇස තියෙනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් අවිද්‍යාවෙන් මුළා වෙච්ච අය ඉන්නවා නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.6.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙකුට තථාගතයන් වහන්සේව දකින්නට ලැබෙනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් යම් කෙනෙකුට තථාගතයන් වහන්සේව දකින්න ලැබෙන්නේ නැත්නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.7.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙකුට තථාගතයන් වහන්සේ වදාළ ධර්මය විනය අහන්නට ලැබෙනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් යම් කෙනෙකුට තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අහන්න ලැබෙන්නේ නැත්නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.8.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් ධර්මය අහලා, මතකයේ රඳවා ගන්නවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් යම් කෙනෙක් ධර්මය අහලා, මතකයේ රඳවා ගන්නේ නැත්නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.9.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මතකයේ රඳවා ගත් ඒ ධර්මයේ අර්ථ සිතා බලනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් යම් කෙනෙක් මතකයේ රඳවාගත් ධර්මයේ අර්ථ සිතා බලන්නේ නැත්නම්, අන්න ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.10
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් අර්ථ දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මානුකූල වූ ප්‍රතිපත්තියේ යෙදෙනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනාට යම් කෙනෙක් අර්ථ දැන ගෙන, ධර්මය දැනගෙන, ධර්මානුකූල වූ ප්‍රතිපදාවේ යෙදෙන්නේ නැත්නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.11.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් සංවේගයට පත් විය යුතු තැන්වලදී සංවේගයට පත් වෙනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒත් යම් කෙනෙක් සංවේගයට පත් විය යුතු තැන්වලදී සංවේගයට පත්වෙන්නේ නැත්නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.12.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් සංවේගයට පත් වෙලා නුවණින් වීරිය කරනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒත් සංවේගයට පත් වෙලා නුවණින් වීරිය කරන්නේ නැති අය ඉන්නවා නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.13.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් නිවන අරමුණු කරලා සමාධිය ලබනවා නම්, සිතේ එකඟ බව ලබනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒත් යම් කෙනෙක් නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ නැත්නම්, සිතේ එකඟ බව ලබන්නේ නැත්නම්, අන්න ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.14.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙකුට අග්‍ර වූ ආහාරත්, අග්‍ර වූ රසත් ලැබෙනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒත් පින්වත් මහණෙනි, යම් කෙනෙකුට අග්‍ර වූ ආහාරත්, අග්‍ර වූ රසයත් ලැබෙන්නේ නැත්නම්, බොහෝම නීරස කෑම බීම පවා අමාරුවෙන් සොයා ගන්නවා නම්, අන්න ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ.”
1.16.4.15.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් අර්ථ රසය, ධර්ම රසය, අමා නිවන් රසය ලබනවා නම්, ඒ සත්වයන් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත් පින්වත් මහණෙනි, යම් කෙනෙක් අර්ථ රසය, ධර්ම රසය, අමා නිවන් රසය ලබන්නේ නැත්නම්, ඒ සත්වයන්ම තමයි බහුලව ඉන්නෙ. ඒ නිසා ම පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මෙන්න ඕන. ‘අපි ධර්ම රසයත්, අර්ථ රසයත්, අමා නිවන් රසත් ලබන අය වෙනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහටමයි ඔබ හික්මෙන්නට ඕන.”
1.16.4.16-18.
“පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. මේ දඹදිව රමණීය ආරාම, රමණීය වනාන්තර, රමණීය භූමි භාග, රමණීය පොකුණු ආදිය අල්පයි. ඒ වුනත් වැඩිපුරම තියෙන්නේ වළ ගොඩැළි තැන්, ගංගා දුර්ග, කානු කටු තියෙන තැන්, විසම පර්වත වගේ තැන්. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ මිනිස් ජීවිතයෙන් චුත වෙලා ගිහිල්ලා ආයෙමත් මිනිසුන් අතරම උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් මිනිස් ජීවිතයෙන් චුත වෙලා නිරයේ උපදිනවා නම්, අන්න ඒ සත්වයින්ම තමයි වැඩිපුරම ඉන්නෙ. ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1. 16. 4. 19-21.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ මිනිස් බවෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් මිනිසත් බවෙන් චුත වෙලා නිරයේ උපදිනවා නම්, අන්න ඒ සත්වයින්ම තමයි වැඩිපුරම ඉන්නෙ. ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.22-24.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ දෙවියන් අතරින් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් දෙවියන් අතරින් චුත වෙලා නිරයේ උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ම තමයි වැඩිපුරම ඉන්නෙ. ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.25-27.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ දෙවියන් අතරින් චුත වෙලා මිනිසුන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් දෙවියන් අතරින් චුත වෙලා නිරයේ උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.28-30.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ නිරයෙන් චුත වෙලා මිනිසුන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් නිරයෙන් චුත වෙලා නිරයේම උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.31-33.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ නිරයෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් නිරයෙන් චුත වෙලා නිරයේම උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.34-36.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ තිරිසන් ජීවිතයෙන් චුත වෙලා මිනිසුන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් තිරිසන් ජීවිතයෙන් චුත වෙලා නිරයේ උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේම උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.37-39
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ තිරිසන් ජීවිතයෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් තිරිසන් ජීවිතයෙන් චුත වෙලා නිරයේ උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේම උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේ උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.40-42.
“….(පෙ)…. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ප්‍රේත විෂයෙන් චුත වෙලා මිනිසුන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් ප්‍රේත විෂයෙන් චුත වෙලා නිරයේ උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේම උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
1.16.4.43-45.
“….(පෙ)…. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ප්‍රේත විෂයෙන් චුත වෙලා දෙවියන් අතර උපදිනවා නම්, අන්න ඒ සත්වයින් ඉන්නෙ ස්වල්පයයි. ඒ වුනත්, යම් කෙනෙක් ප්‍රේත විෂයෙන් චුත වෙලා නිරයේ උපදිනවා නම් ….(පෙ)…. තිරිසන් ජීවිතයේ උපදිනවා නම්, ….(පෙ)…. ප්‍රේත විෂයේම උපදිනවා නම් අන්න ඒ සත්වයන්ම තමයි වැඩිපුරම ඉන්නෙ.”
ජම්බුදීප පෙය්‍යාලය නිමා විය.
හතරවෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M