ඛුද්දක නිකාය

ථේර ගාථා

10.1.7. අපරගෝතමත්ථේරගාථා

10.1.7. අපරගෝතම තෙරුන්ගේ ගාථා

587. විජානෙය්‍ය සකං අත්ථං අවලෝකෙය්‍යාථ පාවචනං
යඤ්චෙත්ථ අස්ස පතිරූපං සාමඤ්ඤං අජ්ඣූපගතස්ස

587. තමන්ගේ යහපත සොයා බලන කෙනා, සොයා බැලිය යුත්තේ බුදුන් වදාළ ධර්මයමය. ඒ වගේම එයා ශ්‍රමණයන්ට ගැලපෙන වැඩපිළිවෙලත් සොයා බලන්ට ඕනෙ.

588. මිත්තං ඉධ ච කල්‍යාණං සික්ඛා විපුලං සමාදානං
සුස්සූසා ච ගරූනං ඒතං සමණස්ස පතිරූපං

588. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත්, උසස් ශීලයක හික්මෙන එකත්, ඒ වගේම ධර්මය පවසන ගුරු උතුමන්ගේ වචනය ඇසීමේ කැමැත්තත් ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපෙනවා.

589. බුද්ධේසු ච සගාරවතා ධම්මේ අපචිති යථාභූතං
සංඝේ ච චිත්තිකාරෝ ඒතං සමණස්ස පතිරූපං

589. බුදු සමිඳුන් කෙරෙහි ගෞරවයක්, සද්ධර්මය කෙරෙහි ලෙන්ගතුකමක්, මාර්ගඵල ලාභී සඟරුවන කෙරෙහි උපස්ථානයත්, ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපෙනවා.

590. ආචාරගෝචරේ යුත්තෝ ආජීවෝ සෝධිතෝ අගාරය්හෝ
චිත්තස්ස ච සණ්ඨපනං ඒතං සමණස්ස පතිරූපං

590. යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වීමත්, කාගෙන්වත් ගැරහුම් නොලබන පිරිසිදු ජීවිතයත්, භාවනාව තුළ සිත පිහිටුවා ගැනීමත්, ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

591. චාරිත්තං අථ වාරිත්තං ඉරියාපථියං පසාදනියං
අධිචිත්තේ ච ආයෝගෝ ඒතං සමණස්ස පතිරූපං

591. සිරිත් විරිත් දැනගෙන සිටීමත්, පැහැදීම ඇතිවන ඉරියව් පැවැත්වීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත්, ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

592. ආරඤ්ඤකානි සේනාසනානි පන්තානි අප්පසද්දානි
භජිතබ්බානි මුනිනා ඒතං සමණස්ස පතිරූපං

592. මුනිවරුන් වාසය කරන අරණ්‍ය, දුර ඈත වන සෙනසුන්, ජනශූන්‍ය වනාන්තර ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

593. සීලං ච බාහුසච්චඤ්ච ධම්මානං පවිචයෝ යථාභූතං
සච්චානං අභිසමයෝ ඒතං සමණස්ස පතිරූපං

593. සිල්වත් වීම, සද්ධර්මය බොහෝ කොට දැනසිටීම, ජීවිතයේ යථාර්ථය නුවණින් විමසීම, චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

594. භාවයේ ච අනිච්චන්ති අනත්තසඤ්ඤං අසුභසඤ්ඤං ච
ලෝකම්හි ච අනභිරතිං ඒතං සමණස්ස පතිරූපං

594. අනිච්ච සංඥාව, අනත්ත සංඥාව, අශුභ සංඥාව භාවනා වශයෙන් ප්‍රගුණ කරගෙන හැම ලෝකයක් ගැනම නොඇල්ම ඇති කරගැනීම ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

595. භාවෙය්‍ය ච බොජ්ඣංගේ ඉද්ධිපාදානි ඉන්ද්‍රියානි බලානි
අට්ඨංගමග්ගමරියං ඒතං සමණස්ස පතිරූපං

595. බොජ්ඣංග ධර්ම වැඩීම, ඉද්ධිපාද වැඩීම, පංච ඉන්ද්‍රිය, පංච බල, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම, ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

596. තණ්හං පජහෙය්‍ය මුනි සමූලකේ ආසවේ පදාලෙය්‍ය
විහරෙය්‍ය විප්පමුත්තෝ ඒතං සමණස්ස පතිරූප’න්ති

596. මුනිවරයා තෘෂ්ණාව අත්හැර දමයි. ආශ්‍රව මුලින්ම උදුරා දමයි. හැම දෙයකින්ම නිදහස් වී වාසය කරයි. මෙය ශ්‍රමණ ජීවිතයට හොඳින් ගැලපේ.

ඉත්ථං සුදං ආයස්මා ගෝතමෝ ථේරෝ ගාථායෝ අභිසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අපරගෝතම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං –

කාළුදායී ච සෝ ථේරෝ ඒකවිහාරී ච කප්පිනෝ
චූළපන්ථකෝ කප්පෝ ච උපසේනෝ ච ගෝතමෝ
සත්තිමේ දසකේ ථේරා ගාථායෝ වෙත්ථ සත්තතී’ති.

දසකනිපාතෝ නිට්ඨිතෝ.

දසවෙනි නිපාතය නිමා විය.

(ගාථා දහය බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_10-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M