597. පින්වත් භික්ෂුව, මේ වැහි කාලෙ උජ්ජුහාන කන්දේ මහා වනයේ මොන කරුණකටද? මේ අධික සීතල තිබෙන සැඩ සුළඟට ඔබ කැමතිද? ධ්‍යාන වඩන අය තනියම ඉන්න තමයි ආසා.
598. වැහි කාලෙට සැඩ සුළං, අහසෙ තියෙන වළාකුළු ඈතට අරගෙන යනවා. එතකොට මං ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට මගේ හිතට විවේකයක් දැනෙනවා.
599. අමු සොහොනෙ හැම තිස්සෙම ගැවසෙන්නෙ කළු පාට කපුටො. ඒ කපුටන් දකිද්දී මේ ශරීරය ගැන මගේ හිතට එන්නෙ විරාගයක්මයි.
600. අනිත් අය තමන්ව රකින්නෙ නැති නම්, තමනුත් අනිත් අයව රකින්නෙ නැති නම්, අන්න එබඳු භික්ෂුව කාමයන් ගැන බලාපොරොත්තු නැතිව සනීපෙට නිදාගන්නවා.
601. වතුර පාර නම් හරිම ලස්සනයි. පැතිරී ගිය ගල් තලාවක් තියෙන්නෙ. වඳුරන් එහෙ මෙහෙ පැන පැන දුවනවා. දිය සෙවෙල් වලින් යුතු ඒ කඳුවලට මගේ හිත ඇදිලා යනවා.
602. අරණ්‍යවලත්, දිය අලි ගලන තැන්වලත්, ගල් ලෙන් වලත්, ඈත වන සෙනසුන්වලත් මං ඉඳල තියෙනවා.
603. මේ සත්තු මැරෙත්වා! වැනසෙත්වා! දුකට පත්වේවා! යනාදී ද්වේෂ සහගත පහත් හැඟීම් මගේ සිතේ නම් ඇතිවන බවක් මං දන්නෙ නෑ.
604. බුදු සමිඳාණන්ව මං ඉතා ගෞරවයෙන් ඇසුරු කළා. බුදුසසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම කපල දැම්මා.
605. ගිහි ජීවිතය අත්හැරලා මං මහණ වුණේ ලොකු තේරුමක් ඇතිව. අන්න ඒ තේරුම මං අවබෝධ කළා. හැම බන්ධනයක්ම නැති කරලා දැම්මා.
606. දැන් මට මැරෙන්ට වුණත් අමුතු ආශාවක් නෑ. ජීවත් වෙන්ටත් අමුතු ආශාවක් නෑ. මාසෙ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මං මේ බලමින් ඉන්නෙ පිරිනිවන් පෑම ගැනයි.
607. මැරෙන්ටත් මට ආශාවක් නෑ. ජීවත් වෙන්ටත් ආශාවක් නෑ. හොඳට සිහිය පිහිටුවාගෙන නුවණින් යුතුව පිරිනිවන් පාන්ටයි කල් බලාගෙන ඉන්නෙ.
මෙය වනාහී ආයුෂ්මත් සංකිච්ච නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
එකොළොස්වෙනි නිපාතය නිමා විය.
(ගාථා එකොළහ බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M