ඛුද්දක නිකාය

ථේර ගාථා

10.1.6. උපසේනත්ථේරගාථා

10.1.6. උපසේන තෙරුන්ගේ ගාථා

577. විවිත්තං අප්පනිග්ඝෝසං වාළමිගනිසේවිතං
සේවේ සේනාසනං භික්ඛු පටිසල්ලානකාරණා

577. භික්ෂුවක් සිටින්නට ඕනෑ භාවනා කරන්නට සුදුසු තැනක. ඈත තියෙන, නිශ්ශබ්ද, වල් සතුන් සිටින වන සෙනසුන් තමයි හොඳ.

578. සංකාරපුඤ්ජා ආහත්වා සුසානා රථියාහි ච
තතෝ සංඝාටිකං කත්වා ලූඛං ධාරෙය්‍ය චීවරං

578. එයාට ගැලපෙන්නෙ කසල ගොඩෙන් හෝ සොහොනෙන් හෝ මහ පාරෙ තිබිල හෝ අහුලා ගත්තු රෙදිවලින් මහපු ගොරෝසු සිවුරු.

579. නීචං මනං කරිත්වාන සපදානං කුලාකුලං
පිණ්ඩිකාය චරේ භික්ඛු ගුත්තද්වාරෝ සුසංවුතෝ

579. මාන්නය බැහැර කරල ගෙපිළිවෙලින් පිණ්ඩපාතෙ යන ගමනක් තමයි එයාට හොඳ. ඒ ගමන ඉඳුරන් දමනය කරල ඉතා හොඳට සංවර වෙච්ච ගමනක්.

580. ලූඛේන’පි ච සන්තුස්සේ නාඤ්ඤං පත්ථේ රසං බහුං
රසේසු අනුගිද්ධස්ස ඣානේ න රමතී මනෝ

580. කටුක ආහාරවලින් වුණත් සතුටින් යැපෙන්නට ඕනෑ. බොහෝ රසවත් නොයෙක් ආහාර ගැන සිතන්නට හොඳ නෑ. ආහාර රසයට ගිජු වුණොත් භාවනා කරන්නට සිත යොමු වෙන්නෙ නෑ.

581. අප්පිච්ඡෝ චේව සන්තුට්ඨෝ පවිවිත්තෝ වසේ මුනි
අසංසට්ඨෝ ගහට්ඨේහි අනාගාරේහි චූභයං

581. අවශ්‍යතා අඩුවිය යුතුයි. ලැබුණු දෙයකින් සතුටු විය යුතුයි. මුනිවරයෙක් වුනහම තනිවමයි සිටිය යුත්තේ. ගෙවල්වල ඉන්න උදවිය සමඟත් අනගාරික උදවිය සමඟත් එකතු නොවී සිටින්නට ඕනෙ.

582. යථා ජළෝ’ව මූගෝ’ව අත්තානං දස්සයේ තථා
නාතිවේලං පභාසෙය්‍ය සංඝමජ්ඣම්හි පණ්ඩිතෝ

582. කිසිවක් දන්නෙ නැති ගොළු කෙනෙක් වගේ නුවණැති භික්ෂුව සංඝයා මැද ඉන්නෙ. ප්‍රමාණය ඉක්මවා කතා බස් කරන්ට හොඳ නෑ.

583. න සෝ උපවදේ කඤ්චි උපඝාතං විවජ්ජයේ
සංවුතෝ පාතිමොක්ඛස්මිං මත්තඤ්ඤූ චස්ස භෝජනේ

583. කාටවත් අපහාස කරන්ට හොඳ නෑ. හිංසා කරන්ටත් හොඳ නෑ. ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවර වෙලා ඉන්න ඒ භික්ෂුව ආහාර වළඳන්නෙත් තේරුමක් ඇතිවයි.

584. පග්ගහීතනිමිත්තස්ස චිත්තස්සුප්පාදකෝවිදෝ
සමථං අනුයුඤ්ජෙය්‍ය කාලේන ච විපස්සනං

584. එයා වීරිය ඇතිවන භාවනා අරමුණු සිතේ උපදවා ගන්නට දක්ෂ කෙනෙක්. අවස්ථානුකූලව සමථ විදර්ශනා වඩන්නට ඕනෙ.

585. විරියසාතච්චසම්පන්නෝ යුත්තයෝගෝ සදා සියා
න ච අප්පත්වා දුක්ඛන්තං විස්සාසං එය්‍ය පණ්ඩිතෝ

585. හැම තිස්සෙම වීරිය පවත්වා ගෙන භාවනා කරන්නට ඕනෙ. ඒ නුවණැති භික්ෂුව දුක් අවසන් කරලා නිවනට පැමිණෙනතාක් විශ්වාසය අතහරින්නෙ නෑ.

586. ඒවං විහරමානස්ස සුද්ධිකාමස්ස භික්ඛුනෝ
ඛීයන්ති ආසවා සබ්බේ නිබ්බුතිඤ්චාධිගච්ඡතී’ති

586. උතුම් පිරිසිදු බව කැමතිව, ඒ විදිහට ජීවිතය ගත කරන භික්ෂුවගේ හැම ආශ්‍රවයක්ම නැති වෙලා යනවා. අමා නිවන ද සාක්ෂාත් කරනවා.

ඉත්ථං සුදං ආයස්මා උපසේනෝ වංගන්තපුත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උපසේන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_10-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M